ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉර්දි පෑමක අගය

Category: නිසදැස් කවි

ඉර්දි පෑමක අගය

ඉංජිනේරු,කිවිපති අජන්ත සෙනෙවිරත්න
ඉංජිනේරු,කිවිපති අජන්ත සෙනෙවිරත්න
කලාපය: 2021-May

තවත් එක් සමයක
කැටුව සඝ ගන සොඳ
අප බුදුන් ගෝතම
ගඟක් වෙත වැඩියහ

හිරන්මති මහ ගඟ
අපහසුය තරණය
එනතෙක් රැඳෙනු විය
තොටියා උන් එතෙර

එකල්හිම එතැනට
ආහ කොහෙදෝ යන
බමුණු පිරිසක් එක
සතු ඉර්දි තෙද බල

බමුණන් ආ විලස
පාරුවක් නොසොයම
ජල මත පාවෙමින
ඉර්දියෙන් විය එතෙර

විකුම් දැකුමෙන් එම
බුදු පුතුන් සිතනුව
නොබැරි යනු එලෙසින
ලැජ්ජාවකි ඉතින

නොව පාවී එගොඩ
ඉර්දි බල පාමින
කිම කරුණ රැඳෙනුව
මුණි වෙතින් විමසුව

බුදුන් අප ගෝතම
පිළිතුරක් නොදෙමින
නිහඬයෙන් සිටියහ
එනතෙක්ම පාරුව

පාවෙමින් එතෙරට
පාරුවෙන් ගිය කළ
විමසීය ගාස්තුව
මුනිඳු තොටියාගෙන

එක මස්සකි එය
තොටියාගෙ පිළිතුර
එම වදන් සිත් ගෙන
මුණි මෙලෙස වදහළ

ඉර්දි බල විකුමක
අගය වෙද මස්සක
නොවටීද එලෙසට
සිතනු මැන ගැඹුරෙන

* මස්ස යනු ඉතා අඩු වටිනාකමකින් යුත්
පැරණි කාසියකි. එහි වටිනාකම
කහවණුවෙන් 1/4ක් ලෙසද දැක්වේ.

කම්පනය

ඩී. අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
ඩී. අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
කලාපය: 2021-May

අඳුරු අහසක් නොවී එදවස
සුදු වලාකුළු නොදුටි ගුවනත
දුර කථනයේ හැඬුම අවසන
ගමන ඉක්මන් කළේ නුඹෙ මුව

හෙදිය පෑ මදහස සිත’ග විය
උපාදානය සුළඟෙ මුසුවිය
මතක කැළතී සිතේ සුළි ලෙස
කෙළිබිමේ පාසලේ දැවටිය

පිටියෙ කෙළිබිම දුවන වේගය
වරළ අල්ලන් දොඩන බාසය
අග මුලක් නැති මතක සටහන්
සොඳුරු සිත්තම් ලෙසින් පාවිය

බෙහෙත් මුසු ගඳ සුළඟ නැහැයට
දැනෙද්දී ඔහු මට පැවසු මග
ගොසින් අවසන දුටුව පුවරුව
මගේ සිත කම්පනය කරවිය

මිණී කාමරයේ අඳුරු දොර
ඇරුණි මා හට ඇතුල් වන්නට
සිනා නැති නුඹෙ මලානික මුව
දෙසට නෙත් යොමු කරනු කෙලෙසද

සීතාම්බර පටසළු නැෂනල්

වජිර ජයවර්ධන
වජිර ජයවර්ධන
කලාපය: 2021-May

සීතම්බර පටසළු නැෂනල් අඳින
ටයි රවුමේ නොලිහෙන ගැට නිති තිබෙන
ඇන්දත් කෝට් බටහිර පිළිවෙත නොදැන
ලොක්කොද ඇතේ මිනිසුන් නොදැනා සිටින

ඔක්සිජන් නැතිව දිවි ගෙවනා මිනිසුන්
වස රස කෑම කා අපේක්ශා නිවසට වී
කොම්පැණි නොවැටි ආරක්ෂා කරගන්නේ
රුපියල බබළවා අප රට රැක ගන්නයි

සිරිලක හිසය වෙන නමකින් නැව් ගෙනෙන
කැපවී දෙරණ වෙත ඇන්ටිජනුත් බෙදන
හිරු දහසකින් මහ සෑ වත සරසවන
සැරදේ ජන මැදුන් ලක අභිමන් පුරණ

මට පෙර රට කියා හිමි හිම්න් විකුණමූ
ලෝකයම එපා කර චිං චෑං කියවමූ
වාසි නැත්නම් අපී වචනයක් නොකියමූ
උපන් මව් දේශයම දිවි පුදා රැක ගමූ.

දුරස් වී ළඟින් 

කුසලඥාන දෑරංගල - එක්සත් ජනපදය
කුසලඥාන දෑරංගල - එක්සත් ජනපදය
කලාපය: 2021-May

අර ඈත තියන තරුගොන්නයි
නුඹට පේන්නේ
අත පාන දිලෙන තරුවක්මයි
ඇසේ දිලෙන්නේ
තව ඈත සඳක් පායපු බව
නුඹ නෑ දන්නේ
නුඹ නෑ දන්නේ …
වැට කඩොළු බැඳන්
නුඹ හිටියට
ඈත කොදෙව්වේ
නුඹ නෙළාගත්තු මලමයි
හිත් කොනේ පිපෙන්නේ
සඳ එළිය ඇවිත් හිස පිරිමැද
පිදූවත් සෙනේ
එහි සිහිලක් හෝ සුවයක්
නෑ නුඹට වැටහුණේ
නෑ නුඹට වැටහුණේ …

කවි සීපද ලියු පන්හිඳ‍‍ අද
බොඳවෙලා ටිකක්
ඉන් ලියවුණු කවි රස නැති බව
දන්නවා මමත්
ආදරයක රස විඳින විදිය
දන්නෙ නැති නමුත්
පද අතර බැඳුණු තාල අතර
ඉන්නවා නුඹත්
ඉන්නවා නුඹත් …

නොකෙළෙමි වරදක්

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
කලාපය: 2021-May

ලොව නිදියද්දී
රහසින් පිපිලා
උදයේ පරවෙන
අරුමය දකිනට

කලුවර මහ රෑ
උනිමි නිදිවරා
ඒ කඩුපුල් මල
පිපෙන තුරා

පරවෙන්නට පෙර
නටුවෙන් ගලවා
පිදු වෙමි සමිඳුට
පහන් සිතින්

20/04/2021

සංග්‍රාම

සුදත් දේවප්‍රිය
සුදත් දේවප්‍රිය
කලාපය: 2021-April

(උතුරේ යුද්ධයෙන් පසු
කොලඹ ආ හමුදා සොයුරකු
තමාටම වෙඩි තබා ගනී.)

තරහින්ද නුඹ තවම
ජoගමෙත් ලෙඩ අරන්
ඔරවනවා මටම
ඇත්තමයි තoගනී
මo මටම යුද්ධයක

“දාලා යන්න නම්
ඇයි ආවෙ මo ලගට “?
ඔයා අහනකොට
උත්තර තිබුනෙ නෑ මට

තල් අරඹ ගිනිතියා
අපිත් එහෙ මෙහෙ ගියා
බයිනෙත්තු මෝටාර්
ඔයා හීතල කලා

කොළඹ ආ වැඩමුරේ
රජගෙදර පෙරහැරේ
රෑට යනවා අණට
මහසෝන් සමයමේ

පෙරහැරේ යන සුරිඳු
අලුත් සෙල්ලම් ගෙනා
ටයර් සෑ වැදගෙනම
කොලු පැටවු වැතිරුනා

තල්ගහේ යුද්ධයම
මෙහේ ඇවිදින් කලා
නිදා නොනිදා රැයම
මරණයට හිනැහුනා

ආයෙ දැන් හැරෙනු බෑ
ඉස්මුදුන රිදෙනවා
හිත්කැඩූ යුද්දෙටම
මoම වෙඩි තියනවා

ඉතින් තරහද තාම
ආදරෙයි තoගනී
ආදරයකට පස්සෙ
ආදරය ලැව්ගිනී

සිඹිමි අත් හරිමි යලි
සිඹිමි නුඹෙ සෝගිනී
බදාගත් ගිනිකදින්
මුවග විද සැනහෙමී..

සිතන්න දෝණිය

ඊ.ඒ.පී .අරුණසිරි - පන්නිපිටිය
ඊ.ඒ.පී .අරුණසිරි - පන්නිපිටිය
කලාපය: 2021-April

ජීවන මංපෙත එකලු කරන්නට
බලාපොරොත්තුවෙ කිරුළ දරා
සෙනෙහස ගඟුලෙන් දිවි ගංගාවට
ගලන්න දෝණිය සතුට දරා

දකින දකින හමුවන දෑ ‘තර
රවටන රැවටෙන දේ හමුවෙයි
සිහියෙන් නුවණින් සලකා සියල්ල
යා යුතු නිසි මඟ යා යුතුමයි

තමා හිසට තම අත සෙවනැල්ලයි
උපාය දන්නා අපායෙ නොවැටෙයි
සෙමෙන් සිතා යන සෙමෙන් ගමන තුළ
ආලෝකයෙ අරුණලු හමුවෙයි

ලොවක් තනන්නට ලොවක් දිනන්නට
මනු පරපුර යුතුකම ඉටු කරනට
මේ භව කතරේ දරනා වෑයම
ජීවන කුසුමට සුවඳ ගෙනෙයි

හමනා මඳනල ගලනා ගංගා
වසිනා වැහි බිඳු සැදෙනා තුරුලිය
මට නොව අපටයි සිතන්න පතන්න
නිවන් මගට කැඳවා සුවදෙයි.

