2021 දෙසැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2021 දෙසැම්බර් කලාපය

තිලෝ නා හිමි නිවන සොයනට සෙවන දුන් බෝ රුකට කළගුණ සකල සිරිලක දනන් වෙත පුද දෙනු පිණිස එම ගුණය දහමෙන රහත් සඟමිත් තෙරණි ලද ඒ වරය මහ බෝ සමිඳු වඩමින බලනු මැන අබිමනය ඇය ගේ හදෙහි දිදුලන මුවෙහි බැබළෙන

අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

බෙල්ලන්විල රජමහා විහාරයේ සිතුවම සෝමබන්දු විද්‍යාපති ශූරීන්ගේ ය. ඡායරූපය ලාල් හෑගොඩ ගේ ය. (මෙය ඡායරූප 1000කට වැඩි එකතුවකි)

ලන්ඩන් කවි සරණියට වසරක් පිරි තිබේ. landonkavi.com  වෙබ් නාමය අතහැර දැමීමට සුදානමින් සිටිය දී එය එසේ නොකරන ලෙස පැවසූයේ බිරිඳ මේනු ය. එහෙත් වසර 2003 දිට 2011 දක්වා මුද්‍රිත ලන්ඩන් කවි සඟරාව පළ කිරීමෙහිලා විඳි කරදර මට අමතකව ගොස් නොතිබූ හෙයින් ඔන්ලයින් කවි සඟරාවකට කවි සොයා ගන්නේ කෙසේදැයි ඇගෙන් විමසීමි. ඇයගේ තල්ලුව  මතම අප පවුලේ හිතවතෙකු වන වෙබ් අඩවි  නිපැයුම් ශුරී තරිඳු රාජකරුණා සමග ලන්ඩන් කවි සරණිය පිළිබඳව සාකච්චා කලෙමි. දෙවරක් නොසිතාම ඔහු වෙබ් අඩවි නිර්මාණය භාර ගත්තේය. ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවින්ද්‍රයානන් අතින්,පෙර  ”ලන්ඩන්  කවි සඟරාව”  ලන්ඩන් කවි සරණිය යනුවෙන් නම් වූයේය.  ඊළඟ ප්‍රශ්නය වූයේ කවි ය. මා හිතවත් මෙන්ම දන්නා හඳුනන ශ්‍රේෂ්ට ජ්‍යෙෂ්ට මෙන්ම නව කවියනට ද ලන්ඩන් කවි සරණියට ලියන්නැයි ආරාධනා කලෙමි. ජනවාරි කලාපයේ සිරියාව වූයේ එයයි. එයින් සමහර කවි කිවිඳියන් නොකඩවා කවි ලිවූහ . ඒ සැමටම මෙන්ම මෙයට කවි ලියූ සියල්ලන්ට ම මාගේ හදපිරි ප්‍රණාමය පුදමි.

මුල සිටම අපට ගුරුහරුකම් ලබා දුන් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ කවින්ද්‍රයානන්  ද, කිවූ සැණින් සිතුවම් ඇඳ එවා කවි සරණිය විසිතුරු කරණ  එස්.එල්. සෙනෙහෙධීර විශිෂ්ට කලාකරුවාණන් ද , ලන්ඩන් කවි, තම ලංකානිව්ස් වෙබ් අඩවිය වෙත මුදාහරින එහි අදියුරු නීතිඥ චන්දිම විතානආරච්චි ශුරීන් ද, එහි ඩිජිටල් සංස්කාරක චවිනි අබේසිංහ මෙනෙවිය ද, මසකට වරක් අඩ හෝරාවක් ලන්ඩන් කවි වෙනුවෙන් ගුවන් කාලය ලබාදෙන  එංගලන්තයේ ලින්ක් එෆ් එම් හී නිෂ්පාදක කල්ප පල්ලියගුරුගේ ශුරීන් ද , නිබඳවම අප හා අදහස් බෙදා හදා ගන්නා ආසිරි කවි රෑනේ ආසිරි විජේසේකර කිවිඳුන් ද, ලන්ඩන්කවි ෆේස් බුක් පිටුව මෙහෙයවන ප්‍රීති නිශාන්ත සෙනරත් කිවිඳුන් ද ,  මා සොයුරු ලාල් ද අප හදවත් හී  නිබඳවම ජිවත් වෙති.

රටවල් කීපයක වෙබ් අඩවි මෙහෙයවමින්  කොතරම් කාර්ය බහුල ජිවිතයක් ගත කළත් දිනක් වත් පමා නොවී ලන්ඩන් කවි සරණිය නිමැයූ තරිඳු රාජකරුණා වෙබ් විශිෂ්ටයා ද, මෙයට කරගසා පණ පොවන මා බිරිඳ මේනු ද මෙහි දායකයෝ වෙති.

ලබන ජනවාරියේ දී zoom තාක්ෂනය මගින් ඔබ අප හමුවීමකට අදහසක් තිබේ. එසේ වුවහොත් එතැන්හි දී හමුවෙමු.

ගෑනුන්ගෙ මුවහත

ගෑනුන්ගෙ මුවහත

උදයංග අමරසේකර ප්‍රංශය

පුම්බපු බැලුමක් මෙන්
අයාලේ පාව ගිය මසිත
පතිත වුණි ය හෙමිහිට
ඔබේ රෝස අත්ල මත

ඇටි කෙහෙල් කෑ
රිලවාත් මේ මම් මැ වෙම්
කෙහෙල් ගහේ පැටළුණු
හොටත් මේ මගෙමැ යි
මගෙ කඩුවෙන් මම්
කොස් කොටමින් සිටිම්
අර ගඟේ පාවෙන්නෙ
මේ මම් මැ කැපූ ඉණි

ඔබ නිතඹ ගැස්සූ සැණින්
පිරිමි වැටෙති පොකුරු පිටින්
කරන්ට් වැදුණු වවුලන් මෙන්

ෂේක්ස්පියර්ගේ සියලු කවි
ඔබේ එක් තොඳොල් බහක් ලඟ
බලු මවිලක් තරම්වත් නොවටී

ඔබේ කමණීය දණහිස් අභියස
රාජසිංහගේ මිණි ඔටුන්න
මඩෙන් ගොඩලෑ පොල් ලෙල්ලකි

මුරලිදරන්ටත් නිඟා දෙමින්
ඔබ මිනිහෙක් අල්ලා
සියක්වර එකතැන දඟ කවයි
බඹරයක් සේ !

කවිය බලන්න
මාතුළ සුරලොව

මාතුළ සුරලොව

මහාචාර්ය ටී .එස්. අබේවික්‍රම ලන්ඩනය

සඳ දිය සුදු මුදු පුලින තළාවේ
සිඳු රළ දියරේ තුරුල් වෙලා
නිහඬව නිසලව නිදන වෙලාවේ
සිහින ලොවක නිදි රැජිණ වෙලා
නිදිමත නැතිවී සොම්නස ඉතිරී
සුරලොව මාතුළ ජනිත වෙලා
මුලු ලෝතළයේ දසත ගලයි

කවිය බලන්න
නත්තල් යාඥාව

නත්තල් යාඥාව

ගේ ළඟ විරුදුකරුවා ගයයි,
‘හිඟන්නන්ට කොයින් ද උණු බත්’
අතට ගත් බත් පත බුදින්නට හිත නො දෙයි
කුඩා කල කියැවූ චාල්ස් ඩිකන්ස්ගේ
නත්තල් ගීතය පොත...
‘සයිලන්ට් නයිට්’, හෝලි නයිට්’ ගීතිකා ඇසෙයි
බොදුනු අපට කිතුණු මිතුරන්ගෙන්
නත්තල් බත්, බ්රූදර්, යූල්ලොග්
රසකැවිලි ලැබෙයි
නත්තල් සීයා හරිත වර්ණ ලෝගුව හැර
ලේ පාට පොරව ගත්තේ ඇයි?
තෑගි බෝග දයාවේ ප්‍රීතිය යි
සීනු හඬ පල්ලියේ භක්තිය පතුරයි
දිළිඳුකම ලොව පෙළන,
සාමය සහජීවනය වනසන, හිංසා පීඩා රජයන
කෝටි ගණන් එළු බැටලු ගව කුකුලු ඌරන්
ලිප මතට එන, කම්සුවෙන් මත් ව කා බී නටන
දහමක් නො වේ, දෙසුවේ ජේසුන්
දෙවිඳු ප්‍රේමය හලාහල විෂෙන් අනා
යක්ෂයාගේ යාගය සාදයක් විණ
පාපයේ සාපය රාගයේ පාශය මඬින
විකසිත වේ ද කවදා හදපියුම
පබසර ආලෝකයෙනා
නව ලොවක නව හිරු රැස් පතිත වෙයි එදින.

කවිය බලන්න
රති  රස - 2

රති රස - 2

නිමල් අබේසිංහ කඳාන

අපසර විලැසි කණදෝ
තිදැස සේ දිදුලේය නුඹ හී
දිව සමුව සේ සැහැන් වද
බඹ කත් නුඹයැ ලන්දූ

රුසිනිදු අතැර මීනය
බැම සිඳුම් කැඳුම්
අනුනුය මහද නිබඳේ
ගිනි මල් මුරුත මන කල
මුහුකුළු සිපිනු රුචියේ

කෙසරිඳු මිහිරැ මුසපත්
සිපියි බමා වුවනත් සියපත්
සියොලඟ පුරා මන්මත්
බමයි බඹරිඳු වූ මත්

කුස නුදුරු ඇතිනා
අක්සුණු බිඳැර දමනා
මුව නැඹ සුවඳිනා
බමර ඇතිසේ විඳිනා

රුවන් විලාසිනියක දිස්වෙන මහත
වුවන් කලඹවයි ලවනින් කර බීත
තුවන් මදසනෙහි මමරව රස විඳිත
බැජන් නොමැතිවම අඹ ගලතේ රජත

කවිය බලන්න
තාත්තාගේ කුටුම්බිය

තාත්තාගේ කුටුම්බිය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දිවියේ මල් රටා පිපුණැයි හද අරණේ
ඒ මල් රටා මව් ඔප කෙරුවයි පෙමිනේ
සිහිනේ මගේ ලෙයටයි පෙර`ඵනෙ පුතුනේ
ඒ ලෙය කිරට හැර වූ මව් නුඹ දුන්නේ

කරකස පොළොවෙ හැපි-හැපි ඔට්ටුවට ගිහින්
කරගැට පීදුණා අතැ’ඟිලි අතර මැදින්
සරතැස නිවන පහසට අම බිඳක් ලෙසින්
ලොකුපුත නුඹයි දුටුවේ මගෙ හිසට උඩින්

කැලේ-කොළේ වළ යන මංපෙත් වැසුවා
ගලේ-මුලේ පා පිස්නෙට මල් දැමුවා
ඇලේ-දොළේ විසිතුර ළඟ නෙත් නැතුවා
නිලේ-බලේ රස මගෙ තොල'ඟින් තැබුවා

පුත දුරු කතර ගොස් නෙත් මානයෙන් මිදී
නෙත ඉකි ගසයි නිරතුරු සොව හදේ රැඳී
හදවත ගැහෙන නුඹෙ හඬ මව් මුවේ බැඳී
පාලුව මකයි ඒ නද මගෙ සවනෙ වැදී

පුතු පමණ ද ගියේ තනි ව ම දුරක එහා
නැති ව ද අපේකම මිනිසත්කම ද මහා
එතරක ගිහින් එන විට නුඹෙ හදට බහා
ගෙන ආවේ කිම ද පුතු මගෙ ගමට රහා

මගෙ නෙත සොයයි දඟ කළ පුතු ගෙදර සිටී
හදවත කොණක නිදි ගෙන ඔහු රුව ද වටී
අත්පොඩි දිගු කරන් මවෙතට දුවන හැටී
තවමත් පෙනෙයි නිදි ගත් මගෙ නෙතට වැටී

ලොකුපුත වුණැයි මා මගෙ පියතුමන් හට
නැත ඒ පියතුමා අසලක දකිනු මට
ගෙවුණත් කලක් ගියෙ දත් අටලෝ- දමට
ඇත අද මගෙ කුටුම්බය ඔහුගේ නමට

සත සිත ඇදෙන පත-පොත පෙරමුණට තියා
වත රත නොදෙන බස රස සිසු රැසට කියා
ගත යුත රට-දැයට අවැසි ව රසට උයා
පත-පොත වන තබන සුරගුරුකමට ගියා

දෙ-විසි වසක් තුළ කළ පොත් කල-එළි ය
පි - විසි වගක් ගෙන ඉහළ ම තල-පිටි ය
හෙ-විසි හඬක් මැද කළ වන පොත්-කැටි ය
දෙ-නිසි රසක් කැටි කර දැය කිරි-පැටි ය

හෙළ සුරුගුරුන් දෙස-බස රැක තුළ ම දැයේ
නළ ගැහෙමින් කලක් රැඳි තැන් එමට තියේ
වළ දා මෙගුරු නාමෙ ද නෙතු වැසුණු රැයේ
කල තවමත් දුවයි නොනැවති පැයෙන්- පැයේ

හෙළ මිණි වණන්නට අපමණ දුන් සුවඳ
ගැළපුම කවි බසෙන් කීවත් ළද- බොළඳ
පෙළ පිල නොගැසුණත් සුරගුරු පා නැමැඳ
දලකිඳු පහණ දල්වමි එනමින් නිබඳ

ග්‍රන්ථකරණයේ ප්‍රතිභාව උදෙසා ම වෙහෙස ගත් මාගේ පියාණන් වූ
දිවංගත හේම අමරසිංහ ශූරීන්ට මෙකව් මල්මිට පූජෝපහාරයක් මැ වේවා!
-ලොකුපුතා-

කවිය බලන්න
Tech වහල්ලු...

Tech වහල්ලු...

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

‘ටෙක්’ වහලුන් වී

කතාව හිර වී

මනු ගති යට වී

මග යන එනවා

මමත්වෙ ඇතුලේ

පපු පිරි ඉසි ලේ

කැකෑරි රිසි සේ

සිත් වනසනවා

මිතු දම් අයාලේ

යහ ගුණ වියෝලේ

මිතු මියෙන ඇසිල්ලේ

හිත් අමතනවා

මතකය පරවී

හීනෙක ගුලිවී

කාලය වියැකී

අපි මිය යනවා

කවිය බලන්න
උඳුවප් පෝයදා

උඳුවප් පෝයදා

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

අවසානයක් නොමැතිව මහවැසි වැස්ස
ඉල්මහ ගෙවී ඇරඹුණි චිරි චිරි වැස්ස
එළඹෙන පොහෝදින වසරේ අග්ගිස්ස
උඳුවප් සඳරැසින් වඩවයි සිත තොස්ස

අරිඅට ඇමති ගොස් මහ භාරතය වෙත
රජුහට සැලකලා මෙහි තතු සසුන් ගත
හරියට පහදවා දඹදිව රජුගෙ සිත
සසුනට අරුණ වැටුණා මෙලක වෙත

දම්සෝ නිරිඳු සඟමිත් කැඳවා ළඟට
ඔවදන් දෙවා මේ හෙලදිව වඩින්නට
සිරිමා බෝධි අංකුරයත් තිළිණ කොට
උඳුවප් පොහෝදින එව්වා ලක් දිවට

සම්බුදු සමිඳුන්ගෙ උත්තම සිරිපතුල
පහසින් උතුම් වූ සමනොල එ ගිරිකුල
තරණය කරන ගමනේ පිරුමටම මුල
සිහිපත් කරන්නේ උඳුවප් සඳ දිදුල

කවිය බලන්න
අහසෙ තරුයි මුහුදෙ වැලියි

අහසෙ තරුයි මුහුදෙ වැලියි

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

කෑවොතින් අතවත් ඔන්න
හොඳකරනවා බොරු
අල්ලන්නෙපා උන්
කොහොම හොයාගන්න ද
අහසෙ තරු?
මුහුදෙ වැලි නම් හැබැයි
කොළඹ මාමල ගෙදර
කෝච්චියෙන් හරි ගිහින්
අප්පච්චි කොහොම හරි අරන් එයි

කණාමැදිරි එළි දිහා
මං බලන් ඉන්නකොට
අයියා කියනවා ඔහොම
තාම මතකයි අද ද

දවසෙ වැඩ නිමාකොට
නිදාගන්නට පෙර
ඇඳේ ඇලවී හිඳ
තුස් සුන්ව ගිය හදින්
හෙට දවස ගැන
ඇස් ඇරන් හිතනකොට
කෑලි කපන කළු අඳුරේ
කොහේ සිට දෝ ඇවිත්
පියාඹයි ඒ කුඩා එළි තිත
කැරකී මා කුටියේ වටක් ,දෙවටක්
කැඳවාගෙන යයි මා
මට දැන් බොහෝ දුර
ඒ රෝස පැහැ අතීතෙට.....

කවිය බලන්න
උතුමැති දේ ලොවට

උතුමැති දේ ලොවට

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

තථාගත රන් තඹර ලෝචනය පහස විඳ
අභිවන්දනීය වූ සිරි මහා බෝ සමිඳ
නැගී එන විට එදා රුසිරු උදුවප් සඳ
හෙළයටම අසිරි දී වැඩියෙ හරසර විඳ

උදුවපින් ලොවට පෑයූ පිනැති තරුවකී
සමයේ දෙව් සමිඳ ජේසු රන් කුමරෙකී
සිව් දිගට ආදරය දල්වාපු පහනකී
ඒ රම්‍ය උපත ලෝ සාමයේ ලකුණකී

හෙළ දෙරණ , මිහි තලය ලකළු වේ මේ සිරින්
උතුම් උදුවප් මහේ අසිරි සැමටයි නිතින්
වසර අග ගිමන් ලන කුහුඹු මිනිසුනි ඉතින්
උදුවපින් ගෙන යමුද සාමයේ ඉටි පහන්

කවිය බලන්න
හඳ මූණ වසා ගත්තා

හඳ මූණ වසා ගත්තා

ලූෂන් බුලත්සිංහල

ඔන්න අහන් ඉන්න පුතුණේ - පුංචිම පුංචි කතාවක් කියන්නේ
හොඳට හිතට ගන්න

බස් රිය නැවතුම් පොළක තනිවෙලා මහ රෑ
දුබල වයසක අම්මා කෙනෙක් - දූ දරුවන් හදා වඩා අසරණ වී
කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා
ඒ දැක එහි නිදනා යාචකයා
යටහත් කරුණා වදනින් මෙසේ ඇසුවා

ගෙදර බුදුන් කියනා අම්මේ - ඇයි මේ මහ රෑ තනියෙන්
කියන්න කියන්න කැන්දන් යන්නට - දරුවෙක් එනකල් දෝ ඉන්නේ
මේ රෑ යාමේ බස් නම් නෑ එන්නේ

මව් ලැම පුපුරණ දරු සෙනෙහස වාවන් නෑ
බුදු අම්මා මුනිවතින් බලා උන්නා
එනමුදු ලොවටම නෑසෙන සේ - යටිහිත ඇයගේ
කෑ ගසා හැඬුවා මෙසේ .....

