ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිල්

Category: නිසදැස් කවි

නිල්

සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
කලාපය: 2021-April

සොරාගමි මහ සයුරෙන්
නිල් පැහැති දිය බිංදු අහුරක්,
අහුලමි නිල් කටරොළු මල් මත
රැඳෙන හිරුගේ නොයිඳුල් ප්‍රථම කිරණින් මිටක්,
ඉන්ද තෝරා වෙන්කරමි නිල්වන් හිරු කෙඳිම සියයක් ,
සොයමි ඉන්පසු සප්ත වර්ණයෙන් දුලන
ඉඳුපිළාවන් හි ඇති නිල්පාට පමණක් ,
මධ්‍යහ්න ගගනතින් ද සූරාගනිමි තද නිල් පාටින් බිඳක්
නෙළාගෙන වනවිලක සුපිපි
සුපුල් ඉඳුවර මලක්
තලා තනමි ඉන් ඉතා මෘදු පත්තක්
ඉන්පසු කළතමි මුසුකොට සියලු නිල්
එක වාරයක් .
සාදාමි කිසිදිනෙකත් ඔබ නොදුටු
පසන් නිල් පැහැයක්,
පෙන්වමි ඔබට පමණක්
කිව් බැවින් ඔබේ ප්‍රියතම පැහැය
නිල් යැයි කියා
පුබුදුවා හසරැළි දහසක්

තුන් කොන් ප්‍රේමය

අල්පා - ලන්ඩනය
අල්පා - ලන්ඩනය
කලාපය: 2021-April

මරණය නුඹත් හරියට,
නව යොවුන් තරුණියක් වගේ.
නුඹ පතාගෙන…
බලා හිඳිනා තුරාවට;
නුඹ ලඟටවත් එන්නෙ නෑ….

ඒත් නොසිතුව…
නොපැතු මොහොතක,
නුඹ ඇවිත් මම…
දන්නෙ නෑ.

එහෙම ආවම…
නොසිතු මොහොතක ,
ආයෙ නුඹ නම්…
යන්නෙ නෑ.

එවිට අසරණ…
මගෙ හිතේ දුක,
පැවසුවත් නුඹ…
අසන් නෑ.

ආව විලසට…
යන්න වෙන බව,
නොදැන නොව…
හිත දන්නවා….

ඒත් එතකොට “ජීවිතය”…
මම නුඹට,
පෙම්බැඳ…
හඬනවා…!!!

18/03/2021.

නංගියේ ඔබ

නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
නිමල් රන්ජිත් කන්දමුල්ල - ඉතාලිය
කලාපය: 2021-April

නංගියේ ඔබ
පසුව ඇවිදින්
ගියේ ඇයි කඩිනමින්
අපව හඬවා

සුවඳ කුසුමකි ඔබ
එදා සිපගත්
අදත්
සිහිනෙන් සිඹින

ලස්සන වු මල්
මඩ ගොහොරුවේ පිපුනත්
ඔබ මලකි සුවඳවත්
පිපී මඩ ගොහොරුවට ගිය

ජීවිතේ කටුක බව
පසක් කර ගත්
නිහඬවම මුහුණ දුන්
යකඩ ගැහැණියකි ඔබ

අදත් මා දකින්නේ
මා ළමා කල දුටු
ඒ පුංචි අහිංසක
දඟකාර පැංචියයි

සිතා සැනසෙමි නඟේ
නැවත කවදා හෝ
යලිත් හමුවෙමු
වැලඳ ගන්නට
සොයුරු ප්‍රේමෙන්
වෙන් නොවන්නට
තුසිතයේදී ♥️

එරබදු මල් කළු පාටයි

රංජිත් ද සිල්වා - නවසීලන්තය
රංජිත් ද සිල්වා - නවසීලන්තය
කලාපය: 2021-April

රතු පාට මල් පිපුණු
එරබදු ගහක් සොයාගෙන
උතුර – නැගෙනහිර – බටහිර – දකුනෙත්
සතර අතට පියාසර කල කොවුලාට
හැමතැනම පෙනුනේ
කලුපාට මල් පිපුණු එරබදු ගස්

ඒ කලුපාට මල්
වියරුව කෝපෙන් දත් විලිස්සා
කොවුලා දෙස බලද්දී – කොවුලා බයවුණා

අවුරුදු සිරියාව – පාස්කු සතුට
ගීතවත් කරන්නට
මෙවරත් නොහැකි වග කොවුලාට තේරුණා

කැලයකට පියාසර කල කොවුලා
ගසක අත්තකට වී ඈත බැලුවා
කැලයේ ගස් අඩුවී පාළුවී යන බව පෙනුනා
කොවුල් ගීතය වෙනුවට
කොවුලා මහහඬින් විලාප නැගුවා

එත් අනේ ඒ හඬ අසන්නට සිටියේ
කැලය තුල හෝටලයක් හදන්නට
තැනක් බලන්නට ආ
සුදු ඇඳගත් කලු මැතිතුමාත්
ඔහුගේ ආරක්ෂාවට තුවක්කු අමෝරාගත්
භට පිරිසත් පමණයි …….

06 මාර්තු 2021

අම්මා

වෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය
වෛද්‍ය රසිකා ජයතුංග - එක්සත් රාජධානිය
කලාපය: 2021-April

තරිඳු රශ්මි කාන්තියයි
සරස්වතී බුද්ධි ගුණයි
ළය උතුරන ආදරයයි
දේදුන්නක පාට හතයි
බෝධිසත්ව කරුණාවයි
නිමක් නොමැති ඉවසීමයි
හසරැල්ලක නැවුම් බවයි
එකමුතු කර දෙවියො මැවූ
දෙවඟන ඔබ අම්මා

දස මාසේ කුසේ තබා
ආරක්ෂාවන් සලසා
ආදර නදියෙන් නහවා
එක සියලෙන් ඇරඹු දිවි
දිනෙන් දිනම ලොකු කරවා
අතිශය දුක් ගිනි විඳවා
වේදනාව තද ඉවසා
දිවි ගතකල අම්මා

ලපටි තෙපුල් දිරි ගන්වා
සුමිහිරි බොජුනෙන් පිනවා
අනාගතය එළි කරවා
පිය නගන්න මග පෙන්වා
බාල සේවනය වලකා
ගුණදම් හොඳ පුහුණු කලා
දරු නැලවිල්ලෙන් සනසා
නිරෝගි සම්පත සලසා
දෙවඟන ඔබ අම්මා.

කිරි උතුරන හසරැල්ලක්
සීමා නැති ආදරයක්
මන සනසන මුදු බැල්මක්
ආදර ඔවදන් වදනක්
දෙව්ලොව සිට ආ අඟනක්
අප කාගෙත් අම්මා.

ලෙඩින් දුකින් අසරණ වී සිටින විට
රෑ නිදිමරන් ඔබ අසලින් සිටිය ඇය
මුදු පහසින් පිරිමදිමින් ඔබගෙ ගත
සැනසෙව් හැටි මතකද දැන් ඔබ සිතට?

ඇය දැන් දුබලව වී ඇත අසරණ
දැඩිකළ දරුවා සැමවිට අහළ පහළ නැත
සැනසිලි වදනක් හෝ ඇය හට දෙනවද
සැතපුම් ගණනක් ඈත පිට දේසෙක සිට?

නොසැලෙනවූ නොනිමෙනවූ අචලවු ආලය
බිහිකළ දාසිට පෑවේ එක ලෙස ඔබ වෙත
ඔබ වෙයි ඇය සතුවූ එක වටිනම වස්තුව
එය රැකුමට වෙහෙසයි ඇය නිරතුරු දින දින

ඇගෙ දහඩිය කඳුලින් ඔබ නිතියෙන් ලද සැප
මුළු ජීවිතයම ඔබගේ නොනිමෙයි ඒ ණය
අප මව් පියවරු වෙනවිට වැටහෙයි සියලට
ඈ කල ඒ උපරිම වූ පරිත්‍යාගය

මවකගෙ මුළු ජීවිතයම
කැපවෙයි ඇගෙ දරු වෙත
අස්ථිර මේ ලෝ තලයේ
ඇගෙ ආලය ස්ථිර

18.03.21

ආදරේ නිල්පාට ද නිල්පාට ආදරේ ද

බුද්ධදාස ගලප්පත්ති
බුද්ධදාස ගලප්පත්ති
කලාපය: 2021-April

ඔයා කියනව
මං ආසයි නිල්පාටට
නිල්පාට ඩෙනිම් කලිසම්
නිල්පාට සොෆ්ට් ඩෙනිම් කමීස

නිල්පාට කිව්වම
කොච්චරක් නිල්පාට තියෙනවද අනේ
Sea Blue
Sky Blue
Peacock Blue
මං ආස ඒ හැම නිලකම තියෙන
එක නිල්පාටට
ඒ කියන්නෙ ඔයාගෙ ඇස් දෙකේ නිල්පාට වගේ

බොරු කියන්නෙපා
මගේ ඇස් දෙකේ කොහෙද නිලක්?

