අම්මේ තාත්තේ හමුවෙමු කොහොම හරී
නැතිදා දැනෙන මේ පාළුව දරනු බැරී
ඇතිදා නොසිතුනේ මන්දැයි සිතනු බැරී
අම්මේ තාත්තේ සිටියත් කොහේ හරී
හමුවෙමු දිනෙක සසරේ අපි කොහොම හරී
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
‘ලන්ඩන් කවි’ මුද්‍රිත සඟරාවක් ලෙස ප්‍රථමයෙන්ම පළ කෙරුනේ වර්ෂ 2003 සැප්තැම්බර් මාසයේදී ය. එංගලන්තයේ සිට කවි එකතු කිරීමත්, කොළඹට යවා මුද්‍රණය කරවීමත්, පිටපත් නැවත ලන්ඩනයට ගෙන ඒමත් එතරම් පහසු කටයුත්තක් නොවූ හෙයින් කලාප දොළහකින් පසුව කණගාටුවෙන් වුවද එය අත හැර දැමීමට සිදු විණි. ලන්ඩන් කවි බෙදාහැරියේ නොමිලයේ ය. අද තාක්ෂනය වෙනස් වී ඇත. ලන්ඩන් කවි අන්තර්ජාලයෙන් ඔබ වෙත ගෙන ඒමට හැකි වන්නේ ඒ නිසාය. ප්‍රඥාවන්තයින් පවසන්නේ කවිය ආනන්දයෙන් පටන් ගෙන ප්‍රඥාවෙන් අවසන් විය යුතු බවය. එහෙත් එය එසේම විය යුතු නොහේ.
විසල් හදක කවිය’ හැරුණු විට අකාරදියට අනුව මෙහි පළවන නිර්මාණ අප විසින් මිත්‍රත්වය මත කෙරුණු ආරාධනයෙන් කවි කිවිඳියන් එවූ ඒවාය. ඔවුනට අපගේ හද පිරි ප්‍රණාමය පුදකරමු. ‘විසල් හදක කවි’ ශීර්ෂය යෙදුවේ රත්න ශ්‍රී විජේසිංහ කවීන්ද්‍රයානන් ය. මෙවර ‘විසල් හදක කවිය, ඔහුට නොදන්වාම උපුටා ගැණීම පිළිබඳව අඩසිය වසරකට ආසන්න මිත්‍රත්වයක් ඇති මහැදුරුතුමා උදහස් වේ යැයි නොසිතමි.
වෙබ් අඩවියේ සැකැස්ම අරඹා ගත වී ඇත්තේ සති තුනක කාලයකි. කවියක් එවන්නැයි කී විගස පසුවදාම කවි එවූ ජ්‍යෙෂ්ට කවීන් සිටි අතර අයෙක් කීවේ අවුරුදු හතළිහකින් කවියක් ලියා නොමැති බවයි. එහෙත් ඔහු කවියක් එවීය. අයෙක් කීවේ මා කවියෙක් නොවේ කියාය. ඔහු ද කවියක් එවීය. මේ ආරාධනයට කවි එවූ සියල්ලෝම තමන්ගේ ක්ෂේත්‍රයන් හී දැවැන්තයින් වන්නාහ. එසේනම් ඔවුන්ගේ නිර්මාණ මෙහි පෙළ ගැස්වීම මා වැන්නෙක්හට කළ හැකි කටයුත්තක් නොවේ. තිලකරත්න කුරුවිටබණ්ඩාර කිවිඳුන්ගේ කවියක් සිහියට එයි. “දුලකර සඳ මඬුලු දහසක් අතරතුර, නිලඹර නැඟුණු තරුවක් වැන්න සැක හැර”. පුර්ණ චන්ද්‍රයන් පෙළ ගැස්වීම කුඩා තාරකාවකට කල නොහැක. එම ප්‍රශ්නයට මා මුහුණ දී සිටින විට මගේ බිරිඳ අපූරු යෝජනාවක් ගෙන ආවාය. මුලදී එකඟ නොවූවත් අවසානයේ දී බිරිඳගේ අදහසට නිතරම එකඟ වන්නට සිදුවන මට මේ යෝජනාව ඉමහත් සහනයක් ගෙන දුන්නේය. එනම් වාසගම ඉංග්‍රීසි අකාරාදියට අනුව පෙළ ගස්වන ලෙසයි. මේ පෙළ ගැස්සිල්ල එයයි. වෙන කිසිවක් නොවේ. ඉදිරියට ද ජ්‍යෙෂ්ටයින්ගේ නිර්මාණ, රසිකයන් ගේ වින්දනය පිණිස ද, ආධුනිකයන්හට මඟ පෙන්වීමක් ලෙස ද අප වෙත ලැබේ යැයි බලාපොරොත්තු වෙමු.
