එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා..
දිවියෙ සර – හර – බර කියන්නට
පැමිණියෙමි මං හුදකලාවේ
කිසිවෙකුගෙ නෙත් නොගැටෙනා ලෙස
ජීවිතය නම් ඉවුරු තලයේ
හිඳ සැදෑ සමයේ…
දහසකුත් දෑ කියනු ඇති මුත්
රහස් සඟ වා නොමැති හදවත
ගැහි ගැහී තවමත් කියයි මට
කිසිදු වරදක් නුඹ නොකළ වග…
එදා වාගෙ ම සොඳුරියේ නුඹ
හැඩයි කෙහෙරළ උනා දැමු විට
පියලි සිතුවිලි අයාලේ ඇදෙනා
නොමැත බිඳකුදු වෙනස් වී නුඹ
එදත් මේ වාගේමැයි සිත සීතලෙන් ගැලුවා…
ඉවුරු පිරිමදිමින් කරන තෙත්
අසිරි විඳ – විඳ නෙක බඹර නෙත්
නුඹට සෙනෙහස ආදරය පුදනා
නොසිටියෙ ද උන් අයාගෙන මුව
පිළිතුර ද නොවිමසා නුඹගෙන්
රාම – රාවණ කතාවට පිටුපා…
කාලයේ වැලිතලා අතරේ
වසන් වුණි දෝ මැකී යන ලෙස
ආදරේ උඩු ගං බලා ගිය
මටත් නුඹටත් දැනි – දැනී – නොදැනී…
ජීවිතයෙ මේ සැදෑ සමයේ
හිඳිමි නුඹ දෙස බලා තවමත්
දිවියෙ සර – හර- බර කියන්නට
අයා මුව නුඹ යමක් කියතැ’යි
තෙපුල් සිඳි නුඹෙ මුව නොබැණ මට
ඉවුරෙ තනිමංකඩ ව ඉන්නා
ගලා යන්නෙ ද හඬ – හඬා මේ
ගොම්මනේ පෙනි – පෙනී සේ නොපෙනී…!