Category: නිසදැස් කවි
දිය බිඳක් වී…….
අහස් කුස තුල දිය බිඳක් වී
කඩා වැටුනත් මිහි තලය මත
සොඳුර ඔබ මට මුනගැසෙන්නේ
ගිරි ශිඛරයක ඇල දොලකදී
එදා සිට ගැලුවා එකට අපි
එකට එක්වී රළ පහර බිඳ
නංවමින් පෙන බුබුලු විටෙකදි
විටෙක නිසසල ගැඹුරු දියකදි
වෙන්වුනේ නෑ කිසිම දිනකදි
දිය බින්දු තව වැඩි වුනා මිස
නදිය බැස යන අතර මගදී
සයුර ඇත ලඟටම ඇවිත්
මිරිදියක්වී ඉපදුනත් අපි
කරදියට එක්විය යුතුව ඇත
හිරු කිරණ අපි අහස් තලයට
රැඟෙන යනවිට එකට ඉගිලෙමු
එදා එක්වුන ගිරි ශිඛරයෙම
යලි එකතුවී ගලා යන්නට
කැලණි ගං ඉවුරේ නතරවී
බුදුන් වැන්දා නුඹට මතකද
වැරදි පැණයකි
ඔහු අසයි :
“හරිහම්බ කරල ඇති සෑහෙන්න
ඔය තරම් කාලයක් පිටරටක!
නිරුත්තර වෙමි.
අසනු මැන මගෙන් :
පාර තොට වැරදිලා
ජීවිතෙන් පැරදිලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
මිනිසෙකුට
පිළිසරණ වූ අයුරු
අසනු මැන මගෙන් :
ළඳ බොළඳ ළමා වියෙ
මිනිස් ගොදුරක් වෙලා
නීතියෙන් විසඳුමක් සොයා ආ
ගැහැණියට
පිළිසරණ වූ අයුරු
දින ගණන් සති ගණන්
නොනැවතී කතා කළ හැකිය මට
කැප කෙරූ හැටි දිවිය
සහනයක් ලැබ දෙන්න
නීතියේ පිළිසරණ පතා ආ
දුප්පතුන්ට
අසරණයින්ට
ගණිකාවන්ට
බේබද්දන්ට
සිඟන්නන්ට
සිරකරුවන්ට
සරණාගතයින්ට
ආදිවාසීන්ට
අමිල වූ අනගි වූ
ඔවුන්ගේ තුති වදන්
පමණි එක්රැස් කළේ
පුරා සතලිස් වසක්
යසෝධරා……
බුදු බව පතලා ගිහි ගෙය හැරියේ
ලෝකය ගැන දුක හිතිලා නම්
ඉන් එක බිඳුවක් පතිනිය වෙනුවෙන්
නුදුන්න හේතුව කියන් ස්වාමිනී
සංසාරේ හැම දුකක් ම කිව්වා
මතකද ලංවී ඇයට එදා
ඇයිද නොකීවේ යන බව රහසින්
කියන්න තිබුනා හිස අතගා
ලේන කුලේ සිට පාරමි පිරුවා
බුදුන් කරන්නට මතු සිදුහත්
කිඳුරිය වීලා හැඩුහැටි මතකද
හිමිගේ පණනල ගැහෙන තුරා
වෙසතුරු දන් දුන් දරුවන් සොය සොය
හැඬු තරම් මම මිහිකත සේ
තවමත් මව්වරු සොයමින් හඬනව
දරුවන් දා ගිය සිදුහත් ලා…
දළඹුවන්ට සමනලුන්ට
හිරු පහස නිසි අහර නොලබාම
මියෙන්නට හිස නැමුණ..
වියැළි කොරපොතු සැදුණ..
වසුරු සුදු පිළි පැලැඳි..
නොබලාම ,මියැදි නාමය පිදුණු..
ගසට
හිරු කිණිති එක දෙක වැටී
දිය පොද ද දිරිය පොහොරද ලැබී.
පණ ගැසී..හිස සලා
දළුලෑම
ගසෙහි වරද ද කියන්..
මලේ සුවඳ ද හැඩය නොබලාම
කොල කපන
අතු කිණිති මත රැඳුන..
කිති කවන විෂ ගතින
දළු බුදින ලඟ රැඳෙන
දළඹුවනේ…
මතු
කොල මත ම කෝෂ ද තනා
සැඟවෙලා
කලඑළි බසින
නෙත පිනන නෙක රැසින
සමනලයිනේ..
මව් කිරුළ
නිමිත්ත; විවාහක ලෝ රූ රැජිණගේ කිරුළ හිසෙන් ගලවා කළ හදියක් – පුවතක් – 2021
ලෝක රූ රැජිණිය විවාහක
නේක බාදා විඳ කටුක දුක
සෝක දුරලා නැතිව බිය සැක
දාක සැනසේ මව් කිරුළ රැක
දෙදහස් පන්සිය වසරක් ඉක්මී ඔබට කිරුළ පළඳා
අනුහස් දී ගරුසරු පුද ලැබුමට ගෙදර බුදුන් කළදා
සුවහස් ලෝ දා කම්පිත කරමින් එළිය දුටුවදා බිලිඳා
අගහස් මැණිකකි මිහිකත මෑණිගෙ හදමල කළ දුලදා
මෙත්තා – රත් මැණික් ඔපදෙනා
මුදිතා – නිල් මැණික් පරයනා
කරුණා – වයිරෝඩි සරසනා
උපෙක්ඛා – දියමන්ති දිදුලනා
විස්ව විවාහක පුජනීය මව්වරුනේ
උස්ව වැඩෙන සිව්බඹවිහරණ වරුණේ
හිස් අවුල් ජාල කළ කිරුළට ලොබ නොවුනේ
මස් ලේ දන් දුන් අම්මාවරුමය මහ බඹුසේ මැවුනේ
ප්රභාකරන්
එදා වැල්වැටිතුරෙයි පුතකු ලෙස
ඔබ උපන් දා ඔබේ මවුපියන්
ඔබ ලොවට හිරු වෙතැයි හිතාගෙන
දෙන්න ඇති නම “ප්රභාකරන්” යන
බුද්ධියෙන් දයාවෙන් අනූන වූ
කුමාරස්වාමි – අරුණාචලම්
ඔබේ ජාතියම බැබළවූ බව
පොතක් නොකියවූ ඔබ නොදන්නෙය
ඔබ ඔබේ දරු දෙදෙන තුරුලු කර
බිරිඳ මදිවදනි හා එක පෙළට
පවුලේ පින්තූරයට සිටින විට
දරු සෙනේ – පිය සෙනේ දැනෙනවද?
මවු තනේ කිරි උරන බිලින්දන්
පාසලට පිය නඟන දූ පුතුන්
ලේ විලක මරා දා සතුටු වන
කුරිරු සිත් ඔබට ලැබුණේ කෙලෙස?
ශ්‍රී මහා බෝ සෙවණෙ වාඩි වී
සකල සත්වයා හට මෙත් වඩන
උවසු උවැසියන් ඝාතනය කර
ජාතියක් රකින්නේ කෙලෙසක ද?
ශුද්ධ වූ කුරාණේ කියවද්දි
පල්ලියේ දෙව් සමිඳු යදිද්දී
ඔවුන්ගේ පපු කැණැති සිදුරු කර
ලේ විලක් කළේ මොන හිතකින්ද?
වැල්ලවත්තේ – කොළඹ කඩ කරන
හැටන් – තලවකැලේ තේ කඩන
නැතිකමට වහල් මෙහෙවර කරන
සැවොම මගෙ නෑයෝය – සොයුරෝය
යාපනේ තල්වැටෙන් එපිටහත්
වන්නියේ තල්වැටෙන් මෙපිටහත්
වෙසෙන ඒ සියලු දෙන නෑයෝය
මගේ මවු පියවරුය – දරුවෝය
දෙමළ – සිංහල ද මුස්ලිම් දනන්
දයා විරහිත විලස ගෙල සිඳින
මගේ මේ මවුබිමට වින කරන
නෑකමක් නැති කෙනා ඔබ පමණි
ජාතියක් ජන්මයක් නොසළකන
මිනිස්කම ඉදිරියේ පලිගසන
නුඹ දිහෑ මෙත් සිතින් බලන්නට
කෙදින හෝ බුදු බවම ලද යුතුය.