හිච්චි සංකල්පනා

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය
කලාපය: 2021-April

උපන්දා සිට ගල් වලේ මයි ඇය
අතේ කරගැට විතරමයි
අතට හම්බෙන සොච්චමෙන් මට
රැගෙන දෙන්නේ එක පොතයි

ගණිත ගුරු මට හොඳයි කිව්වේ
කුරුටු පිටු නොදුටුව නිසයි
එකම පිටුවේ ලියූවත් හැම
හිතේ ලියු රචනා නම්, ගොඩයි

දොහොත් මුදුනින් මවුන් නමැදා
සිප් හලට යන්නේ ඉපිලෙමින්
හිල්වැදී,බිඳි, මිරිවැඩි සඟල කුලුපග,
මා දමා යන්නේ දුකින්

අඹ යාලුවෝ මගෙ උත්තරය කොපි කලෙ
මං හා කියන්නත් කලින්
උත්තරය හරි නම් ගුටිය මොකටද
දුක නැද්ද මං හරි හිත බරින්

ශිල්ප දෙන්නේ නැණ වඩන්නයි
පොතේ ලිව්වා නොලීවයි
මකල ලිව්වත් ලියල මැකුවත්
නැණ වඩන්නේ පතාලයි

ගුරු මව්නි පිය වරු උගන්වනු පෙර
කුළුණු ගුණ හිත් වගාවයි
ගල් වලේ අත් වල කරම කරගැට
පිරිමැදිය හැකි නම් මනාපයි

– 06/01/21

විශ්වාසය රැවටුණිය රැයේ

ආචාර්ය ඥානතිලක හේවාගමගේ, ඕස්ට්‍රේලියාව
ආචාර්ය ඥානතිලක හේවාගමගේ, ඕස්ට්‍රේලියාව
කලාපය: 2021-April

පුරහඳ කළුවර වුණා රත්තරන් – අපගේ දිවිමග සෑම දිනේ
පරාදීසයක ඉසුරු නෙළන්නට – ඒකයි සමුගෙන පිටත් වුණේ

ඇසෙ දිලිසී සිත පැටලුණු සලකුණු – මායාවන් දෝ අමාවකේ
මහා සාගරේ පැද්දෙන කුටියක – කල ගෙවුණේ නොවිඳිනා දුකේ

රැයක දවාලක වෙනසක් නෙත නැත – සිරගෙයකයි පණ නල රැඳුනේ
නන්නත්තාරව ගොඩ බට බිම් කඩෙ – ඉරනම් ගමනෙද ඉම තිබුණේ

සුඛිත මුදිත දිවි බලාපොරොත්තුවෙ – තෙරපුම නැත සිත අතැර ගියේ
කර්ණ රසායන වදන් වැලක අග – විශ්වාසය රැවටුණිය රැයේ

තනිවන ජීවිත නිහඬව ගිලලන – ආශාවන් හට ගොදුරු පෙනේ
නිදිදෙවු සුව දුන් ඒ අසපුවමය – මැරි මැරි ඉපදෙන සෑය වුණේ

Now

Sapumal De Alwis - London
Sapumal De Alwis - London
කලාපය: 2021-April

I am not an English poet
I am a collective poet
You are a real poet
We are writing poems now

Before we need everything
Now we need life
Why before and now
There is no before and now

Only need few in life
Oxygen water food
And few bits and bobs
Remember before and now ?

If you sent love
You will receive love
Do not cry now
Oh no one calling me now

There is no war now
Also no suicide now
Do you know why now
We all fight same war now.

වසන්තය ඇවිත්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
කලාපය: 2021-April

දුෂ්කර සරත් කාලය ඇත පෑල දොර
ලස්සන වසන්තය අත ලඟ පේන දුර
පස් යට නිදන මල් ඇට සැනසීම බර
හුස්මක් ගන්න හඬ ඇහෙනව නේද සැර

අතු සිඳි රෝස පඳුරේ දඬු වල අගිසී
සතු නව ලදළු දැන් වස්සානය පැවසී
රතු ඩේලියා අල පණ අරගෙන සැරසී
මතු වී පිපෙන්නට අර අඳිතී වෙහෙසී

වෙනදා නොමැති කඩිසර කම් එකතු කල
පෙර දා තනිව ගැවසුණ නෙක කුරුළු කැල
දෙදෙනා බැගින් වළඳති ආදරේ ඵල
පිපෙනා වසන්තයෙ ලා හිරු කිරණ වල

එ දවස

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
කලාපය: 2021-April

මතක නම් ඒ දවස
මතක ඇති සැඩ සුළඟ
සුසුම් දහසින් තැනුණ
කුණාටුව වූ සුළඟ

කුණාටුව තැනු උනට
පියාපත් බර පමණ
නොවී යසිසුරු දිනන
කැදලි තනනා සිහින

බැගෑපත් වී යදින
තැලී පොඩිවී හිඳින
සුවාසක් ජනයිනට
දිනා දෙන ලොව පමණ

තුමුල වාසල් පවුරු
විකුම් පෙළපත් මහරු
කම්පාව සැඩ නලින
සැළුම් වෙවුලුම් කෑය

පිපී එරබදු රුසිරු
නැඟූ කූජන මියුරු
උදා බග සඳ වතෙහි
තැබී සසලප රුහිරු

වියැට විසිරී මඩට
කිඳී කලලෙහි යටට
මළ ද ඒ මරණයද
අස්වැන්න වේ හෙටට

2021.03.18

නයිටිය පරක්කුයි

නීතිඥ නීල් ගුණසේකර - කොළඹ
නීතිඥ නීල් ගුණසේකර - කොළඹ
කලාපය: 2021-April

නිරුවත්ව හුන් රතැඟිල්ල
ඔපවත්ව රන් මුදුවකින්
උයා පිහා දෙයි ; මැගී
අගේ කර
මට නොවෙයි ; ඔහුට
අළුත් නයිටිය
වෙනදාට වැලට යන්නේ
පාන්දර

මාවත් නොදැනුණු….

සමන් අතාවුදහෙට්ටි
සමන් අතාවුදහෙට්ටි
කලාපය: 2021-April

මා
පිණි බිඳක්
මහ කන්දක් මතට වැටුණ

මා
දිය පොදක්
මහ සයුරක් තුළට හැළුණු

මා
තරු කඩක්
අහසින් ගිලිහිලා වැටුණු

ඒ බව නොදැනුණු
කන්දත් ඔබම ය
සයුරත් ඔබම ය
අහසත් ඔබම ය

මාවත් නොදැනුණු ….

කෝවිඩ් වැලපුම

දමයන්ති රූපසිංහ - බ්‍රිස්බේන්
දමයන්ති රූපසිංහ - බ්‍රිස්බේන්
කලාපය: 2021-April

මගේ ආදර සැමියා
ගෙදර සිට වැඩ
තිරයක් බලාගෙන
මොනවදෝ මුමුණයි
කන් දෙකෙත් ඇබ

දරු දෙදෙන නිහ‍ඬයි
සිටියත් නැති ගානයි
මුලු ගෙදරම පාලුයි
අපේ කාලේ නෙමෙයි
ගුරැන් නැති පාසැලලු

මිනිස් පුලුටක් නෑ
පේන තෙක් මානෙක
මාවත පාලුයි
හැල්මෙ ගිය වාහන
කොහේ සැඟවුණිද?

එළිය හරි සීතලයි
අහස අඬනව වගේ
මුලු ලොවම එකතැන
නතර වී දිගු කලක්

හෙට ඉර පායයිද…?

