ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිංචි නංගිගෙ දොලදුක………

හිංචි නංගිගෙ දොලදුක………

දුලානි පතිරත්න - වේයන්ගොඩ
2023-June

අඹ වෙරළු ඔය ජාති මහ ගොඩ ගෙයි මැස්ස උඩ පිරී ඉතිරෙයි
ඉඹ බලන්නට වත් හිතක් නෑ වතුර ටිකටත් බඩ පෙරලවයි
රඹ කෙසෙල් රන් තැඹිලි තිබුණත් දැක දැකම ඇහැ අහක බැලුවයි
උඹ පපුවෙ ඉස ගහන් ඉන්නෙක දැනුන එක මට එකම පිරියයි……..

ඔලුව උස්සල ඉන්ට හිත කොහෙ ඇඟේ නෑ එක පණ කලන්දක්
කළුව ඇහැ වට දැවටිලා ගෙන එනව මොහොතක කරකවිල්ලක්
පෙලුව පාලුව රත්තරන් මට…උඹ උන්න නම් හිතට දිරියක්
බැලුව බැරි තැන වදෙන් පොරෙනුයි අම්ම පෙව්වේ කැඳ ඇබින්දක්………

අත ගෑවුණත් රස සුවඳ විහිදෙයි අම්මගේ ඔය අත් ගුනේ
බත දවාලට හදල තිබුණේ තෙලටියා දලු වැන්ජනේ
කොත ගහල මට බෙදල තිබුනා දුකයි ඇගෙ ඒ මවු සෙනේ
අත කටට එක මිටක් අරගෙන ගියේ නෑ අපුලයි අනේ………

නගුල වියගගෙ මත්තෙ හැපිලා එද්දි නුඹෙ පයෙ තාලෙ කඩිසර
බිඳලූ හිතෙනුයි හිටියෙ පෙර මග ..අම්ම දුන් ඔව හිතට හරි බර
මගුලු සක්වල සිරිය දොහොකට අහවරයි පන හිතම සෝබර
අගුළු තද කර හිටින් කිව්වා තුන් මහක් වත් නිදන ගෙයි දොර …….

මාස් වැස්සට පස්සෙ පිපුණේ කිරි කැකුළු මල් දෙනිය ලන්දේ
හාස් කම් වගෙ අපෙන් හිත් වල කිරි සිහිනෙ මල් පොඩි පැලැන්දේ
දාස් ගානක් දෙවි වඩින උඩ මළුවෙ ඉඳ අපි පඬුරු බැන්දේ
දෑස් මත්තට පැටි දකින තුරු ගනිමි අතැඟිලි රැයෙත් නින්දේ………..