( ප්රභාකරන් ඝාතනයට ලක් වූයේ 2009 මැයි 19 වැනිදායි )
ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ මුතු ඇටය.
සයුර මැද කිඳි කිඳී
නායි දිය කිඳුරියක්
ඇගේ පියොයුරු දෙසම
දල්වා ම ඇස් හයකි
එකෙක් බිම දනගාන
සොළොස් මස් බිලින්දෙකි
අලුත් රහ කිරි ටිකක්
උරන්නට හිතක් ඇති
ජොකෙක් ඇඳි තරුණයෙක්
දන ඔබා වැල්ල මත
නිදන්නට සයනයක්
පතයි ඒ පිරුණු ලැම
සළු වියන වෙළෙන්දෙකි
බෙදුම් කට්ටක් රැගෙන
ඇගේ තං කපන්න ට
නිසි මිම්ම ගනු පිණිස
ඇගේ මින් දරු සියන්
උං දාන පොරි සපති
ලං වෙන්ඩ ඉඩ හරිති
කිරි නොබොති ගී ගයති
ඇයට පිදු පෙම..
කිරි කොතලේ කිරි ඉහිරී..
මුළු ලෝකෙම කිරි පැහැවී
කිරි පාටින් බබළන සඳ
හිස් කොතලය දුටු මනතින්
මගෙ යටි සිත දොඩමළු විය
“කොතලේ කිරි ඉහිරුණාට….
මුළු ලෝකෙම කිරිපාටනෙ…”
මකා ඇත්දැයි කියා…
“හිතාගෙන ඇති නේද
හරි ලොකු වැඩක් ය කියල
අම්ම ආව උදේ ම
හොයාගෙන මාව
කිවුවා නේද ගිහින්
ගැහුවා කියල මම
නැහැදිච්ච කම ඔක්කොටොම වැඩිය
ගහනවට කැමති නෑ කිවුවෙ අම්මලා
ඒක තමයි වෙලා තියෙන්නේ ඔය
ඔහොම ම තමයි නොගහ හැදුව ම
තේරෙයි අම්මලා පුතාලා සේරටොම
හිරේ විලංගුවේ වැටුණු දවසට
හා
කියනවා පුළුවන් නං
එක්කෙනෙක් ගැන
නොගහ හදලා
ලොකු තැනකට ගිය”
“ගොඩක් නං දන්නෙ නෑ ටීච
ඒත්
අහල තියෙනව
එක්කෙනෙක් ගැන ”
එක්කෙනෙක් ?
කියනව බලන්ඩ ?
මොනව කරපු කෙනෙක් ද ?
මැරයෙක් වෙන්න ඇති එකත් එකට ම”
“පොඩි කාලෙ ගුටි නොකා
ලොකු වෙලා
බුදු වුණු කෙනෙක් ගැන”
නමෝ නමෝ බුද්ධ දිවාකරාය !
මවක් රක්නා ලෙස එකම පුතු
තමන් ප්‍රාණය නොසලකා හැර
සියල් සතුනට වඩන ලෙස මෙත
ලොවට වදහළ කුළුණු සාගර
අවිද්‍යාවෙන් අඳුරු සක්වළ
එකලු කළ භගවත් දිවා කර
දොහොත් මුදුනත තබා වඳිනෙමි
උදය දහවල රැයද එක යුර
Just as a mother protects her only child
Even at the risk of her life
One should cultivate boundless clemency
Towards all beings
Said the Awakened Master
With oceans of compassion.
Then the entire universe illuminated
by his words, banishing the darkness
of hatred and ignorance.
As my only refuge:
Homage to the Blessed One!
In the morning, noon and
Evening, all the same!
මවගෙ අවුරුදු
ගමේ ඇත කීවාට අවුරුදු
නැහැනෙ මට ලකයක් කිසිත්
දොළොස් මහ මගෙ පාළු වී ගියෙ
නුඹ ගමෙන් ගිය දා පටන්
ටිකෙන් ටික ගත දිරා යද්දී
ඇදුම් කැක්කුම් වැඩි වෙතත්
මුණුබුරාගේ කතා හින්දයි
හිතේ ඇත්තේ පණ ටිකක්
තාත්තත් දැන් ලෙඩ ගානෙමයි
මට උදව්වක් නැහැ කිසිත්
තනිව වෙහෙසුනෙ කන්න නුඹලට
දෙන්න මට හැකි උපරිමෙන්
සෙයිලමෙන් නුඹ එන නිසාමයි
කරුන්කා ටික විකුණුවෙත්
ඇඟිළි තවමත් ඇදුම් කනවා
පුවක් තලලා මහ රැයෙත්
ලබන කෝණමෙ නුඹ දකින්නට
මට අහිමි වුණොතින් වරම්
මුණුබුරාගේ රඟ බලන්නට
පුතේ ඩිංගක් නැවතියන්
පාස්කු.
(පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සැමියා වෙනුවෙන් බිරිඳකට වන්දි නොලැබුණි)
මරණ සහතික පැතූ
රාළහාමි නපුරුයි කළු
මලකදක් තිබුනැයි ගරු
උන්දැ යන්නැති පරදා මරු
මුසාවක් කියනව බොරු
රෑට ඇවිදින් නිදිවැරූ
මහත්තුරු වෙති බැලු බැලූ
උන් දනී මිනිහගෙ තතු
හඩද්දී සාගිනි රළු
පල්ලියේ ඔරසන් බැරූ
ඉස්ටෝරු කාමරේ සරු
මුදලාලි කියයි ඒ ගැන වරු
ඉතින් මේ නම් මගෙ පුතු
කාගෙ කාගෙත් රූ සරු
ආණ්ඩුවටත් බැරි බරු
දරන්නම් මියෙනා තුරු
වෙසක් මද නල සිතින් විඳමින්
හංදියේ පටු පාර අද්දර
බට පඳුරු බර තොග කපාගෙන
පතුරු කැටයම් අච්චු අතරේ
පාට දැල් කොළ බිම එළාගෙන
ලොකුවට ම තෙමඟුලට හැඩවෙයි
උණ තීරු සිරි සිරියෙ ගැලවෙයි
බක් හුළං මැකි මැකී යද්දී
වෙසක් කාලෙත් ළඟ ම එළඹෙයි
ඉටිමලුත් විකුණන්න තිබුණා
චීන කරදහි පහන් එක්කම
පොළේ හරියට සෙනඟ පිරුණා
පහන්, දැල් කොළ, කතුරු ගන්නම
තැනින් තැන දන්සැල් ද තිබුණා
රෑ දවල් වෙනසකට නැතිවම
යෝධ බත්, කැඳ, අවුළු පිසුණා
පෝලිමක් පෝලිමක් ගාණට
අපිත් හැදුවා රැස් වළල්ලක්
උඩහ කූඩුව තාරකාවක්
ආන් ටවුමට මෙහා තිබුණලු
වණ්ණුපථ ජාතකෙන් තොරණක්
පැටව් අට දහයකුත් එක්කම
කැරකෙන්න කූඩුවක් හදලා
පුංචි උන් ඇස් කන් අයාගෙන
බලා හිටියලු එතන පිරිලා
මිදුලෙ සව් රැළි සුළඟෙ පාවෙයි
පුරුදු බොදු ගී තැටිය කැරකෙයි
පහන් වැට නිවි නිවී ඇවිලෙයි
ගෙයින් ගෙට දැඩි අඳුර දුරැවෙයි
අනියතය ලෝ දහම පැවසූ
බුදු වදන් දෙසවනේ ගැවසෙයි
වෙසක් මද නල සිතින් විඳගෙන
තෙමඟුලට පිළිවෙතින් සැරසෙයි..
