ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රණවිරුවෙකුගෙ පෙරවදන

රණවිරුවෙකුගෙ පෙරවදන

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය
2023-October

තරු පටි පැළඳ
නිල ඇඳුම වැද
සීරුවෙන සිටගත්තු
තාත්තා
සම්මාන මුර අවි
කියූ සැණින්
පසෙකලා අවි
සැහැල්ලුවෙන්
සිටගත්තු තාත්තා
සතුරු සේනාමැද්දෙ
සන්නද්ධ අවි ගැටුම්
සිදු කරපු තාත්තා
කාර් එකේ ගමන් යද්දි
ඉදිරියෙන් වීදුරුවෙ
හෙල්මටය දුටුගමන්
තිගැස්සෙන තාත්තා
ඇයි තාත්තෙ
ගැස්සෙන්නෙ
හොඳ පිළිතුරක්
කිසිදු
සිනාසුනා විතරමයි
තාත්තා මිය ගිහින්
දැන් වසර ගණනක්
දින පොතක් ඇතුලේ
තිබුණු ලියුමක
නාදුනන මාරයින්
අවිදරා අතකින්
පසුපසින් මා
හඹා එන බව
කෙලෙස මම කියන්නද
මගේ පොඩි දෝනිට
පිළිතුරයි ලියුමයි
ඉතින් දැන් ලැබුණා