ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පන්සලේ අලියා

පන්සලේ අලියා

වෛද්‍ය රුවන් එම්. ජයතුංග - කැනඩාව
2021-April

පන්සලේ හාමුදුරුවන් ගේ අලියා
පැටියා කාලේ දායකයෙක්
අමතක කරලා ගිය නිසා
කන්න දීලා හදාගත්තා

පන්සල් වත්තේ අලියා බැඳලා
කකුල් හතර කිටි කිටියේ
හැරෙන්නවත් බෑ
හොඞය වනනවා

යකඩ දම්වැලට
කකුල තුවාල වෙලා
දම් පාටින් බේතක් ගාලා
තුවාල වල මැස්සෝ පිරිලා

ලොකු හාමුදුරුවොත්
ලොකු හාමු කෙනෙක් වෙලා
අලි ඇත්තු තමන් සන්තක කරගෙන
මහ රාජා කෙනෙක් වගේ

ගමන් බිමන් යන්නෙත් පත වාහනයක
නිතරම සෙල් එක කනේ
ඉන්නේ දේශපාලකයෝ පිරිවරාගෙන
පිරිවර සමග සසරින් එතර වෙන්න

අපට නම් කිව්වේ උන්නාන්සේ
සියල්ල අත් අරින්න කියලයි
කුසල් සිතින් අපි අත් ඇරියම
උන්නාන්සේ ඒවා තදින් බදාගත්තා

චිරාගත සංස්කෘතිය රකින්න ඕන නිසා
අලි පැටියෙක් කැලයෙන් අල්ලන් එන්න
කියලා උන්නාන්සේ අලි රොෂාන්ට කිව්වේ
ඇසෙන නෑසෙන ගානට

මිසදුටුවෝ – බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ
බොරු සත්ව කරුණාව ඇත්තෝ
හමුදුරුවන්ව විවේචනය කරනවා

කැලේ ඉන්න අලි අල්ලගෙන
උන්ව දම්වැල් වලින් බැඳලා
කුම්බස්තලයට හෙණ්ඩුවෙන් ඇනලා
දසවද දෙනවා කියනවා

උන් අහනවා මේවා බෞද්ධ වැඩද
බුදුන් වහන්සේ දේශනා කලේ මේවද
අරකද මේකද කියලා
හාමුදුරුවන් ගෙන්

හාමුදුරුවන් නම් කියන්නේ
අලි කියන්නේ බෝසත්තු
උන් අපේ සංස්කෘතිය එක්ක බැඳිලා හිටියා
බෝසත් ඇතා පිට උඩ තමයි ධාතු කරඞුව වඩම්මන්නේ

මිසදුටුවෝ – බෞද්ධ විරෝධීන්
එන්.ජී.ඕ කාරයෝ -බොරු සත්ව කරුණාව ඇත්තෝ
උන් කියන විදියට ධාතු කරඞුව වඩම්මන්නේ
මහ ඇමතිගේ ඩිෆෙන්ඩරයේද ?

මේවා මහ මෝඩ කතා
පන්සල් වල අලි එදත් හිටියා
අදත් ඉන්නවා
හෙටත් ඉන්නවා

උන්ව හැමදාම දම්වැල් වලින් බැඳලා
හෙණ්ඩුවෙන් ඇනලා
මෙල්ල කරලා තමයි
ලොකු හාමුදුරුවන් ලඟ වන්දවන්නේ

පන්සලේ අලියෙක් ඉන්න එක
කොච්චර නම්බුද
මැති ඇමතිවරු අටපිරිකර අරගෙන එනකොට
පේන්න ගැට ගහල ඉන්නේ ආවාසේ ඉස්සරහම

අලියා කියන්නේ සංකේතයක්
අපේ අනන්‍යතාවයක්
සංස්කෘතික නිමිත්තක්
ඒ නිසා ඌ සතෙක් නෙවෙයි
වෙන මොකක්ද එකක්