ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන් සිල්

පන් සිල්

නීතිඥ සුනේත්‍රා යූ. ආර්. වනිගසේකර - වත්තල
2021-April

රුදුරු අවි දෑතින්ම දරණා
හන්ටින්ය සොඳුරු සිරි වදනා
අහිංසක වන සතුන් මරණා
ප්‍රාණ ඝාතනයම සිදු කරණා
පාප මිතුරන් අතරෙ සරනා
සිල් පදය ඔබ අතින් බිඳුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇණ
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කම්හලෙහි වැඩ කරන
අසරණවු දනන් හට
සොච්චමක් දී පඩිය නිතිනා
ඉන් ලබන ලාභයෙන්
තමන්ගේ මඩිය තර කරණා
සැපරියෙන් යන ගමන බිමනා
තමන්ගේ දියුණුවම පතනා
සොරකමය දැන දැනම කරණා
වන සම්පතත් හොරෙන් කපනා
ඒ තුලින් ගජ වාසි ලබනා
භූ ජලය ඉක්මනින් සිඳුනා
පරිසරයෙ සිරි අසිරි නිවුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කාමයේ හැසිරෙමින්
පවිටු මිතුරන් ඇසුරෙ හිඳිනා
නිවස තුළ අඬ දබර රඳනා
සැනසීම නැත කිසිදු සරණා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

කෲරතර වදනින්ය
කම්හලේ අඬහැරය
දුටු මතින් හැම දෙනම බියෙනා
ඉපිලයන හැටි ඇසට ගැටෙනා
පාප මිතුරන් කැටුව දොඩන විට
තමන්ගේ හිස් බවම
ප්‍රබල කොට ප්‍රලය කොට පෙනෙනා
නිරන්තර කට නිසා නැසුනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

සුරාවෙන් මත් වෙමින
නුරාවෙන් බස් දොඩන
අපායට සහය දෙන
ඔබගෙ මිතුරන් සමග
හිස් කරයි රට බීම
තලු මරයි ගව මස්ද එවිටා

රටට සුදනන් ලෙසට පෙනෙනා
සුදු වතක් ගත නිතර රඳනා
එසේ වුව සබත් දින පල්ලියේ දෙදන ඇන
දෙවිඳු ඉදිරියේදී යදිනා
දෙවිඳු ඒ පව් කමා කරණා රෑ

මුළු රටට වින කරන
මෙ මහතුන් සැමට
ආවඩා ආයු බෝ වේවා
ආවඩා ආයු බෝ වේවා

දෙවොල තුළ නැත දෙවිඳු
දෙවිඳු පැන ගොස් ඇතිලු
බොහො කලක් ගත වීලු ඇසුනා
දිව හඬක් හැම දෙසින් ඇසුනා