හඳ එළිය

මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - ලන්ඩනය
මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - ලන්ඩනය
කලාපය: 2021-April

ඉරේ එළිිිය බව හඳෙන් ගලන්නේ
බැලු බැල්මට නෑ අපට පෙනෙන්නේ
ඉරේ චණ්ඩ බව හඳට උරාගෙන
රතු ලේ කිරිකර පොවන මවක මෙනි
සිසිල් එළිය හඳ අපට පොවන්නේ
මවු ගුණයයි හඳ එළියෙ තියෙන්නේ
ඒ වාගේමයි ශෝක භාවයෙන්
කවියන් කරුණා රසය මවන්නේ
ඉරේ ප්‍රභාවයි ප්‍රතිභාවක් වී හඳෙන් පෙරෙන්නේ
ඒ නිර්මාණේ අපූර්වත්වයෙනි
චමත්කාරයක් හිතට දැනෙන්නේ

රියැලිටි ඛේදවාචකය

කමල් සේමගේ - කතරගම
කමල් සේමගේ - කතරගම
කලාපය: 2021-April

කුඩා දැරියක් උදේ …… පොලීසියෙ අඬනවා
මවකගේ විලාපය ……. අතර ඇය කියනවා

මගේ කිරි කැටි පැංචි …… මම ගෙදර නැති වෙලේ
ජිනේ දූශනය කර ……….. පැන ගිහිං දෙයියනේ

මේ දැරිය නේද අර ………… රියැලිටියෙ සිංදු කිව්
කොට ගවුම ඇඳ හැඩට ….. වේදිකාවේ නැටූව

“ඔබෙ දෙතොල් සිපගන්න … ඔබේ වත දැකගන්න”
ගැයූ ගී පදවැල් ……………. මවක තෝරලා දුන්

විනිසුරු මඬුල කිවි …… ….. හරි හැඩයි ගායනය
සිත් පිනයි ඇගෙ නැටුම…… උචිත ගීතය සමග

නීතියේ ඇත්නම් ඉඩක් ….. ගන්නවා එක පෙලට
අරිනවා දඟ ගෙයට………නැගනියේ නුඹ ඇතුලු
විනිසුරු මඩුල්ලත්

සොබා දහම …

හාජියාණී සෙයිද් ෆිර්දවුබී හනිෆ්ඩීන් - කොළඹ මාළිගාවත්ත
හාජියාණී සෙයිද් ෆිර්දවුබී හනිෆ්ඩීන් - කොළඹ මාළිගාවත්ත
කලාපය: 2021-April

සූර්ය පුත්‍රය, හනිකට වඩිනු මැනවි
හිමිදිරියේ මේ මට ඔච්චම් නොකර
ලොවෙහි මල් ඵල දරන්නට
ලහි ලහියේ හනික වඩිණු මැනවි…!

ඔබද සැගවුණු සූර්ය කුමාරයා?
ඔබත්, මට ඔච්චම් කරනවා ද?
ගණදුර නසා රාත්‍රිය සොඳුරු කරන්නට
වඩිණු මැනවි චන්ද්‍ර පුත්‍රයාණනි

ඔබේ දෑස් නිල් අඹරේ තරු කැට සේයා
ඔබේ වතද අරුණෝදේ ළහිරුන් සේයා
මගේ දෑස් නිල් ජල පිරි පොකුණක් සේයා
හනික වඩිනු මැන රන් සමනළයෙකු සේයා

ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි

සුඛිත විජයමුණි ලන්ඩනය
සුඛිත විජයමුණි ලන්ඩනය
කලාපය: 2021-April

කොදෙව්වක් නොව කනක උයනකි
සේද මාවතේ මුතු ඇටය කියනා
ලොවක් පෙරේත සම්පත් ආකරය
වෙන්දේසි කරමු අපි හෙට ගැන නොසිතා

පින්බර සරු සාර පසින් ස්වයංපෝෂිත
පොළොව වනසමූ වස විස එකතු කර
බහු ජාතික සමාගම් වල කාසි මල්ලට
පාවා දීපන් මතු උපදින දරුවගෙ බත‍් වේල

ඉඩම් මදි නම් ගොඩ කරපන් වෙල්යායවල්
වනාන්තර වනසා හදමු තරු පහේ හෝටල්
නූපන් දරුවන්ගෙ සාපය ලැබෙන දවසට
නරකාදිය ලැබීයන් තොපිට මෙලොවේදීම

මගේ අනුබුදු සමිඳුණේ

අමර ගුණසේකර - ප්‍රංශය
අමර ගුණසේකර - ප්‍රංශය
කලාපය: 2021-April

නොවැඩියා නම් තම්බපණ්ණිය
වණ සතුන්ටම වෙන්ව යාවී
හුදෙකලා වූ දේශයක් වී
සිතියමෙන් ඉවතටම යාවී
රජුගේ පසුපස හඹා ගෙන ගිය
රැළක් සේ විදිණට සතුන්

නොවැඩියා නම් තම්බපණ්ණිය
වණ සතුන්ටම වෙන්ව යාවී
මගේ අනුබුදු සමිඳුණේ

ඉහළ අහසට නැඟුණු ගල්කුළු
මුදු මොලොක් වී ලොවට දුන්නේ
සතර බඹ විහරණ ගුණෙන් පිරි
පෙති පිළිම සඳකඩ පහන්
සමිඳු දෙසු දම් පද අසා
මැවූ අසිරිය ලොවට පැතිරූ
වැවයි දාගැබ ලඟම සිටියා
අපේ කම හදවත දරා
මගේ අනුබුදු සමිඳුණේ

ගමයි පන්සල එක ලෙසේ
දේශයම පිබිදූ කසාවත
ජාතියට දිරි දුන් කසාවත
මිහින්තලයෙන් තම්බපණ්ණිය
මගේ අනුබුදු සමිඳුණේ

කුලී සොල්දාදුවන් යුදබිමට බැහැලා

අතුල රත්නායක - ලන්ඩනය
අතුල රත්නායක - ලන්ඩනය
කලාපය: 2021-April

රෝද හතරෙ යුද්ද ටැංකි රෝද දෙකේ රෝද තුනේ
මහා බුදුන්වරුන් බුදුවන මේ හිමිදිරි පාන්දරම
කටුබැද්දෙන් පටන් අරං
ගාලුපාරෙ හෙමින් හෙමින්
ඇස් ඇස්වාට්ටුවට යමි මම
බම්පෙට බම්පේ තියාන
හෝන් ඔබන ලයිට් ගසන
දුම්පිඹ පිඹ තෙල් පුච්චන්
හිටගෙන බ්‍රේක් ගසන්
එන්ජීම කන් පුපුරන්නට
ඇක්සලේටරේ නහුතෙට
බඩගාමින් ගාට ගාට
පොඩි ඉඩකින් මා පසුකර
පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට
ඇදෙන් තව එකෙක් දුටුවිට
ඇඩ්රිනලින් උතුරායන
පුදුම කෝපයෙන් පිපිරී
ජීවත් වෙන්නද නැතිනම්
මඟදි මැරෙන්නද අපි මේ යන්නේ?

දියණී

වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ
වෛද්‍ය පද්මලාල් පතිරගේ - ඇතුල් කෝට්ටෙ
කලාපය: 2021-April

නිල් තරු යුවලක් පායා දිදුලයි රන්වන් ආකාසේ
පියවෙන මා නෙත් විවරව සැනෙකින් බොඳවන ලෙස රහසේ
පුලුන් රොඳක් ලෙස පාවී යන මගෙ නෙක සිතුවිලි අහසේ
හිනැහෙන දූ පොඩි ළඟ නවතියි මගෙ හදවත හොර රහසේ.

සමනළියන් සේ මලින් මලටයන
දඟ ගති ඇති බෝමා
සෙමින් සෙමින් විත් සියොළඟ දැවටී සිත පුබුදන සේමා
දිනූ ලෙසක් ලොව දැනෙනා සඳ පරදා සිවුරඟ සේනා
මගෙ ලොව හිරු සඳු සැමදා ඔබවෙයි බබලන එක සේමා.

පිණි බිඳුවක් සේ පිවිතුරු වනු මැන
හිමිදිරි තණ පහසේ
තරු කැට ලෙස සනසනු මැන ලෝකය සඳ නැති රෑ අහසේ
මල් සුවඳක් සේ මිහිකත සනසා
හිනැහෙන මතු දවසේ
අප දුටු සිහිනය තුල රජවනුමැන
සිඟිතියෙ හෙට දවස

මා හොයන මම

කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
කලාපය: 2021-April

ඔබව දුටුවෙමි
කැඩපතින් නොව හැබැහින්
හැඳිනුවෙමි ඔබව
නොපෙනුනත් මගෙ
මනසින්……

මගේ රුව දෙස
බලා සිටියෙම් එලෙසින්
පෙළ ගැසි සිතුවිලි
ගලා එයි දසතින් …

ඒ එකක්වත් අහුලන්න
බැරි හිතකින්
කොහෙ හොයන්නද
මාව නොපෙනෙන
ඇසකින්…….

දැනෙයි සිතුවිලි
පාවෙලා යන මනසින්
හොයන්නද මම
මාව විසිරෙන හිතකින්…..

ඔබව දැක්කත්
දුර ඉඳන්
මගෙ මනසින්
තවම සොයනව
මම මාව
හමුවන තෙක්……..

මට…..

කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය
කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය
කලාපය: 2021-April

සමාවෙයන් මගෙ මල්ලියෙ – එක්කන්
යන්නට නාවට
පොල්රුප්පේ මං තනිය ම – රැක්කෙ
අම්මා තාත්තාව
තල් අරණේ කළබැගෑනි – දින දින
උඩ මතුවෙන විට
නුඹ ගියා ද අපව දමා – කාටත්
නොකියා රහසෙ ම

පොල්රුප්පේ කොහෙ හිටියත්
ඉන්න අපේ වුන් වාගෙ ම
තල් අරණේ කොහෙ හිටියත්
ඉන්න වුනුත් අපි වාගෙ ම
රණ්ඩු දබර වෙලා ගියේ
උන්ගෙ වුවමනා හින්ද ද
කොයි දේසෙත් එකෙක් – දෙකෙක්
දිය යට ගිනි නොගෙන ගියෙ ද

ඒ ගින්දර පත්තු වුණේ
මව්පියො-සියොළඟ නොවේ ද
පාතිඅම්මා කුරුපන් තල්
අරණේ වැළපුණා නේ ද
පත්තු කෙළේ ඒ ගින්දර
උන්ටත් නුඹටත් නොවේ ය
ඉහළින් වැඩ කරපුවුන්ගෙ
ඉහ – මොළ පල්ලේ නිසා ය

නුඹත් ගියා උනුත් ගියා
අනෙක් වුන්ගෙ දෑස් තෙමා
ඒ කඳුළැලි කෙදිනක හෝ
නැගුණු ගින්න නැති කරාවි
එදිනට දුක – සැප බලන්න
බුදු මල්ලියෙ ඇවිත් යන්න!

අකාල මරු කතරේ
රට-දැය සුරකිනු ව
මරු අතරේ සැඟවුණු
යසද් ජයනාත් අමරසිංහ
නම් වූ මගේ මල්ලීට
මගේ කවි කුමුද
උපහාරයක් ම වේවා!

මිනිසත්කම

චන්දන ෆොන්සේකා - එක්සත් රාජධානිය
චන්දන ෆොන්සේකා - එක්සත් රාජධානිය
කලාපය: 2021-April

සංසාරේ දුක් විඳ ලබාගෙන මිනිසත් කම
අඩු වයසින් මිය යනවද සිතනු ඔබ සැම
ඔළුවක් තිබුණට එය නිසි ලෙස පරිහරණය
නොකළ නිසා යන්න වුනා – පරලොව අවසන

අම්මා කෙනෙකුගේ කුසින් ඔබ මෙලොව බිහිවෙලා
තවත් ගැහැණියක නසන්න – ඔබ ඔබටම රැවටිලා
ඇඟේ පතේ සවි ශක්තිය – ධනය බලය රූපය
ගෙල වැල දා මිය යන විට – සිටියේ නැත ඔබ ළඟ

තහනම් ගහේ ගෙඩි කන – කොයි කාටත් සිහිවෙන
මේ සිද්ධිය පාඩමක්ය – හැදෙන්න මුල සිට
සිතුවිළි ආ පලියට – සිතන්න ඔබ හැම විට
කෙරුවොත් අත් වෙන – ඉරණම ඔබටත් සැමටම

අහිමිව පිය සෙනෙහස – දුක් විඳීවී දරු කැළ
සෙනෙහෙවන්ත බිරිඳක් ඇත – අහිමිව සෙනෙහස
දුව එනතුරු මඟ බලා – අම්මෙක් ඉන්නවා කියා
මෝහෙන් සිත මුලා වුනා – තහනම් ආලය නිසා

සිදුවූ දේ සිදු වුනා – නෙතේ කඳුළු වැගිරුණා
දහසක් පැතුමන් අකලට – උඩු සුළඟේ පාවුනා
දුවේ පුතේ ඔබ සැම – මෙය ගෙන ආදර්ශෙට
සිහි නුවණින් වැඩ කෙරුවොත් – වරදින් නැහැ මතුවට

07/03/2021

කලාව

චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන් DC
චතුරි වික්‍රමාරච්චි - වොෂින්ටන් DC
කලාපය: 2021-April

සිසලස ගෙන එන පවනකින්
දැනෙන සූවය සන්සුන්
ඒ සැනසුම් පවන්
නොරිස්සන්නො දුදනන්

පායනා හිරුගෙ කිරණින්
විදින සුවය මනරම්
රත් වු පොළව මොනතරම්
වැජඹෙයිද හිරු කිරණින්

වැහි පොදක ස්පර්ශයක්
ලබනා තුරුලතා මනරම්
වැහිකුලෙන් හිරු එබූනොත්
දිදුලන්නේ දෙදුන්නක්

මල් පෙති මත සිනිදු
බිගු පිරිවරන් රඟ දෙති
උන් මලට පෙම් කරති
කිසිම දිනකදී නිගා නොකරති

සොබාදහමට පෙම්බැඳ
සෞන්දර්යට ළංවන
චමත්කාරය ජනනය කළ
කළා කරු මුණිවරයෙකි

දුර්ගුණ ඉවත දමමින්
සොබාදහමට පෙමින්
ළංවෙන්න සතොසින්
සන්සුන්ව සිත් පාදමින්

කලාව යනු ආභරණයකි.
නුරැස්සන්නන්ට කඩුපහරකි
සන්සුන් මෙත් වැඩීමකි
එය විදින්නෝ සුවපත් වෙති.

To a widowed daughter-in -law

Gunasekara Hiripitiya - Homagama
Gunasekara Hiripitiya - Homagama
කලාපය: 2021-April

A few years ago
Tears rolled down
You became a widow
Having to care for two children
Compelled to leave me
To take refuge in your parents’ abode
I pity your situation
With a very responsible task
Ahead of you
To see the welfare of the two loved children
Money, time and health
Your needs of the hour
You have to remain employed
Daughter-in-law
Be courageous
Think of the world’s first woman Prime Minister
And the first woman President
Both were widows
Yet, they excelled in life
Never be disheartened
There’s no doubt
Your dear parents and friends
Will be there with you
To guide and help you
In times of need
I hope and pray
Long life for your loving parents
Who look after you and the little ones
Remember
Life’s journey is with ups and downs
And never one way
And when one door closes
Another door opens
Aim high
With your strong will power
Face the future
With courage without fear

ඉතින් අවුරුදු සමරමුද කෙලෙසින් ?

එස්  එල් සෙනෙහෙධීර , ලෙච්වර්ත්
එස් එල් සෙනෙහෙධීර , ලෙච්වර්ත්
කලාපය: 2021-April

වඩියි හිරුදෙවි නුහුරු ගමනක සොවින් පිරි දෙනෙතින්
ඇසෙයි ඉකිබිඳ හඬනු කොවුලන් රිදවමින් දෙසවන්
මැවෙයි ගිණිමල් නැගුණු’යුරු දෙව් මැදුරු පියසි මතින්
හඬයි හදවත, ඉතින් අවුරුදු සමරමුද කෙලෙසින් ?

දරාගෙන දුක දෑත පා මම මගේ දෙවිඳුන් යදින අතරේ
මරා මා නුඹ නුඹේ දෙවියන් පුදනු ඇදහිය නොහැක මිතුරේ
කුරා කුහුඹුවෙකුටත් වරදක් නොකළ සියයක් දනන් අතරේ
මරාගෙන මියැදෙන්න තරමට කළේ අකුසල් කිමද සසරේ ?

බිඳී විසිරුණු දෙව්රුවේ ලේ කඳුළු පිසදා සෙනෙහසින්
සිඳී අත්පා දිවිය සුරැකුණු ගිලන් දන නිති සනසමින්
හිඳී නම් ලෝසතට මෙත පා එකම මනුලොව සුරකිමින්
වඳී දෙවියොත් අපට මෙහිවිත් ලැගුම් ඉල්ලා මනු ලොවින්

මවගේ බලාපොරොත්තුව

රත්නා විජේසිංහ - කොළඹ 5
රත්නා විජේසිංහ - කොළඹ 5
කලාපය: 2021-April

මවක් අතරමංව දිවි කතරේ
වෙර දරයි – ගෙනියන්න
හැකි ලෙසින් – ජීවිතය

සුර සැප නොවේය ඇය පැතුම
නැතේ ඇයට අනාගතයක් තිර
පසුවන ජිවිත අරුණේ
අනාගතය තම පුතුගේ
බලයි සිතයි ඇය …..

ලබා දෙන්නට පුතු හට …..
ජිවිතයක්
හෙළයි ඈ දහ බිඳු …
කාමරයක් තුල
සොයා රුපියල් සත

වසංගතයේ පිපි පියුම

නාලිනී කොඩිකාර - නුගේගොඩ
නාලිනී කොඩිකාර - නුගේගොඩ
කලාපය: 2021-April

විකසිත වී බැලිමි හාත්පස…

හිරුත් සමග හාද වෙලා,
විල පුරාම මල් පිපිලා,
නැලවි නැලවි කොමළ පපා,
පරිසරයම හැඩ කරලා.
මල් කුමරියො කිම තනිවී?

විල වට ගැවසෙන නිසැකව,
කොළු පැටවුන් නැත දකිනට.
නිබදව මල් නෙලමින් යන
තරුණ ලියන් කොහි ගියාද?
ඇග පුරාම මඩ තවරා,
මල් අගනන් වෙත ඇදෙන්නෙ,
පෙමට ඇදෙන බමරුන් ලෙස.
කෝ අද උන්, කොහි ගියාද?

