ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පනස් වසරක් එකට

පනස් වසරක් එකට

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර
2023-June

ආදරය සිහිනයකි, අතීතේ බොදව ගිය
විටින් විට එයි නැගී, සුවද මුසු මිහිරි සුව
මුසපත්ව සිටි අයුරු, ප්‍රේමයෙන් වෙලී අප
අදහන්ට හැකිවේද? ගෙවූ කල් විද පහස

අරුත් සුන් වූ වදන්, කෙළෙස අමයුරු වීද?
නොමැතිවම හේතුවක්, නොමනාප වූ අයුරු,
යලි පෙමින් බැදුනයුරු
සිහිවත්ම නැගී එයි මද සිනහ මසිත් තුල

ආදරය සිහිනයකි, අවදි වී සිටිමු අද

සොදුර ඔබ වියපත්‍ ය, මාද වියපත් ය දැන්
මගේ දරුවන් දැරූ, සිරුර, සිත වෙහෙස ඇත
සිහින පෙම් සුවද නොව,
බිරිය ලෙස, දුවක ලෙස, මවක, සොයුරියක ලෙස
බැතින් හා සෙනෙහසින් සසර මා හා සැරූ
ඔබ සුවද දැනේ මට

ඉමිහිරිය ඒ සුවද, නොමැකේය ඒ මිහිර
කාලයට, ව්‍යාධියට, මරණයට වුව නොහැක
මකන්නට ඒ සුවද
මගේ හද නිවාලන
මිහිරි ලද ඔබය මට.