ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කම්පනය

කම්පනය

ඩී. අමරසිරි ගුනවර්දන - නවසීලන්තය
2021-May

අඳුරු අහසක් නොවී එදවස
සුදු වලාකුළු නොදුටි ගුවනත
දුර කථනයේ හැඬුම අවසන
ගමන ඉක්මන් කළේ නුඹෙ මුව

හෙදිය පෑ මදහස සිත’ග විය
උපාදානය සුළඟෙ මුසුවිය
මතක කැළතී සිතේ සුළි ලෙස
කෙළිබිමේ පාසලේ දැවටිය

පිටියෙ කෙළිබිම දුවන වේගය
වරළ අල්ලන් දොඩන බාසය
අග මුලක් නැති මතක සටහන්
සොඳුරු සිත්තම් ලෙසින් පාවිය

බෙහෙත් මුසු ගඳ සුළඟ නැහැයට
දැනෙද්දී ඔහු මට පැවසු මග
ගොසින් අවසන දුටුව පුවරුව
මගේ සිත කම්පනය කරවිය

මිණී කාමරයේ අඳුරු දොර
ඇරුණි මා හට ඇතුල් වන්නට
සිනා නැති නුඹෙ මලානික මුව
දෙසට නෙත් යොමු කරනු කෙලෙසද