නෑ සත්තයි ඔය දිළිසෙන්නෙ නිල්පාටට
‘ නීල උත්පල දිගැටි දෑසයි… නීල චංචල කිඳුරු දෑසයි…’

සේකර ඒ කියන්නෙ සුබා ථෙරණියගෙ
ඇස් ගැන

ඉතිං සේකර හරි නේ

එහෙම නම් මමත් සුබා ථෙරණිය වගේ
ඇස් දෙක ගලවල දෙන්නද ඔයාට මතක් වෙන්න?
පිස්සු නැතුව
මගේ කම්මුලට හාද්දක් දෙන්න
මගේ බෙල්ල බදාගෙන
නිල්පාට ඇස් – බොරු කතා

නෑ සත්තමයි රෑට නින්දෙදිත් මට පේනවා

නින්දෙදි පේනවද මෝඩයො ඇස්
ඇයි මාත් එක්ක කියල තියෙන්නෙ
කැම්පස් යන කාලෙ නින්දෙදි මතක් වෙන්නෙ
සන්ධ්‍යකුමාරිල විජිතල කියලා
ඒ ගොල්ලන්ට තිබුනද නිල් ඇස්
මම කියන්නෑ රෑට දැක්කෙ මොනවද කියල
විහිලු කතා කියන්නැතුව
මට කිස් එකක් දෙන්න

නිල්පාට ආදරේ ද
ආදරේ නිල්පාට ද

මං දන්නෑ හරියටම මොකක්ද කියල
ඒත් මං ආසයි ඔයාගෙ ඇස්දෙකට
කතාකරන ඇස්
නිල්පාට ආකාසෙ
නිල්පාට මහ මුහුද
නිල්පාට නිල්පාට
ජීවිතේම නිල්පාට

28.03.2021

මා නැති දිනක, මිනිබිරියෙ ඔබට

වෛද්‍ය රසීක ජයතුංග - එක්සත් රාජධානිය
වෛද්‍ය රසීක ජයතුංග - එක්සත් රාජධානිය
කලාපය: 2021-March

රන් සූකිරි – සිඟිති සිනා
අත්පා විදහාලා රඟනා
ඇස් දල්වාලා කියන කතා
බොලඳ තෙපුල් – සිහින මවා
රන් දේදුනු – පීරාගෙන
සුර ලෝකෙන් – ඇවිල්ල මෙහෙ
මිණිබිරියක් මගෙ පොඩි සුරතල්
අපගේ ලෝකය දල්වා දැන්

ආදරයෙන් ඔබ නහවන්නම්
සිනිඳු සේල සළු පලඳන්නම්
කඳුළු බින්දු ඔබෙ පිසලන්නම්
නිදියන තුරු මා නළවන්නම්
කිරි සුවදින් විකසිත වූ ඔබෙ මුව
දෝතින් ගෙන මා සිපගන්නම්

ඔබේ ටිකිරි – සිඟිති සිතේ
සිතුම් පැතුම් – ඉබේ මැවේ
කියන්නකෝ මොනවද මැණිකේ
සපුරාලා මා දෙන්නෙ දුවේ
ලස්සන ලෝකය අවට තිබේ
අස්ථීරයි ජීවිතය අපේ
රැකගෙන චරිතය – වඩවා ගුණදම්
නොසැලී නොඇලී – ඉන්න දුවේ

මා නොදකින ඔබෙ තුරුණු වියේ
මට නොඇසෙයි ඔබෙ මඟුල් බෙරේ
මා නොදකින ඔබෙ අනාගතේ
මා නොසිටින දවසක් පැමිණේ
මේ ඔවදන් පිඬ ඔබේ ලයේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ
රැව් දේවා මගෙ පුංචි දුවේ ……….

පසුතැවීම

නාරද අමරතුංග - කොළඹ
නාරද අමරතුංග - කොළඹ
කලාපය: 2021-March

සඳ පහසක් සේ දැනුනා
මද පවනක් සේ එතුනා
තරු වියනක් සේ දිලුනා
හද සිසිලක් සේ දැනුනා

සියොළඟ සලිතක් හැඟුනා
සිත කුල්මත් වී පිපුනා
මන මන්මත් වී රැඟුනා
කය වල්මත් වී සැලුනා

හිරු මඬලක් නොම දුටුවා
මල් කැකුලක පෙති හැලුවා
සැඩ සුළඟක් වී හැමුවා
පෙන බුබුලක් සේ දුටුවා

මල් සුවඳක් නොම දැනුනා
පන්සිළුවක් නැත පෙනුනා
ගණ අඳුරක් නෙත ගැටුණා
පසුපස එන දුක විඳුනා

2021/02/24 01.04 am

මගේ පුතු ලෙඩ වෙළා

නාලිනී කොඩිකාර - නුගේගොඩ (ග්‍රන්ථ කර්තෘ - චිත්‍ර ශිල්පිණී)
නාලිනී කොඩිකාර - නුගේගොඩ (ග්‍රන්ථ කර්තෘ - චිත්‍ර ශිල්පිණී)
කලාපය: 2021-March

කිරි සිනා දත් මැදින් – කිරි සිනා මතු උනා
බිළිඳු අත් පා මොලොක් – නටා ගී ගායනා
මුළු මැදුර සුන්දරයි – පුතුගෙ හඬ විසිරෙනා
සඳ වටා දැවටෙනා – තරු එළිය ඔප වුණා
හිමි සඳුත් මා පුතුත් – මගේ ලෝකය වුණා

නොසිතනා මොහොතකදි
කිසිත් නොසිතූ ලෙසින්
මගේ පුතු ලෙඩ වුණා

අරින්නකො මගෙ පුතේ – ඔය නීල දිගු දෑස
නටන්නකො මෑත් කොට – ඔබෙ සුමුදු පොඩි දෑත
එතෙන්නකො කර වටා – පවසමින් මුදු බාස
කිම පුතේ සිටින්නේ – නොසෙල් වී මගෙ මැණික

කෙසේ ඇදහිය හැකිද – සිදුව ඇති මේ විපත
කර තියා නිසල කඳ – වෙදුන් සැමතැන සොයත
මග දිගේ දිව ගියා – වගුරමින් කඳුළු කැට
මිනිස් ලොව දෙවි කෙනෙක් – සැනසීය මගේ සිත

නැඟණියනි, යනු මැනවි
ඡේතවන අරම වෙත
මහ වෙදාණෝ සිටිති
ලොව ම සුවපත් කරන
නොදොඩනා, නොසෙල්වෙන
මගේ පුතු ඇමතුවෙමි –

” පුතේ හනි හනික
මහ වෙදා හමු උනා”
“බිය නොවන් මගෙ පුතේ
ඔබව සුවපත් කරයි
මහ වෙදාණෝ නිසැක”

විශ්මයකි … විශ්මයකි
රන් රුවක් සේ දිලෙන
මදහසින් වැඩ සිටින
කරුණාව ගලා යන
පුරා සඳ සේ දිලෙන
මහ තෙදැති සුපින්වත්
මහා මුණි වැඩ සිටිත
පිරිවරා මහ සඟන

පුතුගෙ නිසසල සිරුර –
දිගු කළෙමි ඔහු වෙතට
වහා සුව කළ මැනව
දුන මැනව ජීවිතය
හඬා වැටුනෙමි මෙමා – හිමි දෙපා මුල නිසල

නැගිටින්න නැඟණියෙනි;
සුව කරමි නිසැකවම
ගෙන එන්න අබ මිටක් –
නොමළ කුල ගෙයින් ලද

අදිටනින් සිත දැරූ – අබ සොයා ගියෙමි මම

කොතෙක් අබ ලැබූවද –
නොමළ ගෙයකින් මිටක්?
කෙසේ නම් හමු වේද –
නොමළ එක ගෙයක් වත්?

ලොව සියලු දනන් හට
උරුම වූ ඒ දහම
උරුම වේ ඒ ලෙසම
මපුතු හට නිසැකව ම

වැටහුනිය සියලු දෙය
සැමට උරුම වු දහම
හැරපියෙමි නිසල කය
සමිඳ ඔබ වේ සරණ

පුතු නොලද මුත් ඔසුව
දම් අමා දිව ඔසුව
භවය සුවපත් කරන
හිමියනේ ලදිමි මම

(සතුට දන් දෙමි කාව්‍ය සංග්‍රහය 2018)

දාන හමුවක්

රේණුකා බණ්ඩාරනායක - පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව (යාන්ත්‍රික ඉංජිනේරු)
රේණුකා බණ්ඩාරනායක - පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව (යාන්ත්‍රික ඉංජිනේරු)
කලාපය: 2021-March

හැදුවා මම අතුරුපසක්
මිතුරු ගෙදර හෙට දානෙට
අනුභව නම් මිතුරන්ගේ
හැදුවේ සාදුට වුනාට

බුදු පුදටත් අයින් කරයි
පුංචි කෑල්ලක් පැත්තක
ඉවත වැටෙයි ඒ සියල්ල
දානය අවසන් වුනාම

හාමුදුරුවො වැඩිය කලට
කථා නතරවී මොහොතක
ජීවිතයේ අනියත බව
මෙනෙහි කරයි අපි සැමදෙන

දාන මාන අවසන්වී
හාමුදුරුවො පිටවුණාම
කතා බහේ ලොකු වෙනසක්
කට හඩවල් දැන් සද්දයි

යාලුවන්ගේ දරුවන් ගැන
අහල පහල රස තොරතුරු
අපේ රටේ දැන් තත්වය
වාද විවාදත් ඇතිවෙයි

මේ සියල්ල අවසන් වී
සමුඅරගෙන ඒ සැමගෙන්
පිටවී එයි අපි සැමදෙන
බණ ඉතුරුද අපේ හිතේ ?

මකුළුවෝ මේ සීත කාලයයි…

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
කලාපය: 2021-March

මල් කොළ නැතිය මේ සීත කාලෙට
හිරුත් ඔහෙ ඇතිය විරිත්තන් බාගෙට
පිනි මිඳුණු තණ පලස මත තාලෙට
දැල වියන මකුළුවෝ උඹට පාලුද…?

හිරු කිරණ මකාලයි දැනෙන සීතල
හදවත උණුසුම්ය වැටෙන විට මීවිත
ගොඳුරුත් හිඟය මේ සෙනසුරුගෙ නීතිය
මකුළුවෝ අගයමි උඹට ඇති වීරිය

වැටී හිරු කිරණ වැල් දිලෙයි දැල් වාටිය
දනන් නෙතු පොපියවයි සොබාදම් නීතිය
දරු පවුල නිදි වරයි වැදී කුස ගිනි සාපය
දැල දකින ලොව මෙදුක නොදැකීමයිනෙ පාපය

මව්වරුන්ගේ ආදරය

සාරංග දේව ද අල්විස් - කොළඹ
සාරංග දේව ද අල්විස් - කොළඹ
කලාපය: 2021-March

ආර්ථික න්‍යායන් පරදවන,
ඉල්ලුම වැඩිවෙත්ම සැපයුමත් වැඩිකරන
ප්‍රමිතිය පහල නොදමන
කිසිදා මිලක් නියම නොකරන
“මව්වරුන්ගේ ආදරය”

(මින්නේරිය නිවුන් අලි පැටව් – චයාරූපය ද කවියාගේ මය )

විවාහ ඒජන්සියේ ස්වයංවරය

සුගත් අමරසිංහ - නයිජීරියාව (ජල ශාස්ත්‍රීය මිනින්දෝරු)
සුගත් අමරසිංහ - නයිජීරියාව (ජල ශාස්ත්‍රීය මිනින්දෝරු)
කලාපය: 2021-March

