ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කවි ඉසිවරයෙකුගේ වරුණ…

කවි ඉසිවරයෙකුගේ වරුණ…

කේ.පී.එස් සචින්ත්‍රා - හෝමාගම
2023-June

වල ගැසුණු දිවිමගේ අහිමිකම් දිරි කැන්දු
හෙළ පැදියෙ නියං බිම වස්සානෙ තෙත රැන්දු
පළ හැඟුම් ඉඟි රසින් පෙරා පන්හිඳ බැන්දු
දොළ පුරන රසික සිත ඉහින ගී කිරි බින්දු

රත්නයකි සහිත ගඟ පතුලෙ සිට ඔප වැටුණු
ස්වප්නයකි මවන ලොව කවි රටා හැඩ වැටුණු
සිප්විතකි තක්සලා ආදුරුස රස වැටුණු
අසපුවකි ඔබෙ මැවුම් දැහැනකට මග වැටුණු

සුදු නෙළුමකට එදා සොරබොරදි පණ පෙව්ව
විදු කැලුම සුනිමලයි දිනිඳු ලෙස ගී පව්ව
කඳු නොවී පාමුළ ම විලක සිසිලස කැව්ව
වඳු යුතු ම ඉසිවරෙකි කටු මතින් මල් මැව්ව

( ජුනි 02 වන දිනට යෙදෙන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙනි )

කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ විශ්වවිද්‍යාලය .