ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පියසැරිය

පියසැරිය

මාලිනී හෑගොඩ - USA
2023-October

නොවැඩුණු තටු හෙමි හෙමින් පිරිමැද
වනපස පල නෙළා ගෙනැවිත් සොඳ
බිඳෙන් බිඳ ගෙන තුඩින් තුඩ කවමින
බලා සිටියා නුඹ පියාපත් වැඩෙන තුරු මම

දිස්නෙ දෙන යුග නෙත් යොමා ඈතට
තොස්ව අත්තටු ගසා මද සුළං මැද
ඉගිලී ගියා මා දමා නුඹ ඈත අහසට
තිතක් විය එයත් තිබුණේ අසුරු සැණකට

අද අද ඒවි යන පැතුම් පොදි මැද
අද නැතත් හෙට ඒවි යන සිතුම් තුළ වැද
කඳුළුපිරි දෙනෙත් අතින් පිරි මැද මැද
දවස් මේ ගෙවී යයි මා කළ වරද කවරද

එන මග අමතකව ගියේ කොහොමද
මතක පොතේ මිහිරි පිටු අමතක වීද
සීතලද වෙන උණුසුමක් අතරමග හමු වීද
මගෙන් ලද සෙනෙහස රැකවරණ මදි වීද