විල මත පෙති විසිරී ඇත,
මල් කුමරියො තනිවී ඇත.
සෝක බරිත හදින් යුතුව,
මල් අතරින් ගොඩ වූයෙමි,
සොයනට කිම මේ අරුමය.

බෙල්ලන්විල විල අද්දර,
මල් ලෑල්ල ඇත, මල් නැත.
දළදා මැදුරෙහි මලසුන,
හිස්වී ඇත ඒ විලසම.
අදහා ගන්නේ කෙළෙසද?
ආයෙමි පුදබිම කැළණිය,
අහෝ! නොමැත මා මිතු කැළ.
තනිවී ඇත මල් ආසන.

නිසැකව මහ සෑ අභියස,
දහසක් මල් පිදෙනු නියත.
සල පතල මළුව මත,
සෙමින් තබමින් දෙපා,
මහා සතුටින් ඉපිල,
සෙවූයෙමි මම අවට.
එකම සිය පතක් වත්,
නැතොත් පරසතු මලක්,
දෙව් බඹුන් පුදන ලද,
නොමැත මල් අසුන් මත.

සිරි මහ බෝ සමිදු මළුව,
වියලී ගිළිහුන බෝ පත්,,
ඇතත් පැතිර වැලි මළුවම,
කොයිද පුදන ලද සියපත්?

හදුන්, තෙල් සුවද නැත,
පුදන උවැසියන් නැත.
රිලවුන් හා බල්ලන් හට,
නිජ බිම වී ඇත පුද බිම.

බොදුනට පමණද මෙවිපත?
දිව ආයෙමි දෙව් මැදුරට.
දැල්වී අවසන් වී ගිය,
ඉටි පන්දම් කැබලි මිසක,
එහිදු නොමැත ම මිතුරු කැළ.

පිච්ච මලින් ගෙතු මාලා,
කෝවිල තුල නැත දක්නට.

දිව යමි මල් ශාලාවට,
ඇත්දයි සොයනට එහි මල්.
කැඩුනු පතුරු,, කම්බි මිසක,
මල් වඩමෙහි නැත කිසි මල්.

සොහොන මතද ,නැත පිදු මල්,
අමතක වී දෝ මලවුන්?

මහ විපතෙකි මිනිසුන් හට,
නැත බෙදුමක් ආගම් ලෙස
කුල මල, දෑ ,ගොත් එක ලෙස
එක පොකුරට ගොදුරුව ඇත.

ඉතින් කුමට මා පිපුනේ?
පිදෙනු නොහැකි නම් බුදුනට.
මියෙනු යෙහෙකි වැළද පොලොව.
සමුගමි විල මත මිළිනව.

හෙවනැල්ල

රුවන්  රූපසිංහ, වැලිවේරිය
රුවන් රූපසිංහ, වැලිවේරිය
කලාපය: 2021-April

අලුයම සවස බඹ අට දහය දිග ඇදී.
කුලුපග ලෙස දවල් විත් දෙපය මත වදී.
කලුවර වැටෙන මොහොතේ රැගෙන හොර නිදී.
මුලු දිවියෙහිම ඔබ මා සමග ලඟ හිඳී.

සිටගෙන සිටින විට ගොස් ගල් තලය වෙත .
යට බෑවුමට පැන වල් කටු පඳුරු මත.
සටහන් තබනු සවසට දැක පුරුදු ඇත.
මට ඔබ තරම් මේ ලොව හිතවතෙකු නැත.

රටුනට වැඩක් පැවරූ විට අසල සිටී.
ඉටු කළ පසුව දිය යුතු පුද පඬුරු තැටී.
දුටුවෙමි එහෙත් යන එන හැම තැනම වැටී.
වැටුපක් නැතුව මා ලඟ තනි රකින හැටි.

අඹ තුර දිනිඳු රජ වැජඹෙන සියළු පැයේ.
බබලන එලිය අතහැර කිසි තැනක නොයේ.
සුභ නැති නිසා සැඟවෙනු ඇයි අඳුරු රැයේ.
ඔබ කොයි ගියෙද අඳුරට මේ තරම බියේ.

කුඩා කලදි සටහන දැක පහන කෙරෙන්.
විඩා රැගෙන අත වැනුමට ඔබට හොරෙන්.
දොඩා නොකරවයි මා කල දෙයම සැරෙන්.
අඬා හුනිමි බැට දී බිත්තියට වැරෙන්.

ගෙතුලෙහි පහන් දල්වනු දැක අඳුර බිඳී.
මතු වී පසෙක පසු වෙයි බිත්තියට ඇදී.
ඇතුලට සුලඟ ආවොත් කවුලුවෙහි වැදී.
බිතුවෙහි නටයි ඔබ මට මඳ සිනහ දිදී.

ජීවන ගුණය ඔබ අතහැර ඉවත නොයයි.
රෑ වෙන විටදි මා වාගෙම එලිය සොයයි.
මා ගෙන පෑන කවි ලීවොත් ඔබ ද ලියයි.
නෑසෙන බසින් ලඟ ඉඳ කවි පෙලම කියයි.

දිසි වන මගේ හැඩ නිල අඩු නැතුව පිරී.
නිසි ලෙස කරයි මා කල දේ කොහොම හරී.
කිසි විට එහෙත් සිටියදි ඉදිරියට හැරී.
ඇසිපිය සලන්නට මා මෙන් ඔබට බැරී.

විපතෙහි අතුරුදන් වන නෑ මිත් ගොල්ල.
සැප දැක ඇදෙති උදුරන්නට සැනසිල්ල.
එපවත් එසේ වුව ගෙඩියට ලෙස ලෙල්ල.
උපතේ සිට ලදිමි නොවෙනස් හෙවනැල්ල.

අවාරේ

කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය
කල්ප පල්ලියගුරුගේ - ලන්ඩනය
කලාපය: 2021-April

ගැලුවත් ගඟ හැමදාකම මුහුදට
වැහි වතුරත් එක් වෙන්නෙත් ගඟටම
සඳ නැඟෙතත් පෝදා රෑ ජාමෙට
අවාරේ පිපි මේ පෙම මගේ මැණිකට

නුඹට පුදන්නම් මගේ සිත් මල් යායම
රැක ගනු ඔබ මා සතු මැණික් යායම
නුඹේ පණ මෙන් මගේ පණ යායම
ඔබය සැමදා ප්‍රාණ සිතුවම ජීවන

කිසිවෙකු ළඟක නැති මොහොතක
මට නුඹ නැතිව දැනෙන තනිකම
ආදරය නුඹ කියා සිතත් මේ ලෝකෙම
නුඹ නැතිව මට දැනෙන දේ ආදරය ද

ආදරයට විහිළු කරාට
විහිලුවට ආදරය නොකරාට
හොයපු තැන් වල ආදරය නොතිබුනාට
ලැබෙන කාලෙක ලැබෙයි ඒ ආදරය

නිල්

සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
කලාපය: 2021-April

සොරාගමි මහ සයුරෙන්
නිල් පැහැති දිය බිංදු අහුරක්,
අහුලමි නිල් කටරොළු මල් මත
රැඳෙන හිරුගේ නොයිඳුල් ප්‍රථම කිරණින් මිටක්,
ඉන්ද තෝරා වෙන්කරමි නිල්වන් හිරු කෙඳිම සියයක් ,
සොයමි ඉන්පසු සප්ත වර්ණයෙන් දුලන
ඉඳුපිළාවන් හි ඇති නිල්පාට පමණක් ,
මධ්‍යහ්න ගගනතින් ද සූරාගනිමි තද නිල් පාටින් බිඳක්
නෙළාගෙන වනවිලක සුපිපි
සුපුල් ඉඳුවර මලක්
තලා තනමි ඉන් ඉතා මෘදු පත්තක්
ඉන්පසු කළතමි මුසුකොට සියලු නිල්
එක වාරයක් .
සාදාමි කිසිදිනෙකත් ඔබ නොදුටු
පසන් නිල් පැහැයක්,
පෙන්වමි ඔබට පමණක්
කිව් බැවින් ඔබේ ප්‍රියතම පැහැය
නිල් යැයි කියා
පුබුදුවා හසරැළි දහසක්

තුන් කොන් ප්‍රේමය

අල්පා - ලන්ඩනය
අල්පා - ලන්ඩනය
කලාපය: 2021-April

මරණය නුඹත් හරියට,
නව යොවුන් තරුණියක් වගේ.
නුඹ පතාගෙන…
බලා හිඳිනා තුරාවට;
නුඹ ලඟටවත් එන්නෙ නෑ….

ඒත් නොසිතුව…
නොපැතු මොහොතක,
නුඹ ඇවිත් මම…
දන්නෙ නෑ.

එහෙම ආවම…
නොසිතු මොහොතක ,
ආයෙ නුඹ නම්…
යන්නෙ නෑ.

එවිට අසරණ…
මගෙ හිතේ දුක,
පැවසුවත් නුඹ…
අසන් නෑ.

ආව විලසට…
යන්න වෙන බව,
නොදැන නොව…
හිත දන්නවා….

