ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහබඹා තමන්ටම කෙඳිරු සැහැල්ල

මහබඹා තමන්ටම කෙඳිරු සැහැල්ල

සුනිල් ලීලානන්ද පෙරේරා - රත්නපුර
2021-June

කවිත් ලියලා ඇති
පොතුත් ගහලා ඇති
උපහැරනෙටත් ගන්නැති
ඉතිං මං ගැන දැන් ඇති

මගේ යක් මුහුණට
මගේ සඳ මුහුණට
බොලට ඇස්වට
මැණික්කටු ගාවට
හික්මුන ඇඳුම කැඩුමට

අතක ඇති කඩුවට
අනෙක් අත මල් පොකුරට
ලිව්වා කවි ගී සිලෝ
පමණටත් දැන් වැඩිකොට

මං කර තියාගෙන
ඒ මදිවාට නටනට
හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක කොයිකෙකු නොදකින
මං ඇතුලේ හිරවුන

ගුරුන්නාන්සේ ගැන
ඔන්න ලියනවා නම් කවියක්
අඩුගානේ එක අකුරක්

හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක පෙරහැර නොදකින
කුරුබිලියෙන් පාර හොයහොය යන
බේතකට හුළඟක් නොවදින
ඉහකනින් දාඩිය හලහල
ඒත් ඤංපචන් නොකියන

අලි බෙටි අලි හුජ්ජ
ඇඟිලි කරු මැද මිරිකෙන
කොප්පරා පන්දමෙන් වැටුන
ගිනි අඟුරු කකුල් පුච්චන
පිලොච්චි, ගුරුන්නාන්සේ ගැන
ලිව්වාද බොලා එක කවියක්
අඩුගානේ කොම්බුවක්

ඒත් ලියතෑකි
මහ පොතක්
කෝ ඒකට එකෙක්වත්
නෑ වගක්

කෝරලේ හාමදුරුවෝ,
අර අප්පෝ, මේ අප්පෝ,
මොහොට්ටාලලා,
නිලමෙලා,
තන්ඩල් රාලලා,
කපු නිලමෙලා,
ගබඩා මොහොට්ටාලලා,
උන්දැලැගැන අනන්තයි
ලියපු විස්තර
කයි කතන්දර

බොලපැන් ළිඳ,
දිග්ගෙයි නැටුම්,
ආලත්ති අම්මලා,
බුරන්පේත්තුව කාලතුවක්කුව,
කුරප්පට්ටුව, සබරගමු මහදවුල
උපන්දාසිට විස්තර
කොතෙක් රස කරකර
ලියයි මහ පට්ටන්දර

ඒ කරෙන් මේ කරට
මේ කරෙන් ඒ කරට
කොච්චරත් මාරු කරකර
බට කුඹලක් උනත්
මගේ ඉලකූඩුව
බරෙන් අඩුවක් නෑ එච්චර

පෙරහැරේ අලි අච්චර
කජු ගනන් මෙච්චර
මෙදා සෙනග කොච්චර
හැමදාම එකම චරබර

ඒත්
මං මේ මහඹබා
කරගහන්‍ යන,
පිලොච්චි
ගුරුන්නාන්සේ ගැන
අඩුගානෙ නෑ
නාම මාත්තර

රිට්ටා ගෙයි , සින්හාසනේ
දෙයිහාමදුරුවොත්
ගිමන් නිමනවා
මොහොට්ටාලලා
පිරිවරන්
බස්නායක කෝරලේ
හාමදුරුවොත්
එහෙමමයි
මුරායුධ, සේසත් චාමරගත්
උන්දැලත්
විඩා නිවනවා තැනතැන

ඒ ඇබිත්තන් වෙලාවෙත්
පිලොච්චි ගුරුන්නාන්සේ
හිර කූඩුවේ

දියකපන දා
කොටාඹෙගාව විස්තර
රතඹලා ඇල්ල
රටේ දිගම ගඟේ පෙරහැර
මහා පතරංග ජාතක.

අව් කූටකේ දවල් පෙරහැර

එදාටත් මං කරගහං
තාර ලෝදිය පාගපාගා
කරේ මදිවට
දෙපතුලෙත්
දියපට්ට පුපුරන
කොච්චරවරත්
දැවිල්ලට ඇදුම් දෙන

හැමදාම පෙරහැර කරන
කවදාක පෙරහැර නොදකින
කවුරුවත් කවදාක නොදකින

ලියනවානම්
අන්න කව්
අන්න පොත් උන්ගැන
සමන් දෙයිහාමුදුරුවන්ගේ
ඇහැටත් කඳුලක් නැන්වෙන…