නැතිදා දැනෙන මේ පාළුව දරනු බැරී
ඇතිදා නොසිතුනේ මන්දැයි සිතනු බැරී
අම්මේ තාත්තේ සිටියත් කොහේ හරී
හමුවෙමු දිනෙක සසරේ අපි කොහොම හරී
උපුටා ගැනීම :
දෙමළ සාහිත්‍ය ඉතිහාසය - මහාචාර්ය සුනිල් අරියරත්න
මෙම කෘතිය
නන්දා මාලිනියට පිදෙන පඬුරකි
ජීවිතයට අමාවක ආ වෙලාවට
කාටත් හොරෙන් ඔබ පුන් සඳ වුනා මට
මතු මා යතොත් මට වෙන් කළ අපායට
නෑවිත් ඉන්න ඔබ දෙව් ලොව වලා පිට
අමිහිරි කවි ගහණ මගෙ ජීවිත පොතට
කව් සිළුමිණේ කවියක් විය නුඹ සුමට
එනමුත් කුකවි මට කවිකම් නැති පවට
නීරස මෙ කව් පද බැන්දෙමි ඔබැ නමට
12 E ක්‍රිෂ්නමා පාර, මදුරාසිය-34
1989/12/28
වසංගත ව්‍යසනයෙන් වැළපෙද්දි
ඒ මහා භූමි කම්පාවෙදී
නුඹ මිහිදන් වූ සොහොනක් නොවී
නුඹේ හඬ අවදි වෙවී
දස දිසාම දෝංකාර දී රැව්නැඟී
දිව්‍යමය හඬක්ම වී
"මට මගේ අම්මා
ළඟට යන්න ඕනෑ"
නුඹ නිසාම
ලෝකයේම
සියල්ලෝම
ඇසිල්ලක්
ගත් හුස්ම නැවත්තූහ
සුදු පුංචි දියණියේ
ඒ මහා විපතේදි
දිවි සටනේදි
ලොවේ මිහිරිම වදනමයි
නුඹ මිමිණුවේ
"අම්මා"
සුදු පුංචි දියණියේ
මහලින් මහල හිරවුණු
මහා නටබුන් වලින් යටවුණු
දූවිලි අළු වලින් නැහැවුණු
නුඹ ඉල්ලා හැඬු
"අම්මා"
නුඹ අසලමය
එත් ඇය තවම නින්දේය
සුදු පුංචි දියණියේ
ඉතින්
කියන් මතු දිනෙක
හඬනඟා ලෝකයට
මළවුන්ගෙන් නැඟී සිට
දිවි රැකුණු අසිරිය
සුදු පුංචි දියණියේ
2020 නොවැම්බර්
ඉතින් ඈතක ඉඳන් විමසමි සඳේ මුව මුකුළූ
අතින් පත් ඉරුවකට වගුරමි ආදරේ අකුරූ
නෙතින් පාළුව ගලා තෙමුණි ද ළැමේ මුතු පබළූ
හිතින් හීනෙක තබන්නම් සුදු ලිලී මල් පොකුරූ
සිඹිම් ඔබ රැව පසුම්බිය තුළ මිණක් මෙන් රැඳුණූ
රකිම් තනිකම කලාගාරෙක පලසකින් ඇහිලූ
නොයෙක් ඉපැරණි සිත්තරුන්ගෙන් තිළිණ ලෙස ලැබුණූ
මෙලෙක් සිතිවිලි ගෙනෙමි ගවසා පාට රැස් වළලූ
සොඳුර පළඳමි මහද අබිසෙස් පිළිණ සඳ කිරුළූ
අතරමං වුණ කවියකුත් දෙමි මිහිරි පද සිර වූ
අතැර ලොව එමි ඔබේ පෙම් අසපුවට මට හිමි වූ
නතර කරගෙන හිඳිනු මැන ළය දහර උණු කඳුළූ
අසන්නට යළි යළිත් දුවගෙන රහස් ඔබ පැවසූ