හදා වැඩූ දූ දරුවෝ - බැබලෙති සමාජයේ
උන් හට නින්දා කරන්න නම් මට බෑ - මට තව ඇත්තේ ටික දවසයි

කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරු කැට කඳුළු කැටවුණා - හඳ මුණ වසා ගත්තා

ගෙදර බුදුන් අම්මේ - කියන්න කියන්න කොයිබක යන්නද හිතාගෙන ඉන්නේ
මම ඔබ ගෙන ගොස් ඇරලන්නම්

යාචකයා ගේ කරුණා වදනින් - ළමැදේ දරු සෙනෙහස උතුරා
ලොවටම ඇහෙන්න සැනසිලි හඬින් මෙසේ
බුදු අම්මා මුනිවත බිඳ දැම්මා

මගේ මනාපෙට මං කැමති වෙලාවට - බැහැ මට එහි යන්න
එදවස එනතුරු ඉවසිල්ලෙන් - කල් බලන්න වෙලා මට
ඒ හන්දා බුදු පුතේ නුඹ දන්නා - අනාත නිවසක දොරකඩ
ළඟනම් ඒ පාර මට කියන්න

බුදු අම්මා එහෙම කියා අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා

30/11/2021

කවිය බලන්න
සමුදීම

සමුදීම

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

නැගිටලා අද උදෙන්
දන් කදක් හදාගෙන
අපි ගියා දැකගන්න
වනවාසී බුදු පුතුන්

නික්මිලා ඔබ අපෙන්
සත් දිනක් පිරුණු දින
ඔබේ මතකය වෙතට
පින් පමුණුවා දෙන්න

ඇවිල්ලා අප වෙතට
ලබාදී ලොකු සතුට
ඔබත් සතුටින් සිටියා
මැවී පෙනෙනවා මට

දැන් ඉතින් අවසරයි
නික්මයනු අප මිතුර
සසර මග නිමාකොට
ඔබේ සැනසුම වෙතට

( වසර 14 දුක සැප බෙදාගත් හිතාදර බෙන්ජීට )

කවිය බලන්න
මව් තරුව

මව් තරුව

සපුමල් බන්ඩාර ලන්ඩනය

සෙනෙහසට ඉඩදී
ඝනදුරට එළියවී
අහස්කුස සිසාරා
රෑ දවල් දැල්වුනී

නොනිමි ගගනා තලයට
ගිරි ශිකර පොලෝතලයට
සහසක් දනන් ඇතිවුව
සෙනෙහසම පසක්විය

තමාගෙන් ගලවා සැකසී
තනා ආලෙන් මහද පනදී
අහසතුල සිට බලා
මවු තරැව හිනහුනා

කවිය බලන්න
මතක වෙරළේ මළකඳ

මතක වෙරළේ මළකඳ

තිළිණි නිසංසලා දිසානායක

සිතිවිලි රැළි නඟන මුහුදක හිත ගාව
මිනියකි ගොඩ ගැසූ වෙරළට පණ නාව
පෙරළමි මතක පොත කවුරු ද කොයි කාව
හැඳිනෙමි මුල් පෙමයි පෙර උන් මගෙ ගාව

පැටලී වෙලී අත්පසුරට ලිය සේමා
මුදු නෙත් බැලුම් පා විඳ සෙනෙහස බෝමා
සල්මල් කඩ කඩා හිඳ පෙර අමර ද සාමා
ලෙස හුන් අපෙන් අප ගිලිහුණු හැටි කෝමා

දෙගුරුන් බස් රකිනු වස් පිටමං වුණා දෝ
සැකයක චණ්ඩ සුළඟට හසු වුණා දෝ
කාලයේ මහ ගං වතුර විත් දියවුණා දෝ
ආලය බි⁣ඳෙන් බිඳ හිඳ වියැලුණා දෝ

ඉඳහිට දකින මුත් රුව නම් මඟ තොටට
පෙර ඔබ දුන් මුදු සිනා අහුරක් නෑ මුවට
මඟ බල බලා හිඳ ගොස් කල් දිග බඹට
මැසුවෙමි ඉරුණු හද ගෙන දුක කටු තුඩට

නොදනිමි මගෙන් වුණු වරදක් කිසි දිනක
නොපතමි සසර දිග යළි හමුවෙන මඟක
කුළුඳුල් පෙමෙහි පණ සිඳ නැකතක දොහක
ගෙල සිරකොට මැරිමි රන් මුදු වරපටක

සිරකොට ඔබා හිත් සිඳු පතුලෙහි තදට
දැමුවත් අරුම කිම නිතරම එන ගොඩට
අළු කර දමමි කඳුලැලි සෑයක උසට
කුමකට මතක බණ මා අමතක නුඹට

කවිය බලන්න
ඔබට හැකිනම්.....

ඔබට හැකිනම්.....

ඔබට හැකිනම් සඳක් වෙන්නට
පාළු ගනඳුරු රැයක අහසට
තනිවු තරු කැට සියක් දහසක්
එළිය විහිදාවී..

ඔබට හැකිනම් සුළඟ වෙන්නට
මලක් නොපිපුන රුදුරු කතරට
කොහේ හෝ පිපි මලක සුවඳක්
ගෙනෙනු හැකිවේවී..

ඔබට හැකිනම් තෙතක් වෙන්නට
දුකක් නොදැනෙන නපුරු හිතකට
කඩා හැලෙනා කඳුළු කැටයක
අරුත වැටහේවී..

ඔබට හැකිනම් පෙමක් වෙන්නට
සෙනේ පොදකුදු නොලද හදකට
කොහේ කොතැනක කොහොම සිටියද
අතැර නොමයාවී..

කවිය බලන්න
ආදරණීය නයගරා

ආදරණීය නයගරා

හේමා ඩෙප් ලන්ඩනය

නාමය නුඹේ ලොව පතලව ඇති හන්දා
දැක ගන්නට ගියෙමි ඔබෙ රුව නෙත බන්දා
කිරි පෙණ නගා හිනැහෙන කොමළිය හන්දා
මගෙ ඇස වෙනතකට ගියෙ නැත ඔබ හන්දා .

කිසිවෙකු නොමැත නුඹ ගැන ඇති තතු දන්නේ
එක එක තැනදි බඳ නළවා ගෙන යන්නේ
ගන'ඳුර මකා සඳ වෙස් අරගෙන යන්නේ
බැස යන හිරුට සරදමකට සැරසෙන්නේ.

මන්මත් කරන නදි මාගේ සුරංගනා
පෙම් මල් නෙළන හැටි නුඹ මට සළුව වනා
වයසට යන්නෙ නැත නුඹෙ ඔය කැකුළු සිනා
ලස්සන කෙල්ල නුඹ විතරද ලොව සිටිනා.

මුදා වරල බඳ නලවා සැලෙන විට
සිතේ මිහිර වැඩිවී හද ගැහෙන විට
සිසිල් සුළං නදිය දෙසින් හමා එන විට
ඉන්න හිතයි සැගවීලා වලාකුළකට.

නුඹ දෙව'ඟනකි දුක දුරු කර සිසිල දෙන
රිංගා හෙල් අතර රඟමඬළක් මවන
හංගා ගලන මිණි කැට දිය යට තිබෙන
පරදයි සුරූපී කතකගෙ ලැසි ගමන.

ගොළු ගීතයක රසවත් බව වැලඳ ගෙන
එළිපිට දෙන රැගුම ලොව පිරිවරා ගෙන
විමසමි ඔබෙන් රහසින් හද පුරා ගෙන
සැගවුණු මිහිරි තාලය යයි ගලා ගෙන .

පතිනිය වෙලා කතකට වේලය වන්නේ
මුදු මද පවන් දී ඇය කැන්දන් යන්නේ
සුන්දර සිතක් ඇති පති කුලයට යන්නේ
යන්නට එපා "නයගරා"ඇය තනි වන්නේ.

හදවත් වලට දෙන අසිරිය සැනසුමට
නිමක් නැතිව එන ජන කඳ නුඹ ලගට
සෙනෙහස පුදා දැක උපහර දක්වන්ට
අතුරා දමන්නෙමි මල් පාවඩ නුඹට.

කවිය බලන්න
පොඩි සිත්...!

පොඩි සිත්...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

කුඩා කලදි කොයි දරුවත්
ප්‍රභාමත් සිතින් සිතන්නෙ...
වඩා හොඳින් පෙනෙනව මෙහි,
සතුටින්මයි දිවි ගෙවන්නෙ...
දොඩා වදන් හුරතල් ලෙස
ප්‍රීතිය හැමටම බෙදන්නෙ...
කඩා බිඳින කල එම සිත්
වෛරය හද තුල වැඩෙන්නෙ...

දහමට නැඹුරුව ඇති කල
මෙත් සිතිවිලි සිත දරන්නෙ...
එහෙමට කියලා පවකුත්
නැහැනෙ එවිට සිදු කෙරෙන්නෙ...
යහමට ඇති මුදල් හදල්
මනුස්සකම් නැති කරන්නෙ...
මෙහි මට පෙනෙනා රූ, එය
මැනවින් පහදා දෙවන්නෙ ...

තාක්ෂණය හොඳ මුත් එහි
අඩුපාඩුත් අප දකින්නෙ...
සූක්ෂමව යෙදවෙනකල පොඩි
සිත් කුරුවලු කෙරෙන්නෙ...
ඒ ක්ෂණයකින් එය මුළු
සමාජෙ වනසා දමන්නෙ...
තීක්ෂණව වටහා ගෙන
පිලියම් යෙදුමයි වටින්නෙ...

Little minds...! Dhakshini Savitri Fernando de Silva
Dehiwala .

Minds of little ones are fresh and pure...
Their unblemished thoughts can heal or cure..,
Any ailing person, coz they are truly genuine...
Once they get prejudiced, their minds will be ruined...

If they are brought up in a religious atmosphere ...
Automatically they will be kind ,
nothing to fear...
Riches at young age, can destroy good habits...
Have a look at this picture, which nicely fits...

Advantages of technology, are many, we know...
But if not handled carefully, our
kids 'll just grow...
Like so called robots, sans
a kind heart...
It's high time we thought, to
make a good start ...

කවිය බලන්න
පෙරහුරුව

පෙරහුරුව

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

පෙරහුරුව - -කංචනා කුමාරි දොඩංගොඩ - පන්නිපිටිය

ඉරිතැලුනු කැඩපතට එබෙමි
කෝපයෙන් ඉඟි බිඟි පා සිනාසෙමි
දකුණැස වසා වමැසින් ඉඟි මරමි
දෙතොල උල්කර තොත්තුවක් පාමි

අල්ලට ගෙන හාදු අහුරක්
සුළඟට විිසි කර සැනෙකින්
අල්ලගන්නා තෙක් කවුරුවත්
පාමි කිංකිණි බොරු සිනා රැල්

පාට කල,මගෙ නොවුු වරලස
එහෙ මෙහෙට සොලවා දඟයට
ඉරිතැලුනු වියපත් දෙඅදර
පෙම් මදිරා පොවා ගනිමි තෙත්.කර

තුන් හතර පොලකින්ම කැඩිි ගිය
නැවත නැවතත් මැහුම් ගිය
මිරිවැඩි තුලට පා ඔබමි
බිඳුණු විලුඹට සාප කර

අඩියටම සිඳී ගිය
බෝතලයට ඔබා අතැගිලි
සුවද පොල්තෙල් ඇබිත්තක් ගෙන
අතුල්ලා බාහු මත
රදවා ගනිමි දිස්නය
දිලිසෙන සියල්ලම
රත්තරන් නොවුුවද

ඊයේ සවස සේදුු
තවමත් හොඳින් නොවෙිලුනු
ගැඹුරට කර කැපුු
රතුපාට කලු ගවුම
ඉරෙන්නට නොදිි
ඇඳගනිමි සීරුවට

හිස නර අකලට පැසිි ගිය
ගතත් කොපුලත් හැකිලුන
දෙපා පණ නැති
රෝද පුටුවේ නිදන දෙවිඳුන්
දෙපා නමදිමි
නලල සිපගෙන

සිරි කරගෙන කඳුලුු වැසි හද තුල
අගුලු නොදැමුු මහ දොර වසාගෙන
හඹා යමි සලෙල ගොදුරක් සොයාගෙන
නොඇසේය හිින් හිරිපොද වැස්ස
හෙමින් ඉකිබිදන හඬ

 

කවිය බලන්න
අද

අද

සන්ධ්‍යා ද සිල්වා

වැසි අඳුර අතරින් නොකඩවා ඇදහැළෙන වැසි බිඳු දෙස බලන්
දොර ජනෙල් වසාගෙන සීතලට පොරවගෙන දැන් කුමක් කරමුද කියා
අසුන් ගත්තා පුංචි තිරය ඉදිරියෙන් කාලය ගෙවන්නට සිතා

මිනිස් හිස් පෝළිමකි-රුදු වෙස් ගත් පඹයෙකු හිස දරා
දෑත් දිගු කරමින්, මොරදෙමින්, මුව පුරා තණකොළ කමින්
පෙරලෙමින් බිම, ගාත් ඔසොවා කැමරාව දෙස බලා
කුමක්ද ඉල්ලන්නේ ඔවුන්? කුතුහළයෙනි මෙමා

ඒ වස!

කුඹුරට දමන්නට, දරුවන්ගේ කුසගිනි නිවන්නට
අවැසි දේ ගන්නට, පොහොසත් වන්නට-විසඳුම එය තමා
සංඝ රත්නය වඩිනවා-අතැඟිළි දිගු කොට-බුදු බණ පසෙකට දමා
සටන් කරනවා අපි- නොදුන්නොත් වස ඔවුනට වහා

පක්ෂය,විපක්ෂය පවසනවා- හොඳ නරක සහ අනියත ප්‍රතිපල හැඩ දමා
මඩ වියැකි දෙපයින් කුඹුරේ නැගී සිට-එකෙක් පවසයි ගොවීන් පිරිවරා
වංචාවක් මෙය-සටන් කරනවා,මියැදෙනවා ඔබ වෙනුවෙන් මෙමා
නිවැරදියි මම-මේ ඔබ දරුවන් වෙනුවෙන්-සහය වන්න මට
සාර්ථක කර ගන්න මෙය-තවෙකෙක් යදිනවා

නැවක් කැරකෙනවාලු රට වටේ-බාගත නොහැකිව ඔවුන්ගේ තොග
උගතුන්,වියතුන් එක් වෙනවා සටනට-ඔවුන් දැන් දන්නවා හොඳ නරක
නමුත් සිටියේ කොහිද ඔබ? දහස් ගනන් මිය යද්දී වකුගඩු රෝගයෙන්
විසඳන්නේ කෙළෙසද මේ අවුළ ඔබ දැන්-කුමක්ද නිවැරදි තීරණය?

වකුගඩු රෝගියෙක් කිසිදා නුදුටු මා-සිත හඬනවා පිළිතුර සොයා
යදිමින් යළි දකින්නට-ලෝකයෙන් වඳවී ගිය ඒ උතුම් සොඳුරු මිනිස් සම්පත
සත්‍යය දකිමින්,සත්‍යය තුළ දිවි ගෙවමින්, ඉවසීම පුරුදු කරමින්, දයාව දක්වමින්
ලොවේ අනියත බව දකිමින්-එදිනෙදා ගැටලු සන්සුන්ව විසඳමින්
මිරිඟුවක්ද?මා බාළ වියේ දුටු -මා දයාබර පියානන් විසු ඒ ලොව,

කවිය බලන්න
මනුස්සකම,ජීවිතය හා අනියත බව...

මනුස්සකම,ජීවිතය හා අනියත බව...

තිළිණි නිසංසලා දිසානායක

පදික වේදිකා මත දිවි මංපෙත,
පුංචි ළදරුවන් බත් හුලු ඇහිදින
දුටුවත් නොදුටුව සේ රිය තුල හිඳ
කවුලු දොරින් නෙත් ඉවත බලා

රස මසවුලු පිරි සුවිසල් මන්දිර
සැපවත් ජීවිත සුරසැප විඳිමින..
ගේට්ටු දොරපලු විවර කෙරෙනතුරු..!
අසරණ දෙනුවන් සිඟමන් අයදින...

හිමි තැනැත්තටයි හැම සැපක්ම හිම්
නැති තැනැත්තාට කිසිවක් නොම හිමි .
ඇති නැති පරතර කවුරුන් මැව්වද
දෙවියනි නුඹ කොහිදෝ ඉන්නේ?

තමන් ගැනම නිති ලතැවෙන හදවත්
අනුන් ගැන නොමැත කිසිම තැකීමක් !
මනුස්සකම් අද කෝ මිනිසුන්ගේ..
හිත්වල කෝ අද තෙතමනයක්..?

කුමටද දන් පින් ලොවට පෙනෙන්නට..
පුහු මාන්නයෙන් හිත පුරවාගෙන..
පොදි බැඳ කුමටද වස්තු සම්භාර..!
දිනයෙක යායුතු සියල්ල අතහැර ..!!

පරසිදු වෙන්නට පින්කම් කරමින්.
මහා දානපති සත් පුරුෂ තොමෝ
පාර සොයන්නේ දෙව්ලොව යන්නයි
දිවියේ අනියත බව නොම වැටහී..!

නොතිර,අතිර බව නිතිනි පසක් කර
පිවිසිය හැකිනම් මැදුම් පිළිවෙතට..
දිවිය හැඩවේවි ..
හරිමග පෙනේවි
විවර කරන් නිවනට මංපෙත්..!

කවිය බලන්න
ප්‍රේමයේ මතක  සිත්තම

ප්‍රේමයේ මතක සිත්තම

වැහි බිඳිති ගලා යන
කවුළුවේ පියන්පත...
මතු කරයි නුඹේ රුව
දියව යන සිත්තමක් ලෙස...

අමුත්තන් සේ හමුව
හදවතේ ලැගුම් ගත්...
වුණා නුඹ මතකයක්
හදවතම අවුලවා
නාඳුනන සේ වෙන්ව ගිය...

නුඹම බිඳි හදවතේ
කැටපත් කැබලි තවමත්...
විමසන්නෙ නුඹවමයි
සුනු-විසුණු වී ගියත්...

හෝරා ගෙවී යයි - අතීතය ගලා යයි
එහෙත්,
අළුත් නොවනා එකම මතකය
සදා හදවත දවාලයි...

(වසන්තයේ දවසක් කෘතියෙන්)

කවිය බලන්න
සිහිනයක් වූ වසන්තය ....

