වතක මතක
රුවින් අගතැන් පත්ව වැජඹුනේ පෙර දිනෙක
අසිරිසිරි සිහිකෙරද දකින විට ඔබේ වත
යව්වනය පසු කරන් පැමිණි ඒ දිගු මගෙක
කාලයේ ඇවෑමෙන් වෙනස දකිතියිද නෙත
නටුව අග පෙති හැලී සුළඟකට හසුව තද
පරවු මල සිහිකෙරෙද ඔබේ ආදර සුවඳ
තුරුණු පෙම හද රැඳුනු මහලු විය එළෙඹි සඳ
මතකයෙන් ගිලිහේද ඒ සුවඳ මදින් මද
විහිදි ආදර සුවඳ කිති කවයි මතකයක්
පිපුනු පරසතු මලකි මහද ගොමුවේ අදත්
වත මැකී නැත ඇඳුනු මගේ දෙනෙතේ මෙතෙක්
යට නොවේ කාලයේ වැලිතලාවට කිසිත්