ඒත් එතකොට “ජීවිතය”…
මම නුඹට,
පෙම්බැඳ…
හඬනවා…!!!

18/03/2021.

නංගියේ ඔබ

නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
කලාපය: 2021-April

නංගියේ ඔබ
පසුව ඇවිදින්
ගියේ ඇයි කඩිනමින්
අපව හඬවා

සුවඳ කුසුමකි ඔබ
එදා සිපගත්
අදත්
සිහිනෙන් සිඹින

ලස්සන වු මල්
මඩ ගොහොරුවේ පිපුනත්
ඔබ මලකි සුවඳවත්
පිපී මඩ ගොහොරුවට ගිය

ජීවිතේ කටුක බව
පසක් කර ගත්
නිහඬවම මුහුණ දුන්
යකඩ ගැහැණියකි ඔබ

අදත් මා දකින්නේ
මා ළමා කල දුටු
ඒ පුංචි අහිංසක
දඟකාර පැංචියයි

සිතා සැනසෙමි නඟේ
නැවත කවදා හෝ
යලිත් හමුවෙමු
වැලඳ ගන්නට
සොයුරු ප්‍රේමෙන්
වෙන් නොවන්නට
තුසිතයේදී ♥️

එරබදු මල් කළු පාටයි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
රංජිත් ද සිල්වා - නවසීලන්තය
කලාපය: 2021-April

රතු පාට මල් පිපුණු
එරබදු ගහක් සොයාගෙන
උතුර – නැගෙනහිර – බටහිර – දකුනෙත්
සතර අතට පියාසර කල කොවුලාට
හැමතැනම පෙනුනේ
කලුපාට මල් පිපුණු එරබදු ගස්

ඒ කලුපාට මල්
වියරුව කෝපෙන් දත් විලිස්සා
කොවුලා දෙස බලද්දී – කොවුලා බයවුණා

අවුරුදු සිරියාව – පාස්කු සතුට
ගීතවත් කරන්නට
මෙවරත් නොහැකි වග කොවුලාට තේරුණා

කැලයකට පියාසර කල කොවුලා
ගසක අත්තකට වී ඈත බැලුවා
කැලයේ ගස් අඩුවී පාළුවී යන බව පෙනුනා
කොවුල් ගීතය වෙනුවට
කොවුලා මහහඬින් විලාප නැගුවා

එත් අනේ ඒ හඬ අසන්නට සිටියේ
කැලය තුල හෝටලයක් හදන්නට
තැනක් බලන්නට ආ
සුදු ඇඳගත් කලු මැතිතුමාත්
ඔහුගේ ආරක්ෂාවට තුවක්කු අමෝරාගත්
භට පිරිසත් පමණයි …….

06 මාර්තු 2021

අම්මා

වෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය
වෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය
කලාපය: 2021-April

තරිඳු රශ්මි කාන්තියයි
සරස්වතී බුද්ධි ගුණයි
ළය උතුරන ආදරයයි
දේදුන්නක පාට හතයි
බෝධිසත්ව කරුණාවයි
නිමක් නොමැති ඉවසීමයි
හසරැල්ලක නැවුම් බවයි
එකමුතු කර දෙවියො මැවූ
දෙවඟන ඔබ අම්මා

දස මාසේ කුසේ තබා
ආරක්ෂාවන් සලසා
ආදර නදියෙන් නහවා
එක සියලෙන් ඇරඹු දිවි
දිනෙන් දිනම ලොකු කරවා
අතිශය දුක් ගිනි විඳවා
වේදනාව තද ඉවසා
දිවි ගතකල අම්මා

ලපටි තෙපුල් දිරි ගන්වා
සුමිහිරි බොජුනෙන් පිනවා
අනාගතය එළි කරවා
පිය නගන්න මග පෙන්වා
බාල සේවනය වලකා
ගුණදම් හොඳ පුහුණු කලා
දරු නැලවිල්ලෙන් සනසා
නිරෝගි සම්පත සලසා
දෙවඟන ඔබ අම්මා.

කිරි උතුරන හසරැල්ලක්
සීමා නැති ආදරයක්
මන සනසන මුදු බැල්මක්
ආදර ඔවදන් වදනක්
දෙව්ලොව සිට ආ අඟනක්
අප කාගෙත් අම්මා.

ලෙඩින් දුකින් අසරණ වී සිටින විට
රෑ නිදිමරන් ඔබ අසලින් සිටිය ඇය
මුදු පහසින් පිරිමදිමින් ඔබගෙ ගත
සැනසෙව් හැටි මතකද දැන් ඔබ සිතට?

ඇය දැන් දුබලව වී ඇත අසරණ
දැඩිකළ දරුවා සැමවිට අහළ පහළ නැත
සැනසිලි වදනක් හෝ ඇය හට දෙනවද
සැතපුම් ගණනක් ඈත පිට දේසෙක සිට?

නොසැලෙනවූ නොනිමෙනවූ අචලවු ආලය
බිහිකළ දාසිට පෑවේ එක ලෙස ඔබ වෙත
ඔබ වෙයි ඇය සතුවූ එක වටිනම වස්තුව
එය රැකුමට වෙහෙසයි ඇය නිරතුරු දින දින

ඇගෙ දහඩිය කඳුලින් ඔබ නිතියෙන් ලද සැප
මුළු ජීවිතයම ඔබගේ නොනිමෙයි ඒ ණය
අප මව් පියවරු වෙනවිට වැටහෙයි සියලට
ඈ කල ඒ උපරිම වූ පරිත්‍යාගය

මවකගෙ මුළු ජීවිතයම
කැපවෙයි ඇගෙ දරු වෙත
අස්ථිර මේ ලෝ තලයේ
ඇගෙ ආලය ස්ථිර

18.03.21

ආදරේ නිල්පාට ද නිල්පාට ආදරේ ද

බුද්ධදාස ගලප්පත්ති
බුද්ධදාස ගලප්පත්ති
කලාපය: 2021-April

ඔයා කියනව
මං ආසයි නිල්පාටට
නිල්පාට ඩෙනිම් කලිසම්
නිල්පාට සොෆ්ට් ඩෙනිම් කමීස

නිල්පාට කිව්වම
කොච්චරක් නිල්පාට තියෙනවද අනේ
Sea Blue
Sky Blue
Peacock Blue
මං ආස ඒ හැම නිලකම තියෙන
එක නිල්පාටට
ඒ කියන්නෙ ඔයාගෙ ඇස් දෙකේ නිල්පාට වගේ

බොරු කියන්නෙපා
මගේ ඇස් දෙකේ කොහෙද නිලක්?

නෑ සත්තයි ඔය දිළිසෙන්නෙ නිල්පාටට
‘ නීල උත්පල දිගැටි දෑසයි… නීල චංචල කිඳුරු දෑසයි…’

සේකර ඒ කියන්නෙ සුබා ථෙරණියගෙ
ඇස් ගැන

ඉතිං සේකර හරි නේ

එහෙම නම් මමත් සුබා ථෙරණිය වගේ
ඇස් දෙක ගලවල දෙන්නද ඔයාට මතක් වෙන්න?
පිස්සු නැතුව
මගේ කම්මුලට හාද්දක් දෙන්න
මගේ බෙල්ල බදාගෙන
නිල්පාට ඇස් – බොරු කතා

නෑ සත්තමයි රෑට නින්දෙදිත් මට පේනවා

නින්දෙදි පේනවද මෝඩයො ඇස්
ඇයි මාත් එක්ක කියල තියෙන්නෙ
කැම්පස් යන කාලෙ නින්දෙදි මතක් වෙන්නෙ
සන්ධ්‍යකුමාරිල විජිතල කියලා
ඒ ගොල්ලන්ට තිබුනද නිල් ඇස්
මම කියන්නෑ රෑට දැක්කෙ මොනවද කියල
විහිලු කතා කියන්නැතුව
මට කිස් එකක් දෙන්න

නිල්පාට ආදරේ ද
ආදරේ නිල්පාට ද

මං දන්නෑ හරියටම මොකක්ද කියල
ඒත් මං ආසයි ඔයාගෙ ඇස්දෙකට
කතාකරන ඇස්
නිල්පාට ආකාසෙ
නිල්පාට මහ මුහුද
නිල්පාට නිල්පාට
ජීවිතේම නිල්පාට

28.03.2021

සිතිවිලි!

ලුම්බිණි විතාන - ලන්ඩනය
ලුම්බිණි විතාන - ලන්ඩනය
කලාපය: 2021-April

මගේ ඇස් දෙකට පේනවා……..
මට නොපෙනුනාට.
මගේ කන් දෙකට ඇහෙනවා……
මට නොඇසුනාට.
මගේ මතකයට එනවා……..
මට මතක් නොවුනාට.
මා තුල තවම මම ඉන්නවා……..

ඔබ නොදුටුවාට!!!!