සිහිනයක් වූ වසන්තය ....

දීපා ද සිල්වා ලන්ඩනය

දුකද සතුටද හදේ ඇත්තේ හඳුන ගන්නට බැරි වෙලා
එකම තැන කැරකෙනා ජීවිත නිම් වළල්ලක හිර වෙලා
වල්මත්ව කැරකෙනා හසරැළි දෙතොල් අතරෙ ම මත් වෙලා
සොම්නසේ මග කියා දෙනු මැන පඩුපුලේ නුබෙ රත් වෙලා

කතා කරනට වදන් සොයමින් මහා වාලුක පීරමින්
හදේ තෙතමන බිඳක් වෙනුවෙන් මහා සමුදුර කිමිදෙමින්
ගිම් නිවන මුදු සිසිල පතමින් මහා මාරුත බිඳලමින්
සොයා යන මෙය රුදුරු ගමනකි මහා සසරක පීනමින්

හදේ තනියට තනි රකින්නට මිනිස් පුළුටක් නැති ලොවේ
කුසේ ගින්නට අහර වැටුනද නිවෙන් නැති ගින්නක් මැවේ
තිබහ තිබුනට බොර දියෙන් පල නොමැත පල දී කල පවේ
අඳුරු දිවියට වාරු නොමැතිව රුදුරු දර සෑයක දැවේ

දිදුළු වන මද පහන් එළියට උගස් කරලා ජීවිතේ
සෙවූ කෙම් බිම පාලු වී යනු බලා මග හැර මාවතේ
වසන්තය එන තුරා සිටියද නින්ද හංගාගෙන නෙතේ
තවම ගිම්හානයම පමණයි වසන්තය එලඹී නැතේ

කවිය බලන්න
කටු පඳුරු සරසාවි

කටු පඳුරු සරසාවි

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

ඉල් මහේ මහ වැස්ස
ඉවරයක් නැත තවම
සෝ සුසුම් හා මුසුවු
කදුළු බිදුමැයි සිතේ

දැයේ නිදහස පතා
එඩිතර ව ළය පෑව
දූ පුතුන් සිහි වී ද
අහස් කුස් මෑණියනි

අප දිනූ ලක් දෙරණෙ
නිදහසේ අරුණෝදෙ
උදාවනු කෙදිනකද
දෙනෙත් පිසදාලන්න

සොබා දම් දිණිතියට
එපා පිටුපා ඉන්න
උණුසුමට තුරුලු වී
ඇය යනෙන මග යන්න

යුගෙන් යුග දිනා දුන්
ගමන තව නිමක් නැත
ජීවනේ යොවුන් මල්
තවත් මිලිනව යාවි

නිල් ගුවන වැලපේවි
දෙරණ තල දෙදරාවි
ඒත් යායුතු ගමන
කටු පදුරු සරසාවි

කවිය බලන්න
නත්තල සැබෑ

නත්තල සැබෑ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

රැඳුන මිණිකැට වගෙයි අහසේ පුංචි තරුකැට විහිදිලා
සැදුන එළියෙන් වල්ගතරුවෙන් අඳුර සැඟවිය පැරදිලා
බැඳුන පාපෙන් මුදන්නට ලොව මිනිස්වග දිවි පුදදිලා
පුතුන දෙවිඳුන් දිළිඳු විලසින් ගවසැලක් තුළ ඉපදිලා

ඇසුන ඉහළින් ගායනාවන් දෙවිට පැසසුම් පවසලා
දසුන දුටුවන් දේවදූතයො වයන වීනා තත්සලා
වෙසුන තැන්නේ එඬේරුන් වෙත දූතයෙක් විත් තටුසලා
දෙසුන පුවතකි දේව බිළිඳුන් උපත දෙවිඳුන් පසසලා

ඇදින උන්සැම සොයා බලනට විගස දැකගනු රිසිවෙලා
හිඳින ඉපදී ගවමඩුව වෙත පිරී සතුටින් එක්වෙලා
මැදින මව්පිය පුංචි බිළිඳෙකි නිදන ඔරුවක ගුලිවෙලා
පිදින බුහුමන් ඔවුන් ගෞරව ජේසු බිළිඳුට ළංවෙලා

නෙතින මවගේ ගලයි සෙනෙහස නිදන දරුවා දෙසබලා
හදින ආදර පියෙකු පසෙකින් සිටින දරුවා රැකබලා
විඳින සාමය රකින්නට බැටළුවොත් ගත්තා වගබලා
තදින නෑ හුස්මවත් ගැනුනේ බිළිඳු නිදනා හැඩබලා

ඉගෙන රජවරු අමුතු තරුවෙන් කිම්ද පවසන තතුබලා
හැඟෙන බව දැක බිහිව ආවේ උතුම් අයෙකුන් ලොවබලා
රැගෙන තෑගිද පිටත්වූවොය බිළිඳු සිටිනා දෙසබලා
නොගෙන අන්මග අපිත් ගොස් එමු බිළිඳු ජේසුන් දැකබලා

එදින ඉපදුන ජේසු සමිඳුන් සාමයේ මග පෙන්වලා
සැදින අපහට විමුක්තියෙ මග පාප අඳුරෙන් මුදවලා
සොඳින සැරසෙන අතර සමරනු නත්තලක් සිරි නන්වලා
හැඳින ජේසුව ගනිමු ඔහු අත දිගුකරන අප කැඳවලා

යදින අහරක් දනන් සනසමු යමක් දී කුස පුරවලා
හිඳින තැවුලෙන් අයට සතුටක් දෙන්න උන් දුක සඟවලා
බිඳින ජීවිත යුද්ධ පිටුදැක සාමයට මග හරවලා
මෙදින නත්තල බෙදා ගැනුමයි සැවොම සතුටින් පිනවලා

කවිය බලන්න
නිවන

නිවන

මුදුනේ හිස මත...
කෙහෙරැළි බැන්දට
දෙකනේ එල්ලෙන...
තෝඩු නොදැම්මට
දිලුනේ ගෙලවට ...
මාලා රන්පොට
සයනේ කුමටද...
විසිතුරු නිවනට

බලන් මිනිසුනේ,
මහමඟ මිය ඇදෙනා
සුරත් මුදුන් දී,
යදිනව හද දවනා
පුරන් ආව පැතුමන්,
පන නළ ගැහෙනා
පතන් හදවතින්,
සසරෙම පින නිවෙනා

සන්සුන් සිතින් භවයෙම
සසරේම නිවන්.....
සක්මන් ගමන් නය නොම
වී යාම නුවන්....
වත්කම් ඇතත් පැක් වී
සිප් බෑග් දවන්....
දැන්වත් ලබන් සුව සදහම්
දෑස් නවන්....

කවිය බලන්න
මළගම

මළගම

කපිල ෆොන්සේකා කොළඹ

සැබෑවක්දැයි
ඇසූ බස් නෙක මුවින්
ආදරය මිය ගියැයි
සැක නැතිව දැනගනුව

සැරිසැරීයෙමි නුවර
සොවින් බර හදවතින්
සොයා ඒ මළ ගෙදර

ආදරය
බෝ කළින්
මට වඩා
හදාරා වනපොත්වැ' හද රැදුණු
ශාස්තෲවරුන් ඇති
මග දිගේ විමසමින්
කොහිද ඒ මළ ගෙදර
සැරිසැරීයෙමි නුවර

ආදරය
සෙල් මුවා කර තැනූ
තෙළි තුඩින රස මැවූ
මහැදුරන් විමැසීමි
හද රිද්ම පුද තබා
තැනූ ඒ
ආදරය
නෙතු පියා සදහටම
නිදන ඒ මළ ගෙයට
යන්ට මග

ආදරය
ලද නොලද
විරහ රස
ගේය පදයක මැවූ
සොදුරු කවියන් හමුව
විමැසීමි
යන්ට මග

ආදරයෙ මළගමට
යන්ට මග විමසමින්
සරන පිස්සකු
දකිනු වස්
මග දෙපස රැස්වැ ඉස්සී බලන
සැමද විමසා බැලිමි
කොහිවේද මළ ගෙදර

හැරී ආපසු
සොවින් බර හදවතින්
පා නගමි

ගලයි මා පැමිණි මග යටකරන්
කාල වන්
දුගඳ පිරි
මියෙන රුධිරය දහර
ආදරය මිය යමින්
හදවතින් ගලායන ....

කවිය බලන්න
දාසියකගේ විළාපය!

දාසියකගේ විළාපය!

වාගිස ප්‍රනාන්දු

ලොකු හාමු අනේ මං - ඔබෙ නිවසෙ දාසියයි
කුස්සියේ වැඩකලේ - “පොඩි සෝමා” මං තමයි
නෝනා නැති වැසි දිනේ- මා ගැහැණියක් කලේ
කුසට ආ දරුවගේ- නුදුටු අප්පා නුඹයි !

දිනෙන් දින මෝරනා - කුස කෙසේ හංගම්ද?
ගෙනැත්දුන් බෙහෙත් පෙති - පලක් නොවුනේ මන්ද?
අන්තිමේ නෝනගේ - ඉවට හසුවූ මාව
පැන්නුවා ගෙදරිනුත්  - වන්දියක් නොලබාම

එතැන්සිට පාරේය - කාත් කව්රුත් නැතිව
වේල සරිකරගන්න - අතපෑවා හැම දෙනට
උකුසු ඇස් මගහරිනු - නොහැකිවිය අන්තිමට
බඩගින්න නිසා මට - වුනේ පණමටත් බුදියන්න

වීදි සරණා ලියන් - රටට කැළලක් නිසා
නීතියේ මුරදෙටුවො - දැල එලයි අප වටා
උඹ කුසේ, මං කෙසේ - දුවන්නද ඒ දිනේ?
කොටුවුනා ඒ නිසා - නීතියට මං එදා

අච්චු කෙරුමට කියා - උසාවි ගෙන ගිය විටේ
තමයි මා දුටුවේ - ඔබ සිටින උස් ආසනේ
තෝල්කයා හඩ තලයි - චෝදනා කිය කියා
මං කුමක් කිව යුතුද ?- අනේ මගේ ස්වාමිනේ!

මගේ රංකැටි පුතේ - බය වෙන්න කාරි නැහැ
උඹේ අප්පා තමයි - යුක්තියේ දෙවගන මෙතැන
අන් අයට මක් කලත් - උඹ කුසේ හින්ද මට
සමාවක් ලැබේවි - නවා හෝ නීතිය අදට

කූඩුවේ අපි පහම - එක දිගට සිටගෙනම
තෝල්කයා සද්දෙන්ම - කියයි තීන්දුව අපට
මාස තුනකට, පහම - වැලිකඩ සිපිරිගෙට
වරද මගේ වුනත් පුතේ- අප්ප උඹටත් අච්චු කල නොවැ?

කවිය බලන්න
A day in Dubai

A day in Dubai

I wake up in Dubai
Money falling out the sky
Burj khalifa is so high
The cold drinks we buy
The skyscrapers shine
The foods quality’s high
The sun shines bright
The people are very kind
In their suits they look nice
I tighten my green tie
And wonder around Dubai

කවිය බලන්න
පුංචි ගස -  පර්වර්තනය

පුංචි ගස - පර්වර්තනය

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

පුංචි ගස
පුංචි නිහඬ නත්තල් ගස
නුඹ ඉතා කුඩා ය
පෙනුමට කුසුමක් මෙනි

හරිත පැහැ වනය මැද
නුඹව සොයාගත්තේ කවුද?
ඉන් මිදී මෙහි එද්දී
නුඹට කණගාටුවක් දැනුණා ද?
නුඹ මිහිරි සුවඳැති බැවින්
මම නුඹව සනසමි

සිසිලැති බඳ සිපගෙන
නුඹේ මව කරනු ඇති පරිදිම
නුඹව තරයේ වැළඳගනිමි
ඉතින් බිය නොවන්න

බලන්න
වසරක් පුරාවටම
අඳුරු පෙට්ටියක නිදන මේ සැරසිලි
සිහින දකින්නේ
පිටතට පැමිණ දිලිසුමට ඉඩ ලැබීම ගැනයි
මේ ගෝල, රත් හා රන් පැහැති දම්වැල්,
විසිතුරු රැහැන්

ඔබේ කුඩා දෑත් ඔසවන්න
ඒ සියල්ලම ඔබට දෙන්නම්
හැම අතැඟිල්ලකටම මුද්දක් ලැබේවි
ඉතින්
කිසිම අඳුරු, දුක්බර ඉඩක් ඉතිරි නොවේවි
සැරසී නිම වුණු පසු
හැමටම පෙනෙන විලසින්
නුඹ කවුළුව අද්දර හිඳිනු ඇති
හැමකෙනෙක්ම
එදෙස දෑස් දල්වා බලනු ඇති!
නුඹට බොහෝ ආඩම්බර සිතේවි

මාත් නැගණියත් දෑත් අල්ලාගෙන
අපේ අලංකාර ගස දෙස බලා
ගී ගයමින් නටන්නෙමු
“නත්තල නත්තල”

Little Tree by E.E Cummins

Link to original poem - https://www.poetryfoundation.org/poems/47304/little-tree

E. E Cummings ලෙස ප්‍රචලිත Edward Estlin Cummings ඇමෙරිකාවේ මැසෙචුසට්ස් ප්‍රාන්තයේ විසූ සාහිත්‍යධරයෙකි. 1894 දී උපන් ඔහු කවි නිර්මාණයට අමතරව ලේඛනයටත්, චිත්‍ර ශිල්පයටත්, නාට්‍ය රචනයටත් ප්‍රසිද්ධියක් ඉසිලීය. භාෂාව ඇසුරෙන් විවිධ පර්යේෂණ කර නිර්මාණකරනයේ යෙදීම ඔහුගේ විශේෂත්වයකි. කුඩා දරුවෙක් නත්තල් ගසක් හා කරන කතාබහක් හැඟෙන පරිදි නිර්මිත මේ ‘Little Tree’ කව Cummings විසින් ලියන ලද්දේ 1920දී ය.

කවිය බලන්න
සිතක මහිම....!!!

සිතක මහිම....!!!

ලලනී ගීකියනගේ රත්නපුර

පිනි සීතලෙන් වෙළුනා...
දොර කවුළුවෙන් එබුනා...
සුදු සඳ දියෙන් තෙමුනා... මනමාළවී....මනලෝලවී..
හිත ...කෝල හැඟුමෙන් මුතු පොටක එතුනා...!

පුන් වළාවක එතුනා...
තරු හිනැහෙමින් දිළුනා...රැය ප්‍රභාමත්වී...සොබාමත්වී...
මිහිතලය සිප සුරලොවක් මැවුනා.....!

මතකයන් කළඹා...
හද උමතුවෙන් හැඬුවා...
ඒ සොඳුරු සිත්තම්...
මහද ගෙත්තම්...අසුරු සැනෙකින්...
කළු වළාවෙන් වැසුනා...
සුදු..මුතුපොටම ලෙහුනා...!

2021.11.25

කවිය බලන්න
රැගෙන යන්න මා........

රැගෙන යන්න මා........

දිවිය සොඳුරු මැයි
කීවත් ලෝ දනා මේ
කොහිද සතුට නම්
නොදන්නෙමි එය කෙසේ දැයි මා.....

තඹුරු පිපි දියේ
ගොහොර වී දිරි දුන්නත්
සුවඳ විහිදනා
මල නොදත් වෙර දුන්නෙ කවුරූ....

අවරටම ඇදී
ගියත් මගෙ බිඳි සුසුමන්
අවැසි නම් නොවේ
රැකගන්න දිවි මොහොතකට හෝ.......

දියදමට නියා
ඉපැදුනොත් යම් කල්හී
ගෙවිය යුතුම වේ
දුකද සැප සමබරම විලසින්....

ඉඳිමි මග බලා
නොමැත මට කිසි සරණක්
රැගෙන යන්න මා
කිසිත් නැති හැර යනු නොහැකි දේ......

කවිය බලන්න
ඉල්  මහ

ඉල් මහ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ඉල් මහේ
එක් කළුවර රාත්‍රියක
අපේ නිවසට ඉහළින් ඇති
අඹ ගසේ
උලමාගේ හඬ
හැඬවුනිය.
ඒ බිහිසුණු
හඬ වියැකී යත්ම
ඝණ අඳුර
දෙපලු කරගෙන
නාඳුනන තුවක්කු
කරුවන්ගේ
හඬට දොරගුලු ඇරුණි
මද්දුම අය්යාව
ඇදගෙන ගිය හැටි
අම්මා හඬා වැටුණු හැටි
අදටත් මතකය.
මද්දුමේ යළි
කවදාවත් නොආවේය.
උලමාගේ හඬත්
තවම නොඇසුණි.
ඒත් හැම වසරකම
ඉල් මහ
අපේ ගෙමිදුලෙන්
ගේ තුලට
ඇතුළුවෙයි.

කවිය බලන්න
විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

ගිවිසෙනවලු මහ රැයෙ අඳුරෙහි සැඟවී

විකිණෙනවලු දැයෙ දියණිය යුගදනවී

රැවටෙනවලු එළු රැළ උරුමය නැතිවී

හිරවෙනවලු රට මර උගුළක මැදි වී

ගෙන දෙනවලු බල සවි විදුලිය වැඩි වී

එළි වෙනවලු රට දන අත මිට සරු වී

පටලනවලු තතු - දන වෙත බොරු ලියැවී

ඇටවෙනවලු පුටු, බිඳ ඇති අටු නිමැවී

පිබිදෙනවලු පෙර මිහි දන් විරු සෙනෙවී

උපදිනවලු යළි රට දිනුමට කැප වී

වනසනවලු රුපු කැල යන තුරු පහ වී

දිනවනවලු දැය, සැක නොසිතනු මැනැවී...!

