ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මැනිකෙගේ හීනය

මැනිකෙගේ හීනය

ඩිල්හාන් ෆොන්සේකා - ඔස්ට්‍රේලියාව
2023-October

වළා කුළින් මුවා වෙලා සඳත් ළිහිල් සළු අඳිනවා
කණාමැදිරි දෙන්නා දෙන්නා සායනයක බර කිරනවා
රෑ බදුල්ලි හිනා වෙවි තිඹිරිගෙයක කල් මරණවා
කුස අත ගා ආදරයෙන් මැනිකෙ මා දිහා බලනවා

සඳක් අහසේ ගැබ් ගත්තම සඳ රකින්න තරු තියනවා
ගැබිනි කණාමැදිරියන්ට අඳුරු රැයෙට සඳ ඉන්නවා
බදුලු මවගෙ තිඹිරි ගෙදර කණාමැදිරි එළි දිළෙනවා
මැනිකෙගෙ දුක බෙදා ගන්න කවුරු නැතත් මම ඉන්නවා

සඳට ඕන ඉරක් වගේ හා පැටියෙක් බිහි කරන්න
කණාමැදිරි මව තනන්නේ සඳේ එළිය පුතුට දෙන්න
බදුලු මවත් බලන් ඉන්නේ තරුවක් වැනි පුතු දකින්න
මැනිකෙගේ හීනෙම තියෙන්නේ මගෙ රූපය පුතුට දෙන්න