(ඩිමෙන්ෂියා රෝගියෙකුගේ සිතිවිලි)

කොරෝනාව පරදා ජයගත් දාට

වෛද්‍ය ටියුඩර් ද සිල්වා - කෙන්ට්, එංගලන්තය
වෛද්‍ය ටියුඩර් ද සිල්වා - කෙන්ට්, එංගලන්තය
කලාපය: 2021-April

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ. ලස්සන. ගම රටට
පැහුනු ගොයම් යායක හැඩ බලන්නට
පාසිකුඩා වෙරලේ පා. තෙමන්නට
අලුත් මාලු හොද්දක. රස. විදින්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
දලදා සමිදු තවසැරයක්. වදින්නට
සිරිපා ගිරේ ඉරසේවය. බලන්නට
අනුරපුරේ ශිමා බෝ. පුදන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
අවුකන බුදුරුවේ. විශ්මය. . දකින්නට
සමාදි පිලිමයේ සිසිලස. විදින්නට
සීගිරි ගලේ බිතුසිතුවම් බලන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

කොරෝනාව පරදා ජය. ගත්. දාට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට
වැලමිටි වන්ගු පසුකර කදු. නගින්නට
කදුකරයේ තේවල රස. බලන්නට
තුන්පත් ‍රෑන උඩවලවේ. සොයන්නට
යමු මිතුරේ අපෙ ලස්සන. ගම රටට

17 මාර්තු 2021

අඳුරට එරෙහිව

නිලාර් එන්. කාසිම්
නිලාර් එන්. කාසිම්
කලාපය: 2021-April

සිඳී ගිය පියාපත සවිමදි ද
විඩාබර නෙතු දෑලෙ කඳුළැලි ද
විහඟුනේ ඉසිඹුවට කල් වැඩිය
පියාඹමු හිරු වඩින නිම් තෙර ට

සිනාසෙන්නට සිටින දරුවන් ට
සිනාවක් රැගෙන එමු පළදින් ට
පියාපත් පිරිමදින තුරු නො ඉඳ
පියාඹමු හිස සිඹින සිහිනය ට

තටු සලන මුදු සිතැඟි ඇහැරෙන්න
මං වසන කළු අඳුර බිඳලන්න
රතු අහස විළිලාන එන විටෙක
පිපෙන මල් කැකුළු පෙති සිපගන්න

‘පැහැසර අරුණක’ ගී පොත – 1999

දුරු රටක අවුරුදු සිතුම්

රේණුකා බණ්ඩාරනායක , යාන්ත්‍රික ඉංජිනේරු , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
රේණුකා බණ්ඩාරනායක , යාන්ත්‍රික ඉංජිනේරු , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
කලාපය: 2021-April

එරබදු මල් පිපී නැතත්
කොවුල් හඬක් ඇසුනෙ නැතත්
හිත ඇතුලට නව අවුරුදු
සිතුම් පැතුම් ඇවිද ඇවිත්

රටකින් රටකට ඇවිදින්
රාහු කාලෙ ඉවත ගිහින්
දර ළිප නැහැ දැන් නිවන්න
සිත් ගිනි පමණයි ඇවිලෙන

සිරුරු සුවය රැක ගන්නට
අනුභව නම් තෝරාගෙන
හිතේ පුදුම ආශාවක්
කොණ්ඩ කැවුම රස බලන්න

සතුට සැපත උතුරා ගොස්
රෝ බිය සැම දුරුවේවා
සිත් පිරි සතුටින් පවසමි
සැමටම සුබ අවුරුද්දක් !

රාත්‍රිය ඇවිත්

 සුනිල් එස්. සිරිසේන - මහනුවර
සුනිල් එස්. සිරිසේන - මහනුවර
කලාපය: 2021-April

නුඹ ඇවිත් වේලාසනින්
ගෙවුන දවසේ අඩුවැඩිය
මිටි බැඳ පසෙක තබයි
සීරුවට …….

මඟ හැරී අත්හැරුණු
එකෙක් පැන ගොස්
පන අදින පහන් දැල්ලේ පතිත වී
තටු සිඳී ඇද වැටෙයි
පහන් එළිය ද නිවාගෙන

මිහිදන්ව තැනින් තැන
වූ මතක පහුරු ගා
යළි යළිත් යා නොදෙන
අයාලේ යන ගමන – අඳුරටම දිය වෙලා
ඉතිං වත් නතර වෙයි .

හීතලද මෙතරම්, නැති දිනෙක ප්‍රේමයක්

නුවන් තොටවත්ත
නුවන් තොටවත්ත
කලාපය: 2021-April

හිම කබා නැති
හීත සමයක
ඇගේ උණුහුම් මතක අරගෙන
සීත කාලය ඇවිත් යනවද
ආයෙමත් හුරු පුරුදු නුවරට

නෙතේ සිරවුණ
මිදුණු කඳුලට
ඔහේ ඉන්නට දෙමු කියා

දෙතොල් මත ඈ ලියූ කවි ගැන
නුඹටවත් මා නැත කියා

එකදු බැල්මක
නෙතග කැල්මක
කිසිඳු දින ඈ නැත ලියා

ප්‍රේමයක් ළඟ නැති දිනක්
මේ තරම් හීතල යැයි කියා

පන්සලේ අලියා

වෛද්‍ය රුවන් එම්. ජයතුංග - කැනඩාව
වෛද්‍ය රුවන් එම්. ජයතුංග - කැනඩාව
කලාපය: 2021-April

පන්සලේ හාමුදුරුවන් ගේ අලියා
පැටියා කාලේ දායකයෙක්
අමතක කරලා ගිය නිසා
කන්න දීලා හදාගත්තා

පන්සල් වත්තේ අලියා බැඳලා
කකුල් හතර කිටි කිටියේ
හැරෙන්නවත් බෑ
හොඞය වනනවා

යකඩ දම්වැලට
කකුල තුවාල වෙලා
දම් පාටින් බේතක් ගාලා
තුවාල වල මැස්සෝ පිරිලා

ලොකු හාමුදුරුවොත්
ලොකු හාමු කෙනෙක් වෙලා
අලි ඇත්තු තමන් සන්තක කරගෙන
මහ රාජා කෙනෙක් වගේ

ගමන් බිමන් යන්නෙත් පත වාහනයක
නිතරම සෙල් එක කනේ
ඉන්නේ දේශපාලකයෝ පිරිවරාගෙන
පිරිවර සමග සසරින් එතර වෙන්න

අපට නම් කිව්වේ උන්නාන්සේ
සියල්ල අත් අරින්න කියලයි
කුසල් සිතින් අපි අත් ඇරියම
උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා

චිරාගත සංස්කෘතිය රකින්න ඕන නිසා
අලි පැටියෙක් කැලයෙන් අල්ලන් එන්න
කියලා උන්නාන්සේ අලි රොෂාන්ට කිව්වේ
ඇසෙන නෑසෙන ගානට

මිසදුටුවෝ – බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ
බොරු සත්ව කරුණාව ඇත්තෝ
හමුදුරුවන්ව විවේචනය කරනවා

කැලේ ඉන්න අලි අල්ලගෙන
උන්ව දම්වැල් වලින් බැඳලා
කුම්බස්තලයට හෙණ්ඩුවෙන් ඇනලා
දසවද දෙනවා කියනවා

උන් අහනවා මේවා බෞද්ධ වැඩද
බුදුන් වහන්සේ දේශනා කලේ මේවද
අරකද මේකද කියලා
හාමුදුරුවන් ගෙන්

හාමුදුරුවන් නම් කියන්නේ
අලි කියන්නේ බෝසත්තු
උන් අපේ සංස්කෘතිය එක්ක බැඳිලා හිටියා
බෝසත් ඇතා පිට උඩ තමයි ධාතු කරඞුව වඩම්මන්නේ

මිසදුටුවෝ – බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ -බොරු සත්ව කරුණාව ඇත්තෝ
උන් කියන විදියට ධාතු කරඞුව වඩම්මන්නේ
මහ ඇමතිගේ ඩිෆෙන්ඩරයේද ?