පුටු පේළියක කොනේ අසුනක
මහ මෙරක් හිස උඩ තබාගෙන
විදුලි පංකාවට අකීකරු වුනු
අවුල් වූ නර කෙස් වසාගෙන
බලා හිඳිනෙමි වාරේ එනතුරු
වඩින තුරු මල් හීය අරගෙන

එකිනෙකා එයි දුන්න අතගෙන
අසල පුටුවේ වාඩි වී ගෙන
දෑස් පා මුළු සියොලඟම වෙත
අසයි අතොරක් නැතුව වතගොත

තාත්තා ඔත්පල නියාවෙන්
නංගිගේ ඉගෙනීම වෙනුවෙන්
පළමු පෙම හැර ගිය මුලාවෙන්
පමා වුනු නිසි කල විවාහය
කටපාඩමට දැන් මුවෙන් පිට වේ

කරන සිල්ලර කඩයේ වත්කම
වත්ත පිටියේ නෙලන ඵල වැල
රන් රිදී මුදු වළලු කරපට
ගණන් බලනා උන්ගේ ගණකය
එකින් එක මැන තරාදිය මත
මුවින් නොඅසන දැවැද්ද එය
සසඳා බැලුමට තවත් ඔවුනට
දින ගනී තීරණය ගැනුමට

ගෙවී යන සති අන්තයක හැම
පුරුදු පාරෙන් ගොඩ වැදී එහි
සොයා බලනට සුදුසු සහකරු
කෙනෙක් ඇතිදැයි බලා ගැලපෙන
මනාපය දන්වා එවන තෙක්
හිදිමි දොරකඩ හිස් අහස යට
නැවත සතියක් එනතුරාවට……

මහ වැලියට පෙම්කල නයිල් නදිය

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
කලාපය: 2021-March

නයිල් දිය රජිඳුන් අතීතෙක
කාල තරණයෙ යෙදෙන මොහොතක
මැණික් ඔප වුණු ගං කොමලි දැක
විස්මයට පත් වී ගියා ලූ
ඇයට රහසෙම පෙමින් බැඳුනලු
ඔහු ඇගෙන් විමසලා සිටියලු

ඔහුගෙ ආගම, කුලය, දේශය
විමසමින් ඈ විපිළිසර වී
රාත්‍රී දෙක තුනක් ගෙව්වලු
ඔහුගේ රුව දැක ඇගේ තුණු සිතෙ
ගැස්ම වැඩි වී වාං දැම්මලු

ඔහුගෙ වතගොත අහක තබමින්
ඇය රජුන් හට බහක් දුන්නලු
මැණික් කැට ඇති තැන් නොසොල්වා
උමතුවෙන් ඔහු ප්‍රේම කෙරුවලු
දෙදෙනා බෝ ආදරෙන් සිටියලු

රජුගෙ දේසෙට ඉඩෝරය විත්
මිනිස් ජනයා මැරී වැටුණලු
පළමු ප්‍රේමය පුද දෙමින් ඇය
රජුට යන්නට කියා කීවලු
එදා මහවැලි ගඟ පිටාරය
ගලාගොස් මහ හඬින් හැඬුවලු

අදත් මහවැලි දිය ගලන්නී
දුකම සඟවා සිනාසෙන්නී
නයිල් රජු ගැනමයි සිතන්නී
ඉඳහිටෙක සුසුමක් සලන්නී

ඇයත් දැන් ජරපත් වෙලා ඇති
ප්‍රේමයේ ගඟ සිඳිලා නැතුවැ’ති
කොතෙක් දුර මුත් ඇතිය ළඟ පැති
ආදරේ කිසි දෙනෙක නොමියෙති..

එපාවුණු දියණියන්ගේ කතාව

වෛද්‍ය බෝධිනී සමරතුංග - කොළඹ
වෛද්‍ය බෝධිනී සමරතුංග - කොළඹ
කලාපය: 2021-March

වැරන් උස්සා පොළේ ගසලා
සැරෙන් සැර මේ ජිවිතේ
බිඳී කැඩිලා නැවත අලවා
ඇද පලුදු අපමණ තියේ

පන්න පන්නා කොනිති ගහනා
රිදුම් අඩු නැත මග තොටේ
ඉපිද මැරි මැරි ඉන්න වෙන එක
සරදමක් තවමත් හිතේ

කෝප දොස් අවමාන අපහස
පිරී ඉතිරී කළු ගැහී
හිතේ සවියෙන් වැඩෙහි යෙදෙනා
දහක් නෙත් ඇත මුණගැසී

වෙද නළාවට ඇහෙන්නේ නැති
හදේ සංකා තව ඇති
ගතේ වෙහෙසට බෙහෙත් ලැබුනත්
හිතේ කරදර නිම් නැති

නුඹව අගයන නුඹට සවි දෙන
තැනක පියඹා පැලවෙලා
හිතේ සැනසුම වතේ සිනහව
රැගෙන එන උන් හමුවෙලා

හදේ ඉපදෙන සුසුම් සොම්නස්
රිදී ඉරි මත ලියැවිලා
හිනා නඟනා දිනක් පතනෙමි
නෙතේ කඳුලැලි හංඟලා

2021 පෙබරවාරි..

සිපිරි ගෙය අබියස මවකගෙ හැඟුම්….!!!

බුද්ධදාස විතානාරච්චි
බුද්ධදාස විතානාරච්චි
කලාපය: 2021-March

පුතුනි නුඹ උපන් දින
මහද හටගත් සොම්නස
පැවසිය නොහැක වදනින්
දුටිමි මම නිසැකව
නුඹ ලොකු මහත් වුන කල
පෙරළි කරනා බව
ලබා ගැනුමට අපේ උරැමය..

තොටිලි වැට පනිමින්
පෑ ඒ බොළඳ දස්කම්
මට පෙර නිමිති විය
නුඹේ මතු දින දිවිය පිළිබඳ
සිපිරි ගෙය අබියස
සිටින විට මම නුඹව දැකුමට
දෑත දෙපය විළංඟු ලා
සිර කුටියෙ බිම වැතිර
නොසැලී අදීනව
ඉන්ද්‍රඛීලයක් සේ
ඉන්න නුඹ ගැන
මම ආඩම්බර වෙමි
මගෙන් බිව් කිරිවල
ණය ගෙවයි සිපිරි ගෙයි හිඳ
පතා ජනතා අයිතිය
දිනූ බිම නිදහස…
නොහඬමි මා ඉකි බිඳිමින්
තුටු කඳුළු වගුරමි
නුඹට අම්මා වීමෙ සතුටින්…..

1988 සැප්තැම්බර් 25 වෙනි දින
කොළඹ මැගසින් බන්ධනාගාරයේ දී…

හෝ ගානා පොකුණ බලන්නට

ලාල් හෑගොඩ
ලාල් හෑගොඩ
කලාපය: 2021-March

සුන්දරපුරම්වල
පරම්පරාවෙන් ලද ගේ දොර
කැටයමින් බොරදමින් ඔප වූ
දොර ජනෙල්
මොනවා රකිනවාද මේ පාලු ගෙවල්වල
මොනවා බලනවද තනි වී
මේ දැවුණු බිමේ

ලොඹු කටින් තබා උන්
උළුවහු ජනෙල් දොර
ගලවා උගුල්ලා හඬ නොනඟා
තරු නැති උරහිස් මතින් ගෙන
ලොකු තරු රියෙහි තබා
කොළඹ අරන් යන්නේ
හෝ ගානා පොකුණ බලන්නද මේ
කොළඹ අරන් යන්නේ

(මීට වසර 5 කට පමණ පෙර බත්තරමුල්ල ප්‍රධාන මාර්ගයේ “ඇන්ටික් ෂොප් “ එකක විකිණීමට තබා තිබුණු උතුරේ උළුවහු ජනෙල් දැක කම්පා වූයෙමි. ගෘහ නිර්මාණ ශිල්පීන් ඒවා කඩිමුඩියේ මිලදී ගන්නා සැටිද දුටුවෙමි. මේ කම්පාව දිනක් මම සරත් චන්ද්‍රජීවයන් හා පැවසුවෙමි. ඔහු යාපනයට ගිය වෙලේ ගැලවූ උළුවහු ජනෙල් තිබුණු නිවෙස් වල ඡායාරූප 50 ක් පමණ මට ගෙනවිත් දුන්නේය. තවමත් මේ ලොඹු කටවල් එහි තිබෙණු ඇත.)

මේ කවිය ඊ මේලයෙන් යවා මිනිත්තු හතළිස් පහකින් පමණ සුනිල් සෙනෙවියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය මෙසේය.

අප්පා හේත්තු වී සිටි තැන
දාඩිය පැල්ලමත් එක්කද
කොළඹ අරන් යන්නේ
ගනේෂ්ගේ මිහිරි සීනු නාදයට
අතවැනු අගුල ඇරි
උණුසුම කාමරයටම කැන්දූ
බුුරුල් කර තිබූ ජනෙල් කූරු එක්කමද
කොළඹ අරන් යන්නේ?
සිංහල බෞද්ධ සාලයක
ඔප දැමූ ආර්. ජී. පී
පිත්තල පතරොම් කොපු අතර
නූතන විසිත්ත කාමර කැටයමක් ව
සුන්දරම්පුර ජනෙල් පියන්පත
අමුතු සංහිඳීයාවක


ආචාර්ය සුනිල් සෙනෙවි

(21/01/30)

ග්‍රහ ලෝක විවාහය

සුඛිත විජයමුණි - ලන්ඩනය  (ශාස්ත්‍රපති)
සුඛිත විජයමුණි - ලන්ඩනය (ශාස්ත්‍රපති)
කලාපය: 2021-March

ජීවිතේ මගෙ ග්‍රහ ලෝක අතරේ
කැරකිලා තෙරපිලා මිරිකීලා
අපල උපද්‍රව කඩා බිඳ එන
දවස සොයනවා,රැළි වැටුණු මා

අම්මා සැමදා අභ්‍යවකාශ අතරේ
තාත්තා සම්පත් ආකර ලෝකයේ
සිහින කුමරා උල්කාපාතයක් වෙලා
කවදා පොළොවට එයිදො නොදනිමි

පන්සල්,පල්ලි,කෝවිල්,ගිහිල්ලා
බාර හාර පොල් ගහලා සැවොමා
මංගල යෝගය පැතුවත‍් එක සිතින්
ග්‍රහයෝ නීචයි මල්වර නැකතේ මගෙ