ගොවි රජ බිරිඳ වලප (නුතන ගජගා වන්නම)
තුමුල බලැති ගිජිඳානෙනි වනයේ සැරිසරනා
නමැඳ ගිගිරි නොරිදුු පා කියමි ළයෙහි දුක මා
නැතිද නුඹට හද මඬලක් මසින් පිරුණු ලමැදා
දුකකි අහෝ නොසිදෙන! මෙි අසනු සවන් විහිදා
කරළ පැහෙන තෙක් නොනිවෙන දුක් ගොන්නක් මැදිනේ
කුසට අහර උගුර තෙමන පැන් කලදක් නොවුනේ
දරු පිරිවර රැකි ඇවිදින ඇට මිස ‘මස’ නොවුනේ
ගිජිඳානෙනි පෑගූ පය නැතිවද නුඹෙ රිදුනේ?
රැයේ තනිව කිිි සිිපද යළි සවනට නැත්තේ
උදේ හවා වැන්ඳ දෙපා නිසල වුනා සත්තේ
මග වැරදිි ආවද නුඹ අපේ ගොයම පැත්තේ
කැණිමඩලයි අපේ ගෙදර අද නුඹ බිලි ගත්තේ!
තොරණ පසුපස නිහඬ මුනිවර
මවා පුල් සත් පියුම් පෙරහර
දුර ඈත අනෝමා ගං තෙර
රජ කුමර පරපුරට මිල කර
ඉස්කෝල කාසි සොයනා රාහුල සිහිකර
සල් වනේ ජනිත වුණි සිදුහත්
දවස් තුන්සිය හැට හතර වැසුණු දොර දොර
අමුතු කරුණාවකින් ඇරී ඇරයුම් කරනායුර
එන්න කන්නැයි මතුරන අරුම මන්තර
බලා ඉන්නා දන්සැල් දොර සෝපාක කෙරේ කරුණාකර
ගයා හිස බුදු වුණි බෝසත්
දල්වා සහස් එළි පෙළහර
තොරණ පසුපස නිහඬව පොල් පුවක් ලී මුනිවර
දුගී ලිප් දල්වන කුසගිනි නිවනයුර සිහිකර
තාත්තා තොරණ කවි ගයා එනතුරු නිදිවරන දූ මුව මෙනෙහිකර
සල් වනේ පිරිනිවුණි බුදුවර
29-04-2021
අන්තිම කැමති ඉල්ලීම
බූරුවෙක් වන්න… !
පුතුනි මගේ
නිදි වරන්න,
අල්ප විවේකය අගය කරන්න
නොරැඳී ගමන් කරන්න ……..
ව්‍යාඝ්‍රයකු වන්න…!
පුතුනි මගේ …
අනෙකාගේ නෙත් මානයෙන් වහන් වී
ගොදුර පැමිණෙන තෙක්
ඔබේ මානයේ ම
නොසෙල් වී රැඳී සිටින්න
සිහි තබා ගන්න
හිඟන්නෙක් වන්න….!
පුතුනි මගේ….
අයැදීම ,
ආයාචනය ,
සහ නොමැත්ත තුලින් .
ඔබ වෙනුවෙන්
සිටින්නා
හඳුනා ගන්න
නිවසක් වන්න……!
පුතුනි මගේ …..
ඔබේ හිස,
කෙළින් කොට
ඇතුළු වීමටත් ,
පිට වීමටත්
හැකි පරිදි
උලුවහුව ඔබම තනා ගත්
නිවසක ජීවත් වීමට
වගබලා ගන්න…….
බිත්තරයක් වන්න …….!
පුතුනි මගේ …..
පිටතින් බිඳී යෑම ….
විනාශයක් බවත්*
ඇතුළතින් බිඳී යෑම
ජයග්‍රහණයක් බවත් *
තේරුම්ගෙන
බිඳී යන්න ……..
දේදුන්නක් සේ බැබළෙන්න…!
පුතුනි මගේ ….
ස්වයං ප්රභාවක් නො ව
හේතුඵල ක්ෂණයක් බව
සිහි තබා,
නිරහංකාර වන්න……..
ඉදිබුවෙකු වන්න ……!
පුතුනි මගේ ….
ප්‍රඥාවේ…
ශක්තිමත්
කටුව තුළ සැඟවෙන්න
නිරායාශයෙන් ඔබව …
ආඥාවන්තයින්ගෙන් සුරක්ෂිත වනු ඇත ….
පසුපස ට ගමන් කරන්න …!
පුතුනි මගේ …….
ඔබට , ඔබ හමුවේනම්?
ඔබේ නිවැරදි බව
පෙන්වාදිම උදෙසා
පසු පසට උව ……
ගමන් කරන්න
වේදනාව මනාසේ අත් විදින්න ..!
පුතුනි මගේ …..
එවිට පමණෙකි ,
සුවපත් කරන්නාගේ අගය
ඔබට වැටහෙනු ඇත්තේ
ඔබ සුවපත් වී
ලොව සුවපත් කරන්නෙකු වන්න ….!!
පුතුනි මගේ ……
සීගිරි ස්වප්නය
ගීසිරි සීගිරි රමණී
සීගිරි ආලකමන්දාවේ
පෙරදා කැටපත් පවුරේ
ඔබ ලියා තැබූ ආදර ගී ………..
පදවැල් මිහිරි ………..සැනසෙමි හදිනී ………..
බූදල්මි මා යලි පැමිණි ………….
සුලලිත කෝමල හසිනි …………
ඉන්ද්‍රචාප බැම නයනී ………..
නිල් මානෙල් මල් දෝත දරා…….
බුදු පුදයට යන ලඳුනී ……….
පුන් පියයුරු බරනී ……..
පුලුලුකුලද සලිත වුනි ……..
ඔබගේ යුග නෙත් සිහිල් දියේ
අමා සුවය විඳිමි …..
ඔබේ මිහිරි පෙම් ඕවිල්ලේ
නැලවෙමි ගී ගයමී …..
ආදර පානා ඔබ දිගැසී …..
සුරත පතා ආ බූදල්මි මා
තනි වූ මා මේ විසල් වනේ
ඔබගේ ප්‍රේමෙන් මන් මත් වේ
පා යුග ඔසවන විට දි ඔබේ
දහසක් මල් පිපුනා
සීගිරි ලඳුනේ ඔබම පියඹ කොට
මා කැන්දා යන්නා ……
පහන් තරුව වී විසල් වනේ
ලොවම එළිය කරනා
ඔබේ නීල නෙතු සිලිලාරේ
මා විකසිත වෙන්නම්
සිහිනිඟ වට ඇඳි සේල උනා
පැන් සනහාලමු පොකුණු දියේ
ඔබේ රන්දර රන් නෙළුම් පතේ
පිනි බිඳුවක් වී දිදුලන්නම්
නිල් කට්රොල් මල් වැට වට පිපුණා
ඔබේ රුවට තව උවම් නැතී
දෙබරුන් බඹරුන් ගහන කැලේ
මේ සළුවත් පළඳිනු මැනවි
ඔබ හා මා අතිනත ගන්නා කල
සීගිරි පර්වත හඬා වැටේ
ඒ කඳුලේ පිණි පොද වැස්සේ
කැටපත් පවුරේ ගී මැලවේ
පසළොස්වක සඳ ගිනි අරගෙන
(නවසිය) හැත්තෑවේ මැයි මාසේ
පසළොස්වක පෝය දවසේ
ඔබටත් මතකද මන්දා
සඳ පැයුවේ නිල් පාටින්
සඳ වටේට රතු පාටින්
වලල්ලක් ද දිස්වුණා
නිල් පැහැ ගත් සඳ කැලුමින් – අලුත්ම මල් සිය ගනනක්
හැත්තෑ දශකය පුරාම – පිපි සුවඳ විසිරුනා
ජනසිත් ඒ මල් සුවඳින් – ඔකඳ වෙලා පිබිදුනා
සමහර ඒ මල් අදටත් – නොම පරවී – සුවඳ හමයි
(නවසිය) අසුව අනූව වෙද්දී
අර ලස්සන නිල් පැහැ සඳ – වටේට වූ රතු වලල්ල
ගිනි අරගෙන සඳ දැවෙද්දී – සඳේ සිසිල ගිනියම්වි
රබර් ටයර් ගිනි ගත්තා – ඉන්ද්රකීලයන් ……
දඩස් ගාලා බිම වැටුනා
ගිනියම් වූ සඳේ සිසිල – අදටත් නැහැ සිසිල් වුනේ
නිල් පාටින් පුර සඳ යලි – කවදා හෝ පායන දා
සතර දෙසින් සැළලිහිණින් – දියවන්නා ඔය මහ මැදුරට
පියඹා වී – විහඟ තුඩින් රැගෙන යමක්
ඒ ….
