ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතන්න දෝණිය

සිතන්න දෝණිය

ඊ.ඒ.පී .අරුණසිරි - පන්නිපිටිය
2021-April

ජීවන මංපෙත එකලු කරන්නට
බලාපොරොත්තුවෙ කිරුළ දරා
සෙනෙහස ගඟුලෙන් දිවි ගංගාවට
ගලන්න දෝණිය සතුට දරා

දකින දකින හමුවන දෑ ‘තර
රවටන රැවටෙන දේ හමුවෙයි
සිහියෙන් නුවණින් සලකා සියල්ල
යා යුතු නිසි මඟ යා යුතුමයි

තමා හිසට තම අත සෙවනැල්ලයි
උපාය දන්නා අපායෙ නොවැටෙයි
සෙමෙන් සිතා යන සෙමෙන් ගමන තුළ
ආලෝකයෙ අරුණලු හමුවෙයි

ලොවක් තනන්නට ලොවක් දිනන්නට
මනු පරපුර යුතුකම ඉටු කරනට
මේ භව කතරේ දරනා වෑයම
ජීවන කුසුමට සුවඳ ගෙනෙයි

හමනා මඳනල ගලනා ගංගා
වසිනා වැහි බිඳු සැදෙනා තුරුලිය
මට නොව අපටයි සිතන්න පතන්න
නිවන් මගට කැඳවා සුවදෙයි.