ගසක මහිම

නීතිඥ  සුනේත්‍රා යූ ආර් වනිගසේකර - වත්ත්තල
නීතිඥ සුනේත්‍රා යූ ආර් වනිගසේකර - වත්ත්තල
කලාපය: 2021-March

ගෙබිම කොටාලා සරු පස සද ලා
සොඳවට බිජුවට එහි වපුරා ලා
සිහින් සිහින් කොකු උඩට ඇදී ලා
අන්දම් දුටුවෙමි දළුලන ලී ලා

දිනෙන් දිනම ලියලයි ආලය සේ
කලින් කලම මෝරයි දරුපෙම සේ
පුංචි පනා මල් බඳ වට දිලි සේ
නොපෙනේ කිසිදින ඉසිඹුව ලද සේ

ලතාවන්ද බඳ වටෙහි එතී ලා
සෙවන සදයි හිරු රැස් වටලා ලා
මව් සෙනෙහස සේ සිසිලස පා ලා
ගසක මහිම බල පල ලෙල දී ලා

සදා හරිත වන උයන් සරා ලා
සැලේ සුලඟෙ අතු පතර විදා ලා
රස පලවැල දෙයි ලොබ නොම වී ලා
ඔබ ලඟ සැනෙසෙන්නෙමි තුටු වී ලා

පත් ගිලිහෙයි එලැඹෙන හේමන් තේ
යලිත් පිබිද එයි නැගෙන වසන් තේ
සුවඳ විහිදුවයි සතර දිගන් තේ
වැජඹෙන් සකි නුඹ අඳුරු යුගන් තේ

කුසගිනි නිවුමට සරු ඵල දුන් නේ
කුසට අහිමි බත නොවෙද සදන් නේ
ඒ ගස නැසුමට අවි අර ගන් නේ
මව නැසු පාපයමය පල දෙන් නේ

ඔබෙ සිරුරෙනි කැනි මඬල තනන් නේ
ඔබ සිරුරෙහි දන ඉසිඹු ලබන් නේ
මව් ගුණ දන්නේ ඔබ නොනසන් නේ
කොතැනක මේ පව අර ගෙන යන් නේ

බුදු බණ මය නිති සිහියට එන් නේ
අටමහ කුසලෙකි ගස් වවපන් නේ
වවනා අප නැත හෙට දින ඉන් නේ
පුතු ඔබ මය හෙට ඉන් පල ගන් නේ

ආරාම රෝපා – වන රෝපා
ඒ ජනා සාධු කාරනා……

ජීවිතය …ඔබ…

කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
කිත්මිණි ජයසිංහ - ලන්ඩනය
කලාපය: 2021-March

හසුවෙමින් සුළගකට
නොනැවතී ගසායන
ගලායන දොලදියේ
රැළි අතර මුවාවෙන
හිතාගන්නට කලින්
වෙනස් වී ගෙවීයන
ජීවිතය දකින්නම්
සිහිනයක් වගේ මම….

නවතින්න වෙන්න වෙයි
නොඳන්නා නවාතැන
මගහැරී යන විටදි
හුරුපුරුදු නවාතැන
කොහේ නැවතුනත්
නොනැවතී ඔහෙ ගලායන
ජීවිතය සිහිනයක්
රැයක නෙත ඇඳීයන…..

20/02/21.

අම්මා වැළලූ තැන

පරාක්‍රම නිරිඇල්ල
පරාක්‍රම නිරිඇල්ල
කලාපය: 2021-March

දුරාතීතේ අඳුරු මොහොතක
පස් වසා ලූ ඔබෙ මිනී වල
දුරන්තරයක් ගෙවාගෙන විත්
බලා මා සිත තැවුල් වූ මුත්
එයද සැනසීමක්ය අම්මේ

සෙනේ සුරතින් කැවූ මොහොතක
ළදරු මා සිත එදා ඇඳි ලෙද
දැනුදු හුරු වූ එකම සිතුවම
බොඳව මා සිත ඇඳෙයි අම්මේ

සිතේ සුරැකුණු ඔබේ සිතුවම
ජීව ලොව තුළ අද තියේ නම්?
පොළොව ගිලගත් හැඩැති ඔබෙ රුව
ජීව ලොව තුළ අද තියේ නම්?
සුළඟ ගිල ගත් ජීව වායුව
තවම එහි රැඳවී තියේ නම්?

මසිත නැඟ ඒ සිය දහස් පැන.

ඒත් අම්මේ සිය`ඵ ඒ පැන
පසිඳවා ලන සිය`ඵ පිළිතුරු
ගිලී ගිය ඔබෙ මිනී වල තුළ
නිරුත්තර ලෙස දිරා ගොස් ඇත.
සදා කල්හිම වැසී ගොස් ඇත.

එකම සුලඟට…..

කමල් සේමගේ - කතරගම
කමල් සේමගේ - කතරගම
කලාපය: 2021-March

උපදින විටදි ……………… එක විට
සිටියා නුඹත් ……………… මා ලඟ
කිරි සුදට ……………… බැබලී
දෙඅත් අල්ලා ……………… එකට

නිවුන් දරුවන් ……………… විලස
එක් දිනක ……………… අපි ඉපිද
වෙන්වී ගියත් ……………… දෙපසට
අද අපි වෙනස් ……………… පාටින්

වැනෙනවා මම ……………… එක කොනක
Black and gold ……………… පාටින්
වැනෙනවා නුඹ………………තව කොනක
රතු ලා නිල්ද………………තද නිල්

පෙනෙනවා මට ……………… සිතිජය
සිරිපාදය ද ……………… කදිමට
රළ වැල්ද ……………… නිල්වන්
අහස් කුස අප………………හිස් මත

එකම සුලඟට ……………… වැනෙනා
නිවුන් සොයුරන් …………….. විලසට
වෙනසකට අපි ……………… අද දින
කෑ ගසමු ……………………… හඬ නගා

රිච්මන් ……………… පරිප්……පූ
මහින්ද ……………… පරිප්……පූ
අතරින් පතර ……………… ජොලියට
සංඝ….මිත්ත ……………… පරිප්……පූ

තරඟයට එමු ……………… ආදරෙන්
ජයගනිමු අපි ……………… ආදරෙන්
පරාජය වුව ……………… ආදරෙන්
පෙම්වතුන්ගේ ……………… පෙම් සටන

වසංගතයක් ඇවිත්

නීතිඥ පද්මිණි දේවි  ජයසේකර - ලන්ඩන්
නීතිඥ පද්මිණි දේවි ජයසේකර - ලන්ඩන්
කලාපය: 2021-March

ගතවුවද වසරකට වැඩි කාලයක්
නැත තාම අඩුවක්
එන්න එන්නම වැඩිවෙන
ඇයි වසංගතය ඔබට තරහ ගියාවත්ද?

වැරදි ගොඩක් අපෙන් සිද්ධවෙන්නැති
කියාදෙන්න තරහ නැහැ අපි
මුළු ලොවම අද අඳුරුයි නිහඬයි
තිගැස්සුණු අප සියල්ලම බියෙන්

පවුල් අසරණයි රන්ඩු සරුවල් වැඩියි,
හැඬු කඳුලෙන් බියෙන් ගල් ගැසී
රැකියාවට පාසලට යන්න බයයි
අසරණ පවුල් රෝහල්වල දුක් ගින්දරේ

මිනිසුන් අතර කරුණාව දයාව නැති වෙලාදෝ
කොපමණ ධනය තිබුණත් මදි වෙලාදෝ
මුදලට තත්වයට බලයට ආදරයට කෑදර වෙලාදෝ
එවන් තත්වයක් විශ්වයට තදින්ම දැනිලාදෝ

බුදුන් ,ජේසු ,අල්ලා සමිඳුට
මෙකි නොකී සෑම දෙවියන්ටම එකසේ
ජාති ආගම් කුල බේද නොතකා
නමදිමු අප සැම බැති සිතින්

ආදරණිය වසංගතය
අපගේ කන්නලව්ව අසා
ඔබ නික්ම යන බව අපට පොරොන්දුවන්න
ඔබට සදා ස්තිතුයි .

ඉවුර විලස- වික්ටර් රත්නායක නවතම ගීතය

චන්දන මනෝජ් විතාන - ලන්ඩන්
චන්දන මනෝජ් විතාන - ලන්ඩන්
කලාපය: 2021-March

ඉවුර විලස දැඩිව බැඳී දියවර වී පවස සිඳී
සක් හඬ සේ උස්ව නැඟී
උන් අප කෝ කොහිද සකී

නිල්ල මුවා කර අහසේ
පියැඹූයෙමු එදා
මල් ඵල පිරි තුරැ හිස් මත
වසමු යි කී කතා
ගොළු වී හුළඟෙ පා වෙලා
නුඹ නුඹෙ ලොවේ තනිවෙලා

හිසේ පැළඳි වෙස් තට්ටුව
පසෙක උනා තබා
තුට්ටුවකට උකස් තිව්ව
මුදු හිත ගෙන වහා
නුඹ ළඟ එතැයි නෙතු අයා
යටගිය දවස ඇත බලා

ගීතය මෙතනින් View Video

සිරියාවී, අද්‍රියානා ආච්චි

නදී කම්මැල්ලවීර
නදී කම්මැල්ලවීර
කලාපය: 2021-March

පරණ බඩු කඩේ
කවුන්ටරයේ ඉඳන්
එන එන අයට
රෝස ලොඹු පෙන්න පෙන්නා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී

පැය ගාණක්
අතගගා ඉඳලා වළල්ලක්
හිත මට්ටු කරගෙන
එන්න හැදුවා විතරයි හැරී

‘ලස්සන ඇස් ඇති කෙල්ලේ
ඇයි ඒක නොගන්නේ ?’
අත් ගසා අඬ ගසයි
අද්‍රියානා ආච්චී
‘හම්බුවෙන්නෑ ආයෙ
ඔය වගේ වළල්ලක්
ඉස්තරන් වැඩ දාපු
ඇත්ත රිදියෙන් කරපු’

‘ඒක මට මිල වැඩියි
මේ දවස්වල ටිකක්
පල්ලමයි ආච්චී ‘

‘හ්ම්
කමක් නෑ ඕක තියා ගනිං
තෑග්ගක් කියාලා
මේ නාකිච්චිගෙන්’

රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
හක හක ගෑවා
අද්‍රියානා ආච්චී

‘කෙල්ලේ උඹ හරි ලස්සනයි
ඇස් දෙක ගිනි දළු වගෙයි
ගැටිස්සි කාලේ
මමත් ඔහොම්මයි
එකා පිට එකා වැටි වැටී
පෙම්වතුන් වැල පස්සෙමයි ‘
ආයෙමත් හැක හැක ගගා
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී

‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දටම යයි’

‘උඹේ නාඹර
අත් දඬුවේ
උඩ පහළ වැටි වැටී
දඟ කරන කොට වළල්ල
මතක් වී හිනා යයි උඹට
මේ නාකි
අද්‍රියානා ආච්චී ‘

‘සවර්ගෙද
කවුන්ටරයෙද තාම’

‘දුවෙක් ලැබුණෝතින්
දාපං ඒකිගෙ අතටත්
කියාපං පරණ බඩු කඩේ
නාකිච්චී
අද්‍රියානා ආච්චී දුන් වග ‘

‘මට දැන් අසූ අටයි
හෙට අනිද්දම යයි ‘

රෝස පැහැ ලොඹු පෙන්න පෙන්නා
මහ හඬින්
සිනාසෙනවා
අද්‍රියානා ආච්චී

සීතලත් බය අන්ධකාරය

චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)
චම්මින්ද වෙලගෙදර (ග්‍රන්ථ කතුවර)
කලාපය: 2021-March

බලා ඉන්නව දෙන්න දෙතනක
හදේ හැඟුමන් ගෙන දරා
සෙනේබර ඔබ තිරයෙ ලියනව
තවත් තිරයක එයම රඟනව
ජීවිතේ කොච්චර ලස්සණදැයි කියා.

ඉතින් බෑ තව ඈත යන්නට
බසවක් කුලමත් දැන් පහුවුණා
හෙමින් ඇළවී ටිකක් ඉඳිමුද
තිසා වැව තව දුර නිසා

නුඹේ උණුහුම දැනේ මට
අතට ගත් බත් කටටත් වඩා
ඉතින් තව අපි කුමක් කරමුද
සීතලත් අන්දකාරෙට බය නිසා.

ආපසු හැරී එනු මැන මනෝ එක්කම

බණ්ඩාර ඇහැළියගොඩ
බණ්ඩාර ඇහැළියගොඩ
කලාපය: 2021-March

තිරයද කරලියද එකිනෙකට යා වුන
විශ්මිත රැඟුම් පෑවා සතුට සාදන
ලංකාවටම ඔහු සරි කෙනෙකු නෑ වෙන
සමුගෙන ගොසින් ඇත ‘ජයලාල් රෝහණ’

පේරාදෙණිය, මොරටුව කොළඹ නම් ලද
සරසවි වලට ගොස් නැණ නුවන පිරිසිඳ
නව පරපුරට නොඅඩුව ලබා දෙන ලෙද
නෙක ගම් දනව් වෙත පා නැගුව සකි සඳ!

මහැදුරු සරත් සඳ බඳු ලොකු සර් ලා
විජයල මනෝලා තෙන්නෙල ජුඩීලා
අප හැර ගිය පසුව කුමටද හූල්ලා
ලාහෙන් මනින්නට නෑ ‘ජයලාල්ලා’

පිය සෙනෙහස අහිමි හිරිමල් ළමා විය
අප හැමදෙනාටම වැඩියෙන් විශේෂය
කරගැට කඳුළු දහදිය පිරි අතීතය
හෙළිකල කතා බහ මෙතැනින් හමාරය

තිරයට වේදිකාවට බැඳුණි ආලය
මතකෙට නැඟෙයි දෙසුමක ගැඹුරු තාලය
ඉගෙනුම පිණිස වැය කළ සියලු කාලය
ගිනිගෙන දැවෙයි දකුණේ පුස්තකාලය

හැකි හැම විටම ටෙලි නළු වලට දායක
හැම චරිතයම දිවි මග සොඳුරු සාධක
‘මුතුමිණ’ ඇරුණු කොට දුටු ‘ඉසුරුයෝගෙක’
තවමත් ජීවමානයි ‘ග්‍රාම සේවක’

කරලිය, ටෙලි තිරය සහ හෙළ සිනමාව
ඔපවත් කරන සේ නෙක දස්කම් පෑව
එයිනුත් නොනැවතී පලකල ප්‍රතිභාව
කළ එළි වුනා ඔබගෙන් ‘දොර මඩලාව’

මතකයි විවිධ හැඩතල සමග වික්රම
පාලුයි තිරය, කරලිය, සබය ඔක්කොම
ඔබ යන අතර තුර මූණටම දැක්කම
ආපසු හැරී එනු මැන ‘මනෝ’ එක්කම

ඉල්මහේ දිනක්..

සුදත් දේවප්‍රිය
සුදත් දේවප්‍රිය
කලාපය: 2021-March

ඔව් මේ මෙතැන
නුඹ මුලින් හිනාවුන
ලෙල්ලමට බයිනෙත්තු ඇවිදින්
සෙල්ලම් කල තැන
වැටී දුනුදිය කැඩී
අන්තිමට නුඹ සිනාසුන

පුළුටු ගද එක්ක
සුළඟ හමනවා තවම
තනියි ද කරදරයි ද හිත
අනේ මට කියාගන්න බැරිවුන…

හුරතල් කෙනිත්තුම්
ළය පා ඉල්ලුම්
තවමත් රතු ඉරට පහළින්
කූඩු කල හිත ඇවිලුම්

මූනිස්සමක් ඇවිදින් හිත් අස්සේ
වැදුනාට රිදුමක් නැත්තේ
එහෙමයි තෙපලුම් වැස්සේ
සඳත් ගිනිතියාගෙනයි බැස්සේ

ඉතින් බලනවා තාමත්
රතුමලක් මත්තේ
අහල ගං හතකවත්
සුවඳ නැති එකයි සත්තේ..

උන්මාදයක රස

සිසිර කුමාර බණ්ඩාරගම - බ්‍රිස්බෙන් - ඕස්ට්‍රේලියාව
සිසිර කුමාර බණ්ඩාරගම - බ්‍රිස්බෙන් - ඕස්ට්‍රේලියාව
කලාපය: 2021-March

උන්මාදයක රස හඳුනන්නේ – උන්මාද වූවන් පමණයි
සන්තානයක සුව මතුවන්නේ – සන්තාපයක් හා සමගයි
පෙම් ප්‍රාර්ථනා බිඳී ගිය හදකට – අන්දකාරය නිවනයි
උන්මාදවූවනි දැන් ඉතින් – හිස් වූ මධු බඳුන් පුරවන්

සිහිනේ බිඳී – දෙනුවන් තෙමී
සුන් වී හදේ පැතුමන්
සුසුමන් හෙලා – කඳුලැල් සලා
ලතවී පලේ කිම දැන්?

හිස් ප්‍රාර්ථනා – දුක් වේදනා
හදවත් දවයි නිබඳේ
මේ ජීවිතේ අරුතක් සෙවීමම
උමතුවකි සබඳේ

ලන්දේසි හාමුදුරුවනේ

ලූෂන් බුලත්සිංහල
ලූෂන් බුලත්සිංහල
කලාපය: 2021-March

ලන්දේසින් නම් ලංකාවට එන්නැති
ලොවේ ඉස්තරම් කුරුඳු වලට තන්හාවේ
සියලු ඉසුරු වස්තු සැපත් ඇත හැරදා උපන් රටේ
ඇයිදෝ ඔබ මෙහි වැඩියේ ලන්දේසී හාමුදුරුවනේ
ලොවේ ඉස්තරම්ම බුදු සසුනේ රැස් විහිදා
ලක්දීපේ බැබළෙනවා පෙනුණාවත් දෝ
බුදුන් දවස සඟ සසුනේ අනුරුවකැයි සිතුණාවත් දෝ
ඒ අනුහසින් විමුක්ති සුව මග වඩින්න දෝ
වැඩ විසුවේ වන අරණේ සේනාසනයේ
සොබා සොඳුරු සිරියෙන් පිරි පොල්ගස්දූවේ.
සැබෑ තමයි තථාගත වදන් මේ අයුරූ

**”යම්සේ වනාහී
ගංගා යමුනා අචිරවතී සරභූ මහී යන
මේ යම්කිසි ගංගාවෝ වෙත්නම්
ඒ ගංගාවෝ සමුද්‍රයට පැමිණ
පළමු නම් ගොත් හැර දමත්
මහා සමුද්‍ර යන නාමයට පැමිණෙත්
එපරිද්දෙන්ම වනාහී
රජ බමුණු වෙළඳ ගොවි යන
මේ සිව් කුලයෝ වෙත්ද
ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාවූ
තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද
ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්”

මේ ආදී අටගුණ කඳක් නිසාවෙන්
ඇලුණේ නමුත් සසුනේ-බුද්ධ ශ්‍රාවකයෝ එදා
එසේ නොවේ අද ඇලුණේ බුදුසසුනේ ලක්දීපේ

ජාති වර්ග කුල ගොත නොමැකේ නිකාය නාමය බැබළේ
නො අසමි කුමක්ද නිකාය ඔබගේ ලන්දේසී හාමුදුරුවනේ
ගිහි චරියාවේ නොඇලී ඉන්නට ශික්ෂා පදයෙන් දිවුරුම් දී
ශික්ෂාකාමී ශ්‍රමණ වෙසින් බොහෝ සිටිත් ලක් සසුනේ
ගිහි ජීවන රැකියා කරතී, උපයා ගනිතී,
වස්තු සම්පත් රැස් කරතී. කසා වතින් බැබලෙතී.
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ

සීසීටීවී කැමරා අටවා – දොරටු විසල් මහා පවුරු මැද්දේ
පන්සල් භූමි පුරා. සුවිසල් මන්දිර සම්පතින් පිරුණේ.
පූජා සැණකෙළි පෙරහැර උත්සව දන මන පොබ කරනා
රජ මැති ඇමතිද මහ ධන සිටුවර අනුබල ලැබ යෙහෙනා
පුදසත්කාරද සුවපහසුව සපිරී විහාර ගම් වාසේ
රුචි නොවීද ඔබ හට ඒ පැවතුම්
වනවාසී වුණේ ලන්දේසී හාමුදුරුවනේ
අනේ ඉතින්
වෙනදත් පොඩි ඔරුව පැදගෙන එනවාලූ
ගොඩ වී කලපුවෙන් ගමේ පිඬු සිඟා යනවාලූ
එදා – පරක්කු දූවට ඔරුව විතරක් පාවෙලා ආවාලූ
කාටත් අමුත්තක් නොසිතුණේ
ඊට ඉස්සරත් ඔරුව විතරක් එහෙම පාවෙලා එනවාලූ
පීනාගෙන විත් හිමියනේ ඔබ ඔරුව අරගෙන යනවාලූ
එත් මෙදානම් ලන්දේසි හාමුදුරුවෝ පීනගෙන ආවේ නැතිලු
පහුවෙනිදා කලපු දියේ මිනිය පා වෙවී තිබුනාලු

අනේ මොකද මේ වුණේ – ලන්දේසී හාමුදුරුවනේ
ශික්ශාකාමී බුද්ධ පුත්‍රයෙක් – ඔහොම අපවත් වුණා නම්
සැදැහැවත් මහ බොදු සමාජය – කැළඹෙනවා කම්පාවෙන්
මහ පන්සල්වල ඝන්ටා නාදය – රැව් පිළිරැව් දෙනවා
වීදි පුරා කහ පාටින් ධජ පතාක නැඟිලා – ගෙන් ගෙට ලෙලදෙනවා
එත් අනේ මේ පුවතින් පුදුම වෙලා
අනේ අපොයි කියන්නවත් – කෙනෙක් හිටියේ නෑ
මීයට පිම්බා වාගේ ලක්දීපේ – සසුන සද්දක් නෑ
එකම එක මහා පන්සලකින් විතරක් – හඬක් ඉස්සර වුණා
සියදිවි හානි කරගෙන කියා දේශනා කළා
විදු නැණින් සපිරි දේශයකින් අවුදින්
හුරු කලාවූ ජීවන සංයමයෙන්
දිවි නහගන්නම හිතුවා නම්
රැහැණින් අතපය ගල්ගෙඩි බැඳගෙන
වතුරට පනින්න උමතු ලෙසින්
විස්වාස කරන්නම බැහැ එවන් සැහැසි චරියාවක් නම්
ලන්දේසී හාමුදුරුවනේ ඔබගෙන්
මරණය අබිරහසක් ලූ – මරණ පරීක්ෂණ නෑ
හෙවිල්ලක් බැලිල්ලක් නැති ගුප්ත නිහැඬියාවක සැඟවිලා
ලන්දේසී හාමුදුරුවෝ – “අපේ හාමුදුරුවෝ” නොවෙයි දෝ
තථාගතයන්ගේ සාසනේ – බැබළේ ලක්දීපේ

**අංගුත්තර නිකායේ පහාරාද සුත්‍රයෙන්

(ආරණ්‍ය සේනාසනයේ පොල්ගස්දූවේ අබිරහස් මරණයකට
ගොදුරු වූ අජාන් ජිනවංශෝ හිමියන්ගේ ගුණ සිහි කරමින්.)

25/02/2021

රුක් වලප

කෝ. ආනන්ද
කෝ. ආනන්ද
කලාපය: 2021-March

පින්වතුනේ
සොඳ යහගුණ පුරණා
නාඔ කියත් දත්වලින් හපා
අනේ අපේ හිස් අත් දෙපා කපා
බිම හෙළා දෙතිස්වද දිදී මරනු එපා

ගහකොළ නැතිවුණ දා
මේ ලෝක ධාතුවේ
සම්මා සම්බුදු මෑණිවරුන්
පහළ නොවේව
ලොව හැම තුරු සෙවනක්
බෝ සෙවනකි පින්වතුනේ

අපමණ ජීවය බිහිවන්නයි
රූසිරි ගුණපැහැ ගස්වැල් දළු ලන්නේ
දහසක් බෝසත්වරු බුදුවන්නයි
අපමණ වනතුරු බෝතුරු වන්නේ

සත් සමුදුර වියැලී
මහකරුණා සාගරය මිදේවී
ගං හෝ ඇල දොළ සිඳිලා
මෙත් කරුණා සිලිලාර මිදේවී
මේ මහපොළවම ගිනියම් වී ගුගුරා
ළය පැලිලා මියැදේවී
මිනිසත්වග අතුරුදහන් වේවී
සෙනසුරු ලෝකයම බිහිවෙවී
ගහකොළ නැතිවුණා දා
පින්වතුනේ

කිමිදී සැඟවෙමි

නිමල් ජයරත්න - කොළඹ
නිමල් ජයරත්න - කොළඹ
කලාපය: 2021-March

අවසන් හිරැරැස් පතිත වුනු
තුරැ මුදුන් වල
දිලිසෙනා අතු පතර
වියරැය

දාස් පෙති පාට
ගිනි වැකුනු
එනමුදු නිවුනු
ගොම්මන් එලිය
බිහිසුනුය

පඳුරැ අස්සේ සැඟව
කෙලිනා කොල්ලන්ගෙ
කොක්සන් හඬ
උමතුය

ඈත ගම්මානෙකින් ඇහෙනා
කාටදෝ අඬගසන
ගැහැනියෙකුගේ හඬ
ගැඹුරැය

ගං ඉවුරැ පාමුල
රෑස්ස නාගස් වදුලක
සෙමෙන් දිය මත කිමිදෙමි
මල් රේණු සුවඳ විඳ විඳ
දිය පතුලෙ මොහොතක් සැඟවෙමි

(හැලෙන හෙවනැල්ලක කාව්‍ය 2020)

වැස්සක් වී නොවැටේවා

ඩබ්ලිව්. ජයසිරි (ජනාධිපති සම්මාන ලත් ගීත රචක)
ඩබ්ලිව්. ජයසිරි (ජනාධිපති සම්මාන ලත් ගීත රචක)
කලාපය: 2021-March

දෑතදෙපා
වරල්වෙලා
පීනායමි අහස්ගඟේ
යාලු මාලු
හුරතල් වී
දැවටෙනවා
මගේ ඇඟේ

වැස්සක් වී
නො වැටේවා
ඈත පෙනෙන මහපොළොවට
එහෙම උනොත්
හිඳීයාවි
මං පිහිණන
ගඟ දියවර

දෑත්වරල් දෙපාවරල්
හීංහඬින් ගීතගයයි
වියළීයන මිහිකතදිය
උඩුකුරු යටිකුරු වේවා
අසණිය වැහි වහින තුරුම

ප්ලැතෝනික ප්‍රේමය

සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
සුනේත්‍රා අලුත්දුන්න - මාතලේ
කලාපය: 2021-March

නිවා දමන්නෙමි, සියලු රාග සිළු මෙන්ම
ක්ලේශ රශ්මි ද
හද පුරා වරින්වර ඇවිළෙන ,
දල්වන්නෙමි විරාගය ,පුදනු වස් ප්‍රේමයම පමණක් හුදෙකලාව ඔබ නමට,
නොයන්නෙමි හැර, හැර යනතුරුම ඔබ.

දන්නා බැවින් කිසිවෙකුත් මෙලොව පිරිපුන් නොවන බව ,
නොරිසිවෙමි සිද විමසන්නට තද පැහැති ළා පැහැති තැන්,
මගේ ලොව පැහැගැන්වු ඉන්ද්‍රචාපයක,

දැනගත්තෙමි පිරිසිද ,
ප්‍රේමය වුවද නොපිදිය හැකි බැව්
එකම හදකට සදාකල්හිම විඩාපත්වන බැවින් හදවත,
වසන්නෙමි මොහොතකට බුද්ධිය
හරින්නෙමි හදවතේ ඉසියුම් ද්වාර එකිනෙක
පෙන්වමි එසඳ මම ඔබට
කිරඹටත් වඩා සිහිල් ඔබ නමින් මා හද උපන් ප්‍රේමය

නැඟෙනහිරින් නැඟෙන හිරු

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
කලාපය: 2021-March

මැකෙන ඉර බෙදුව දහදිය දෙ පස ඇද
බිදෙන හිර පවුරු, උදුරා රුපුන් තෙ ද
නැඟෙනහිර ජැටිය දිනුමට බැඳෙන දද
දිළෙන´යුර අගෙයි, නැඟි හිරු කිරණ වැද !

පිබිදෙයි කොළොම්තොට දෑ බැති නෙළුම් මල
පැතිරෙයි සොයුරු රුහිරෙහි – දහදියෙහි බල
විහිදෙයි එළිය ගෙන එන රන් පඬුරු වල
ඉතිරෙයි කිරි, නැ-ප අස්වනු නෙළන කල !!

මාගම කොමළි චීනෙට පෙළවහට දෙනා
පාළම සයුරු පෙත වෙත තිබු අහිමි වුණා
වාදම සතුරු සොර මුළ සතු සිඳින ඉනා
පාඩම නැඟෙනහිර ජැටියෙන් උගත මනා !!!

නොසිටිමු බලා විකිණෙනු ලෙය-මස මවඟේ
සුරකිමු රට-දැයෙහි සම්පත් නිති එ වගේ
දනවමු එකමුතුව, රුපුනට බල අපඟේ
නැගිටිමු – එඩි වඩමු – යමු පෙරටම සුමගේ !!!!

කෝ ආනන්ද නාහිමි ට උපන්දින ආසිරි…

අනුර හෑගොඩ
අනුර හෑගොඩ
කලාපය: 2021-March

දේවී සුනෙත්‍රා පිරිවෙන් ඇසුර ලැබ
ගුරුකුලයකට ගුරුවූ ගරු සමිඳ ඔබ
ම හට ද පෙවු හෙයින් හෙළ බස නැතිව ලොබ
පුදනෙමි සසරෙ නවතින ඔබ දෙපා සිඹ

‘වීතරාගි ‘ ඇය ගැන කරුණුත් සෙව්ව
සරාගී කවිත් ඉඳහිටල ම ලිව්ව
‘යතා තතු දත් දනට හඬගාමින් කිව්ව’
ප්‍රේමය සුන්දරයි හිමියනි ඔබ මැව්ව

සුන්දර පැරීසියෙ කලබල නගරෙ මැද
නොතකා හිමය පැතිරූ බුදු දහම් කඳ
දහසක් ළමා සහ වැඩිහිටියනට සොඳ
එළියක් වුණිය තබනට දහමට ම බැඳ

අසූ වියට සපැමිණි මහ සමිඳාන
සෝම ගුණ දහම් සපිරුණු කිවිඳාන
හෙළ සාහිත ලොවේ දිදුළන රජිඳාන
සියක් වසක් සැරදේ ! ගුරු දෙවිඳාන

Amazon

චන්දිම විතානආරච්චි
චන්දිම විතානආරච්චි
කලාපය: 2021-March

බලන්න ඔබ දිහා
හිතන්න ඔබ ගැන
ශත වර්ෂ සීයකට වඩා
ඔබ හුළගේ වැනුනා පමණයි
වැස්සට තෙමුණා පමණයි
අව්වට වේළුණා පමණයි

කාබන්ඩයොක්සයිඩ් උරාගෙන
ඔක්සිජන් දුන් බව සැබැයි
ඒත්
ඇමතිතුමා කිව්වා වාගේ
ඔක්සිජන් කන්නද…?