සඳෙස් කවක් නොව
කාලයක්ම වල් වැදී…….. අපෙන් සැඟවුණු ………
ස්වර්ණ වර්ණ වූ ….. නීතී පොතේ පිටුව බැගින්…
02 අප්‍රේල් 2021
ගාන්ධර්වයා කව්ද
අසාධාරණය තරඟය
ඔහු තරඟ නොකරන සඳ
අසරණ බව හැඟේ
එනමුත් දිනිය යුතුමය
පරාජය පිළිගෙනද ඔහු
මනාව ඇටවු උගුලක් වෙද
කොටු කරගන්න නිතරඟෙන්
මුව පොව්වෙක් වගේ
ගුරු මුශ්ඨියෙන් තොරව දුන් ශිල්පය
අභ්‍යාස කළෙමි දිවා රෑ දෙකේ
වයමි තාරුණ්‍යයේ රාවය දැන්
සතුටේ ඉමිහිරි නාදය
ඔහු මා දෙස බලමින් වැයුවද
මා ඒ දෑස් දෙස නොබලමි
නුපුරුදුය වෙණ නද අද
සසල වුනිදෝ මසිත
පිය සෙනෙහස නොවෙද මේ නද
මා වෙනුවෙන්ම තැනූවෙද හිටි වන
අසරණ බව හැඟුණිද යළි
අත්හල නොහැක තරඟය
බුදුන් දකිමු
කෙලෙස් මල දුරු කොට
මැදුම් පිළිවෙත හෙලි කල
බුදු සමිඳු ගේ ඒ
දහම සත්‍යයි මෙ ලොව හැම කල
ජීවිතේ ඇති අනිසි බාවය
දැනේ අද අපි සියළු දෙනටම
බොදුන් වීමට කලක් වේ නම්
මෙයයි ඒ මග සරණ යන්නට
කලත් තරඟෙට දනෝ නොයෙකුත්
පුදා පූජා බුදුන් වෙනුවෙන්
එතෙර වෙන හැටි දකින්නෙද මේ
අනේ මහ සංසාර සයුරෙන්
” යමෙක් මාගේ ධර්මය දකීද, හේ මා දකී ”
ගෞතම බුදුන්
පුරණා පාරමී සපුරා බුදුවන්න ! අම්මේ
උණුහුම ලැබුණෙ මාපිය උරුමය හන්දා
සැනසුම පළාගියෙ පවුලේ බර හන්දා
නොපෙණන සැප නොවේ පෙණෙනා දුක දරණා
ගාලු කොටුව සේ සිටියා අපෙ අම්මා
සුපුරුදු ලෙසට ආවත් හිරු සඳු සේම
විකසිත වුණත් හදමල් මුලු පවුලේම
නිවණා කුසගින්න දරණා පැතුමෙන්ම
වඩණා පාරමී මුලුතැන්ගේ තුළම
කුස්සිය පිරෙන්නේ කුසගිණි වෙලාවට
දරුගිණි දැණෙන්නේ විතරයි අම්මාට
තැවි තැවි දුක් ගන්නේ පවුලම ගොඩගන්න
පුරණා පාරමී සපුරා බුදුවන්න
හුදෙකලාව
සඳින් සඳ ගෙවීලා
අතු අඟින් මල් වරයි
වසන්තය නිමා වී
ගිම්හානයට බරයි.
සිහින සිතිවිලි මතක
තරු අතර සැරිසරයි
පියවි නෙත් පියළි මත
කඳුලු මල් පුබුදුවයි.
දෙනෙත් තුල සැරිසැරුව
සෙනෙහසකි පිවිතුරුව
සැඬ සුළඟෙ දැවටිලා
යළි යළිත් සිත බරයි.
සිතුවිලි ඕඝය
ඉඳුරන් දෙන බොරු තොරතුරු අරගෙන
මැවෙනා සිතුවිලි ගංගාවේ
අපේ හිතේ ඇති ඇත්ත වැසී ඇත
පුහුදුන් සිතකට එය නොදැනේ
අරහත් බව හා නිවන සනාතන
පිටින් ලබාගන්නට බැරි දේකී
එයයි සිතේ ඇති ඇත්තම තත්තේ
අපමයි එය මතුකළ යුතු වෙන්නේ
සිතුවිලි පහවී හිස්වුණු සිතකයි
රහත් බවත් නිවනත් මතුවෙන්නේ
පළමු කිරි සිහිනය
රන් හුයෙන් බැඳ නුඹේ සෙවණෙහි
පතිනි වූ ඒ සුබ දිනේ ….
පැතූ පැතුමන් සඵල වූයේ
ඈත භවයක පැතු ලෙසේ …..
චණ්ඩ මාරුත හමා ඇවිදින්
දෙදරුවත් අපෙ පෙම මෙසේ …..
නුඹට බැඳි පෙම සදා රකිනෙමි
මමත් බිම්බා මව් වගේ …..
පමා වී ගැලු ධවල බිඳුවට
නිගා කරමින් නොසිතු සේ …..
සිව් වසක පෙම් පහන නිවුනේ
නීති දෙවඟන ඉදිරියේ …..
කිසිම දිනෙකදි ශාප නොකරමි
තවම නුඹ මගෙ හදවතේ …..
දෑස් පියෙනා තුරුම රකිනෙමි
පළමු කිරි සිහිනය මගේ …..
ඉගිලෙන සිතුවිලි…..
හිරු නිවී යයි හොරෙන්
සඳ නිවී යයි හෙමින්
තරු නිවෙන්නට කලින්
රැය ගෙවේවිද ඉතින්
වැහිපොදක් වී සෙමින්
ඔබ වැටෙයි ආකහෙන්
හිඳ බලා කවුලුවෙන්
විඳිමි රුව ඈතකින්….
