ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුතා ගෙන ආවේ මෙතැනට යි !

පුතා ගෙන ආවේ මෙතැනට යි !

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
2022-February

පුතා ගෙන ආවේ මෙතැනට යි !

බදා පොළවම තබා හිස සිඹ
සොයමි හඬ රත් පැහැති හුස්මක
අනේ කිව මැන කොහේ ගෙන ගිය
පැටව් සිහිනෙන් අදත් ඇහැරන

එදා ගෙන ආ පුතුන් මේ බිම
ගලා ගිය උන් රුහිරු පැහැ දෙන
කියන් මට උන් කොහේ සැඟවිද
හොයා ඉන්නා තැනක් දන්නෙද

පුතා ගෙන ආවේ මෙතැනට යි
මගේ අත අතහැරුනෙ මෙහෙදියි
එදා හිටි උන් කොහේ ඉන්නෙද
මෙදා ඉන්නා අය නොදන්නෙද

“අනේ අම්මා මමත් දන්නෑ
ආවේ දකුණෙන් මෙහෙට ළඟදී
යුද්දෙ අහවර වෙලා බොහො කල්
එදා උන් අය නෑනේ කිසිවෙක්”

වෙදුන් පවසන අරුම මොනවා
පුතුන් හැංඟුව තැනක් කොතැනා
එදා අත අත් හැරුණා පමණයි
මෙහෙට ගෙන ආ මතක විතරයි…

(යුද්ධය අහවර ව අවුරුදු දෙකකට පසු දිනක උදෑසන
උතුරු රෝහල් බිමේ දරුවන් සොයා
ඇවිදින් පොළොවේ පස් මිරිකමින් හඬා වැටුණු අම්මා …)