සංවර්ධනය වෙන්ඩ නම්
කැළෑ එළිකළ යුතුයි
පුත්තලම් ඇමති විතරක් නෙවෙයි
පැරකුම් රජු කළෙත් ඒකමයි

අවුරුදු තිහකට කලින්
ඇමරිකාවේ ඔබ නමින්
පුංචි ගරාජයක
තනි මිනිහෙක්
පටන් ගත්තු
“Amazon”
අද ඒ මිනිහා
ලෝකෙන්ම පළවෙනියා
මිලමුදල් අතින්
නමුත් ඔබ තවමත්
කාබන්ඩයොක්සයිඩ් උරාබොමින්
ඔක්සිජන් පිට කරමින්
මොකද්ද මේ කරන විහිළුව…?

ගසක් වුව මරණයට කලින්
හොඳ ගාණකට විකිණෙමින්
ධනය රැස් කළ යුතු නොවෙද?

පරණ ඇමසන් අමතක කර
අලුත් Amazon වෙන්න
කැමති බව කියා
පණිවිඩයක් යවන්න
බ්‍රසීලයේ බොල්සනාරෝට…!!

වැන්ගෝ මිතුර

වෛද්‍ය රුවන් එම. ජයතුංග - කැනඩාව
වෛද්‍ය රුවන් එම. ජයතුංග - කැනඩාව
කලාපය: 2021-March

තිරිඟු කුඹුරට ඉහලින් පියඹා ගිය කවුඩනි
නොදුටුවේද රන් පැහැති තිරිඟු
සුළඟට වැනෙනා අයුරු
තෙලි තුඩින් නිම වූ
ගෙඩි පිරුණු ප්ලම් ගස
දුඹුරු පැහැති අතු විහිදා
බලා සිටියි ඔබ එනතුරා

කහ පැහැයෙන් පිරිපුන්
සුරියකාන්ත මල් කිනිති
මවයි දසුනක්
සිත් වසඟකරවනා

රාත්‍රිය එළඹී ඇත
විහිදේ චන්ද්‍ර කාන්තිය
අහසේ දිලෙයි තරුකැට
මවමින් විසිතුරු රටා

මලානිකවූ ලන්තරුමේ පිහිටෙන්
රුදුරු කුසගිනි නිවාගන්නට
අර්තාපල් බුදින දුගී පැල්පතේ නිවැසියන්
දැන සිටියේද ඔහු ගැන යන්තමින්වත්

තම තෙලිතුඩින් නිමකළ
අසමසම චිත්‍රයනට
ඔහු කොතෙක් ඇලුම්කලද
එම මනස්කාන්ත චිත්‍රයන්
ඇළුම්කලේද ඔහු හට

සිත්තරෙකුගේ ඉරණම
මෙතරම් කටුක වුයේ මන්ද
අහෝ වැන්ගෝ මිතුර
ඇයි නුඹ අත් හැරියේ ජීවිතය
අවසන් නොකළ චිත්‍රයක් සේ

ප්‍රභාවේ ප්‍රතිභාව

මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - එක්සත් රාජධානිය
මහාචාර්ය ටී.එස්.අබේවික්‍රම - එක්සත් රාජධානිය
කලාපය: 2021-March

හිරු දෙවිගෙ තෙද බලෙන්
ඇඟ දවයි හිරු එළිය
හඳේ ප්‍රතිභා බලෙන්
හිරුගෙ ඒ ප්‍රභාවට
නව මුහුණුවරක් දී
මැවේ සොමි රැස් දහර
හඳේ සෙනෙහස නිසා
නිවේ ගත සිත දෙකම
මහා කරුණා බලෙන්
මානවී දයාවෙන්
සත්ව කරුණාවකින්
සතා සිවුපාවුන්ට
ගහකොළට ඇළ දොළට
මහා පොළවට පවා
දැඩි ගිම්ද නිවාලන
සිසිලසකි ලැබෙන්නේ
අපූර්වත්වය නිසා
චමත්කාරයකි ඒ
හිරු එළියෙ ප්‍රභාවයි
හඳෙන් ප්‍රතිභා වෙන්නෙ
එහෙත් ඒ සඳ එළිය
හිරු එළියමයි කියා
කෙලෙසකද කියන්නේ
ව්‍යුත්පත්තිය මවන අපුර්වත්වයකි ඒ
සතත අභ්‍යාසයෙනි එහි මහිම වැඩෙන්නේ

ඔහුද..විරුවෙකි..!!!

අල්පා - ලන්ඩනය
අල්පා - ලන්ඩනය
කලාපය: 2021-March

ගිනිගත් මවු දෙරණ,
වියරුවෙන් පිළිස්සෙන….
ඉඩෝරයෙ හුලo වැද,
වියළී ගිය මිනිස්කම….
මුදිතාවෙ දහම් මඟේ,
සිහිලෙන් නහවන්න….
ඇසුනත් සතර අත,
හිමි දෙසූ නිවන් මඟ….
අසoවර නුඹේ හිත,
විරු ගතේ සැඟව හිඳ…
සොයන්නෙම ඇගේ ගත,
සතපන්න නුඹේ හිත….
මොහොතක විවේකෙට,
අනු’පුරේ ටවුම මැද…!!!

10/02/2021.

පනාමුරේ මනම්පේරි

සුනිල් ලීලානන්ද පෙරේරා - පැල්මඩුල්ල
සුනිල් ලීලානන්ද පෙරේරා - පැල්මඩුල්ල
කලාපය: 2021-March

මා ඇතින්නක් වූ නිසා
පූරුවෙ කල පවට
මගේ දිවි පූජාව
ලියවුනේ ඇතු නමට

වෙඩිකෑවෙ මං එදා හැමෝගෙම නිදහසට
ඒ මදෑ සොහොන් කොත් සමරු ගී මට මොකට

දළයා හිටියේ සටන අතහැර
ඔහේ පැත්තක දෙදළ රැකගෙන
එලූ පාවඩ උඩු වියන් මැද
පෙරහැරේ යන හීන දැක දැක
අනිත් පිරිමියෝ ඌ වටේ හිද උගේ පූචානම් අසාගෙන
පෙරහැරේ දැලවරවත් යන්න දිනයක් එයි හිතාගෙන

සුදහ ගින්නේ පුංචි එව්වෝ
කිරට ඇඬුවා වැටුන තැන්වල
තොන්ඩුවල හිරවෙලා අම්මලා
වෑහුනා කිරි උන්ගෙ තන්වල

ගාල වටකල බුරුත දඩුවැට කඩා දැම්මෙ බැරිම බැරි තැන
මං තනිකඩ එකී මලත් කම් නෑ යැයි හිතාගෙන

වෙඩි කකා මැරී වැටුනෙමි
ලේ පෙරාගෙන ගාල දොරකඩ
දළයා හිටියේ ඒ වෙලාවෙත් උගේ දළ දෙක ඔප දමාගෙන

10/02/2021

මතකය!

ලුම්බිණි විතාන - ලන්ඩනය
ලුම්බිණි විතාන - ලන්ඩනය
කලාපය: 2021-March

ජීවීත කාලය පුරාවටම …….
ලැබු සොඳුරු මතකයන්
කොහේදෝ තැනක සඟවලාලු
සොයාගන්න බැරි විදියට
ඒත් තැනක තියෙනවාලු…….
පරිස්සමට සැඟවිලා
ඒ සොඳුරු මතකයන්
මට මතක් කර ගන්න බැරි වුනාට.

උපාසක මහතාගේ පොල් ගැසීම…

වජිර ජයවර්ධන
වජිර ජයවර්ධන
කලාපය: 2021-March

ආසනේ මාරයි
සාසනේ හමාරයි
කොඩිය නම් මාරයි
රටට හිරිකිත යුද්ධ සාරයි…

අසුනක් හින්දා
ආත්මෙ ම වික්කා
සිහළ උරුමේ මැක්කා
ආයෙ ඇවිදින් අපිට විද්දා…

උපාසක ඇත්තෝ
පාට පමණක් දැක්කෝ
බොල් පිළිම ගැත්තෝ
සාදු කියමින් වඳිනු දැක්කෝ…

සුභද්‍රගෙ පරපුර
අභද්‍රව හැසිරේ තැනින් තැන
වෙන විපත නොම දැක
ලොකු හිමියො ඇත රජුන් දැක දැක…

සිවුරේ ගරු පිහිට
නොමනා වැඩ පිණිස
යොදා ගනු කුමකට
අපි පව් නැද්ද හිමි සද…

රටට බුදු සරණයි
ධර්මයෙ උතුම් පිහිටයි
අපිට විළිලැජ්ජයි
මේ සියලු දේ රටට තිත්තයි…

අසංතෘප්ත

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය
කලාපය: 2021-March

සුදුගවුමේ රැලි අතරේ සිත රැඳුන
පොතපිටු මැද සැඟවී මාරු වුන
විරාගි වූ සෙනෙහස කට මුල පිරුන
පාසල තුලම වියැකෙන සමනල සිහින

වත්සුනු සුවඳ උදුරා දහදිය පෙඟුණ
දහසක් අතර උවනත දැක සිත රැඳුණ
බස්‍ රතයේ තෙරපී සිටි අය නොදැන
දෙනෙතින් කියූ රහසකි අම සුව පිරුන

මුහුනු පොතේ දුටුකල මන විකල කල
නින්දේ නොනින්දේ අඩසිහියෙන් හිඳින
මැසෙන්ජෙර් තුලින් ඇරයුම් කර හඬන
අන්තර්ජාලයේ පැටලුනු අනඟ රඟ

කිසිම විටෙක ඉවසනු බැරි නොහික්මුණ
සංතර්පණය නිමවී තෘප්තිය නොවන
තුරඟකු සදිසි දෙදරාගෙන හඹායන
සන්තානයේ වහලෙකි මිනිසත් මනස…

01/02/21

මාවතේ නැගණියගෙන් අසමි

සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
සෞම්‍ය ලලිත් කළුබෝවිල - අනුරාධපුරය (ප්‍රධාන ආගමන විගමන නිලධාරී)
කලාපය: 2021-March

සීත හිරිකඩ හිත අවුස්සන
පාළු අළුයම ..