සුළං රැල්ලක් වෙමින්
ඇදෙන විට සීරුවෙන්
වරා මල පාවෙමින්
ඇදී එයි ඈතකින්…
වලාකුල් සේදෙමින්
වැහි වැටෙන ගීතයෙන්
හිරිවැටෙන තාලයෙන්
කවි ගොතමි සීරුවෙන්………
ආගමේ නාමයෙන් කෙරෙන ශබ්ද දුෂණ
නිහඞතාව අගය කළ
බුදුන්ට මුනින්දා කීමුත්
ඒ අගය කළ නිහඞතාව
මේඝයක් සේ සිඳ බිඳ දමමින්
නිහඞතායේ මියුරුහඞ පරයා
ශබ්ද දූෂණය උපරිම කළ
යකඩ කටින් එන පිරිත් හඞ
පන්සල් භූමියටත් එහා ගිගුම් දෙයි
පහන් සංවේගය මොට කරමින්
ආගම තරඟයක් වූ කාලයක
යහපත් ධර්ම මාර්ගය නොව
ආගමික ආධිපත්‍ය වැදගත් වූ යුගයක
උදේ සවස යකඩ කටින්
අල්ලහු අක්බාර් කියන
කටෝර හඞට තරඟයක් දීමට
නිහඞතායේ මියුරුහඞ යටපත් කොට
යකඩ කටින් දෙසවන් පුපුරන්නට
ගලා යයි සෙත් පිරිත් පද වැල්
හුදී ජනයන්ගේ මෙලොව
පරලොව වැඩ පිණිස
චෙරි මල් පිරුණාට
චෙරි මල් පීදෙන්න
කලියෙන් මාහද
අහස වගේ නිල්පාට
පැහැදිලියි ආදරෙයි
රෝස පාටින් වෙලී
පිපුණු චෙරි මල් වලට
ලස්සනයි පාලාතම
මගේ ආලය වගේ
සීතල උනාට පාන්දරට
බඹරු ඇදෙනවා
චෙරි මල් වලට
නුඹ ආවා වගේම
සුවඳ නම් විඳින්නට
රොන් උරා නටන්නට
උන් කැමති මල්වලට
පියඹන්න ඉක්මනට
එනතුරා මා ළඟට
චෙවි චේස් මල් වත්තෙ
චෙරි මලක් වාගේම
ඉන්නෙමි මග බලන්
වසන්තය විදින්නට
වොෂින්ටන් නගරයේ
ඇවිඳුමුද අත් පටලා
නිදහසේ ආදරෙන්….
ඇල්හැන්ඩ්රෝ ඇහුනාද?
මේ මරියානා විදරයිද?
චෙරි මල් පිරුණට
එකම එක මලකි මම
නිදොස් කොට නිදහස් ද ?
සිප්සතර හදාරන
සුරතලුන් පැහැරගෙන
අවයවත් උදුරගෙන
අමු අමුවෙ මරාගෙන
රන්මසින් සැනසෙමින්
නිල ඇඳුම් හැඳ ලමින්
උජාරුව පෙන්වමින්
වැජබුණාවූ එවන්
වධකයන් සියල්ලන්
මේ දහම් දිවයිනේ
නිදොස්කොට නිදහස්ද?
එකම එක රොටියකින්
දවස පාකර හරින
වැව් ජලය දුහුවිල්ල
මැද ගෙවන ජීවිතය
කටුකබව මැදින් වුව
බදුගෙවන
ඇටසැකිලි
මෙවන්වූ ඇටසැකිලි
ගෙවන බදු පුදන ලේ
සොරකමින් සොරාගත්
සුදුඇදුම් චෞරයන්
සියලුදෙන පින්බිමේ
නිදොස්කොට නිදහස්ය!
මදපවන ලා සිසිල
සිහිල් සිසිලැල් ජලය
රටට දායාදකළ
මහා ගස්වැල් සමග
පොලවටද වදදෙමින්
වැලි බොරළු වනසමින්
සියලු දේ විකුණමින්
විනාසය අභිමුවට
දිවයිනම ගෙනයමින්
සිටින මේ සතුරනුත්
නිදොස්කොට නිදහස්ය!
තුලාවෙන් අද දිනේ
නිදහසක් ලැබුවමුත්
සතර රියනක් යටට
සුදුසුකම් ලබනවිට
සිහිවේවි! දුක්වේවි!
ඇසින් කඳුළක් යාවි
පසුතැවිල්ලෙන් ඔබේ
හදවතම පුපුරාවි!
උපන්දේශයට නුඹ
කල විපත් සිහිවේවි
නුඹේ දරුමුනුබුරන්
ඉතිරිකර නුඹ ගියත්
ස්වභාවධර්මයේ
සියලු හදවත්වලින්
හෙලන මහශාපයෙන්
ඔවුන් ගිනිගෙන දැවී
දැවි දැවී පිච්චෙමින්
අපහාස උපහාස
විඳලමින්
වැනසේවි!
ආත්මය කිසිවිටෙක
සමාවක් කිසිදිනෙක
නුඹට හිමිනොවෙන්නට
තුලාවෙන් විසඳාවි
එදින නුඹ මේ ලෙසට
නිදොස්කොට නිදහස්ද?
ඉර්දි පෑමක අගය
තවත් එක් සමයක
කැටුව සඝ ගන සොඳ
අප බුදුන් ගෝතම
ගඟක් වෙත වැඩියහ
හිරන්මති මහ ගඟ
අපහසුය තරණය
එනතෙක් රැඳෙනු විය
තොටියා උන් එතෙර
එකල්හිම එතැනට
ආහ කොහෙදෝ යන
බමුණු පිරිසක් එක
සතු ඉර්දි තෙද බල
බමුණන් ආ විලස
පාරුවක් නොසොයම
ජල මත පාවෙමින
ඉර්දියෙන් විය එතෙර
විකුම් දැකුමෙන් එම
බුදු පුතුන් සිතනුව
නොබැරි යනු එලෙසින
ලැජ්ජාවකි ඉතින
නොව පාවී එගොඩ
ඉර්දි බල පාමින
කිම කරුණ රැඳෙනුව
මුණි වෙතින් විමසුව
බුදුන් අප ගෝතම
පිළිතුරක් නොදෙමින
නිහඬයෙන් සිටියහ
එනතෙක්ම පාරුව
පාවෙමින් එතෙරට
පාරුවෙන් ගිය කළ
විමසීය ගාස්තුව
මුනිඳු තොටියාගෙන
එක මස්සකි එය
තොටියාගෙ පිළිතුර
එම වදන් සිත් ගෙන
මුණි මෙලෙස වදහළ
ඉර්දි බල විකුමක
අගය වෙද මස්සක
නොවටීද එලෙසට
සිතනු මැන ගැඹුරෙන
* මස්ස යනු ඉතා අඩු වටිනාකමකින් යුත්
පැරණි කාසියකි. එහි වටිනාකම
කහවණුවෙන් 1/4ක් ලෙසද දැක්වේ.
කම්පනය
අඳුරු අහසක් නොවී එදවස
සුදු වලාකුළු නොදුටි ගුවනත
දුර කථනයේ හැඬුම අවසන
ගමන ඉක්මන් කළේ නුඹෙ මුව
හෙදිය පෑ මදහස සිත’ග විය
උපාදානය සුළඟෙ මුසුවිය
මතක කැළතී සිතේ සුළි ලෙස
කෙළිබිමේ පාසලේ දැවටිය
පිටියෙ කෙළිබිම දුවන වේගය
වරළ අල්ලන් දොඩන බාසය
අග මුලක් නැති මතක සටහන්
සොඳුරු සිත්තම් ලෙසින් පාවිය
බෙහෙත් මුසු ගඳ සුළඟ නැහැයට
දැනෙද්දී ඔහු මට පැවසු මග
ගොසින් අවසන දුටුව පුවරුව
මගේ සිත කම්පනය කරවිය
මිණී කාමරයේ අඳුරු දොර
ඇරුණි මා හට ඇතුල් වන්නට
සිනා නැති නුඹෙ මලානික මුව
දෙසට නෙත් යොමු කරනු කෙලෙසද
සීතාම්බර පටසළු නැෂනල්
සීතම්බර පටසළු නැෂනල් අඳින
ටයි රවුමේ නොලිහෙන ගැට නිති තිබෙන
ඇන්දත් කෝට් බටහිර පිළිවෙත නොදැන
ලොක්කොද ඇතේ මිනිසුන් නොදැනා සිටින
ඔක්සිජන් නැතිව දිවි ගෙවනා මිනිසුන්
වස රස කෑම කා අපේක්ශා නිවසට වී
කොම්පැණි නොවැටි ආරක්ෂා කරගන්නේ
රුපියල බබළවා අප රට රැක ගන්නයි
සිරිලක හිසය වෙන නමකින් නැව් ගෙනෙන
කැපවී දෙරණ වෙත ඇන්ටිජනුත් බෙදන
හිරු දහසකින් මහ සෑ වත සරසවන
සැරදේ ජන මැදුන් ලක අභිමන් පුරණ
මට පෙර රට කියා හිමි හිම්න් විකුණමූ
ලෝකයම එපා කර චිං චෑං කියවමූ
වාසි නැත්නම් අපී වචනයක් නොකියමූ
උපන් මව් දේශයම දිවි පුදා රැක ගමූ.
දුරස් වී ළඟින්
අර ඈත තියන තරුගොන්නයි
නුඹට පේන්නේ
අත පාන දිලෙන තරුවක්මයි
ඇසේ දිලෙන්නේ
තව ඈත සඳක් පායපු බව
නුඹ නෑ දන්නේ
නුඹ නෑ දන්නේ …
වැට කඩොළු බැඳන්
නුඹ හිටියට
ඈත කොදෙව්වේ
නුඹ නෙළාගත්තු මලමයි
හිත් කොනේ පිපෙන්නේ
සඳ එළිය ඇවිත් හිස පිරිමැද
පිදූවත් සෙනේ
එහි සිහිලක් හෝ සුවයක්
නෑ නුඹට වැටහුණේ
නෑ නුඹට වැටහුණේ …
කවි සීපද ලියු පන්හිඳ අද
බොඳවෙලා ටිකක්
ඉන් ලියවුණු කවි රස නැති බව
දන්නවා මමත්
ආදරයක රස විඳින විදිය
දන්නෙ නැති නමුත්
පද අතර බැඳුණු තාල අතර
ඉන්නවා නුඹත්
ඉන්නවා නුඹත් …
නොකෙළෙමි වරදක්
ලොව නිදියද්දී
රහසින් පිපිලා
උදයේ පරවෙන
අරුමය දකිනට
කලුවර මහ රෑ
උනිමි නිදිවරා
ඒ කඩුපුල් මල
පිපෙන තුරා
පරවෙන්නට පෙර
නටුවෙන් ගලවා
පිදු වෙමි සමිඳුට
පහන් සිතින්
20/04/2021
බැසයාම….!!!!
කාටත් හොරෙන්
නොකියාම අදත් ඇවිදින්…….
අනුන්ගේ අහසේ පෙළහර පාන්න
තමුන්ගේ වගේ……
දවස පුරාම
දෙතිස් මහා දස වදයම දී…..
හැන්දෑ අහසේ බැස යන අපූරුව
කිසිත් නොවූ ගානට…..
මේ කොයි යන්නේ
බුදු පද ඇසුවත් කල්පයකුත් වැඩි
දන් දී පින්ගෙන රැක සිල්පද පස
මේ වන තුරු ඇසුවෙ ද දුටුවෙ ද යම්
කිසිවකු මඟපල සතරට වන් බව…
පෙරළෙන සක මෙන් ගොනු පසුපස යන
අම්බලමක අප ගෙවන දිරිය හැර
කල අත වනනා දින මරු ඇවිදින්
එක්කන් යන්නට තව ලොවකට යස…
කවුරුත් නොදන්න දිවි රස විඳිනට
අප යනවා-යනවා මේ සසරේ
තෙරක් නොපෙනෙනා මහ ගැඹරක් වන්
පිහිනා සැඩ රළ දිවි දඟ සයුරේ…
උස්- වත්-පොහොසත්-නිල-තල-බල-සැප
මිටි-දුක්ගැට-දුක්පත්-දිවි අසරණ
කඳු -වළ වාගෙයි ඈත පෙනෙන්නේ
නොදැන ද අප ඉන් පහළ වැටෙන්නේ…
ඉසි-කෝ-මන-රා තුන් සිත රඳවා
තුන් යම දිවි කල බරට ම ඇද-ඇද
සසර සිඟමනේ යාදින්නෙකි මා
ඉපැදී-මියැදී යනෙන තුරාවට…
මේ භවයත් මට-කල්පයකට වැඩි
බුදු පද ඇසුවා-දන් දී පින්ගෙන
හාමුදුරුවනේ මට ම නොතේරෙන
දිවිය කිමැයි කිව මැන පහදා සිත…!
සොබාව
උයනක ගහ වැල
උසවෙත මිටිවෙත
දිගවෙත කෙටිවෙත
එකට ඉපිද එකට හැදී එකට සිටී
පල වැල
රසවෙත
නො රසවෙත
එකට පල ගනී
එකට ඉදීලා
එක බිමක වැටී
බිම පොහොර කරයි
උයනක මල්පිපිලා
නොයෙක පැහැගනී
නොයෙක සුවඳ දේ
වෙනස නොමසිතා
අලුයම පිබිදේ
සවස මිලින වේ
කුරුලුරෑනවිත්
සුවඳ උරා බී
ගගන සරයි එක පියාපතක් සේ
සුවඳ හමාඑන
සෙවණ ලබා දෙන
රසය තෙමා යන
ගහ වැල මල් පල
ඔබට නුවණ දෙන
ඔබට දැනුම දෙන
මහා සිප් හලයි
තේරෙනව ද
මිණිසුනේ
නිනව්වක් නැති ඉලව්වක්
මළගමට වැඩලා නමක්
බැලූ බැල්මට රන් කඳක්
වාහනෙත් හරි ඉස්තරම්
සසර බැඳි කණුවක් තරම්
කවුද මේ මළගිය කෙනා
මුවාකර මුව
නමාගෙන හිස
බලන් සකිසඳ
කැරකෙනා ඇස
සැනින් වැඩියා මහ පතක්
ඒක කීමට යයි දිනක්
උඩින් පල්ලෙන් බලනවා මිස
කොයින්දෝ ඕවට ඉඩක්
තවත් මේ වගෙ කී පොලක්
නම් වැලක්, නම් වැලක්
නම් වැල,
අනත් නා රජ සේ දිගක්
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලාගේ අහවලා
අහවලා, අහවලා ගැන මිස
දෑත් බැඳගත්, ඇස් පියාගත්
උපාසක ගැන නෑ වගක්
අඩුම ගානේ කොම්බුවක්
වෙනින් කාගෙද
මළ ගෙයක්
වැරැදිලා වැඩියාද මන්දා
උන්දැගේ හිතටත් බරක්
නමට කිව්වෙත් වෙන එකක්
හත්තිලව්වේ මේ ඉලව් ගේ
මගේ නොව, කාගෙද එකක්
අනේ මොකටද මේ ඇබිත්තට
ඔන්න ඔහෙ ඉන්නවා මිසක්
අරින්නේ නෑ මම කටක්…
සරා සඳ පායලා අහසේ
සරා සඳ පායලා අහසේ වෙසක් සිරියයි සමිඳුනේ
ඉද්ද වතු සුදු ඇහැරිලා දැන් හරිම සුවඳයි ගෙමිදුලේ
සාදු නාදය පැතිරිලා යයි ගම වටේටම පන්සලේ
බුදුන් වැඩියා වගේ පේනව අපෙ ගමේ බුදු මන්දිරේ
බෝ මලුව හරි සිසිලසයි අද බෝ පතින් එන මඳ නලේ
වැලි මලුවේ මල් පිපී වාගෙයි පහන් සිලු දිලෙනා රඟේ
ගතින් තැන්පත් පිරිස් එකතුව කරයි පින්කම් පන්සලේ
ඇසෙනවා බන මඩුවේ බන පද රෑ පුරාවම පෝ දිනේ
සැදැහැවතුනුත් වඳින පුදනා නැතේ අඩුවක් පන්සලේ
සැවොම පතනා එකම පැතුමක් දුරලු කාටත් මේ බවේ
වැරදිලා කොතැනදෝ ඇත්තේ දෙසනවද අප සමිඳුනේ
සිතේ පැවතුම හඳුන ගන්නට බැරුවදෝ මේ ගනඳුරේ
අවුරුදු විරිදු
කොහා ගයයි බක්මස, අවුරුදු ආසිරිය
ගේ දොර හුණු ගා, පිළිගමු අවුරුදු එලිය
සුභ නැකතින් ලක්මව නව වසරක් අරබයි
ලක් දරුවන් ලෝ අවටත් ඒ බව අගයයි
අවුරුදු උදා වුන දින, එක්වෙමු සොයුරු සැමදෙන //
කෝවිල් සහ පන්සල් වෙත යමු නමදින්න
ගෞරවයෙන් බුලත් දෙමින් වැඩිහිටියන්ට
තෑගි බෝග ගණුදෙනු හොද හුවමාරුවට
අළුත් අළුත් වත් පලදා සැරසී ජයට
අවුරුදු උදා වුන දින, සතුටින් ගයමු අපි සැම //
කඹ ඇදිල්ල, ගුඩු, එල්ලේ තරග කරන්න
රබන් නාදෙ දෝංකාරේ ඇසෙයි සවනට
වෙඩි පුපුරයි සැන කෙලියකි ලක් බිම අද