කවිය බලන්න
එදා හඳ  කෝ

එදා හඳ කෝ

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

එදා වටපුලු අහසේ
දිලුණු පුරහඳ කෝ
කොයි ගියා දෝ
මලානික වී නුබ කුස
හැඬුම් බර අද ඇයි දෝ
ඇයිදෝ කාලය ගෙවුනේ

ගලා යයි මහවැලිය
රහස් සඟවා දෑලේ
මේ නුරා තොට පසු කර
නො නැවතී එක මොහොතක්
ඇයිදෝ කාලය ගෙවුනේ

එදා තුරුලට ගෙන
කොපුල රැඳ වූ සුසුම
සැඟ වුණා දෝ හිමව් අරනේ
නිවී යා දෝ ගිනිදැල්
දවා සියොළඟ එ දා මා කැළඹූ

ගමන් වෙහෙසයි අද
මඟ බලා ඇති නිශා පිය බඳ

පිපේ දෝ නොකිලිටි කුසුම
එකළු කර ආත්ම ය

17-10-2021

කථකයා යම් කටයුත්තක් සඳහා
පොල්ගොල්ලට යයි . එහි සිට මහවැලි
වේල්ල මතින් මහවැලිය තරණය
කර වටපූලුව කරා යන ගමනේ
අතීත ස්මරණ ගලා එයි

කවිය බලන්න
දෙදෙන

දෙදෙන

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

විඩා වූ ගත නිවාලන්නට
නිසංසල රැය පොර බදියි
වැළඳගෙන සියොලඟම උණුසුම
සුවඳ ගත සිත පුබුදුවයි

හමන මඳ නල නිසල බව සිඳ
කවුළු මත ගී හඬ නගයි
නිදන දරු හඬ යහන සුවදෙන
ස්නේහයෙන් හද උතුරවයි

එකම හදවත වූ දෙහදවත
සිහින ලොව අබියස සරයි
වලා පෙළ සිප වැළඳ පුන්සඳ
මුළු ලොවම අමතකව යයි

කවිය බලන්න
නව කවි

නව කවි

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

පැහුණු ගොයමෙ තනි රකිමින් සිටි වේලේ
ඇහුණු මියුරු පද බැඳුනේ ඒ කාලේ
මුහුණු පොතේ බැඳෙනා කවි නව තාලේ
සරණු පෙනේ මොහොතින් ලෝකෙම ගෝලේ

කොනක රැයකි අන් කොන මහ දවාලකී
හිතක දුකට සතුටට නැත වෙලා සකී
ලොවක නොයෙක මත ඇති වේදිකාවකී
නරක අතක ගියහොත් මහ විනාසෙකී

බාගත කරන් හෝඩියෙ හොයනා වචන
ඩේටා ගියත් මිහිරැති කවි රස බෙදන
ඒ දුටු අවැසි අය පැසැසුම් එහි යොදන
මෙය නව තාලයේ සතුටයි හිත පිරෙන

අහුරු ගණන් නව අදහස් ඇතිවේවා
මියුරු කවියෙ තාල රාග වැඩිවේවා
මිතුරු සැවොම නිති සතුටින් පිබිදේවා
සොඳුරු මුහුණු පොත හිමිකරු වැජඹේවා !

කවිය බලන්න
කවිය නුඹ

කවිය නුඹ

නන්දිකා ගමගේ ගාල්ල - යක්කලමුල්ල

කියනු කෙලෙසද හැඟුම් ගලපා
කවි ලියන්නේ නුඹ නිසා බව
හදේ ගැඹුරුම තැනක නලියන
දුකක් ඇත නුඹ නමට හිරවුන

මේ ලොවින් මා සමුගන්න දා
නිමේෂයකට ඇවිත් ඉනු මැන
පියවුනත් මගෙ දෑස් ඒ දින
බලාපන් මගෙ පපුව ගොළු උන

නුඹට කවදාවත් නොතේරුන
රහස කියවා යන්න සමුගෙන

බලන් මගෙ චිතකයේ ඇවිලෙන
ගින්න පරදියි පෙමට පරවුන
මාත් ඔහුගේ නුඹත් ඇයගේ
නිසා ලෝකෙට වසා සැඟවුන

පෙම් කතාවක කඳුළු දැකපන්
හිතින් දවසක ඇස් වසාගෙන

නුඹ මගේ වග ලොවට කියලා
උදම් වනු බැරි තැනක ලතැවුන
දුක දැනුනොතින් කවක් ලියපන්

කවිය බලන්න
කෝමළනි

කෝමළනි

ලාල් හෑගොඩ  

නි ස්වරයේ කෝමළ
මිනිස් වෙස ඇයයි මනු ලොව
මා සිත අසල්වැසි කෞෂිකි

මැව්වා නම් කවුරුන් හෝ ඇය
දෙවිඳුන් යැයි අමතමි
මහා මැවුම්කරු යැයි

“දෙවිඳුනි කිම ඉවත බලා
බලන්න පිළිගන්න
හද බැතිය මේ උතුරා යන”

“රසිකයානනි
මට දැන් හිතුනත් තව ළා පැහැ කළා නම්
එදා රත දුන්නේ මමයි දෙතොලට
නමුදු සිනාව නම් ඇගේ ය
හඬ දුන්නේ මමයි නොමඳව
ගායනා නම් ඇගේ ය
හඬ සුසර කර
ඔබයි තැවරුවේ මල් මී
මා එහි නොතැවරූ

ඔබ ද උමතුකර මා ද උමතුකර
ගායනා’තර මදහස්පාන්නී ද ඇයයි
පුදදෙන්න අවැසි නම් හද බැතිය
දෙන්න එය කෞෂිකියට ම”

(2021 ගොඩගේ සම්මාන උළෙලේ හොඳම කාව්‍යය ලෙස සම්මාන ලත්
කෝමලනි කාව්‍ය සංග්‍රහයෙන්)

කවිය බලන්න
චිත්‍ර රචනය

චිත්‍ර රචනය

ආචාර්ය ඥානතිලක හේවාගමගේ සිඩ්නි, ඕස්ට්‍රේලියාව

රචනාවකට ලද පැවරුම නොරිස්සේ
නවතම අදහසක් සිත යට ඇවිස්සේ
තාලවර්ගයම ගැන දුක පිවිස්සේ
අකුරු චිත්‍ර මාරුවකට ගිවිස්සේ

චිත්‍රය මැද වැනේ පොල් ගස උසස්සේ
කිති කැවි කැවී තල් පුවක් ද හිනැස්සේ
ලකුණු අඩුව මා සියොළඟ පිලිස්සේ
මුහුණ රතුවු ගුරුතුමි කට විලිස්සේ

ගෙය අයිනෙම ගස් මායිම තිගැස්සේ
දඬුලේනුන්ද පැන විත් අතු අගිස්සේ
කඩන කඩන ගෙඩි වැදුනා පියස්සේ
මීහරකුන්ද තප්පුලමින් හිනැස්සේ

පුවක් වල්ල අසතුටු වී කිවිස්සේ
තල් මණ්ඩියත් නපුරුවෙලා මහත්සේ
බඩ තඩිස්සි හරකුන් දැක නුරුස්සේ
පැලගෙඩි පෙළ ගඟ පාවෙයි දුකක් සේ

පිටවී මෝය කට අතරින් රහස්සේ
රජ පොල් ගස් ලෙසින් ඉපදී මිරිස්සේ
ගඟෙන් වතුර බී වැඩිලා නිවැස්සේ
මුහුදට ආවඩනු බල අද උසස්සේ

කවිය බලන්න
පරිසරය

පරිසරය

කුඩා දරුවනේ - කුඩා දරුවනේ
අපට ලැබී ඇති දේ ගැන ටිකක් සිතන්න‍
ගෙයින් පිටත බලන්න - එළියට බැහැල බලන්න
ඉගිලෙන ලස්සන කුරුල්ලො දිහා බලන්න
පොඩි කුරුල්ලො ලොකු කුරුල්ලො
එක එක පාටින් - එක එක හැඩයෙන්
මොනරුන් බටීටිචීචන් කුකුළන් පිළිහුඩුවන්
ගේකුරුල්ලො කොක්කු මයිනො ගිරවි පරෙවියන්
කුරුල්ල්න්ගෙ නම් කියන්න මට ‍නොහැකි තරම්
ඉගිලෙන ලස්සන සමනල රංචු බලන්න
පොඩි සමනල්ලු - ලොකු සමනල්ලු - එක එක පාටින්
ගහින් ගහට පනින වඳුරො දිහා බලන්න
හරි හපන්නු නේද
තවත් බොහොම සතුන් ඇතේ ඔබට බලන්න
මුවන් අලි ඇතුන් ඇතුළු රුදුරු වන සතුන්
එවුන්ගෙ නම් කියාගන්න මට නොහැක් තරම්
දුවේ පුතේ ඔබ මල් ගස් දිහා බලන්න
නෙත් පිනවන මල් පිපිලා එක එක පාටින්
එක එක හැඩයෙන්
මල් ගස් වල නම් කියන්න මට නොහැකි තරම්
දුවේ පු‍තේ පලතුරු ගස් දිහා බලන්න
අඹ නාරං ඡම්බු පේර කෙසෙල් පැණි දොඩම්
කජු ගස් ලබු දිවුල් වෙරළු ලොවි මොර රඹුටන්
රසවත් පලතුරු එමටයි
ඒවායේ නම් කියන්න මට නොහැකි තරම්
සිත යොමු කරමු දැන් අපි එලවළු වලට
බෝංචි කරවිල පතෝල දඹල පිපිඤ්ඤා
රාබු කැරට් බටු වැටකොළු මෑ බණ්ඩක්කා
කතුරුමුරුංගා සාරණ නිවිති තම්පලා
මුකුණුවැන්න ගොටුකොල ගෙඳ කොහිල තණපලා
ගුණවත් එලවළු එමටයි
ඒවායේ නම් කියන්න මට නොහැකි තරම්
දින ගණනක් අහස දිහා හොඳින් බලන්න
හත් පාටින් හැඩවූ දේදුන්න බලන්න
සඳ දිහා බලන්න
පිපිච්ච මල් වැනි තරු ඔබ ගණන් කරන්න
හැකි නම් ගණන් කරන්න
කියන්න දේ එමට ඇතේ කුඩා දරුවනේ
අපි දැනට නවතිමු - අපි පසුව හමුවෙමු
පරිසරය උගනිමු - පරිසරය සුරකිමු

කවිය බලන්න
කාක් බෝ

කාක් බෝ

අනුර හෑගොඩ

තිස්ස තිස්ස
මේ අඹ ගස් පෙළ හැර
බෝ ගස් හෙම තිබේ ද

නොම එසේ නම්
එවිය හැකි, මා
නැගෙණි අතැතිව
මහා බෝධිය
බුදුන් නෙත් ලද

"පැදකුණු කරවා
පැන් කළ දහසින් නහවා
පසඟ පිහිටුවා
වන්දනාමාන කරණු "

එදා මෙදා තුර
කපුටන් පහරා
බිහිවූ බෝ පැල
එමටය දස අත
ගස් ගල් මුල් වල
පන්සල් බිම් වල
වී එයිට් බොනට් වල
මර්සඩීස් ඩිකි වල

බෝ සමිඳුන ගෙ බඳේ
පට සිවුරු වුව බැඳේ

වඳිති රජ මැතිවරුන්
අතිජාත යැයි කිය කියා
දන දැනම යටි සිතෙන්
මේ නම් කාක් බෝ මැයි

කවිය බලන්න
කහටගස්දිගිලියේ කහට vs  සිදාදියේ GREEN Tea

කහටගස්දිගිලියේ කහට vs සිදාදියේ GREEN Tea

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

තිබුනත් කහට
මුව පුරාම සිනාසෙන
බුලත් හපෙන්
අවපැහැයට හරෝගෙන
අල්ලට හකුරු ගෙන
බීගත් කහට මිස
තිබුනේ නැහැ කහට
හද තුල පුරෝගෙන ...
සඳ සුරතේ තබා
සුන්දර වදන් දෙන
කමිස කබා මැද
ගුලිවී සැඟවගෙන
නොදුටු කහට වේ
විස මුසු ලොව රැඳුන
සුන්දර සුමුදු සිතුවිලි
අවපැහැ කෙරුන...

08/11/21

කවිය බලන්න
හිමි අහිමි

හිමි අහිමි

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

ලෙන් දොර බිඳ සම්මතයට පිටුපා
නුහුරු මාවතක පියවර අතුරා
අන්සතු හදවතකට සිත බැඳුනේ
ආදරයක අරුමය දෝ මන්දා....

එකම හිනාවක දෙනුවන් පැටලී
නිවී සැනසෙනා ප්‍රේමය දුටිමී
දැවෙන තැවුල් එක මොහොතින් දුරුවී
හිතකට තටු එන හැටි නම් නොදනී....

දෑඟිලි පටලා එක්වනු නොහැකී
සිතින් වෙන්ව යාමත් සිහිනයකී
දෝරෙ ගලන සෙනෙහසකට මැදිවී
අසුරු සැණක ජීවිතයක් විඳීමී....

කවිය බලන්න
මනමේ කුමරිත් තනිවුනා

මනමේ කුමරිත් තනිවුනා

වජිර ජයවර්ධන

හෙල්ල, අඩයමිය, තෝමරය,
අංකුසය, පාරාවලල්ල
පංචායුධයෙන්ම සන්නද්ධ
බ්‍රාහ්මණයෙක් තමයි ධනුද්දර
Collage එකත් රාජකීයයි
මාසටර් දිසාපාමොක් පරපුර
‍බරණැස් රජ පැටවෙක් නේ ඉතිං
මොනවයිං නම් අඩුවක්ද

"දුලා නෙතුපුලා"වු ඇයට
හරියටම හරියන සිසුව
තමයි මේ ධනුද්දර
ඉටුකර දිසාපාමොක් යුතුකම
දෝණිගෙ ගමන මාළිඟාවට

මාළිගේ කතා ගැන නෑ මනාපේ
ගෑනු ඇති තව අන්ත:පුරයේ
මගේ හිත බැදි
වෙනත් කොල්ලෙක්
තාම ඉන්නවා තක්සලාවේ

වැදි වෙසින් ආ ගැලවුමක්
මම හෙව්වෙ මට ප්‍රේමයක්
දෙන්න ගාවම හමු වුනේ මට
සම්ප්‍රදායික පිරිමියෙක්
එකෙක් ෂෝ එක පෙන්නුවා
අනෙකා වැඩ ගෙන පැන්නුවා

තවම ගැහැණුන් ඇවිඳිමින්
සොයා යන්නේ
වැද්දෙක් නොවෙන
කුමාරයෙක් ද නොවෙන
විශ්වාසයෙන් හද බැඳෙන
ආදරේ ඇති පිරිමියෙක්...

කවිය බලන්න
මගේ නත්තල

මගේ නත්තල

මර්සලීන් ජයකොඩි පියතුමා

මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරහැලි නැතිවන දාය
මගෙ නත්තල ඔබේ අත සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලිය යන දාය

නෙත යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවුඩය නුවණට දැනීයන්
දුටු දුටු විට සිත තුළ සිල් ගැනීයන්

වැරහැලි ඇන්දත් චරිතෙන් සුදු වෙමු
පන්සිල් ගතියෙන් රුදු නොව මුදු වෙමු
රට දැය රැකුමට දිවියට බදු වෙමු
සුදු වෙමු මුදු වෙමු බදු වෙමු බුදු වෙමු

කවිය බලන්න
අපි ඉතිං දැන් වහිමුද?

අපි ඉතිං දැන් වහිමුද?

නුඹ
මුවදෙනක මෙනි
නිකට
හිමි උර මත ය

කෝල ය
මදහස
අවසරැ‘ති
මද පමණට මෙනි

අතැඟිලි වෙලා
උහු අත,
කොඳුරයි
“ම්... ම්...”‍ නො ඉක්මයි

කාලෙකින් දුටු
නුඹ හිමි - මා මිතු
සල්ලාපය අතර
සුසංවර ලීලයෙනි

අවුළුපත් ගෙනවිත් තබා
විටින් විට,
යළි යළිත් ඒ උරම
වත හොවා
කිසිවක් නොදැන මෙන්
පා මහපටැඟිල්ලෙන්
ගෙබිම මත කුඩා කවයක් අඳියි

අරමුණකින් තොරව
මදකට
අලු‍ත් අත්බණු තිරෙහි ඇස ගා
පසෙකින් තබමි

ඒ කෙටි පණිවිඩය
පැරැණි දුරකථන තිරයෙන්
මකා දැමුවා මතක ය
”‍අපි ඉතිං දැන් වහිමුද?”‍

කවිය බලන්න
උදුල උඳුවප් කවි

උදුල උඳුවප් කවි

කෞශල්‍යා ජයලත්

උදුල උඳුවප් සඳ
සමනොල රෑණ හා කද බැඳ
කරුණා කරනයුරු සිරිපා
මතුරකි මවන තොස හද

උඳුවප් උදෑසනක ය
සංඝමිත්තා තෙරණී
දඹකොළ පටුනට වඩමවාගෙන පැමිණී
දයා දක්ෂිණ ශාඛාව අඤ්ජලිකරණී

තහංචි ය අද බෝ කඩුළු ය
වනිතා වන්දනා රැහැණී
සඟමිත් වඩා ආ බෝධිය
හේමමාලා මුහුළ සැඟවූ දන්ත ධාතුව නමිනී

රුසිරු උඳුවප් රැයක ය
හිනැහුණේ මරි මවුන් උකුළේ
සාමය රැගෙන සපැමිණි
දෙව් පුතුන් මිහි මඬලේ

රිදී කහවණු තිහකට
" මල් උයන" පාවා දුන්නේ
ජුදාස් අද ඩොලර් කීයද ?
කටුවපිටි කඳුළින් ලැබුණේ

" කිසිදු වරදක් නොකළ උතුමෙක්
පළමු ගල ගසනු " පවසා
ගැහැනියක දිවි රැකි උතුමෙකු
කෙදින උට්ඨාන වන්නේ ?

සමනලුන් හා පියඹන
සමනොළ වන්දනා සිහිනේ
වම් සිරි පතුල වඳිමී
ඒදන් උයනෙ ආදම්ව සිඹිමී
ආදම් මලෛ නඟිමී
ශිවන් ඔලි පාදම් පුදමී
විශ්වය ම කිරි කෝඩු ය
ගෙත්තම් පානෙ ලියමී
සියල් උර සැහැල්ලුව පතමින්
දොළොස් මහ පහනට තෙල් දමමී

ළදරු ළිහිණින් තුඩ තුඩ
සත්වර්ණ දේදුනු පණිවුඩ
රන් හිරු දකිනු රිසි නඩ නඩ
තුන් සරණේ ගයන හැඩ වැඩ

[සිතුවම: එස්.එල්. සෙනෙහෙධීර]

කවිය බලන්න
රුව ඇති දෝණිට....

රුව ඇති දෝණිට....

