තනි වු පැළේ
සියුමැලි අතඟිලක රන් මුදුවක් බන්ඳා
වැඩිකල් නැත පැළට නුඹ ඇවිදින් කැන්ඳා
අමනාපෙන්ද ගෙපැළෙහි තනි කළ හින්ඳා
වෙන මක් කරම්දෝ දුප්පත් කම හන්ඳා
නොයැරපන් මැදියමේ කෙරුවට දොරට තට්ටූ
නොහැකිය ආරච්චි හා මට වන්ට ඔට්ටූ
ලොබ වුනොත් අත තැබෙන රුපියල දෙකට තුට්ටූ
හිනාවෙති නුඹට නොව මටම නොයෙක් වර රට්ටූ
නොවුනට රැයෙහි නුබෙ පැදුරේ ඇල වෙන්නේ
ඒ ගැන සිතා තුන්යම මා ලතැවෙන්නේ
හේනට වෙලා තනිවම දුක් උහුලන්නේ
නොතබන්නටයි තුන්වෙල නුඹ කුස ගින්නේ
ලතාවක් එතුණු කල පත් හැළුණු ඉපලේ
කලාවක් දැකිය හැක ඉපල නොව එය කලේ
සිනහවක් රැගෙන විත් නුඹ අඳුරු වූ පැලේ
මගේ මුළු ලොවම එකවර එළිය කලේ
සිල් බිදගන්ට පෙර පනිනුන්ට පැළ ඉණි වැටෙන්
වහපන් තණ මඩල පිලි වැලෙහි සළු පොටෙන්
නුඹ නැති දා කුමටැ අඩක් ලැබුනද රටෙන්
මට පමණයි උරුම බිඳලන්ට රැලි ඉණ වටෙන්
රන් පාටයි අහස තරුත් එක දෙක සැඟවෙලා
බැස යන මොහොත යැයි පුර හඳට ඉඟි කලා
තනිකම නිසා සිතිවිලි හදෙහි සිරවෙලා
වව්ලනි තෙපිද ගියෙ වැටමාර මල් තලා