අවුරුදු කුමරිය පලදියි රුවන් ඔටුන්න
අවුරුදු උදා වුන දින, කෙලියෙන් පිනවෙමු අද දින //
කැවුන්, කොකිස්, මුන් අතිරස, කිරිබත්, අලුවා
නෑදෑයින්, අසල්වැසියෝ බෙදමු හමු වෙලා
සිහල , දෙමළ අපි සැමෝම එක ලක් මවගේ
සාමෙ නමින් කිරි උතුරමු අපෙ ලංකාවේ
අවුරුදු උදා වුන දින, බැබලෙයි අපේ ලක් බිම //
උතුර, දකුණ ලෙස නොබෙදා මුළු රට තකලා
ජයහඩ නංවමු දිවයින එක්සත් කරලා
මගේ දැයයි, ඔබේ දැයයි ලෙස නොසිතන්න
අපේ දැයට නවෝදයක් උදා කරන්න
අවුරුදු උදා වුන දින , සාමය පතමු ඔබ හට//
13 අප්‍රේල් 2021
තරු දෙකක් මියෙන තුරු
වසර දාහක් නිදාගෙන උන්
බෙහෙත් සුවඳක් නාස් කුහරෙන්
ක්ලෝමයක තත්සරය බිඳගෙන
මධ්‍ය මස්තිෂ්කයට ඇතුළුව
ශිරා,ධමනි ද ඉරා ගෙන ගොස්
හෘදයේ අඩසඳ කපාටය
අසල නැවතී අඳෝනා දෙයි
අපිරිසිදු හා පිරිසිදු ද වූ
රුධිර තරලය දැන් ගලා යයි…..
කිංස්ලි මාවත… මහා රෝහල
සුදු කබාය ද වෙද නලාව ද
නිහඬ කල්පෙට තිතක් තබලා
ඉතින් දැන්නම් කතා කළ යුතුමැයි…
ඇඳුම් අතරට සිර ව හිඳිනා
රිදී පැහැ නුඹෙ වෙද නලාවෙන්
මගේ හෘදය ගැහෙන හැටි අද
ළැම පසාරුව ළය ට තබමින්
විඳිය ගත යුතුමැයි…
ඉකිබිඳුම් හඬ නුඹ ඇසිය යුතුමැයි…
බෙහෙත් සුවඳට අදත් බියවී
අත්හැරිය මහරෝහලට මම
අපේ මරණයෙ සහතිකය දැන්
ගන්න යා යුතුමැයි..
අකල් මරණෙට වැසුණු නහයෙන්
අනේ මා අද හුස්ම ගත යුතුමැයි……
ටෙලිපතිය මහ රාත්‍රිය බිඳලයි….
හෘදයේ මැද රිදෙන පරිපථ
රුධිර මිශ්‍රව මිය ඇදෙන තුරු
ගලා යා යුතුමැයි..
ඉතින් අඩසඳ කපාටය නම්
වැසිය යුතු නෑ මැයි….
වෙසඟ සිතුම්
වෙසක් මහේ පුරා හඳක්
බුදු තෙමඟුල සිහි කරවයි
වෙසක් තොරණ පහන් නැතත්
සිත් පැහැදුම නොවෙනස්මයි
පන්සල් බිම හරි සන්සුන්
නැහැ දන්සැල් කෑ කොස්සන්
සන්සුන් ගමනින් වඩින්නේ
බවුන් වඩන බුද්ධ පුතුන්
රෝ බිය අප ගිල ගත්දා
දිවියේ අනියත ඇසුවා
බුදු සමිදුන් දෙසු දහමේ
අරුත කුමක්දැයි දුටුවා
ගත සිත සන්සුන් කරගෙන
බුදු ගුණ අපි මෙනෙහෙ කරමු
උතුම් වෙසක් පොහොය දිනේ
සැමට සතුට එක්ව පතමු
සරුංගල්
පොඩි එකා
දුවයි මිදුලේ
ඒ මේ අත
දිවෙයි ඔහු පස්සෙන්
පුංචිම පුංචි සරුංගලයක්
සීයා බලා සිටී
පුංචි මුණුබුරා දෙස
කියයි අතීත කතාවක්
“අපි ඒ කාලේ
සරුංගල් ඇරියේ
ගමේ වෙල්යායේ
අපි හැදුවේ අපට වඩා උස සරුංගල්
ඒවා උඩ ගියා වලාකුළු ගාවට”
වගක් නැත පොඩි එකාට
දුවයි ඔහු ඒ මේ අත
මහත් සතුටින්
දිවෙයි ඔහු පස්සෙන්
පුංචිම පුංචි සරුංගලයක්
වලාකුළු දකින්නට
අහස බලන සීයා
දකී බැස යන හිර
දිවි පියසටහන්
වනබිම මැද,
මග අසල,
සුදුවැලි මත,
දිටිමි දිවියෙකුගේ පියසටහන්
එතැන් සිට,
අදුරු වනගැබ ද,
හුදෙකලා වැව්තෙර ද
දිවියා ය……..
ගිරිකුළු මත ද,
තුරුමුදුන්හි ද,
දිවියා ය……..
නුදුටුවද දිවියා,
රැදුණි පියසටහන් සිතෙහි.
මැකෙනා තුරු ඒ සටහන් ,
නගරයෙහි ද,
වැඩබිමෙහි ද,
නිවසෙහි ද,
දිටිමි වන දිවියා…
The Footprints of a LEOPARD
In the middle of the Woodlands ,
On the white sandy gametrack
I beheld the sight of a LEOPARD’S footprints…..
From that moment onwards,
In the semi darkened Forest,
And on the lonely shore of the Lake,
THE LEOPARD …………
On the rocky cliffs,
And on the treetops,
THE LEOPARD ………
Though the sight of THE LEOPARD
was not beheld ,
Its footprints were etched in my mind,
Till those Footprints got erased in the course of time,
In the City,
In my Workplace ,
At my Home,
Everywhere ,
I saw that WILD LOEPARD………
Translation: Sunethra Aluthdunne
තුන්වන යාමයෙ,න්
මතක ඇති ඉසව්වේ
කාල දිවි නිම්නයේ
පෙර’ඹරේ
දිසෙයි ඔබ යෝධ රුව
සමන් ගිරි පව්ව සේ
මැවෙයි දසුනෙන් දසුන
අගින් මුල සොයා යන
සිතුවම් පෙළක් සේ
ජීවිතය එක පැහැර
සවිය දහදිය පුදා
කෙතට දී මුළු දවස
අඳුරු ගුලියක් ලෙසින්
ගොම්මනේ පැලට වන්
හිරු රැසින් පදම් වූ
මහ පුරිස්කය කෙරෙන්
පුසුඹ දුන් මඩ සුවඳ
මසිත කය පුබුදුවයි
පුවක් මල් වැටක් සේ
පොරෝ-කැති-වප් පිහිය
දැති කියත්-යකුළු මිටි
උදලු සෙන් පිරිවරා
ලෙලවමින්-තෙල්රැසින්
පිපුණු මස් ගොබ යවට
කෙතේ-යායේ හේනෙ
ගල්වලේ-මහ වනේ
විකුම් පෑ-යෝධ අවයව
රෝහලේ යහන මත
වැතිර ඇත
පරඬලා පත් ලෙසට
සූ අසූවිය පුරා
නුහුරු වූ
සේලයින් බට අතර
පවුල් බර උර දැරූ
වැර රැගත් හුස්ම පොද
ගුණ දමින් දිළිඳු වූ
විසෙන් නැගි ලෝකයක
කිළුට අදිනුව රිසින්
එමෙන් තනිපංගල ව
කය තුලට ගනු විලස
දරන තැත – පියාණෙනි
බලා හිඳිනෙම් කෙලෙස !