සාගරිකා ශ්‍රී පාලී කිරිආරච්චි වෙියන්ගොඩ

සිත් විල පොබ කළ පියුමක් වැන්නී
සත්සර මුසු කළ ගීයක් වන්නී
සිප් සත දැන නැණ ගුණ පුබුදන්නී
දුක් දොම්නස් පිරි පත දුරලන්නී

කිරට හැරුණු ලෙය ළමැදින් පෙරුණී
එසඳ වැඩූ සෙනෙහෙන් සිත පිරුණී
උකුලු තලෙන් බට රුව ඇති දියණී
දිගු පුලුලයි ලොව නොදුවන් සැණෙනී

මලින් මලට පියඹන බඹරින්දූ
තුඩින් තුඩට අම මී රස කැන්දූ
නෙතින් නෙතට මල් සර විෂ බැන්දූ
රුවින් නුඹගෙ තැනුවයි ගී සින්දූ

නන් විසිතුරු දිගතේ බබලන්නේ
බිම්බරකට නළු සේනා එන්නේ
නන් වෙස් බැඳ ඉදිරියෙ රඟ දෙන්නේ
සන්සුන් සිත දෝණී, නොසැලෙන්නේ

කවිය බලන්න
එදා කවි ලියූ නැගණිය

එදා කවි ලියූ නැගණිය

ජයතිලක කම්මැල්ලවීර

“එදවස ඔබ ලියූ කවි
කියවමි අදත් මම

මෙතරම් හද කිතිකවන වදන්
මෙතරම් නෙක අරුත් පිරි කියුම්
මෙතරම් රමණීය යෙදුම්
ලීවේ ඔබ ම නොවන්නෙද?

දරුවන් වදා, හදා
උන් කවා පොවා, නහවා
වැටුපට ළමයින්ට උගන්වා
ඔබ ඉන්න බව දන්නවා
අද
කවි නොලියා ම”

“ඔබ දන්නෙ නැතුවාට
අදත් මම හැමදාම
හිතෙන් කවි ලියනවා

මේ ගෙවන ජීවිතේ
ඒ කවියෙ තියෙනවා
කාටවත් නොපෙන්වා
හංගගෙන ඉන්නවා

කවිය බලන්න
සමාධි

සමාධි

කෝ ආනන්ද පැරීසිය

පෝදා සඳ රන් විමනයි
මැදුම් රයම නිසලයි
බුදුකුටියේ පහන් සිලයි
තුන් දොර එළිය කරයි
ළා දළු බෝපත් රනේ රුවට ලෙලෙදෙයි
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි

ගඟනිල් දියවර පැහැසරණිය වෙයි
ලාලස ගමනින් ගලා බසියි
සවනක් ගණ බුදුරැස් විහිදා
අරුණා ලෝකය බැබලෙයි
මහ සෑ මළුවයි නිකෙලෙස් සුවඳයි
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි

සුදු පුළුන් වලා වියනයි
කසිණ බවුන් වඩණා නිමිත්තයි
ක්‍ෂිතිජ ඉමයි රන් අස්වනු යායයි
මඳ පවනේ නැළවෙයි
විහඟ රෑන් රන් කරල් නෙළාගෙන
පා සටහන් නොතබාම පියාඹති
සිතුවිලි අරණේ බවුන් වඩන සිත
සමාධිගතවී උදාන ගී මුමුණයි

කවිය බලන්න
සුදු නෙළුම

සුදු නෙළුම

කපිල කුමාර කාලිංග

සුනිල විල බැස
නෙළමි සුසුදු නෙළුමක්

රැඳෙන්නට මා අස
දෙමින් රුව හා සුවඳ
හිරු බැස යනතුරුම

හෙට අරුණෝදයේ
යළි පිපෙනු ඇත
තව තවත් නෙළුම් ඒ විල
නොනෙළමි ඒ කිසිත්

ව්ඳිමි , දකිනෙමි
මතක මලසුනේ වූ එ මලම
දිවිගමන මැද නෙළූ
බැස ගිය ද දිවයුරු
නොමැළ වෙයි එය
සුපිපෙයි ගනඳුරේ වුව

කපිල කුමාර කාලිංග .

කවිය බලන්න
බුද්ධියේ මග

බුද්ධියේ මග

නිමල් රංජිත් කන්දමුල්ල ඉතාලිය

අනේ හිමියනි
දකිමි සියැසින්
ඔබ කියා දුන්
ඔබේ මග ගිය
සඟ ඝනුන්

කියා දෙති
උගන්වති
වෙනත් මගවල්
සුඛ විහරණය සඳහා
ඔවුන්ගේ නිකායන්

තැන තැන දකින්නේ
හිඳින පෙරලෙන
වැතිරෙමින් බිම
මුදුන් දී දෑත්
වඳිනා බැතිමතුන්

ඊට ඉහලින්
සංග ඝනයා
උපදෙස් දෙමින් ඇවිදිති
ඉහළ මාලකයේ නැගී
සිවුර ඔතනා විදිහ
මහා දාගැබ වටේ

අහෝ හිමියනි
බුද්ධියේ ධර්මය
සොයමින් සිටින මා
පෙර නිමිති දකින්නෙද
බිම වැටී පෙරලී
ඔබ දකිණු හැකි වේද

දෙපයින් නැගී සිට
සත්‍යය දකින්නට
බුද්ධියේ මග
පසක් කරනට
කවදා හැකිවේද ?

අනුරපුරේ දී - නොවැම්බර් 20, 2021

කවිය බලන්න
නිවාඩු ගිය සඳ...

නිවාඩු ගිය සඳ...

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

සඳක් හෙමිහිට අහසෙ සතපා
වලාකුළු සළු වලින් පොරවා
තනි කමට තරු පොකුරු රඳවා
හිරුත් රහසින් නික්ම ආවා...

සඳක් නිදිගත් ගගණතම පාළුය
තරු කැකුළු සිය දහස් පිපුණද
සඳ දෙනෙත් අද විඩාබර විය
හිරුත් නොදකින ලොවම අදුරුය

පුරා අටවිසි දිනක් වෙහෙසී
ලබන එකම එක දිනකි මෙලෙසේ
විසල් මේ මුළු අහසටම සමුදී
සැඟව යන්නෙමි අමාවක වී......

29-11-21

කවිය බලන්න
ලක්ෂ්මන් විජේසේකරයාණෙනි ඔබට නිවන් සුව

ලක්ෂ්මන් විජේසේකරයාණෙනි ඔබට නිවන් සුව

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

කලා අඹර තුළ විහිදුවමින් එළිය
ගැයුම ද සමග රඟපෑම ද හරි හරිය
සංගීතයෙන් ඔපකරවා දුන් දිරිය
තරුවක් නිවුනි නිමකරමින් දිවි සැරිය

දෙස්පාලකයො පසුපස ගොස් වරදාන
ගන්නට තරම් ඔබ වූයේ නැහැ දීන
ඇතුලත කුණු වසා පිටතින් රඟපාන
ඇතැමුන් අතර දෙවියෙකි පෙළහර පාන

කිසිවිට මුදල් පසුපස දිවගියේ නැත
ලොකුකම් ඉදිරියේ හිස නැමුවේම නැත
සැමදා තරුණ වත මදහස මැකී නැත
අප සිත් තුළින් නම් ඔබ මියගියේ නැත

චන්ද්‍රාවන් සමග සෑදූ කැදැල්ලේ
දියණිය සමග පුතු රැකගෙන නිදැල්ලේ
අවිහිංසකව සුව ලැබ එක තුරුල්ලේ
අද පාවී ගියාදෝ මල් පියල්ලේ

නිරතුරු මුවග රැඳි සිනහව මනාවන්
පෞරුෂයෙන් පිරුණු හඬ විය ඉනාවන්
කරුණාගුණය ඉතිරුණු නෙත් පුරාවන්
ඔබ නැති කලාලොව ඇත කළු වළාවන්

හැකි සැමවිටම නවකයනට දිරි දෙමිනා
ඔබ පියතුමෙකු විය ඔවුනට මග කියනා
හරවත් මිහිරි ගීයෙන් රස උපදමිනා
පය බිමතබා සිටි මිනිසෙකු විය අගනා

කලා ලොවෙහි ඔබ දැල්වූ පහන් සිල
දැල්වී තියේ කාගෙත් සිත්සතන් තුළ
ඉරපායා අළුත් දවසක් ලබන කල
ඔබ දුන් මහඟු නිමැවුම් කළනොහැක මිළ

නිරතුරු අරුත්බර රස නිමැවුම් දුන්න
කාගෙත් සිත් දිනාගෙන පාඩුවෙ උන්න
හදවත් පිරිමදින හඬ යළි අහගන්න
වෙනනම් කෙනෙක් නැත එම තැන පුරවන්න

අප හැරගියත් ගිල්වා සෝ සයුරෙ සුසුම්
ඉතිරිව තිබේ සළකුණ ඔබ තැබූ නැවුම්
මිනිසුන් අතර මිනිසෙකු විය ඉතා උතුම්
ඉඩදෙනු මැනවි පිදුමට ඔබෙ නමට කුසුම්

සුන්දර කලාකරුවාණෙනි හද බැන්දූ
සමුගෙන ගොසින් කඳුළක් අප නෙත රැන්දූ
සැමදා අමරණීයයි ඔබෙ ගී සින්දූ
මගඵල ලැබේවා! ඔබ නිවනට කැන්දූ

19.11.2021

කවිය බලන්න
ගිලෙන නැවක මීයන්

ගිලෙන නැවක මීයන්

ආරි ලියනගේ ඉතාලිය

උඳුවප් සිසිල් දැන්නම් ඉදහිට දැනෙනා
දෙදහස් විසිඑකේ අවසන ලඟ පෙනෙනා
දින සති මාස එකිනෙක ආපසු බලනා
ලක් මෑණිගේ කඳුලින් සයුරම පිරෙනා

කෑලි කෑලි රට විකුණනයි ජනට හොරා
බේගල් බෙදයි උන් දවසින් දවස පුරා
කසාවතත් මසුරන් යට සසුන පුරා
තිස්තුන් කෝටියක් දෙවියන් ගියේ හැරා

ගිලෙන නැවක මීයන් පැන යන සේම
තරුණ පිරිස් රට හැර යන්නේ බෝම
මෝඩ වහලු ඉතිරිව හිඳිනෙද මේම
පාලකයෝ ගසයි දැන් හොඳටම ගේම

වර්ජනය උපවාස මර්ධන දැඩි කෘර
ගොවියන් දෙස් දෙවොල් හොයමින් නැති පෝර
සෞභාග්‍යයත් දහවල් සිහිනෙකි මාර
අහෝ ඛේදයකි පැන කටකට මෝර

කවිය බලන්න
කොහොම මම කියන්නද

කොහොම මම කියන්නද

සෙව්මි ලෝචනා ලියනගේ රෝමය

නංගි ඔය පුස් බැඳුණු මලු කොටේ අර ගනින්...
පාන් ඇති ඉතුරු වුණු පිහල ගං හෙමි හෙමින්...
කිරි වගේ නැති වුණත් වෙනදා උඹ බොන තනින්...
ටිකක් කමු අම්මා එයි දුවන් දැන් ඉක්මනින්...❤

ඊයෙ වඩ විකුණාපු සල්ලි ඔක්කොම අරං...
වාට්ටුව බලන්නට ගියා මම දුර ඉඳං...
දකින්නට අම්මා මට ලැබුන්නෑ බං වරං...
ඉතිං මම ආවා උඹ ලඟට මගෙ හිත හදං...❤

එන ගමන් හම්බුණා අර නර්ස් නෝනා...
අම්මා ගැන කිව්වා මට නොයෙක් දේ නා නා...
ඕවා තේරෙන්න උඹ ලොකු වෙන්න ඕනා...
දැං ටිකක් දරුණුයිලු බං මේ කොරෝනා...❤

කිරි නැතුව උඹ ගෙදර ඇති මොකුත් කන්නෑ...
ඉනුවනම් මට කිරක් බොට පාන් දෙන්නෑ...
දරා ගන්නට උඹට හය හතර දන්නෑ...
මම කොහොම කියන්නද? "අපෙ අම්මා එන්නෑ" ❤

කවිය බලන්න
කොළ පැහැය කියන්නෙම වසන්තයකට

කොළ පැහැය කියන්නෙම වසන්තයකට

උද්‍යා මාධවී

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
හෙමින් දිගහැරෙන
ළපටි දල්ලක පැහැයකට
ලොවක සරතැස නිවන
හරිත තුරු වැස්මකට
රඟන සුළගට තනුව වයනා
අතුරිකිළි අඟ පත්‍ර තතකට

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
නුඹේ මුහුණට යටින්
මුහුණු පොතෙහි හිනහෙනා
පුංචි තිතකට
නුඹ හිඳින බව අඟවනා
බලාපොරොත්තුවේ පැහැයට

ඉතිං

කොළ පැහැය කියන්නෙම
වසන්තයකට
උදාවෙනතුරු බලා හිදිනා
වසන්තයකට........

කවිය බලන්න
ප්‍රේමයේ නිසල සඳ …

ප්‍රේමයේ නිසල සඳ …

දිනූෂා මනම්පේරි එක්සත් රාජධානිය

පුරා සඳවත …
අරා නැගෙමින් …
එකලු කල ගඟනත සරා ..
සොයා ගෙනැවිත් ලඟින් හිඳ…
තරු සඳිසි නුඹෙ මුදු වත පුරා ..
තබා පිණි මුතු හාදුවක් …
මුදු සරින් තොල්පෙති මත නුරා …
හොවා ලය මත වයාලනු මැන …
නිසල රෑ සඳටත් හොරා ….

කවිය බලන්න
අස්වැසුම

අස්වැසුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

ප්‍රේම සැඩ සුළඟක ගසායන
පුතුගෙ දෑසින් වැටෙන කඳුළක
රුදුරු රළ මහ මේඝයක් වී
ගෙදර වහලම ගිලී අඳුරක

සුසුම් සුළඟින් වැනෙන ගහ වැල
ඇඹරි ඇඹරී තලයි හදවත
නටුව ගිලිහුණ පැතුම් දළු කොළ
ඇදී යයි බිම දිගේ දස අත

කර කියාගත දෙයක් නැති පුතු
පියාගේ උරහිසට බරවෙයි
විරහ ගිනි ලෝ දියේ ගිලෙමින්
පිදුරු ගස් වල පවා එල්ලෙයි

ගෙදර පහනත් නිවී ගිය පසු
මමත් ගෙදරම මුලු ගැසී ඉමි
ඉතින් අපි හිත හදා ගෙන ඉමු
බිඳෙන සුළු වෙයි ලෝකයෙම බැමි

කවිය බලන්න
World War One!

World War One!

World War One goes bang and boom ..
We could here it from our trench room ..
Whilst eating cold can food !
Pesky rats go here and there..
But dogs carry messages everywhere..
Keeping diaries about our life..
hearing news about our friends die ..
But trying not to cry ..
As waiting our friends lay ..
This might be the end of the day..
… BANG …!!!
This is World War One!

කවිය බලන්න
අම්මා

අම්මා

තනිවී මා අද කතරකි ලෝකේ
පැතුවේ ඔබෙ රුව සිත මා දැවුනේ
ඇයි මාගේ සිහිනේ මාලිග අද බිඳුවේ
අම්මා සුදු මාගේ නැතිදෝ සෙනෙහේ

අතැඟිලි අල්ලා පුතු මගෙ කීවේ
නැතිදෝ අම්මේ සිත දුක් වූයේ
නෑ කිසි හෝ සැපතක් ඔබ නැති මේ දිවියේ
එන්නකො මගෙ සුදු අම්මේ කියාලා පුතුනේ

ඇතිරූ මල් මා යන එන මාවත
ඔබ මුදු වදනින් සැනසූ මා සිත
ඔබෙ ගත රුධිරයමයි මා පණ පිරුවේ
තනිවී අද පුතු හඩනවා අම්මේ

සිතුවම කිවිදිය විසින්.

කවිය බලන්න
විඳිමි රස සුයාමය

විඳිමි රස සුයාමය

කුමුදි නෙත්තසිංහ මොරටුව

පෑ හිරි ඔතප් ගැලවෙන කිරුළක් බඳු ය
නරමුල් මතුව එන යුරු ඉඳුදුනු බොඳය
මා ප්‍රිය අයෝධනයට ඈ නැති සැටිය
අඳුන් කුළකි දැන්, මා මාගම රළුය

පානා ලීල හිඟ, ආදර උල්පත් සිදීය

පෙර කුරවි කූජනය දැන් නොවේ මිහිරාව
ප්‍රභාතය ආ නමුදු දින දිනම කම්පාව
තුමුල දොම්නසකි,කුහුලුරු රසකි ලලනාව
ඉඟිල යන්නට සිතේ වෙත සතුටු ගංගාව

හදපත්ලේ කැනීමකි, ලඳක් ඇත අඩමාන

නිල්කට දෑස් නතර ව මා විමසත් ය
කෙරෙනා ඇරයුමට සියලඟ කුල්මත් ය
වන වදුලක් යට දිව්‍යම යහනක් ය
අන් තුනුවඟ අස හළුයේ හැඟුමක් ය

මානම ඇගේ මන්දස්මිතයෙන් වැසි ය

පහවැයා නොදුන් ගත අවනෂ්ට කුසුමක් ය
ලෙහි හොවා,අවුල් හිස මා සෙවූ කවියක් ය
කලතවා රණ තිසර යුග්ම මැද භවනක් ය
ශුංගාර වූ හොයකි, තුටින් සිත කුල්මත් ය

මියුලැසිය මගෙ විජිතේ නුඹ අගවූ රැජිනක් ය

හස්තිකාන්තිය සිහිනිඟ අමරඟන
පිළිබහා ගත නොහේ මීන දොඩමළු නයන
සාත්වික අභිනයට පර්යාය පදය වන
කුමුදු සිත පීදෙනා සඳරැසකි මා ගලන

සඳරැසක් ලඟදි කොයි කුමුදකුත් තොඳොල් වින

නීල,පීත, ලෝහිත වන් කැල්මෙන් සතන
රන් පුන් කුම්බ සේ දිස්වන විට නිතින
ගිඦිඳු කුම්භස්ථල යෑ සිප සනසමි තුටින
සූරියවව්ඡසා සම ළඳ හා බැඳින

සුයාමයක රස කරළිය මත මැවුණ

කවිය බලන්න
අඳුරෙන් එළියට

අඳුරෙන් එළියට

මොනිකා නානායක්කාර බණ්ඩාරගම

තෙමඟුල් මිහිරියාවෙන් සිත වෙද්දි තුට
තිලොවග හිමිගෙ ගුණ සිහිපත් කරන කොට
නව ලොව්තුරු දහම් රසයෙන් පිනන විට
ඉමිහිරි වෙසක් ගෙන දෙයි සුව සැම සිතට

සැරිසර සසර කෙලවර සව් සතා වෙත
මොක් මඟ පෑව දක්වා බුදු දයා නෙත
ගණඳුර නසා සිසිලස දුනි පමා නැත
තිලොවට තිලකයකි බුදු හිමි තතාගත

සදහම් කිරණ විහිදෙන හොඳ වෙලාවයි
මුළු ලොව එළිය වුණු හැටි කල්පනා වෙයි
තුරුලිය කුසුම් පුබුදාලා සිනාවෙයි
වෙසඟේ පොහොය සැමටම වාසනාවයි

ගස් ගල් වඳින ඉරහඳ අදහන දාක
අසරණ සතුන් බිලි පුද ගැන්වුණු සෝක
අනියත බවක් පෙන්නුව ලොව හැමදේක
හරි වැටහීම බුදු හිමි වදහළ සේක

සැම සතහටම සෙත සලසන දහම් මඟ
මැනවින් මෙනෙහි කොට පින් පව් දෙකේ රඟ
දැන හැඳුනුමෙන් මතු මොක් සුව ලබන වග
වැටහීමකින් මිස නොබැලිය යුතුය ළඟ

සඳරැස් වතුරෙ නැහැවෙන විට විටින් විට
සුවපත් බවක් ගෙන දෙයි හැම සතුන් හට
පුහුදුන් මිනිස් දුක් කෙලවර කරන්නට
පිළිවෙත් පුරමු බවයෙන් එතෙර වන්නට ..

