ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගල හොඳනම්….

ගල හොඳනම්….

මයුරි කොඩිකාර - ගම්පහ
2023-October

කරුවල බුරුත සියුමැළි නැත අරටු කඳන්
හිරටම කිමද දඟලන රණ තිසරු බැඳන්
දුරටම ඇදෙන සුවඳකි ගත සිතද බදන්
අලුයට ගිලුන ගිනි පුපුරුය හොරට නිදන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

වතුරත් බැඳල නෙව කුඹුරට බැහැල බලන්
මඩිනට පුරුදු නම් කෙවිටක් මොටද සලන්
කලටම වෙලාවට වපුරනු නොවී ගිලන්
කන්නට පින් ඇතොත් ඉබ්බා ඒවි බොලන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

පුපුරන රබර් ඇට වලකනු හැකිද කියන්
බැන්දට වැට කඩුලු සිත නවතීද කියන්
වැල රස මිසක වරකා අකපැයිද කියන්
තිබහට වතුර නෙව තේ පෑහේද කියන්
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ඉක්කාවත් විසයි හුස්මක් ඇරල හිටින්
නිට්ටාවට සුවයි දෙහි කැපු ගිරය දුටින්
කිල්ලෝටෙත් පෙනෙයි තැවරුණු හුණුය යටින්
ගංදෑලෙන් බිඳක් බිව්වට කිමද කටින්

මයුරි කොඩිකාර
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය