ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිපිරි ගෙය අබියස මවකගෙ හැඟුම්….!!!

සිපිරි ගෙය අබියස මවකගෙ හැඟුම්….!!!

බුද්ධදාස විතානාරච්චි
2021-March

පුතුනි නුඹ උපන් දින
මහද හටගත් සොම්නස
පැවසිය නොහැක වදනින්
දුටිමි මම නිසැකව
නුඹ ලොකු මහත් වුන කල
පෙරළි කරනා බව
ලබා ගැනුමට අපේ උරැමය..

තොටිලි වැට පනිමින්
පෑ ඒ බොළඳ දස්කම්
මට පෙර නිමිති විය
නුඹේ මතු දින දිවිය පිළිබඳ
සිපිරි ගෙය අබියස
සිටින විට මම නුඹව දැකුමට
දෑත දෙපය විළංඟු ලා
සිර කුටියෙ බිම වැතිර
නොසැලී අදීනව
ඉන්ද්‍රඛීලයක් සේ
ඉන්න නුඹ ගැන
මම ආඩම්බර වෙමි
මගෙන් බිව් කිරිවල
ණය ගෙවයි සිපිරි ගෙයි හිඳ
පතා ජනතා අයිතිය
දිනූ බිම නිදහස…
නොහඬමි මා ඉකි බිඳිමින්
තුටු කඳුළු වගුරමි
නුඹට අම්මා වීමෙ සතුටින්…..

1988 සැප්තැම්බර් 25 වෙනි දින
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී…