ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමනල සඳෙස – 5

සමනල සඳෙස – 5

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-October

සමනල සඳෙස – 5

දතයුතු කරුණු ගොමුව – 3

83. කලතනා සිසිලස මැ ළමැදෙහි
සදමිනා ස-රි-ග-ම මැ සුසිර ය
සසවනා යන – එන මගට වෙණ
වයමිනා ගයනී යැ මිහිරි ය
ගොලුවනා ගොලුවත මැ රකිමින
කියමනා බොරුවකි එ නරක ය
පිනවනා සවනතට ගලමින
බැසයනා දිය නීල දහර ය

84. අරුණ අරුණලු ගිනි පොළන්නට
පෙරමගට සපැමිණි හැගුම්බර
තරුණ සිතකට පහළ වෙන පෙම්
හැගුම් හා සම-සම ව පෙම්බර
හැරුණු විට දැර-ණියගලට යන
මාවතට සැලසුම් කෙළෙන් පෙර
කරුණ දැන ගත් විට දි වැටහෙයි
සැලසුමෙහි ඇති අනගි විසිතුර

85. සමනලය මගෙ සුහද මිතුරනි
අවැසි තැන මට අදිසියේ
සබකොලය ඇති නමුදු හදවත
නුඹගෙ සේවය අවැසියේ
සසල සිතුවිලි දී දුවයි හද තව ම
ඇය වෙත බොළදියේ
අමිල පෙමකට බැදුණු වරදට
කිම ද අද පසු තැවෙනුයේ

86. අසා දැන ගත යුතු ම දෑ මගෙ
හදවතේ තෙරපෙයි සදා
නසා ගිනි දන එවන් සිතිවිලි
වළ දමා සදහට මුදා
වසා ගෙන නෙතු ගලන කදුළට
ඉඩ දෙමින් දැගලුම් බදා
එසා දුක මට හිමි වුව ද සමනල
සොයන් වග-තුග මෙදා

87. පෙම් හසුන් පෙම් කතා පෙම් කවි
මින් පෙර ද ඇය වෙතට ලැබුණේ
කම් පසේ පෙම් බැන්ද ඇගෙ
හදවතට කවුරු ද තුරුළු නොවුණේ
මම් කෙසේ පවසම් ද නුඹටත්
මගෙත් හද බැදගෙනයි තිබුණේ
තම්දෙනා තම් ඇය ගැන ම මිස
කිසිවකුට නෑ මසිත නැමුණේ

88. ඇගේ සුරතල් ගමන දුටුවෙමි
ඉගි පපා සරදමට ඔද පා
මගේ ඇස ගත් පමණි නොව සිත්
ජවය දෙන්නට තරම් තෙද පා
දිගේ යන මග කඩින්-කඩ වමතට
ද දකුණට බද ද ඇද පා
වගේ ලස්සන උරගයකු බදු
ලතාවට යන ගමන හැඩ පා

89. ඇගේ නම උණුසුමක නොව හැම
විට ම සිසිලට මුල් වුණේ
වගේ ඇග කිළිපොළයි වැදුණ ම
පිපෙයි ගත හිරි මල් දැණේ
මැගේ සිත හැම විට ම දිව යයි
දැඩියි චපලයි නැහැ සෙනේ
නැගේ පිසිමින් දෙවුර කළඹා
නටයි සිට නො දෙවෙනි තැනේ

90. පෙනෙයි ඇගෙ නිරුවත තව ම දුර
සිට ම බැලු කල යහළුවේ
වගෙයි රණ හංසියන් සේ ළැම
දෙපස කදු ඇති පාළුවේ
ඇදෙයි ඇය එමැදින් ගලා කෙහෙ-
රළ ද දෙපසට මෝදු වේ
දැනෙයි නුඹටත් කියාපන් මට මා
කියූ දේ බොරු නොවේ

91. හදුන ගත් මැය දැක-පුරුද්දෙන්
සුරතලිය ලෙස පද්ද-පද්දා
දුවන විට පහළට ඉහළ සිට
උකුළ-පුළුලුකුලක් ම හන්දා
වැනෙන බදට ම කෙහෙරළ දිගු
පිට මැදින් ඇත රන්ද-රන්දා
කුමන හේතුවකට ද නොදනිමි
පිදුවෙ මගෙ සෙනෙහස ද බන්දා

92. පෙමට පෙම් කවි ලියා දුන්නෙමි
ආදරේ වැඩිකමට ඇති වුණ
මෙමට කෙම්කොට පලා ගියෙදැයි
සිතුණු වාර ද සිත් කොණට වුණ
රුවට සිත දුනි නම් චපල ගති
ඇති ඇගේ කිරිපැටියෙ දිස් වුණ
වෙසට මිස සිත කයට මනසට
නැති ය කිසිවක් ඇයට සිදු වුණ

93. අනේ සමනල හිතවතාණෙනි
කම්ප වී අනුවණකමට මගෙ
වනේ වන සතුරෙකුටවත් සිදු
නොවුණු දේ මට සිදු වුණේ මගෙ
පිනේ අඩුවක්-පාඩුවක් තිබුණේ
එසේ නම් පෙන්ව දී මගෙ
පනේ යන තුරු ඉන්ට තිබුණේ
ජීවිතේ යළි ගොඩ දමා මගෙ

94. රාම -රාවණ සටන් කළෙ උහු
දෙන්නගේ හිත එක ම ළදකට
තාම ඒ ලෙස පටන් ගත් ජව-
නිකා ඇත හද බැද්ණු විලසට
කාම ධේනුව විලස ඉන්නා
මැයගෙ වතගොත දැනුණු පිරිසට
නාම රන්දා මැගේ දිවි මුල-
අගට දිය හැක උතුම් සබයට

95. පෙමට පෙම් බැදි රසට රස දුන්
නෙතට නෙත දී මුව තියා
ළයට ළය උණුසුමට සිත් තුළ
ආදරය හිද පැන ගියා
මලට පෙති නාදල දෙතොල් මත
වතුළ රස මදු එහි තියා
රළට ඉකි බිද හඩා වැළපී
සළු ඉරා නොපෙනී ගියා

96. මගෙයි කියමින් මමත්වයෙ හිද
ඇ දෙස බැලු මගෙ නෙත් කොණේ
වගෙයි කැවෙමින් ඇගේ රූපය
තව ම හදවත සත් කොණේ
අගෙයි රවමින් විටෙක හඩමින්
තවත් විටෙක දි මත් වුණේ
සොයයි අදටත් සිතම්බරි ගැන
නමින් සීතාවක් වුණේ

97. බලන් සමනල දසත පියඹා
මැගේ ලස්සන නෙතින් දකිනා
කියන් නුඹ දුටු හැම දෙය ම
නෙත් උකා බිව් රස මුවින් නොබැණා
අහන් සුළ-මුල මගෙන් මිදිලා
කවුරු අත ගෙන සෙමින් බසිනා
සොයන් කිසිවකු ඇගේ අත ගත්
මගෙන් නැත ඉඩ ඔහුට ලැබෙනා

98. ගමයි දැරණියගල තමන් සතු
වස්තුවක් ලෙස සගව ගත්තේ
ගලයි දෙකදුන් දෙබෑ කරමින්
හංස පිරිපුන් ඉවුරු මත්තේ
පෙමයි වැඩෙනා දකින හැමගේ
සිතෙහි තදකොට බැදී ඇත්තේ
හැඩයි සුකොමල ළද ලවන් පෙති
මිහිදුමින් තෙත බරිත නැත්තේ

99. නමින් සීතා වී ය දල්වන
නීල නයනග කොකුම් ගල්වන
පවන් ගීතා ගෙනෙයි දැගළුම්
පපා යුග වෙත සවන් නහවන
ගමන් ලලිතා මවයි දගකාරයි
සැරයි හැඩ තල ද බදවන
බලන් වීතාරාග සිතැති ව
ගලන සීතා නදියෙ ලස්සන

සමනලයා දුටු සීතා නදිය
“සීතා මැයි නුඹ මගෙ මුදු සුපෙම්බරී”

100. මේ දිය දහර සීතල නදියක් ම ලෙසින්
සීතාවක නමින් පියයුරු යුගක වෙසින්
සැදුණු කදු දෙකක් මැද ලලනියක තොසින්
තවමත් විනීත ව ගලනව බොහොම හෙමින්

101. මීදුම් සළු ඉරා දෙපසට දමා ඇද
කදු කොමලියන් සොළවා පුළුලුකුළු බද
පාමින් ඔමරි කෝමල නෙත දියර කද
ගලනව කදු පෙළෙහි මුදුණේ ඉහළ හිද

102. සිහිතල රැළි අතරෙ හිද ඇගෙ පහස විද
කෝමල තරුණියන් වෙ ද රස නහර ඇද
පිරිපුන් වී ළමැද මැද පෙම් ඔරුව පැද
හනිකට පැන නටයි සමනලියන් එ සොද

103. දැරණියගල කියයි මැය ඔහු අඹු කමට
ගත් බව තුරුණුකම සපිරුණු පසු මැයට
විද-විද පෙරඹරෙහි ළා හිරු තැස සොදට
කදු ලලනියන් දෙන සිරි වනමි ද කුමට

104. මෙ ගමේ මුර සෙබල ලෙස හිස බැද සිටින
මුණි පා පහස ලැබු සමනොල ගිරි මුදුන
විසිතුර දකිමි සුදු සද වතුරෙන් තෙමුණ
කල ලස්සනයි දෙවිදුගෙ පහසින් රැකෙන

105. ලක් මෑණිය‌ගෙ ගෙල සරසන මණි කැටයයි
සිරි දෙව් දියනියගෙ අසිරිය දෙන පහණයි
ගම් දිනිතියගෙ ජව අපමණ රැදි පාටයි
“සීතම්බරිය” දැරණියගලට ම බාරයි

(මතු සම්බන්ධයි.)