ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මං දන්නවා..

මං දන්නවා..

2023-October

හැමදාම වාගෙම හිනාවක් නැති
බැරෑරුම් මූණ උස්සගෙන
ඔයා ආවේ තරහින් වාට්ටුවට.
මං දන්නවා..
ඔෆීසියෙ වැඩ පාඩු කෙරුවට..

අත් දිග සුදු පාට කමීසය
ඊට ගැලපෙන අළුපාට ටයි එක..
කළු කළිසමට දිළිසෙන සපත්තුව ..
දෙසැරයක් බැලෙනවා හැමෝටම ඔබ දෙස..
මාත් රැවටුණ වශී ගුරුකම..

නොඉවසිල්ලෙන් කටු රවුම බල බල
මං ළඟටවත් එන්නෙ නැතුවම..
ඔබ හිටියෙ මං දන්නවා යන්නයි..
ටක් ගාල විස්තරේ අහගෙන..
ඔෆිස් වැඩ නේ ඔයාට හරියට…

ඇහිපිල්ලමක් වත් නොගහම..
බලං හිටියේ ඇත්තමයි ආසාවට..
ආවෙ නැතුවත් කමක් නෑ ළඟට..
බායි කියලවත් යයි කියල දුර සිට..

මට හිතාගන්නවත් බෑ මේක නම්..
ලෝකෙ කරකැවෙනව අද අනිත් පැත්තට..
ඔයා ආවනෙ මං ළඟටම
ඇස්වල මෙන්න – කඳුළුත්
පුරෝගන..

අතින් අල්ලනකොට ඔයා මගෙ අත..
හීනි වෙවිලිල්ලකුත් එක්ක..
මට මතක් වුණේම මැණික.
ඉස් ඉස්සෙල්ලාම අපි හමු වුණ දවස..

ඒ වගෙම .. නෑ ඊටත් වඩා ආදරෙන්
අතගාන්නේ ඇයි මගෙ හිස..
පරක්කුවක් නැද්ද වස්තුව ඔයාට..
අද යන්න වෙනද වගේ ඔෆීසියට..

ඔයාගෙ පපුවෙ මූණ හංගන එක
මං හරිම ආසම සෙල්ලම..
අවුරුදු දහයකින් බැරි වුණ මට..
අද මෙන්න නියම චාන්ස් එක..

ඔයාගෙ පපුව හරි සුවඳයි
උණුසුමයි ඉස්සර වගේමයි..
මට තේරෙන්නෙ නැත්තෙ එක දෙයයි..
ඔයාගෙ නාඩි විනාඩියට එකසිය පනහයි..

ඉක් ඉක්මනට කෙට්ටු වී කේඩෑරි වුණ
බඳ වටා ඔබ අත් දෙක යවනකොට
වට පිටේ අය ගැන ගානක්වත් නැතුව..
මට දැනෙනවා සැනසුම දිවිය ලෝකෙක..

රිදෙනවා තමයි ඇඟපත ඔක්කෝම
කහිනකොට යන්නෙ ලොකුම ලොකු
ලේ කැටිති..
හොර ලෙඩ කියල හැමදාම බැන්න ඔබ
ළඟ ඉන්නකොට -මට ඉතිං දැං නිරාමිස සුව..

දාර මතුවෙලා අත දිගට වේලිච්ච නහර වල..
ලේ ගන්නවා දවසට දහදොළොස් පාරක් විතර
ඔයාටම එන්න කියලා කීවෙ ලොකු දොස්තර..
මං හිතන්නෙ කියන්නයි
MRI එකේ විස්තර..

සීරුවට
ඔබ පිට අත ගානකොට මට කැස්ස එනකොට..
ඇඬෙන්නත් එනවා ..
ඇයි සැළකුවෙ නැත්තෙ මට ඔහොම
මම ගෙදර ඉන්නකොට ..
මහ රෑට කැස්සත් එක්ක
ලේ කුට්ට් කුට්ටි යනකොට..
බොරු කරනවයි කිව්වනෙ ඔබ මට
ගෙදර වැඩපළ
කරන්න වෙනවට..

දැං ඉතිං ඔයාගෙ කඳුළු බිංදු .
මොර ගෙඩි වගේ
මගේ පිට උඩට වැටෙනකොට..
හරි දුකයි රත්තරනෙ මගෙ හිතට..
මං මොකක් හරි වැරැද්දක් කරලද..??
එහෙම නැත්නම්..
පෙනහළු පිළිකාව දැං
ඔඩු දුවල ඉවරද..??