2021.04.17
පන්හිඳ සිඳුනේ
පන්හිඳ සිඳුනේ
යළිනම් කවිමල් නොපිපේ
ඇය බලාසිටිවී………
මගේ කවිය ලියවී….. ඉවරයි …. මගේ කවිය ලියවී ඉවරයි…
අසරු සැනින් අසනියසේ
ඇස් රිදවා ඈ …….
අර්චනිය මල් නෙලමින්
නඳුන් උයනේ ඈ …
අස් රිදවා ගී ගායනා
මගේ කවිය ඈ …
ස්වාමයේ විමන් ගිමන්
පුරාසැරු ඈ ……
දිගන්තයේ හුදකලාව
ඇයම සොයන ඈ…..
කවි ඉල්ලන
මා රිදවා
මගේ කවිය ඈ
මගේ කවිය ලියවී……. ඉවරයි ….
දුටුවාද, ඇසුණාද ,දැනුණා ද පවසන්න
දුටුවාද පවසන්න,
සෙමෙන් උස පහත් වන
සමුදුරේ හිස හොවා
සැතපෙනා සුපුන් සද?
හොවා හිස, සැලෙන මා ළය මඩල මත
ඔබ සිටියෙත් එලෙස.
දුටුවාද පවසන්න
පොකුණුතෙරටම අවුත් මොහොතකට නැවතෙනා දියරැල්ල?
මා ලවන් සොයා විත් ඒ මතම ඔබ ලවන් මොහොතකට
නැවතුණෙත් එලෙස.
ඇසුණාද පවසන්න
මකරන්ද රස පිරුණු කුමුදු මලකට ළංව
ගුම්නාද නින්නාද, මත් බිගුන් සරා සර?
මා සවන් මත දෙතොල් තදකරන්
මිහිරි ලෙස,
මිමිණූ ඔබේ සරය ද එයය.
දැනුණාද පවසන්න තරුවකින්
බිම වැටුණු ,තුෂර බිදුවක සීත?
සමුගන්න යන මොහොතෙ
ඒ හිමිදිරි යාමේ
මගේ කොපුළෙත් රැදුණේ ඒ සීත.
රිදියාගම සේවයට සුදුස්සෙක්………!!
අනේ නෝනාවරුනි! මහත්වරුනි! මේ බලන්න
ටිකක් මට කන් දෙන්න
රුපියල් පනහෙ පඩියට වැඩ කරපු
කොම්පැණි කාලෙ බස් ඩ්‍රයිවර් කෙනෙක් මම.
මේ තියෙන්නෙ මගෙ ලයිසන් එක
පෙර කර්ම දෝසෙකින්
අනේ නැති උනා ඒ රස්සාව මට.
නෝනාවරුනි! මහත්වරුනි!
රුපියල් දෙසීයක් මාසෙකට
ආණඩුවෙ පිං පඩි ලබනවා දැන් මම.
මේ තියෙන්නෙ මගෙ පිං පඩි කාඩ් එක.
මහ යුද්ද වකවානුවෙ
සිංගප්පූරුවෙ-බුරුමයෙ-මලයාවෙ
යුද හමුදාවෙත් සේවය කළා මම
සොල්දාදුවෙක් හැටියට.
මේ තියෙන්නෙ ජොහොරේ නගරෙදි
යුනිෆෝම් ඇඳලා ගත්ත
මගෙ ලස්සන ෆොටෝ එක.
ඒ කාලෙ අවුරුදු විසි හතරක ලස්සන ඉලංදාරියෙක් මම.
අද අඬු කැඩුණු මැස්සෙක්
කුණු ගොඩවල් ඇහිඳ කකා
මහ පාරේ ගාටනවා.
අවලංගු කාසියක් වගේ මම – වලංගු කාසි හිඟාගෙන
ටිං කබලක් පිටිපස්සෙ – දුක් අඳෝනා කියාගෙන
මහ පාරේ ගාටනවා අද.
ඔන්න ඔහොමයි මහතුනේ – මිනිහෙකුගෙ ජීවිතේ
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න
මීටත් වැඩිය එපා මිනිහෙක් ජරා ජීර්ණ වෙන්න ඉඩ දෙන්න
එපා මාව නිකරුනේ වළලන්න ඉඩ දෙන්න.
ඉඳා මෙන්න රුපියලක් !
ඉඳා මෙන්න රුපියල් දෙකක් !
ඉඳා මෙන්න ගනිං – අරගෙන කාපන් පාන් කෑල්ලක් !!
කියා දෙන්න හිතලා බලලා
ඔබේ හිතට එකඟ නම්
මෙන්න මගෙ ටිං කබල.
ගමන යන ගමන්
හිරු රැස් එක ලෙස විහිදන
රාත්‍රිය බලා ගමනේ යන
වෙලාවට යන්න දී බලා හිදින
දිවියකි හුස්මකි මනුසත්බවයකි
දිවට කා බී හිත පුරවා
සුවඳයි සුවඳයි හිත පුරවා
දැකලා අහලා හිත පුරවා
ස්පර්ශ කර බැලුවා හිත පුරවා
ආවොත් යා යුතුමය
එහෙනම් එන්නැතිව සිටිය යුතුය
නොයනෙමි මා කිසිදාවත්
සිතමින් සිටිති ගමන යන ගමන්
නොයනු මැන හැරදමා විගසේ!
සියුමැලිය,කඩිසරය, නොපෙනීම එන්නේ,
තාලයට එන්නේ, ම දිවි රැකදෙන්නේ
අල්ලන්න හැදු විගස, ලිස්සමින් යන්නේ,
සයුරෙ රැලි බිඳි නැගී එන විලස එන්නේ ,
බිලිඳු නිදි දුව වෙතට යවන සේ නලවන්නේ,
එවිට සුලු මොහොතකට ඇවිත් යලි යන්නේ,
සැම දේම අනිති බව නොවෙද පවසන්නේ?
ඔබම නොව එන්නේ, සොයුරුපෙල එන්නේ ,
සිසිලකින් එන්නේ, උණුසුම්ද දෙන්නේ!
සීරුවෙන් එන්නේ, කඩිනමින් එන්නේ,
තෙතමනය දෙන්නේ, වියලිවද එන්නේ,
ඔය ගමනෙ කෙලවරෙදි සියුර අවසන් බවද දන්නේ,
එහෙත් එය සිතෙන සඳ දැවි දැවී යන්නේ,
අනිත්‍ය ය, විරාගය නිරෝධය වටහන්ට ඔබ දරන වෙර, අගය මින්නේ,
සුසුම මා හැරදමා යනු නොයනු අද හෙටම,
නැණ පහන පුබුදන්න,
මඳ කලක් ඉවසන්න ,
සගය, සුරතින් රැගෙන ගෙනියන්න ඉන්පසුව,
නැවත දුක ගොනු පිරුණු ගමනේ,
සසර සිළු නිවී ගිය, නිති සුවය ගෙනෙන ඒ නිවනේ!
නිති සුවය ගෙනෙන ඒ නිවනේ!!!!