ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මට…..

මට…..

කුමුදු අමරසිංහ - උතුරු ලන්ඩනය
2021-April

සමාවෙයන් මගෙ මල්ලියෙ – එක්කන්
යන්නට නාවට
පොල්රුප්පේ මං තනිය ම – රැක්කෙ
අම්මා තාත්තාව
තල් අරණේ කළබැගෑනි – දින දින
උඩ මතුවෙන විට
නුඹ ගියා ද අපව දමා – කාටත්
නොකියා රහසෙ ම

පොල්රුප්පේ කොහෙ හිටියත්
ඉන්න අපේ වුන් වාගෙ ම
තල් අරණේ කොහෙ හිටියත්
ඉන්න වුනුත් අපි වාගෙ ම
රණ්ඩු දබර වෙලා ගියේ
උන්ගෙ වුවමනා හින්ද ද
කොයි දේසෙත් එකෙක් – දෙකෙක්
දිය යට ගිනි නොගෙන ගියෙ ද

ඒ ගින්දර පත්තු වුණේ
මව්පියො-සියොළඟ නොවේ ද
පාතිඅම්මා කුරුපන් තල්
අරණේ වැළපුණා නේ ද
පත්තු කෙළේ ඒ ගින්දර
උන්ටත් නුඹටත් නොවේ ය
ඉහළින් වැඩ කරපුවුන්ගෙ
ඉහ – මොළ පල්ලේ නිසා ය

නුඹත් ගියා උනුත් ගියා
අනෙක් වුන්ගෙ දෑස් තෙමා
ඒ කඳුළැලි කෙදිනක හෝ
නැගුණු ගින්න නැති කරාවි
එදිනට දුක – සැප බලන්න
බුදු මල්ලියෙ ඇවිත් යන්න!

අකාල මරු කතරේ
රට-දැය සුරකිනු ව
මරු අතරේ සැඟවුණු
යසද් ජයනාත් අමරසිංහ
නම් වූ මගේ මල්ලීට
මගේ කවි කුමුද
උපහාරයක් ම වේවා!