2021. 11 . 16

කවිය බලන්න
උඳුවප් හා සඟමිත් තෙරණිය

උඳුවප් හා සඟමිත් තෙරණිය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

උරුමය ලෙසින් නෙක දුක් ගිනි දරාගෙන
අසරණ වෙලා සිටි කඳුළැලි පෙරාගෙන
ලඳුනට සැනසුමක් සතුටක් ලබාදුන
උඳුවප් මසයි මේ සිසිලස බෙදාදෙන

සදහම ලැබුණ මුත් ලක්වැසි දනන්හට
සැනසුම ලැබී තිබුණේ පුරුෂයන් හට
සඟමිත් තෙරණියයි එම සඳ ලඳුන් හට
පිහිටට පැමිණියේ ඇති කර දෙමින් තුට

ග්‍රහ දොස් අපල කරදර දොස් දුක කැන්දා
අරමුණු පැතුම් කඩවන විට සිත බින්දා
දුවගෙන ගොසින් සැම දෙන බෝධිය වැන්දා
තෙරණිය තමයි ආවෙත් බෝධිය කැන්දා

ජයසිරි බෝරදුන් මුල් බැසගෙන පොළොවේ
ඇති ලෙස තෙරණියද සැමගෙම සිත් තුළ වේ
එනිසා කළගුණය වෙත නිති සිත් බරවේ
දන් සිල් පෙරහරින් උඳුවප් ලස්සන වේ.

කවිය බලන්න
තණකොළ ගහ

තණකොළ ගහ

කුමරිනී පද්මනාභන් ලන්ඩනය

තනකොල ගහේ කිසි අගයක් නොපෙනේය
පාගන විටදි පමණක් එය සුව නොවෙද
නොදැනෙන සුවය දැනෙනා විට දිය අගය
කිසිදා මෙලස මමනම් සිතුවේ නැතිය

ඉන්නට තැනක් නැතිවිට තණකොළ මැස්ස
බිමවූවත් හිඳනු හැකිය සැනසුමක් ලෙස
මා සිත දහිරියෙන් ගෙනයන්නට එදින
දකින දකින තණකොළ ගහ විය පිහිට

පයෙන් පෑගුවත් කිසිදා ශබ්ද නැත
ඇසෙන් එරෙව්වත් මගෙ ගත නොසෙල්විය
මුවෙන් කියපු නොයෙකුත් දොස් ඉමක් නැත
මා තණකොළ ගසට පුදදෙමි අද දිනය

----------------------------------------

Grass Plant

Cannot see any goodness in the grass plant
It gives me comfort only when I tread on it
Feeling comfort I never felt, is of more value
Never did I think like this before in my life

When there's no home, grass was always there
Sitting on it gives the sense of comfort anywhere
Strength to go forward in those gloomy days
Every single grass blade I saw was my saviour

Treading with feet did not cause any noise
Frowning with eyes did not shake my body
All that uttered from the mouth had no end
I worship you therefore,the grass plant today.

Kumarini

24th November 2021

කවිය බලන්න
මල් පියලි සිව්පද කිවිපති ඩැනියෙල් බොතේජු

මල් පියලි සිව්පද කිවිපති ඩැනියෙල් බොතේජු

ශාස්ත්‍රපති කිවිපති නන්දසේන පලිහක්කාර කොළඹ

දැක පෙර ගමන කවි ලොව යා යුතු පාර
දුක සැප සමබර ව සැසදුව මන හාර
සැක සුව "මල් පියලි" සිව්පද රස දාර
එක මුතු කවි මඟකි "අතකස "නිජ ආර

කවිකම උරුමැති ව ජීවන රටාවට
රණබිම පුරුදු කිවි ඩැනියල් බොතේජු ට
නිජබිම පිදුම් අඩකුඹු දද නැගී සිට
විරුනම බුහුමනකි රණවිරු සොබාවට

පන්හිඳ හුරුව කවියට නව කතාවට
දුන්හිඳ ඇල්ල හිටිවන කවි ගෙතීමට
රන්කඳ කොහිලවත්තේ ගම් පළාතට
පෙම්බැඳ පුබුදු කළ කවියෙකි දිනූ රට

කවි පරපුරට පවුලේ දරු සෙනෙහසට
දිවි මඟ කැප ව එකඟව සිය අදහසට
පිවි තුරු සිතැඟි විහිදුව දෙස බස රැසට
සවි බල රණහඬකි ජාතික නිදහසට

දිනි සුරු කිරණ විහිදා ළය අබිමානේ
ගිනි අවි යට ව පැතිරුව තෙද කවි පෑනේ
තනි කම මකා ගත් පදරුත් සඳ පානේ
විනි විද අරුත් පිටුවකි කවි රජ දානේ

මහ පුරුකක් බිඳී රිටගින් කොළඹ කවී
දහ මක දුක දැනේ කවි ලොව පපුව දැවී
ඉහ සංසිඳී තුන් සිත් ගන අඳුර නිවී
සිහ සුන හිඳිනු මැන තුන් ලොව දිනන සවී

කවිය බලන්න
Atticus now a teenager

Atticus now a teenager

A gloomy autumn dawn, with leaves carpetting soil,
Sun rays seeping through, with birds morning fly,
Perched on a corner lonely, with heartbeat rising high,
Ears glued to the curtain, waiting for that arriving cry!
A bundle seen through narrow gap, a long awaited sight!
Bringing me the title " Grandma" a milestone ranking high!
Streaks of golden appeared, on gray autumn sky,
A warmth ran all over, when waves of love rose high,
Atticus dearest angel, a teenager smart and bright!
Your are achchi's idol, may future bring you joy!

කවිය බලන්න
දැලිපිහියෙන් කිරි කෑවට  ❤  රසය ගිනී -

දැලිපිහියෙන් කිරි කෑවට ❤ රසය ගිනී -

දේවක පහලවත්ත බදුල්ල

ලඝුකර දෙනෙත් සද කලුවර අදුරු දැලී
නුඹ නැති සොවින් මගෙ නෙතු අග කදුලු ඇලී
සිහිනෙන් පවා දුක සපැමිණ සයනෙ තැවී
දුරුතු සීතලට නුඹ දුන් ගින්න තපී

සැබෑ නොවන සිහිනෙක අවදිව රැයම
නිගාකරයි මා රැවටුව මතක සැම
පන්හිඳ අගට කවි උනලා දුකම දෙන
ආලය ඇමක් වීලා වැළඳුව පවට

සගවා රහස් ගුලි හදලා හිත අස්සේ
හිරවී හසුන් ලැම හොබවා හැමතිස්සේ
සඟවා ලොවම හිරු ගිලෙනා අරුමැක්කේ
හොල්මන් කරයි නුඹෙ රූසිරි මේ වැස්සේ

සිහිනෙන් පවා සිත සිවු සිල් පදය රකී
කුළුමීමෙක් විරහෙන් බෝ රුකට අනී
මොනවද කාපු වදුරෙක් කොත් අගට පනී
දැලිපිහියෙන් කිරි කෑවට රසය ගිනී

පපුව පලා නුඹ පතුලේ හන්ගාන
ඉන්නා හුස්ම තදකරගෙන හන්තාන
පෑවේ නුඹයි වෙන අයෙකුට ගිණිසිසිල
ඌරෙක් ඇවිත් මඩ කෙරුවයි විල් පතුල

ජීවිත ඔසු තනා හින්දා පත එකට
කොහොමත් අගුපිලෙත් තිබුනා ආදරය
ආතුර හදවතේ තවරා නුඹෙ පුසුඹ
මල් වඩමකට ලස්සන කඩුපුල් මල ය

කවිය බලන්න
අවදානමේ මොහොත

අවදානමේ මොහොත

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

වට වංගු මාවතේ එන කල
තුරු ලතා කඳු ගම් දනව් පෙළ
මතක සිතුවම් කළා අහසේ
දුකට ආපසු හැරී බැලුවා

වියරු හඬ දෙන බිය උපදවන
රුදුරු දළ රළ රකුසු වෙස් ගෙන
අසුරු සැන මා උගුල පැටලී
අතුරුදන් වෙද ගොදුර විලසින

අසරණව සිතිවලි රිද්දනා
මොහොත වෙද උඩුගං පීනනා
කවුරු කවදා ගියෙද එලෙසින්
අවදානමේ ⁣මොහොතින් මිදී

නුහුරු නිසසල බව හැඟෙන්නේ
අනන්තය නොවෙදෝ පෙනෙන්නේ
⁣⁣බිය දොම්නස් සිතිවලි වියැකී
මහසයුර මා බව වැටහිණී

(ඛලීල් ජිබ්රාන් කිවිඳුන්ගේ 'බිය' ඇසුරින්)

2021 නොවැම්බර්

කවිය බලන්න
බෝ සමිඳුනි

බෝ සමිඳුනි

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ගෙන රැක වරණ මැද දාගැබ් සතර දෙසේ
සැනසුම සිතට දී බෝපත් සැලෙන ලෙසේ
වෙන කොතැනක වුවද නොදැනෙන සුව මනසේ
පින කොතරම්ද නොදනිමි ඔබ දකින ඇ සේ

වැව් පොකුණු වල දණතෙක් මඩෙහි එරී
මල් පිදුමට එන දනගේ පින සපිරී
සියපත් හා නෙක කුසුමින් දෑත පි රී
ඔබ පිහිටෙන් දිළිඳුන්ගේ දවස සරී

පිස එන මහා වැව් සිසිලස ඇති පව නේ
නිසලව වැඩ සිටින මහ මෙව්නා උය නේ
සසලවු මසිත එක්තැන් කෙරෙනා දැහැ නේ
අසලම බෝ සමිඳු හැර කොහි වෙද දෙර ණේ

20/11/2021

කවිය බලන්න
සිරිලක් බිම සුවඳයි.

සිරිලක් බිම සුවඳයි.

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

රන්වන් බෝ මළුවයි
නිල්වන් කෙත් යායයි
බාලේ අම්මා මට සිහි ගැන් වූ
හෙළයේ උරුමෙ එයයි.

පැරකුම් සයුරේ නැඟෙනා රැල්ලකි
ඒ සිංහලේ හඬයි
සමාධි බුදුරුව අබියස දී නම්
ඒ දම් දීපෙ වගයි
අතීතයේ රන්දහදිය මුසු වී
සිහළේ සුවඳ හමයි
ලක් බිම අප සැම එකමුතු වන සඳ
හෙළයේ ගීය එයයි.

කුල ගොත් හැම දේ අතැර පෙරට යමු දියුණුවෙ දොර එතනයි
දිරිය වඩා පෙරමුණටම යමු අපි
අනාගතය මිහිරයි
රන් දහදිය බිඳු ගත දැවටෙන විට
සිරිලක් බිම සුවඳයි
නංවමු රට දැය එකමුතු වී අපි
දිවියේ අරුත එයයි.

කවිය බලන්න
කොට්ට පොල්

කොට්ට පොල්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සිලෙච්චි මාමාගේ වරිච්චි ගේතුල
නැටිච්චියක් රඟදෙයි
පැලිච්ච රබාන වරිච්චි බිත්තියේ
කරබාගෙන හිඳිතෙයි
ඉදිච්ච වරකෙට කාක්කා කොටකොට
කොහැල්ල ගාගනිතෙයි
කැඩ්ච්ච් කොන්ඩය අතින් හදහද
උඩ්ච්චි ගෙන් පිටවෙයි

හැලිච්ච කටුටික මුලිච්චි වෙනවට
සිලෙච්චි කලබල වෙයි
ඇරිච්ච දොර ලඟ සෙලෙච්ච් නැන්දා
කෙස්ස කඩා හඩතෙයි
කිරිච්චියක් ගෙන තොලොංජි කරනවා
ගේ වටේට දුවතෙයි
සිලෙච්චි මාමා නොදන්න තාලෙට
කරුංකයක් විකතෙයි

කවිය බලන්න
මෙහෙණි දුවට අම්මාගෙන්....

මෙහෙණි දුවට අම්මාගෙන්....

ප්‍රේමචන්ද්‍ර රූපසිංහ නුගේගොඩ

දෙපා ළඟ ඇද වැටෙන
කිතුල් මල් දෙනවන්
දිගු මුහුල කපා
බිම හෙළන විට
මට නැවත විලිරුදා
වැළඳ සිහිසන් වුණා
පියවි නෙත් හැර
නැවැත ඇගෙ මුහුණ
බලන විට
සුදු නළල හැඩ කෙරුව
ඇහි බැම්ම හූරලා
පෙණ දමපු මැටි කොරහෙ
පාවෙනව
පැලේ මල් පලගත්ත දින
දෙනෙත් පියා අප හැර ගිය
අප්පච්චි පළඳවපු තෝඩු දෙක
මැටි කොරහෙ දිලිසෙනවා
දියණියනි කෙසේමම
නුඹේ වත දකින්නෙම්ද?
දිගු සසර ගොඩ වන්න
මටත් එතරට යන්න
දුවේ නුඹ මෙහෙණි වී
නුඹේ දෑත මට දෙන්න
සඟමිත් මෙහෙණිගේ
මෑණියන් වහන්සේ
මට වගේ දුක්සුසුම්
වා තලයේ පියන් ඇති
ඒ පිහිට නෙත් යොමා
නුඹේ දෙස බලනු ඇත
කරුවලේ පිට නොගොස්
කුටිය තුළ වැඩ ඉන්න
ඔබ ඔබා ඔබ හිටිය
ජංගමය තුරුළු කර
ඔබ නිදා සිටි ඇඳේ
මම වැතිර සිටිමි දුව

කවිය බලන්න
අසිරිමත්  කිතු  උපත !

අසිරිමත් කිතු උපත !

දයා ආනන්ද රණසිංහ එක්සත් රාජධානිය

දිළිඳුන් රැඳුණු ගවහල ඔප වැටෙන්නේ

දෙවිඳුන් තරු මවා ලකුණක් කරන්නේ

නිරිඳුන් පඬුරු ගෙන ළඟ එනු ඇසෙන්නේ

බිළිඳුන් සුවෙන් මව් තුරුළේ නිදන්නේ

කවිය බලන්න
කොළඹ යුගයේ සිත්ගත් කවි - ඊනියා පාලනය (1952)  - එදා මෙදා වෙනසක් ඇද්ද?

කොළඹ යුගයේ සිත්ගත් කවි - ඊනියා පාලනය (1952) - එදා මෙදා වෙනසක් ඇද්ද?

සැනසිලි ගීතයක හඬ නොව කන සවණේ
දෙන පණිවිඩෙන් දැලි පැහැ ගැන්වෙන මුහුණේ
නිදහස් ලක් රජයකට අප හද ගැලුණේ
පව් පින් දෙකේ කුමකින්දැයි මට නොදැනේ

අහර - නිවෙස් - රැකි රක්ෂා පැන ආදී
දහසක් පැන ඇතත් එක පොදියට ඈඳී
පාලකයන් ගෙ නෙත් සිත් එදෙසට නෑදී
රජයක් කරති 'පොරොඩාතන්තර වාදී '

යොදුන් ගණනකින්වත් දෙස්පල් බිමට
කිට්ටු නොවිය යුතු මැටි ගුලි ටික මෙරට
පත් වූ හෙයින් පාලන තනතුරු වලට
ලජ්ජාවේ නාහින්නට සිදුවිය අපට

දේසික උරුමයෙන් පිටතට දිව වැටුණා
ජාතික සාමයික බැමිවල ගැට ලිහෙණා
කන්න බොන්න ඇති ලොකුගේවල වෙසෙනා
දණ්ඩෝ තමයි පාලකයෝ අප රකිනා

සිය බස මෙන් ම සිය ආගම නොහඳුනන
සිය දෑ සිරිත් පිළිවෙත් බොරුවට තකන
මහ පව් පඳුරු වැනි ළාමක සියලු දෙන
පාලක බිමෙන් එළවමු පෙරමුණට පැන

වැටකටු කඩා බිඳ දැන්වත් මිතුරු වෙමූ
සටනට පා තබා රණහඬ පතුරු වමූ
ජාතික සමගියට පණ දී රැක ගනිමූ
'මට බැහැ ' කියා හිතුනොත් තණ පිදුරු කමූ

ඉහිලුම් නො දෙන ලෙස රජ කෙළි කෙළින අද
පුහුගෙඩි ටික ලන්ට රජයෙන් පිටට ඇද
පහුබට වෙතොත් කිසිවෙක් සටනට නො වැද
ඔහු වැදු මවට දියයුතු දඬුවම කිමද

(උපුටා ගැනීම - දේදුන්න සඟරාව 1952 - සම්පාදක පී.බී .අල්විස් පෙරේරා)

----------------------------------------------------------------------------------------------------

ඌණ පූරණය නිශ්ශංක දිද්දෙණිය විසින්

ධන දේපළ අයුතු ලෙස උපයා ගත්ත
කන බදු මුදල් හරවා ඒ මේ පැත්ත
මොන පැති මාරු වුවමුත් මුන් එක රොත්ත
පන්නා දමමු මේ මල මූසල හැත්ත

2021.11.03.