මේවා මහ මෝඩ කතා
පන්සල් වල අලි එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉන්නවා

උන්ව හැමදාම දම්වැල් වලින් බැඳලා
හෙණ්ඩුවෙන් ඇනලා
මෙල්ල කරලා තමයි
ලොකු හාමුදුරුවන් ලඟ වන්දවන්නේ

පන්සලේ අලියෙක් ඉන්න එක
කොච්චර නම්බුද
මැති ඇමතිවරු අටපිරිකර අරගෙන එනකොට
පේන්න ගැට ගහල ඉන්නේ ආවාසේ ඉස්සරහම

අලියා කියන්නේ සංකේතයක්
අපේ අනන්‍යතාවයක්
සංස්කෘතික නිමිත්තක්
ඒ නිසා ඌ සතෙක් නෙවෙයි
වෙන මොකක්ද එකක්

ගෞරවයෙන් දිනු ප්‍රේමය

වජිර ජයවර්ධන
වජිර ජයවර්ධන
කලාපය: 2021-April

බලා ඉන්න පුලුවන් නම්
ඉන්නව ඇස් පියවෙන කං
එහෙම තමයි ප්‍රේම ලෝකෙ
බොහෝ කතා පටං ගන්නෙ …

එකින් එකට දඟර ගැහුන
එතී දිවෙන ප්‍රශ්න වැලක්
රාග වැලේ දැවටෙන කං
රෝස මලෙකි ඒ ප්‍රේමය
ඊට පස්සෙ තමයි ඉතිං
සූට් කේස් ඕන වෙන්නෙ
ගෙදර පවුල මතක් වෙන්නෙ
දරුවන් ගැන හිතට එන්නෙ

කාට ඉතිං මේක උනත්
බලං ඉන්න අයට ෆිල්ම්
ටිකට් නොගෙන සුපිරි දසුන්
නළු නිළියොයි අපා දුකේ

ගේ ඇතුලේ ප්‍රේම කතා
දිගින් දිගට අරං යන්න
එදා වගේ අද හෙටටත්
‍සීල රාග ගුණ වයන්න
නෑ එතකොට කවදාවත්
වැරදි එකින් එක පේන්නෙ
ඕන වෙන්නෙ ප්‍රේම කතා
ගෙයින් පිටට අරං යන්න

වැරදි වෙනව කොයි කාටත්
විසිකරන්න පරණ කතා
පරණ ආල සුව විඳින්න
නිවසම දැං ප්‍රේම විලක්
මල් පිපෙනා සුවඳ ලොවක්
පිසලයි මහ කඳුළු ගඟක්
ඉතිං නෝනෙ පටං ගනිමු
අපි කරන්න ප්‍රේම කතා…

දරාගැනීමයි ප්‍රේමය
වැඩි ඉවසීමයි ප්‍රේමය
ගෞරවයෙන් හිත දීමයි
සතුටට පත් වෙන ප්‍රේමය…

පන් සිල්

නීතිඥ සුනේත්‍රා යූ. ආර්. වනිගසේකර - වත්තල
නීතිඥ සුනේත්‍රා යූ. ආර්. වනිගසේකර - වත්තල
කලාපය: 2021-April

රුදුරු අවි දෑතින්ම දරණා
හන්ටින්ය සොඳුරු සිරි වදනා
අහිංසක වන සතුන් මරණා
ප්‍රාණ ඝාතනයම සිදු කරණා
පාප මිතුරන් අතරෙ සරනා
සිල් පදය ඔබ අතින් බිඳුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇණ
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කම්හලෙහි වැඩ කරන
අසරණවු දනන් හට
සොච්චමක් දී පඩිය නිතිනා
ඉන් ලබන ලාභයෙන්
තමන්ගේ මඩිය තර කරණා
සැපරියෙන් යන ගමන බිමනා
තමන්ගේ දියුණුවම පතනා
සොරකමය දැන දැනම කරණා
වන සම්පතත් හොරෙන් කපනා
ඒ තුලින් ගජ වාසි ලබනා
භූ ජලය ඉක්මනින් සිඳුනා
පරිසරයෙ සිරි අසිරි නිවුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කාමයේ හැසිරෙමින්
පවිටු මිතුරන් ඇසුරෙ හිඳිනා
නිවස තුළ අඬ දබර රඳනා
සැනසීම නැත කිසිදු සරණා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කෲරතර වදනින්ය
කම්හලේ අඬහැරය
දුටු මතින් හැම දෙනම බියෙනා
ඉපිලයන හැටි ඇසට ගැටෙනා
පාප මිතුරන් කැටුව දොඩන විට
තමන්ගේ හිස් බවම
ප්‍රබල කොට ප්‍රලය කොට පෙනෙනා
නිරන්තර කට නිසා නැසුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

සුරාවෙන් මත් වෙමින
නුරාවෙන් බස් දොඩන
අපායට සහය දෙන
ඔබගෙ මිතුරන් සමග
හිස් කරයි රට බීම
තලු මරයි ගව මස්ද එවිටා

රටට සුදනන් ලෙසට පෙනෙනා
සුදු වතක් ගත නිතර රඳනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

මුළු රටට වින කරන
මෙ මහතුන් සැමට
ආවඩා ආයු බෝ වේවා
ආවඩා ආයු බෝ වේවා

දෙවොල තුළ නැත දෙවිඳු
දෙවිඳු පැන ගොස් ඇතිලු
බොහො කලක් ගත වීලු ඇසුනා
දිව හඬක් හැම දෙසින් ඇසුනා

සීත රැයක්

කපිල කුමාර කාලිංග
කපිල කුමාර කාලිංග
කලාපය: 2021-April

බොහෝ සීතලයි, මේ රාත්‍රිය
සුබ රැයක් නොපතාම
නිදන්නට ගොසිනි ඇය.

දුර ඈත කදු පෙළෙහි
නොපැහැදිලි එළි රැසකි
නිවි නිවී දැල්වෙනා, මීදුමෙහි
ඇගෙ නිවස, කොතැනදැයි නොදනිමි

බලා සිටින්නෙමි – ඒ දෙස
සුසුම් ලන – සෝ සිතිණි
මෙය බොහෝ දිගු රැයකි
පතයි උණුසුමක් සිත

තුරු මුදුන් – අතු පතර
සැළෙයි – සෙවණැලි මවන,
සුබ රැයක් නොපතාම – ඇය නිදයි
මේ රාත්‍රිය – බොහෝ සීතලයි

2021/03/07

Bitter bitter is this cold night – Kapila Kumara Kalinga

Bitter bitter is this cold night,
She’s gone to sleep without bidding good night .
A faint light in a far away hill soothes my sight,
Bitter ,bitter is ,this cold night.

That can be the place where she dwells
in blithe ,
So I keep looking at that speck of light
Then I feel a surging sorrow in my heart’s tide,
Bitter bitter is this cold night.

Now I see its gradual fading
Through an ethereal mist of veiling ,
Until it glows again ,am waiting
In this bitter cold night at freezing .

Translation Sunethra Aluthdunne

හිත හඬයි සැඟවි රහස් කොනක

හිතාශි පිටිගල - කළල්ගොඩ
හිතාශි පිටිගල - කළල්ගොඩ
කලාපය: 2021-April

කියාගන්න බැරි තරමට
සිත අසරණ වී…..
හඩන්නවත් බැරි තරමට
කඳුලු නතර වී……
ඔබෙ මුදු ආදර සුසුමන්
එකිනෙක සිහි වී………
අදටත් මගෙ සිත මට නොදැනිම
නවතී වී……

අතීතයේ සොඳුරුම තැන්
සිත්තම් කල සකි සඳුනේ….
පාලුව තනිකම හිත වට
ගී ගැයුවා මද පවනේ……
ඔබේ සුවද දැනෙනා විට
තාමත් මා සිත් යහනේ…….
බැඳුනු රැහැන් සිඳ බිඳ දා
එන්න සිතෙයි ගණ අදුරේ…….

අදටත් මා නොදනිමි ඇයි මන්ද පෙමින්
සුමුදු නුඹට……
ඔබේ රුවයි පෙනෙන්නෙ මා ඇස් අද්දර
නිරතුරැවම ……..
නලලත එකිනෙක ගාවා දෙනුවන්
දැල්වූ සෙනෙහස ……
සිහි වන විට තාමත් හිත
හඩයි සැඟවි රහස් කොනක…….
කියාගන්න බැරි තරමට
සිත අසරණ වී…..
හඩන්නවත් බැරි තරමට
කඳුලු නතර වී……
ඔබෙ මුදු ආදර සුසුමන්
එකිනෙක සිහි වී………
අදටත් මගෙ සිත මට නොදැනිම
නවතී වී……

අතීතයේ සොඳුරුම තැන්
සිත්තම් කල සකි සඳුනේ….
පාලුව තනිකම හිත වට
ගී ගැයුවා මද පවනේ……
ඔබේ සුවද දැනෙනා විට
තාමත් මා සිත් යහනේ…….
බැඳුනු රැහැන් සිඳ බිඳ දා
එන්න සිතෙයි ගණ අදුරේ…….

අදටත් මා නොදනිමි ඇයි මන්ද පෙමින්
සුමුදු නුඹට……
ඔබේ රුවයි පෙනෙන්නෙ මා ඇස් අද්දර
නිරතුරැවම ……..
නලලත එකිනෙක ගාවා දෙනුවන්
දැල්වූ සෙනෙහස ……
සිහි වන විට තාමත් හිත
හඩයි සැඟවි රහස් කොනක…….

පෙම් කවක්

රොඩ්නි විදානපතිරණ
රොඩ්නි විදානපතිරණ
කලාපය: 2021-April

නැති බැරි කමෙන්
ප්‍රේමය වියැකී ගිය
කතරක හෙම්බත්ව
දිය පොදක් අයදින
අරගල කරන
වැඩ බිමක
මට පෙම් කවක්
ලිවිය හැකිද?
සඳරැස් ගලන
වන අරණක
චමත්කාරය නොව
වන අලියෙකු විත්
කොයි වෙලේ
පහර දේ දැයි
සිතන විට
මට පෙම් කවක්
ලිවිය හැකි ද?