ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ග්‍රාමාරක්ෂක

ග්‍රාමාරක්ෂක

කපිල කුමාර කාලිංග
2021-June

නිදන් හොරු ඉවකරන ,
කන්ද උඩ ලෙන් වෙහෙර,
මුරකරන නිදිවරන ,
තුරුණු සෙබළෙකි ,
ග්‍රාමාරක්ෂක නමැති .

තළයි මදුරුවෙකු නළලත ,
සපයි විට නිදිමතට .

ගිනි අවිය,
වාරුවී,
මුරගලට .

ගැළවූ පාවහන් මත ,
ගුළිවී නිදනා බළලෙකි ,
ඈත වනගැබ තැනෙක ,
නිවෙන, දිළෙනා එළියකි .

ඒ ඔහු දිළිඳු පැල,
බිරිඳ හා පුතු නිදන.

වැව දෙසින් හමා එන,
සීත උදුවප් සුළග ,
මොනවදෝ මුමුණමින් ,
ගිරි සිරස සිපගනී.

ඈනුමකි ඉන්පසුව ,
සිනාවකි ඔහු මුවග ,
පෙර දිනෙක,රෑ මැදෙක,
බිරිය ළංවී මිමිණු,
පෙම් බසක්
යළි සිහිව..