කවිය බලන්න
පතිනි

පතිනි

ප්‍රීති රන්දෙණිය

ගසක් නොදකින තෙතක් නැති බිම කාස්ටක අව්වේ
සොයා පලවැල බොහෝ වෙහෙසෙමී ඔබ සොයා සොඳුරේ

පෙරුම් පුර පුර ඇඟිලි ගැන ගැන දාහයෙන් කතරේ
මගේ පතිනි ගෙ සෙනේ වැස්සෙන් නිවෙන්නයි පැතුවේ

ලොවම ජය ගත් විලස ආවෙමි පැතුම් මල් පලදා
සැහැසි හිරු හිනැහුනා රහසක් නොදන්නෙද අහලා
ගැහැනු කව්රුද වරදෙ නොබැදෙන වහසි බස් කීවා
මගේ සදවත එසේ නොමවෙත පිවිතුරු යි සොදුරු යි

වසා මගෙ ඇස මං මුලාකර මුසාබස් දොඩලා
ගියේ කොයිබද අනේ සොඳුරී ය පැලට ගිනි තියලා
දනිමි පතිදම් රැක්මෙ දුශ්කර පණගැහෙන සිරුරෙන්
ඒත් දුශ්කර ක්‍රියා කල මම පතිනි දම් පිරුවා

කවිය බලන්න
වීදි දරුවා

වීදි දරුවා

සදීක චන්දිමාල් රත්නායක

විසි කරාවි දෙකේ කාසි දෙපා මුලට
කන්නට පාන් කෑල්ලක් තිබහට කහට උගුරක්
බොන්නටයි අයදින්නෙ මා ඔබෙන්
අහක නොබලනු සිටුවරුනේ ලබන්නට මව්ගෙන්
දාරක ස්නේහය මා පින් කර නොමැත
එනමුදු පතනුයේ පසු ආත්මයේවත්
නොවන්නට වීදි දරුවෙකු
නොමැත මාහට කිසිවෙකුත් මෙදා
නපුර හිස එසවූ මොහොතක පතන්නට ඇත්තේ එකම දෙයකි.
සතුරෙකුටවත් නොවේවා මෙවන් දුකක්....

කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

නිරිඳුන් ඉදිරියෙහි
අකාරණ කන් කෙඳිරි නො කරවු
රද අදහස් ලෙසට
වදන් දෙව් දෙවු සැබෑ වන මෙන්

රජුන් ඉදිරියෙහි නිකරුණේ කන් කෙඳිරි නො ගා රජු ගේ
අදහස් දැනගෙන සත්‍ය වූ උතුම් බසක් කියවු

කවිය බලන්න
නගර සභාවේ පාර සුද්ද කරනා අම්මා

නගර සභාවේ පාර සුද්ද කරනා අම්මා

හිල්මි සුපුන් ඉතාලිය

රිකිලි බිඳුනු කස අත්තක් කිහිලි ගසාගෙන
අහස් කූරු දෙක තුනකුත් මල්ලේ දමා ගෙන
පාට පහක බැලුම් පහක් තෝරලා අරගෙන
සෙපරේට් කෑලි ගොඩෙන් ජේසු බබා විතරක් අරගෙන
අම්මා ගෙදර ගියා දරුවන් හට නත්තල් අරගෙන

කවිය බලන්න
ගණිකාවක් තම පුතුට කියන ඇගේ කථාව...

ගණිකාවක් තම පුතුට කියන ඇගේ කථාව...

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

තාත්තා කෙනෙක් නැති... ලොවට ජාතක වෙච්ච
"අවජාතක එකී".... ලෙසට හංවඩු ගැසුන
කාටවත් වැඩක් නැති පුංචි මම එක් වරම
යුවතියක් උන අරුම...

ටික දිනක් ගත උනා ..ගත මගේ පිබිදුනා
ඉදිරියට නෙරපු ලැම.... සන්තොසින් හිනැහුනා
පිල් විදින මොනරකුගෙ... හැඩය ගත් කෙස් කළඹ
කෙහෙල් දළු පරදවන... පැහය ගත් රත් දෙතොල
අම්මගෙන් උරුම උන... සඳක් වැනි මුව කමල
සලෙලු බැලුමන් ලබන .... සුදෝ සුදු පා යුගල...

මා ගමන් කරන විට... තාලයට දෙපැත්තට
නැළවී නැළවී නටන
ලස්සනලු මගේ පස්ස...
උපාසක මහත්තයා... දවසක්දා මට කිව්වා...

මග තොටේ යන්න බැහැ... බැඳපු මිනිසුන් පවා
හොර බැලුම් හෙළනවා
බඩු ගන්න කඩේ ගිය... හැම විටම මුදලාලි
කඩේ බඩු කිරන්නේ
තරාදිය දෙස නෙමෙය්....මගෙ පපුව දෙසබලන්..

ගමේ බක්මහ උළෙලෙ... අවුරුදු කුමාරිය
ලෙසට මම තේරුනේ
මගේ කරුමෙට කියා...පස්සෙ මට වැටහුනේ
තෑගී දුන් මන්තිරියා ...පොටෝ ගහනා ගමන්
කාටවත් නොදැනෙන්න..
මගේ පස්ස මිරිකුවම

එදා රෑ මුදලාලි... සමග මන්තිරිතුමා
අපේ පැල වෙතට විත්... උස්සාන මම බලෙන්
වාහනෙන් ගෙන ගියා...
මගේ පොර බැදීමත් ...අම්මගේ විලාපෙත්
උන් ගණන් ගත්තෙ නැහැ...
රැය පහන් වෙන තුරා... උන් මගේ ශරීරය
උරා බී තුටු උනා...
මළකඳක් සේ වැතිර... ඉකි බින්ද මගේ අතට..
සල්ලි කොළ ටිකක් දී...
කාටවත් කිව්වොතින්... මරණවා තොපි ඉතින්..
කියා තර්ජනය කර...උන් මාව විසි කළා
උහුලන්න බැරි කමට... මගෙ අම්ම වස බිව්වා
කාත් කවුරුත් නැතිව.. අනේ මම තනි උනා

එදා සිට හැමදාම... මගේ ගත ඉල්ලගෙන
මිනිස්සුන් මගෙ පැලට...හොර රහසෙ ගොඩ උනා
රෑ අඳුර වැටෙනකොට..
අනේ නැති බැරි කමට...විකුණුවා ගත උන්ට
උන්ගෙ රුපියල් වලට...
දහවලට මා දකින..කලට උන් මග ඇරියා
ඒකි නම් "සතාමය්" ...කියනවා මට ඇහුනා
"වේස ගුබ්බෑයම" ලු... උන්ට මගෙ පැල්කොටය

කාලයක් ගත උනා...පුතේ උඹ ඉපදුනා
උඹේ පියා කවුරුන්ද... දන්නේ නැහැ මගෙ පුතේ
වැඩක් නැහැ හොයන්නට...කවුරුන්ද ඌ කියා
ඌත් තව තිරිසනෙක්...මාව හපයක් කරපු

උඹව ලොකු මහත්වෙන..කාලයක් එළඹේවි
"වේසිගේ පුතා" යය් උන් උඹට නම් බඳීය්
ගණන් ගන්නට එපා ..උන්ගෙ තිරිසන් වදන්
මගේ අම්මාට සහ... මට වෙච්ච වින්නැහිය
මතු කවරදාකවත්...උඹේ දූ පැටියාට
වෙන්න ඉඩ දෙන්නෙපා...
උඹට කිරි කර පොවන...මගේ ලේවල හය්ය
අරන් නුඹ ලොකු වෙයන්..ඉක්මනට මගේ පුතේ...
තියෙනවා යුතුකමක්...උඹට ඉටු කරන්නට...

චන්ඩියෙක් වෙලා උඹ.. කාටවත් මෙල්ල නැති
මරාපන් මගේ පුතේ.. ගැහැණු කෙලෙසන එවුන්...
මග තොටේ ඇවිද යන ... වැඩපොලේ වැඩ කරන
වලව්වල කුස්සිවල...මෙහකාර කම් කරන
පාසැලේ, සල්පිලේ... හෝ තමන්ගේ ගෙදර
ගැහැණියක් කෙලෙසාපු.. කිසිම තිරිසනෙකු හට
සමාවක් දෙන්නෙපා ....මරාපන් වද දිදී
ගැහැණුන්ට ගැහැණුකම...ආභරණයක් උන
ලොවක් බිහිවන තුරා...මරාපන් තිරිසනුන්

කවිය බලන්න
අනියතයි ජීවිතය

අනියතයි ජීවිතය

පිපුණු මල් මිලින වී යන සේ
අප ද මිය යයි දිනෙක එලෙසේ
නොමැරෙනා  අයවලුන් විලසේ
කුමට රඟමුද අපිත් මෙලෙසේ

අරුත්බර වූ සඵල දිවියේ
සැනසුමයි නිති පවන් සැලුවේ
අරුත් සුන් වූ නිසරු දිවියේ
නොමැත අගයක් විඳී දුකසේ

සසර ගමනේ බැඳුණු ආසා
අතැර යනු හැකි නම් විසේසා
සිත කියන හැමදේම නාසා
හිඳිනු හැකි නම් නොමැත දෝසා

කවිය බලන්න
අරුණෝදය

අරුණෝදය

විඩා නිවි දිනකර නැවුම් හැඟුමන් මුසුව
කඳු මුදුන් මත එළා සිනිඳු අරුණළු සළුව
වළාකුළු සමඟ නිරත වී සුහද කතාවක
සුබ නැකැත පැමිණේය නව දිනක් අරඹන්න

කරුවලට බය නිසා රෑ තිස්සෙ සැඟව ගිය
පුෂ්පයෝ සිනාවෙති යළි එබී තුරු අතර
මුණ ගැහෙන මඳ පවන තවරමින් තම සුගඳ
විඳින්නට ඒ පහස බිඟුන් රැළ දැන් එයිද

කෙත් යාය හැඩ කරන් නැළවෙමින් තාලයට
ගලන දිය දහර තුළ පෙණ බිංදු පෙම් කෙළින
තරගයට අල්ලන්න අතු රිකිලි හිඳ දෑල
කඩිසරව ගලන සඳ නවත්වනු හැකි කෙලෙස

ගම්මැද්ද සරසන්න කිරි වදින නව ගොයම
රිවි කිරණ දරාගෙන පෙන්වමින් රන් පැහැය
වැව් දියට මායිම්ව අත වනන වනරොදක
රඟන මොණරුන් පෙනෙයි මහඟු සිතුවම් විලස

පින්න සුදු මුතු පලස එළා තණ පිටිය මත
වසු පැටවු රැඳෙති තන බුරුල්ලේ උණුහුමට
විමසන්නෙ එක හඬින් ස්වර වයන සියොත් කැළ
අලස වී නිදි යහන මත සිටිනු කවුරුන්ද

කවිය බලන්න
දියේ ගිලුනු යෙහෙලිය

දියේ ගිලුනු යෙහෙලිය

ගාමිණී සුරියආරච්චි ගිරාඳුරුකෝට්ටේ

විදුලි මිණි වැටක් වාගේ කො‌ලො‌ම් තො‌ට
සැදුනු ඉහළ ගුවනේ පාලමක් යට
අසිරි නො‌යෙක පුර විසිතුරු බලන විට
මතක් උනේ පෙරලුන පාරුවය මට

නො‌මිලේ බෙදන පිටු අඩු පාඩම් පො‌තක
තිබුණා නම ලියා දෙමලෙන් එහි කො‌නක
පාරුවෙ ගමන නො‌හැගුණි විපතට මුලක
පව් පින් කියා නම් මෙය සලකනු නො‌හැක

එක පාසැලේ දෙතනක හිටියත් දෙන්නා
තනි නො‌තනියට හෙවනැල්ලක් වගෙ උන්නා
දෙවියන් දෑත පා මගෙ පණ රැක දුන්නා
අනේ යාලුවනි නුඹ මා හැර යන්නා

ඡන්දෙට ගමට ඇ‌විදින් ලො‌කු පො‌හො‌සත්තු
ලණු වැල් කැඩුණු පුටු කබලෙත් හිඳ ගත්තු
පාලම ගමට එනතුරු බැලුවත් ඔත්තු
දුක් ගින්දරකි උනෙ මුඵ ගමටම පත්තු

නෑයෙක් වගේ ගමටම නෑ කිසි බේදේ
අප්පා ගියෙත් රස්සාවට ඔය මුහුදේ
අදහා ගන්න බෑ කාටත් සිදු වූදේ
උගත මනා සිල්පය කළ අපරාදේ

(කින්නියාවේ පාරුව පරලීමෙන් මියගිය මිතුරිය සිහිකොට
දුක්වුණු ඇගේ යෙහෙළිය දැක කම්පනයෙන්)

කවිය බලන්න
සත්‍යය

සත්‍යය

රංජිත් ද සිල්වා නවසීලන්තය

නත්තල් පණිවිඩ හැඩට ලියාවි
සාමය සතුට ගැන අයිසින් තවරා
ඒත් .......
කෙසේනම් එය විඳින්නද
පාස්කු ඉරිදා ගිනිගත්
තවමත් නොනිවුනු හදවත්

27නොවැම්බර් 2021

කවිය බලන්න
පෙම්වතිය නොදත් පෙම

පෙම්වතිය නොදත් පෙම

තුහින පාවඩ අතුල
හිමිදිරි උදෑසන
මුණි සිරිපා වඳින
සොඳුරු සමනල රෑන

සීරුවට අඩි තියා
සිල්පරයෙ එක පෙලට
දොඩමළුව ඇවිදගිය
සොඳුරු පාසල් දිවිය

සිහිනයෙන් පෙම් බැන්ද
මඟහැරුනු සඳවතිය
මා ඇයට පෙම් කලද
ඒ කිසිත් නොදන්නී

මියුරු මතකය නිතර
අවදි වී සොයයි ඇය
කෙසේ කොතැනක වේද
ඒ සොඳුරු කෙඩහැල්ල

නිබඳ සැරිසරන්නී
අඩ සිවසක සිහිනයේ
දැන හැඳිනගත් පසුව
දිවි ගෙවන වපසරිය

එ පෙදෙස පා නගන
එක් මියුරු අහඹුවෙක
නෙත ගැටුණි
සොඳුරු රුව

නවතා පාපැදිය
හැරෙනා නිමේෂෙට
අතුරුදහන් වූවාය
මිත්තනිය

කවිය බලන්න
මුලාවේ යන පින්වත්තූ

මුලාවේ යන පින්වත්තූ

නාලිකා සමන්කුමාරි අරාබි එමීර් රාජ්‍යය

බෙදාගත්ත මහ පොළොවත්
බදාගන්න දඟලන අය
පාර හොයයි නිවනට යන
හමුවූවොත් ඒ පාරත්
වැට මායිම් ලකුණු කරයි
සැකයක් නෑ බුදු බණටත්
නිගා දෙවන සිල්වත්තූ ....

හෙළන සුසුමෙ පවා රැඳුණ
ලෝභ දෝස මෝහ මළට
දඬුවම් දී සොබාදහම
නඩු ඇසුවම හරි විදියට
ඒ හුස්මම එකතු කරයි
මුළාවෙ යන පින්වත්තූ ....

සුදු සළු පොට දෙවුර දරන්
පන්සල රඟමඩල කරන
අන්ධ බැතිය මතින් සරණ
අන්ද මන්ද වූවන් දැක
කම්පාවෙන් සුසුම් හෙළති
මතු බුදු වෙන බෝසත්තූ ....

කවිය බලන්න
හනික වරෙන් තංගමනී...

හනික වරෙන් තංගමනී...

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

චංචල දෑස මුවා කළ තල්අතු වැට අතරින්
පින්කළ මගේ දෑස ඇයි මෙතරම් කලබලයෙන්
සිංහල සිංදුවකට සැලෙන නිතඹ දැක රහසින්
මංකළ වරද කිමද නොබලන් මා දෙස තරහින්

පෙම්බර සිතක පැතුම් බොඳ වෙන්නට නොදී ඉතින්
ගින්දර නොදී තවත් තල්වැට පැන හනික වරෙන්
ගම්දොර බලාහිඳී පිළිගන්නට තොරණ බැඳන්
සුන්දර තංගමනී එන නළලේ තිලක තියන්

චන්දන කොකුම් උලා පළඳා රන් තෝඩු සවන්
නදදෙන මෘදංග ගැටබෙර වැයෙනා තාල හඬින්
අතගෙන දෙපිය නගන පොල්රුප්පාවට ඉහළින්
පියඹන සියොතුන් ගී ගයයි ඇවිත් උතුරු දෙසින්

කවිය බලන්න
වල හෙවත් එළිමහන් රඟහල

වල හෙවත් එළිමහන් රඟහල

සුනිල් එස්. සිරිසේන මහනුවර

පන් සැට වසක් සපිරිණි මනමේ ඉපිද
මන රංජිත පෙමෙහි ඇත තවමත් සුවඳ
කලා කෙතක් වූ සරසවියේ නිබඳ
සරතැස නිවා අප සැනසූ තැන සබඳ

දුලා නෙතු පුලා එන කුමරිය පෙරට
දකිණු රිසි රසික කැළ මුළු දෙති අවට
විස්කම් පෑ සරාසඳ මහැදුරු නමට
තැබු තිලකයයි “වල” සරසවි දිණිතියට

වැසිදිය තෙමන හිරු රැස් දහරින් දවන
සරසවි බිමට ඔබ විය නිති සඳ කිරණ
පුහුදුන් සිතට නව නළු ගී රස පොවන
රඟහල ඔබයි එළිමහනේ රස මවන

“බලනුය දයා ඇසිනා” ............ මා දෙස ඉතිනා
මනමේ පෙර දසුන් යළි සිහියේ රුඳුනා
පෙරදා පිදු සෙනෙහස යළි පුද දෙවනා
දින ගනිමින් හිඳියි “වල” නුපුරුදු ලෙසිනා

නෙක තුරුලතා මල් වියනෙන් වැසුනාට
කොළ අතු වැටී රඟහල වේ පඬුපාට
විරසක පෙමක සෝ ළතැවුල් නිවුවාට
රඟහල සොවින්, පෙර සැළකිළි නෑ ඈට

කවිය බලන්න
උනුත් පිරිමි ම තමයි ඇත්තට!

උනුත් පිරිමි ම තමයි ඇත්තට!

අසංක රුවන් සාගර

හීතල කොත්මලා නිම්නෙක
සංසාර හෙල්මලු ලියැදි කප කප
ඔටුනු හංගපු උනුත් හිටියා
දර දිය ඇදන් ප්‍රේමෙට
අම්ම අප්පෙක් නොවුණු ගාණට

වාජීකරණ ඔසු රහස්
පත අට එකට සිඳ කවියක
තිරිහන් වෙච්චි ඈයොත්
දෙනිපිටියෙ නුගේ යට ඕසෙට ,
උන්ට හැටකුත් නැතිලු එතකොට

පැණි වළඳන්න හිතාගෙන
දඬුවැල් මී ම ඉව කළ
කීව නාහන බමරු නැග්ගලු
එක්ටැම් ගෙවල් මුර කළ

රටක් වටකර බැන්දට
හිත බඳිනු කොයි වැටකින
ලප තියෙන තැන් පෙන්නුව
ඇත්තම කිව්ව උන්ටත්
යන්න උනි නම් දඟගෙට..

අනේ අම්මේ,

ඉතිහාස පොතේ මෙච්චර
තියෙද්දිත් කයි කතන්දර
හිත හදාගෙන රෙද්දක
පැල්ලම් හොයනු බෑ මට

යන්නෙ නම් නෑ සිවුරට
පාළු වෙද්දෙන් හතර කොටුවම..