නීල තුරු පිණි ගත හලාගෙන
මුව දොවාගෙන..

පාන ඔච්චන් රිළා හඬ මැඩ
යාලු කරගෙන..
සඳ කිණිත්තෙන් මඟ ඇමඳගෙන..

කිව්වාට ඵල නැතත් හුරුවට
සංහිඳේ ⁣දෙවියනුත් බැහැදැක
සෙයිලමේ වනයේ සරන්නී..
රෑන අතහැර හීලැ මුවදෙණ..

පාරෙ අලි සෙල්ලම් උදෑසන
පාන ඇලයාපත්තුවේ ගම
උන්ව හීලෑ කරන තරමට
මිහිරි අලි මන්තරෙයි කටහඬ

හීන කද බැඳ දරු වඩාගෙන
පාරෙ ඉටි රෙද්දක ගෙයක් බැඳ
කාල දුම්රොටු වත තවරගෙන…

ගයන ගී කවුරුත් අහනවද
පාරෙ වාහන තාල දෙනවද?
දෑස් අඩවන් කර සොයන්නේ
“නෑර ඉමි” කියු කෲර හිමි ම ද?

පාර ජම්බුල කිරණ සුවම ද?
ඝෝර විෂ සපු යාලුවෝම ද?
චූටි දෝණිගෙ ලැම කොනිත්තන
මාර පුත්තරයන් නොදුටුවෙද?

කරඹ මල් සුදු දතේ රැඳුනට
“කහට ” , හිත පපුතුරෙත් නැතුවා..
පුතුට පිංකැට ඉබේ පිරුනට
නුඹේ ලංසුව ඇහෙන් කියනා…

පාට තඹ වරලසට හිමිකම
ඈත පර සුද්දෙකුට පවරන..
නුඹේ හිස රැඳි කටු ඔටුන්නම
චූටි දුවටත් පළඳවනවද?

බිඳුන සිහින

විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය
විශේෂඥ වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය
කලාපය: 2021-March

ඇවිලුනා සර හඬක් නඟා නව දැලි හේන
යට කලා එකින් එක බීජ සතුටක් ගේන
ඇතිවුනා ටිකෙන් ටික අලුත් දවසක හීන
පිබිදුනා තුන් සිතම වගේ දැලුවුනු පාන

මහා සෑයට උඩින් පුරා හඳ හිනා වෙන
බලාගන්නට වගේ තරඟයට උඩට පැන
පලා පොළවෙන් නැඟී ඉහලටම ආ හෙමින
ගිරා පැහැ නැවුම් පැළ සොයයි හිරුගේ කිරණ

නෙක එළි ඇඳුනි අහසේ රූ රටා මවා
දිනකර සැඟව ඇත අතරින් කලුම වළා
බොඳ කර දෑස ඇද වැටුනා අහස කඩා
යටකර බිම ම දිය ගැලුවයි කරපු වගා

අරගෙන හීන මගෙ උදුරා තිබුණි ගලා
වතුරෙන් පිරුණි මඩ හිමිහිට වැවම කලා
පතුලේ සඟව ගත් හීනය මලක් වෙලා
සුපිපෙන දිනය එනතුරු මම ඉඳිමි බලා

නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී

රජා රත්නායක - සෝල්ට් ලේක් සිටි - ඇමෙරිකාව
රජා රත්නායක - සෝල්ට් ලේක් සිටි - ඇමෙරිකාව
කලාපය: 2021-March

ඔබගේ සෙනෙහස…
ඔබගේ කොන්දේසි විරහිත ආදරය…
ඔබගේ සිනහව…
ඔබගේ පරාර්ථකාමී ක්‍රියාවන්…
මම නොදැක්කෙමි මගේ තරුණ වයසෙදී
නමුත් අපට ලැබුනු ඒ පරාර්ථකාමී ප්‍රේමය…
කෙසේ අමතක කරන්නද…

ඔබ සැමදාමත් සිතුවේත් …
පැතුවේත් අපගේ සුභ අනාගතය ම ය
නමුත් අම්මේ මම කෙසේ නැවත ගෙවන්නද
ඔබගේ එම පරාර්ථකාමී සේවයන්
අප වෙනුවෙන් කෙරූ සේවාවන්
අම්මේ මම ඔබට නය ගැතිය සදාකාලිකවම
අප වෙනුවෙන් කෙරූ සේවාවන් සදහා
අප ජීවිත පුරාවට ම…

02/14/2021

දුෂ්කරය මේ කඳු වැටි තරණය

කපිල කුමාර කාලිංග
කපිල කුමාර කාලිංග
කලාපය: 2021-March

දුෂ්කරය මේ කඳු වැටි තරණය
එක් මුදුනකට නැඟි පසු,
දුර පෙනෙයි තව මුදුනක්
හරි අඩකටත් වඩා පසු කළ ද
එකිනෙක කඳු මුදුන්
යා යුතු දුර ද එපමණය.

ඔලොගු බර උර මත
අතැර යා නොහැකිය
අවැසි බොහෝ දේ ඇත
එක්‍ රැස් කළ.

මියුරු ගීයක් ඇසෙයි
එහා කන්දෙන් හමා එනු,
සිහිල් පවනේ දැවටෙමින්
කැඳවීමකි එය වෙහෙස නිවාලන
ගනිමි ඔලොගුව උරට,
තබමි තව පියවරක් ඉදිරියට
ආපසු ගමනක් නම් නැත
මේ කඳු තරණයේ,
තව තව පෙනේ තුඟු කඳු මුදුන්…

IT’S HARD TO CROSS THIS MOUNTAIN

It’s hard to cross these mountains ,
as one summit is climbed,
there will be another
seen in the distance

Climbing more than half
to reach the summits despite
The climb still remains the same,
a very big height.

It’s impossible to unload
the weight of the rucksack on the shoulder ,
coz it contains a lot of vital things collected, by the holder

A sweet ditty is being heard
blowing from the distant mountain blurred
enwrapping in the soft cool breeze that stirred
It’s really like a call which loosens the weary gird

I take the rucksack once again on my back and
go one more step forward on the mountain track
There’ll be no return journey in this crossing ,
There see one by one, more peaks high rising .

Translation by Sunethra Aluthdunna

වෙනස් මල්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
කලාපය: 2021-March

ආදරණීය පවුලේ අය වෙත ලියමී
අප මතකයන් සිහිකර තනිවම හඬමී
දුරු රට නුහුර හුරු කර ගනිමින් සිටිමී
නෑ කිසිවෙකුත් ළඟ නැති පාළුව විඳිමී

පත පොත සියළු කටයුතු නූලටම වෙලා
නැත කිසි දෙයක් අතපසු වී නොපිරිහෙලා
අත දී සෙනෙහෙ පිරුවත් මව් පියන් බලා
ඇත එක දෙයක් කාටත් ගැටළුවක් වෙලා

මල් ලස්සනයි විවිධයි නෙක පාට පෙතී
දැල්වූ පහන් සිල මෙනි මන බඳින ගතී
අල්ලා ගන්න සමහරු පණ උනත් දෙතී
ඇල්මක් අනේ මගෙ නම් ගෑවිලා නැතී

හති ඇර දුවද්දී මල්ලී පන්දුවට
රතු කර දෙතොල් සාරිය ඇන්දෙමි ඉනට
හැඩ කර නැලෙව්වෙත් බෝනික්කන් රෑට
ඇයි අර දැන්ද වෙනසක් දැනුනේ මවට

හිනැහෙමි මෙතැන අද මා සමතැන් සතුය
ඉන්නෙමි යසට හදවත් එකිනෙක නතුය
දන්නෙමි ඔබේ දුක ඒ ගැන ඇස් රතුය
මට හිමි සතුට දැන්වත් මා ගත යුතුය

මම මගෙන් ම අසමි

කන්චනා කුමාරී දොඩංගොඩ - පන්නිපිටිය
කන්චනා කුමාරී දොඩංගොඩ - පන්නිපිටිය
කලාපය: 2021-March

මායාව දකින
නීල නෙතු තුල
පැටලි පැටලී තුරුළු වන විට
ඔබේ උණුසුම් දැල තුල
මම අසමි,
මගෙන් ගිලිහී ගොස්
මා තුලම රැදෙමින්
ඉඟිබිඟි කරන
කළුවරම කළුවර
වංකගිරි කොනක
හිරවුණුු මගේ මනසින්,…..
මෙය වූ කලී
ස්පර්ශ සුවයටම නතුවුු
උණුසුම් පහසටම ලොල්වුු
හැඟීමක් මිස
සිත නැති කයම ඉල්ලන
ශෘංගාර සුවයම මිසක
මෙි කුණු කය විහිදන
මල් සුවද
මිලිනව ගිය කලෙක
මිණි පළිඟු නෙත් යුග
අඩක් අන්ධව ගිය දිනෙක
අතැඟිල්ලක චලනයෙන් සසලවන
හස තුඩු පියුම්
අවදිවන්නට මැලිවන දිනෙක
තවත් මා ඇද බැඳ ගනීවිද
සදා නොවෙනස්වෙතැයි
පුන පුනා ඔබ කියන
ඔය හද දෙවොල තුල
නිති පුද පූජා ලබන
රාග වැසි වස්සවා
සුවඳ දුම් පුද කරන
නිම නොවන ආශා
පුද පඬුරු පුද ලබන
මා තුණු සිරුර මත
ස්නේහ වන්දනාවෙ යන..
ඔබෙි ගත සිත ගෙනෙන
ප්‍රේමයේ ප්‍රහර්ෂය…?

5.2.2021