ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුංචි තිරයේ කඳුළු බිඳ

පුංචි තිරයේ කඳුළු බිඳ

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-October

භාරතයෙ රුවකි ඇගෙ සොමි වතෙහි රස මවන
මීවිතක වදන් හද කුළුණු මඳ නල හමන
රාවයක යශෝ දුන් හෙළ තිරයෙ සරු ගලන
දේවියක දුටිම් දම් මගක – මැද නිළි අඟන

පිය සෙවණ නුගරුකක ලෙසින් සවියකට රඳ
‘ගුරුගෙදර’ වෙළෙන කල සරසවිගෙ බැලුම් ලද
සිහිනයක තරු කුමරි රිදීතිර කැලුම් විද
වටිනවද කොයිතරම් පුංචිතිර කඳුළු බිඳ

මනු කතක රූකඩක දේවතා රුව අතර
බැඳි හුයක අසීරු ම චරිතයක පණ වතර
දියණියක හට මවක තරම් කා වෙද නතර
ගැළු ගඟක දිවිය ඈ රිදීතිර මත පතර

තනිකඩව මුත් සොඳුරු නිවහල්ව දිවි දුලන
තිළිණයකි විශ්වයේ එය ද ඔබ හට පිදෙන
හිරිහැරද විඳ ඛන්ති පාරමී පෙර පිරුණ
ජයකොඩිය ලෙළෙන රුව භවඉමේ අද දකින

ඔක්තෝබර් 28 වන දිනට ජන්ම දිනය යෙදෙන ‘යශෝධා විමලධර්ම’ නම් ප්‍රවීණ කලාකාරිනියට මෙම කවි පෙළ පුෂ්පෝපහාරයක් වේවා…!

කේ.පී.එස් සචින්ත්‍රා ✍️
හෝමාගම
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ සරසවිය