2021.09.14

කවිය බලන්න
මහ ගෙදර

මහ ගෙදර

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

මිදුල පුරා රටාවකට
මල් පිපිලා පාට පාට
පොල්අතු වහලෙ රතු උළු කැට
බිත්ති පුරා සමර පාට

ඉඳි කඩුල්ල ගිහින්
යකඩ ගේට්ටුව ඇවිදින්
සුදු නෝනා කැන්දන්
හිච්චි පුතා ගෙදර ඇවිදින්

හාන්සි පුටුවේ කාලය ගෙවමින්
වකුටු වෙලා තාත්තා නෑ දැන්
සුදු නෝනා හා එක් වෙමින්
හරි හරියට වත්ත පුරා ඇවිදිමින්
කාලය ගෙවන්නෙත් සතුටින්

සුදු නෝනාගේ අත් ගුණෙන්
වත්ත පහළ පිල්ලෑවේ
වැවෙනවා ඵළවලු සරැවෙන්
නෙලනවා අස්වැන්නත් යහමින්

මළහිරු බස්නා සැන්දෑවට
වීනාව ගෙන අතට
තාත්තා
වයමින් නාද රටා
අවදිකරයි කට හඩ හිනියට
තක්කිට තරිකිට තෙයි,......
මගෙත් දෙපා අත්
නැටවෙයි තාලෙට

සෑදු කූඩුවත් අරන්
ඇවිත් යන්න ඵන්න විගසින්
මගෙ දුවෙ රත්තරන්

15/11/21

කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

සමනොළ මුහුළ මහ සමුදුර මෙවුල් බර
සුලකළ පුවළ ලකඟන සිරි යොවුන් වර
තරකර විසල් වාසල් යතුරු මෙ නුවර
බැඳහළ රුවන් තනපට කියෙලිය පවුර

මෙම නගරයෙහි, යතුරු සහිත විශාල දොරටුවෙන් ශක්තිමත් කළා වූ
ප්‍රාකාරය සමනොළ නම් වූ කෙස් වැටිය ඇති, මහා මුහුද නම් වූ මෙවුල්දම
ඇති සුන්දර වූ ප්‍රෞඩ වූ ලංකාන්ගනාව යෞවන සිරියෙන් සිටිය දී
බැඳගෙන තිබී පසුව අත්හැර දැමුවා වූ රත්තරනින් නිමා කළ තනපටයෙහි
ශෝභාව කියා පෑවේය .

කවිය බලන්න
ඇයි අම්මෙ

ඇයි අම්මෙ

නුවන් තොටවත්ත

තවත් එක් ළදැරියක්
සාගින්නෙහි ම මියගිය
නිදමින් ඈ දෙනමත
බලා මවගේ මුහුණ

විමසයි,

" ඇයි අම්මේ
හංගගෙන හිටියේ
මෙච්චර දවස්
මේ
ලස්සන ගවුම ?"

කවිය බලන්න
ජේසුනි යළි වරක් වඩිනු  මැන........

ජේසුනි යළි වරක් වඩිනු මැන........

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

පිදුරු පිරි ගවලෙනක් තිබිරි ගෙය කෙරුණු
නිල් අහසේ වල්ගා තරු මග කියා දිලුණු
සාමයේ පණිවුඩය ලෝකයට දැනුණු
ජේසුනි යලිවරක් මේ ලොවට වඩිනු

යුදෙව්වන් ටත් වඩා සිත් සතන් දරුණු
එකිනෙකා පරදමින් තරගයට වැදුණු
දෙපා සිවුපා වෙමින් ලෝකයම නසනු
වලක්‌වා ගනු පිණිස කුමරුනේ වඩිනු

සාමයේ මල් පොකුරු ලොව පුරා ඇතිරූ
ප්‍රේමයෙන් පිරුණු හිත් නිබද වේ සොදුරු
සීත උදුවප් මහට උණුසුමක් ඇතිරූ
නත්තලක් එනු ඇතැයි හිත එකම අබිරු

කවිය බලන්න
කිරට හැරුන සෙනෙහස

කිරට හැරුන සෙනෙහස

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

රුදිරය නෙවි කිරට හැරුනෙ ලය පිරි සෙනෙහස
මහමෙරටත් වඩා උසයි මනින්න බැහැ මට
ලබපු දවසෙ අම්මේ නුඹ ඒ මව් පදවිය
මටත් ලැබුන එන්නට මේ ලෝකෙට ඉඩ කඩ

අට තිස් සතියක් කුස තුල අරගෙන තැන තැන
යන කොට මහ බරක් දැනුනෙ නැතිවද නුබ හට
ඉදහිට මම දගලනකොට ගහ ගහ පා දෙක
පුදුමයි අනෙ කැඩුනෙ නැත්තෙ උබෙ කොදු ඇට පෙල

කන කන දේ උදේ උදේ වමනෙට යන කොට
හිතුනෙ නැත්ද අජාසත්ත වෙන්නැති කුස තුල
හැදුනම මහ විලිරුදාව ඉවසනු බැරි කොට
තිතුනෙ නැත්ද පුතෙක් නෙවෙයි යකෙක්ද කුස තුල

අමාරුවෙන් කුසේ තියන් දුන්නම මට පන
ඇහුනෙ නැත්ද ආපුගමන් මම දුන් මරහඩ
තිඹිරි ගේම දෙදරන්නට හැඩුවම දිගටම
ලැජ්ජ හිතුනෙ නැතිවද වින්නඹුවත් බැන්නම

පස්සෙ පස්සෙ එනකොට මම බලන්න උදවිය
ආඩම්බර හිතුනද මහ පුතෙක් කියල මම
පියරු සබන් අරගෙන නෑදෑයන් එනකොට
කදුලු පිරී මගෙ අම්මගෙ තෙමුනද ඇස් දෙක

කිරට හැරුන සෙනෙහස මට පෑවේ නිතරම
මහ කරුනාවෙනි අම්මේ දෙවෙනි බුදුන් ලෙස
අතු විහිදා මහා ගසක් වෙන්නට ලෝකෙට
හරි වැරද්ද කියා දුන්නෙ අත අල්ලාගෙන

උකුලෙ තියන් රජෙක් වගේ තුරුලකරන් ලග
ගහ කොල මුලු ලෝකය ගැන කියාදුන්නු නුඹ
හිටයානම් මගෙ ආදර අම්මා මගෙ ලග
තවත් මොටද වෙනත් ලොවක් ඉර හද වෙයි නුඹ

කවිය බලන්න
මහළුවිය

මහළුවිය

ලුම්බිණි විතාන ලන්ඩනය

රුලි වැටුනු අතපය - හිමිහිමිහිට පිරි මදිමී

වැටුනු දත් එක දෙකට - නැවත දත් සිටවුවෙමී

පැන නැගපු නරකෙස් - පාටද කලෙමී.

කලක සිටන් මම ලෑස්ති වෙමි - ඔබ දැක ගැනීමට

"මහළුවිය"

ඔබ මට ආරාධනා නොකලත් - මම ඔබ සොයා එමී.

දෙසැම්බර් 2021 ලංඩනයේදි

කවිය බලන්න
ඇවිත් යනවද මගෙ පුතේ

ඇවිත් යනවද මගෙ පුතේ

අඩිය තියලා ඇවිද යන්නට මගේ අත දුන්නා පුතේ
වැටුන කල යළි නැගිට ගන්නත් එ අතමයි දුන්නේ පුතේ
නුඹේ කුසගිනි නිවාලන්නයි කිරට ලෙය හැරුනේ පුතේ
රජ දහනෙ අපගේ රජුන් වූයේ නුඹයි රන් කැටි සුදු පුතේ

නුඹගෙ මොලකැටි සිඟිති අත් පා වැවෙන කල දින දින පුතේ
අප්පච්චි හැදුවා සිහින මන්දිර නුඹව එහි තබනට පුතේ
ඔහුගෙ දහඩිය බින්දුවල ඔහු නුඹෙ නමයි ලිව්වේ පුතේ
නුඹගෙ දියුණුව දෙස බලාලා තුටු කඳුලු සැලුවා ඔහු පුතේ

නුඹට හරි මග පෙන්වමින් නුඹ ඉදිරියෙන් ගිය ඔහු පුතේ
අබල දුබලව ඇඳක වැතිරී ඉන්නවා අද මගෙ පුතේ
මා ගැනත් මම කියනවානම් වැඩිය වෙනසක් නැහැ පුතේ
සමු දෙන්න පෙර අපි අපේ දිවියට ඇවිත් යනවද මගෙ පුතේ

කවිය බලන්න
අම්මා ගැන  මතක

අම්මා ගැන මතක

මාලිනී වික්‍රමනායක කොළඹ

අම්මා ගැන මතක සිහියට නැගෙන විට
දන්නා කියන තොරතුරු පෙල ගැසෙයි මට
පෙන්නා හපන්කම් රසකර උයන විට
දැම්මා මතක මේ ලෙස කවි පදයකට

පිට්ටුද ආප්පද දෝසිද තෙල් කෑම
කොස් දෙල් අලබතල පදමට තැම්බීම
අඩු සම්පත් වලින් වැඩියෙන්රස දීම
ඒ හැකියාව මම පවසන්නේ කෝම

දෙහිගෙඩියත් කැපුවේ හරි කලාවට
මුරුන්ගා කරල කැපුවේ ලතාවට
වැටකොලු කෙසෙල් ලෙලි ගැසුවේ රටාවට
මතකෙට නැගෙයි මම උයනා වෙලාවට.

නිතරම ලොකු කොටස තාත්තාටයි දුන්නේ
අඩුවැඩි නොකොට අපටත් බෙදලා දෙන්නේ
තිත්තද සැරද හොඳ නරකක්නොසොයන්නේ
රජබොජුනක් වගෙයි අපසැම පිළිගන්නේ.

කවිය බලන්න
ෆර්දාව

ෆර්දාව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

පර්සියන් විල්ලුද ය වගේ හිත දිලෙන්න
කුරානය වගෙ හැඩට ජීවිතය ගොතන්න
බුදුන් වාගේම හැකියි අල්ලටත් වඳින්න
ෆර්දාව ඕනෙමද රාමදන් බලන්න

පන්සලේ පෝය හඳ කොහේ හෝ ගිහින් ද
හිනැහෙහී එබෙන්නේ පල්ලියේ ඉඳන්ද
'මුහාමද්' රුධිරයේ වෙන පාට කොයින්ද
ඉපදෙද්දි අපි ආවෙ ආගමක් අරන්ද

කුරානය පාඩමින් ඔබ සමඟ ගයන්න
බුදුන්ගේ කුටියටත් මැටි පහන තියන්න
ප්‍රේමයට ප්‍රේමයෙන් ඔබ සමඟ බැඳෙන්න
'මුහාමද්' ෆර්දාව ඕනෙමද කියන්න...

කවිය බලන්න
සිතුවිලි වැස්ස ....

සිතුවිලි වැස්ස ....

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

නොයෙනා නින්දක්
සෞම්‍ය රාත්‍රියක්
පාලුව රජ වුන
තනිවුන මොහොතක්
අදුරු වලාකුළු ගැවසෙන දවසක්
සිතුවිලි වැස්සක තෙමෙමුද වරුවක්

දෙව්දුව සිහිනෙන් එන්න පතන් නැ
ඇසිපිය තවමත් මගෙ පිය වෙන් නැ.....//
පන්හිඳ දොඩමළු වෙනවා කවදත්
මොන මොනවද ලියවෙනවා පිටුවක්

නොයෙනා නින්දක්......

අතිත සැමරුම් මට අමතක නැ
අනාගතය ගැන සිහින දකින් නැ....//
සද නැති අහසට හිරු එන උදයක්
තප්පර පැය යයි හොරාට ගමනක්

නොයෙනා නින්දක් ......

කවිය බලන්න
දුවද  කාලයද

දුවද කාලයද

හෙළමිණි ටිකිරි කුමාරි විජේකෝන් මහනුවර

ආදර දුව නිදිකරවා නිරන්තරේ
ඇගිලි තුඩින් මා පිටවිනි හිමින් සැරේ
නිදිසුව ලැබෙන තුරු කීමට කතන්දරේ
කාලය නැති වුනා මගෙ වැඩ අතරතුරේ

පාසැල ඇරී දුව ගෙදරට ආවාම
තිබුනා නොයෙක් දේ කීමට හැමදාම
ඉවුම් පිහුම් රෙදි පිළි හැම සේදීම
හැර ජීවිතයෙ මට වෙන වෙනසක් කෝම

ලස්සන වෙවී ආදර දුව වැඩෙන විට
යවුවනයන් නෙත ගැටුනා පෙනුනි මට
ඒ රස කතා ගැන විස්තර කියන්නට
දුව සැරසෙද්දි කාලය නැතිවුනේ මට

හෙමින් හෙමින් දුව ගොළුවන බව දැනුනී
අප දෙන්නා දෙලොවක් තුළ නතර වුනී
ඕනෑවටත් වැඩියෙන් කාලය ලැබුනී
ඒත් මගේ දුව මට අද අහිමි වුනී.

කවිය බලන්න
විෂම  (උ) පමා

විෂම  (උ) පමා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

විය කෙමෙන් ගෙවෙන සඳ ඉරි තැලී රැළි වැටෙන
නොපෙන්වන සුමුදු බව නැති විටෙදි විලේපන
සඳ වතද පරදවන ආවාට පිරි මුහුණ
කුමට මලකට උවම් කෙරුවේද ලොව පිපෙන

කදුළු කැට පිරුණු සද බොදව උණු දිය ගලන
සුද බැදුණු විට කෙමෙන් දීප්තිය පහ කරන
උදෑසන දෙකෙලෙවර රළු පරලු කබ පිරෙන
දෑස නිල් නුවන් සේ කවුරු දුටුවෙද අරුණ

කාලයට ඉඩදෙමින් 'සුදු' වෙවී ඔහෙ හැලෙන
රැලි වැටී වක ගැසී සුගද අත් හැර දිවෙන
දින දෙකක් නොපීරුව හොතින් හෙම පටලැවෙන
කෙස් කළඹ සිකි පිලට කරුණ කිමැ සමකෙරුන

මුවඟ මසවුළු ගැටෙන විට ඉදුල් දිය රැදෙන
කේට ග්‍රන්තෙන් තෙත්ව නිරන්තරයෙන්  වෙසෙන
නොතැරුවොත් තද වර්ණ අවර්ණව පසුතැවෙන
සුමුදු නා දල්ලකට දෙතොල් සමවෙද සැලෙන

කිරි පාට වියැකෙමින් දුඹුරු පැහැයට හැරෙන
කැඩෙන සෙලෙවෙන වැටෙන සුළු බවම මතුකෙරෙන
උඩු පෙළයි යටි පෙළයි දෙකම එකලෙස නොවෙන
දත් ධවල මුතු පබළු සම කලේ කිමැ නොදැන

කවිය බලන්න
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

රෝස කැකුළු මට මොකටද , ඔබේ දෙතොල් ළඟ
සමණල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපොල මැද
කවි ගී වල ඇති වරුණා නැතිමුත් ඉග ළඟ
රැජිනයි මට සතුට සදන සැමදා මා ළඟ

බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද
දිරිය නුඹයි මවට පසුව හිත සුව කැන්දන
රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන
හද සනසන පැන් බිඳ නුඹ ඒ දුක් දුරුලන

දුක සතුටත් සමව දරා යන මේ සක්මන
එළිය කරන සඳ එළියයි සොමි ගුණ පතුරන
දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන
සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

කවිය බලන්න
පබාවති......

පබාවති......

රත්රන් සළුපිළි දවටා රන් රුවෙි
රසඳුන් තවරා නොයිඳුල් උව නෙතෙ
දල්වා කුලගෙයි දිදුලන රන් සිළු
යහනෙ වැතිරී සිටියා කුමරිය
රැඳුණා පවනක් නොසන්සුන් ළැම
ඇසුණා පුදසුනේ නවතින කුර හඬ
නොදුටු තේජස වින්දා පතිකුල
රන් දුව පිළිමෙට පණ දුන් හිමි සඳ
වූවා පතිනිය කුස රජ නාමෙට

කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

දුටුවන් විසීයා
කරනෙව් උරු විසීයා
ඔහු වෙණ රසීයා
කෙරෙයි ඇසුවන් සිත් වසීයා

ඌර්වශි දෙවඟන දුටු අය වශීකෘත වන්නා සේ
ඔහුගේ විණා වාදනය ශ්‍රවනය කළ අය ගේ සිත්
වශීකෘත වේ.

කවිය බලන්න
හිත පිරෙන නත්තල

හිත පිරෙන නත්තල

රවි උපුලි කෝ අම්මෙ
ඒ ගොල්ල ගෙයි ඇද්ද
ගවලෙනක් සාදන්ට
අදහසක් හෙම නැද්ද

මොනාවත් ගේ දොරේ
අඩුපාඩු වක් වත් ද
ඇත්නම් කියන්නකො
ඇයි ඔයා නිස්සද්ද

පුතාලගෙ යාළුවෝ
ඇවිත් ගෙයි දොරකට
ඒ අයව සොයනවා
ගවලෙනක් සාදන්‍ට

මගෙ හිතේ ඇති වුණේ
සතුටක්‍ ය පීනන්ට
ජේසු වැඩියා වගෙයි
මගෙ පුංචි ගවලෙනට

අඩුපාඩු නෑ පුතේ
මේ වෙලාවේ අපට
අවැසි දේ පුළුවන්‍ ය
හැකි තරම් සපයන්ට

ඒ අයත් ගෙනැවිත්‍ ය
බොහෝ දේ ගවලෙනට
ජේසු වැඩලා වගේ
දුප්පත් මගෙ හිතට

හිඟ වුණත් බොහෝ දේ
මේ ලැබුව නත්තලට
හිත පිරෙයි සතුටින්ම
ආදරය ලැබුණාම

කවිය බලන්න
හෙට පෝය මල් පිංකම අනුග්‍රහය - පා :ම........

හෙට පෝය මල් පිංකම අනුග්‍රහය - පා :ම........

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සැඟවෙන අඩ සඳට අඩු එළියේ රාසේ
වැලපෙන වැටෙන කඳුලක් නොදකී දෑසේ
බැඳෙමින පුර හඳට පාමින් මද හාසේ
වැඳගෙන රකියි සිල් පද දිනයක් මාසේ

අටු වට උඩින් පුන්සඳ මෝරන රෑම
දුටු මම පිපුනි නිදිකර දරුවන් සෑම
කටු වට කලත් හෙට මල් ඕනයි බෝම
නටු අග දුවේ නුඹ නිදියන් නොපිපීම

AnA 2021

කවිය බලන්න
🗙