ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉන්ද්‍රජාලික ගමන

ඉන්ද්‍රජාලික ගමන

චන්ද්‍රවංශ ඥානසේකර - කැළණිය
2023-October

නිල් අහස
දෘෂ්ටි මායාව යි
තාරකා වියන
මැකි මැකී
පලා යන ඉතිහාසය යි
මේ ක්ෂණ ය
පලා යන්නේ ඉතිහාසයේ
දඩ බිමට යි
අහස ඉර හඳ තාරකා
හැම ම ඉතිහාසය යි
වෙනස කාලය පමණයි

මේ ක්ෂණය
එක පෙළට
එකා පසුපස එකා එන
ගමන
නොනවතින හෙයින්
මා ද
මා ඉදිරිපිට හිඳින ඔබ ද
ඉතිහාසයයි
වෙනස කාලය පමණයි
ලඟක සිටියත් දුරක සිටියත්
සැනෙන් සැන යමු
ඉතිහාසයේ දඩ බිමට
අත් විඳිමු එය ගෙන
වර්තමානය ලෙස

එන්නට තිබෙන ක්ෂණය
සිහිනකි
ඇවිත් ගිය ක්ෂණය
මතකයකි
පසු කරන්නේ
යලි්ත් නොඑනා ක්ෂණයකි
නොදැණ මේ යන්නේ
ඉන්ද්‍රජාලික ගමනකි
දකිමු කියවමුු
ඈත අවකාශය
මේ දැන් වේ ය සිතාගෙන
එහෙත් ඒ හැම වුනේ
වසර එක දහය සියයක්
ලක්ෂයකට පෙරය

බැලිය හැකිනම් අප දෙස
ඈත අහසේ සිට
දැකිය හැකි බුදුන් වුව
මේ මොහොත දම් දෙසන ලෙස

ඒ රොකට් බලයෙන් ද ?
පූර්වේ නිවාසානුස්මෘති ඥානයෙන් ද?

06-06-2023