ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අඟුටුමිටි අම්මා

අඟුටුමිටි අම්මා

තුෂාරි ජයසිංහ - මහනුවර
2023-October

යෝධ යෝධ ගලිවර දරුවන් මැද
කුඩා ලිලිපුට්ටෙක්
අද ඉපදුනා වන් ළදරු
දියත ගැන කිසිත් නොදත්

මන්දාකිණි ගණන් දුක් දරා
බවුසර ගණන් කිරි දුන්
කැලේ කොලේ අත ගා
ගුණවත්ම දේ සෙවූ

තරු පහේ හෝටලේ
මෙනුපත ඉදිරියේ
අසරණව වටපිට බලන
කුරා කුහුඹු ගැහැණිය ඈ

තක්සලාව මතු සරසවිය පීරූ
එහෙත් නොදන්නා නොදරු
ලාමක සිතැත්තී ඈ
ළපළු සේ සුළඟට වැනෙන.

තමා සන්තක වත්කම්
දන් දිදී වෙස්සන්තර සිතින්
වැරහැලි ඇඟලාගත්
කිළිටි ගැහැණිය අපුල

අසරනව හිඳින කුඩා ලිලිපුට්ටෙක්
ගලිවරයන්ගෙ පයට පෑගෙන.
ඉපදුන දා සිට මියෙන තෙක්ම
කාටවත්ම සේවයක් නොකළ

ඈ…..