ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදු අරුතෙ ගුණ සුරය

බුදු අරුතෙ ගුණ සුරය

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් - පානදුර
2023-June

එළැඹෙනුයෙ බුදු සමිඳු විමුත් මඟ එළි පෙහෙළි කළ දිනය
සමරනුයෙ බොදුනු දන හෙළදිවෙහි අරුතෙ කොඳු බිඳ ගෙනය
සිහිවෙනුයෙ දෙසු දහමෙ වෙර දැරුම-ණය නොවුම දෙන පිනය
කිම යනුයෙ වල්මත් වැ නොදැක මඟ එහි දිසෙන? ඇති පැනය …!

පමණ දැන පිරිබොජුන – පිරිවැයෙහි සකසුරුව ගෙන පිරිය
වළකමින අපයොජුන, වැඩුම කම් පයොජු – ඉතුරුමෙ දිරිය
දියුණ දෙන දහම ගැන නොසලකන දෙස – රැසට නිර සරිය
නමට එන බොදුනු කම තිබුණු මුදු සුරලොවෙහි යනු බැරිය

අපනයන වෙළෙඳපොළ හැකි පමණ නැඟිය යුතු බව තිරය
එම ගමන යත වෙහෙස-කල්-උපා යෙදුම ඇවැසි ය – දුරය
එ ද නොදැන ආනයන දොරටු ඇර දැය කුමට යනු නිරය ?
යළි හිඳෙන සංචිතය අත ළඟ ය – හෙට දවස ණය බරය …!

හතරකට පංගුවක් ඉපැයුමෙන් ඉතුරුවම බුදු බණය
පමණකට අපනයන ඉම නොවෙන ආනයන රුදු හෙණය
කිසි ලෙසට අණන සුව ලද නොහැක රටට ඇති එම වණය
හිඟමනට වැටුණු බිම පරපුරෙහි බොදුනුකම නැහැ ගුණය

වඩවමිනි අරුතෙ සවි දෙසු නිවනෙ මඟ දහමෙ ඇති හරය
එය නොදනි නම් කිම ද පල පුදෙහි – පන්සලෙහි බැති බරය ?
බුදු පුතුනි, දෙනු මැනැවි හෙළ දැයට බොදු අරුතෙ ගුණ සුරය
එහි බෙලෙනි පණ ලැබුම-ගොඩනැඟුම දැය අරුතෙ සග පුරය … !

2567 වෙසක්