වසන්තෙට එමි ඔබේ මිමිණුම් අම සරින් සැරසූ
නීරස බොජුන් ලද මුව කුස නොපුරා ය
සීතල යහන් ගැබ නිදි සුව අවුරා ය
පාළුව මැදින් යන කාලය නොගෙවේ ය
ජීවන ගමන් මග මෙහෙමට ගත වේය
එක නිවහනක එක බත්පත රස බලනා
දවසක දෙකක අඹුදරු සෙනෙහස ලබනා
දින සති මාස හිරවී බෝඩිම් සෙවනා
බඩ වියතටයි මේ සැම දුක් අප විඳිනා
දෙපලක තනිව දෙසිතක හොඳ කල ගෙවිලා
දරු සුරතල් නොදැක උන් වැඩිවිය ලබලා
ගත සවි බිඳෙන විට හිස නර කෙස බබාලා
යුගදිවි වරම හිමිවෙයි සැටවිය පිරිලා !
ලංකාවේ උතුරු දෙසට ගලන ගංගා ඇත්තේ එකක් පමණි. - (පොතකින්)
නදියක් දුටු තැන නවතා
චාටු කතාවෙන් අමතා
දකුණට හරවන්න හදන
රජුන්, ඇමතියන් නොතකා
උතුරටම ගලා යයි
කනගරායන් ආරු
මහවැලි කැලණි වලවේ කළු යන ගංගා
මිණි කැට තියන් සිටියදි දිය යට හංගා
තියෙන දෙයක් දෙන්නට උතුරට රිංගා
ආරු කනගරායන් පාරට බැස්සා
රතු ළුුණු මල් පිපෙන ලා දුඹුරු බිම් තීරු
නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු
රැළි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු
උතුරටම ගලා යයි කනගරායන් ආරු ...
අහස් ගඟේ හිම කැට පාවුනා වගේ
සිහින ඉමේ වතුසුදු මල් පිපුන වගේ
දැන හෝ නොදැන මා අමතක කලා වගේ
ඔබේ රුවට පමණක් රැවටුනා වගේ
අහස් ගඟේ හිම කැට මා එකතු කලා
සිහින ඉමේ වතුසුදු මල් මම නෙළුවා
දැන හෝ නොදැන ඔබ මා අමතක කෙරුවා
කෙසේ වෙතත් ඒ දිනකල් මම වින්ඳා
අහස් ගඟේ හිම කැටි පොදි පාවේවා
සිහින ඉමේ වතුසුදු මල් තව පිපියා
දැන හෝ නොදැන මා මතකෙට නැඟ ඒවා
නොහඬ එදින මම සිහිනේ සැතපේවා
18-12-2020
පවුලට දුවක නම් එය වාසනාවයි
බිලිඳු නොලද ඈ නොම වාසනාවයි
සුන්දර දූ මඟුලට වාසනාවයි
දෑ වැදි නොදුන් ඇය නොම වාසනාවයි
දරුවන් රැසක් වැදු ළිය වාසනාවයි
උන් නොමගේ ගියදා ඈ අවාසනාවයි
කලින් බිරි මළොත් සැමි වාසනාවයි
සැමියා කලින් මියැදුනු ඈ අවාසනාවයි
දළදා වැඩම්මවු ඇය වාසනාවයි
පත්තිරිප්පු ගොඩවන්නට අවාසනාවයි
මහ බෝ හිමි වැඩමවු ඇය වාසනාවයි
උඩ මළුවට යන්නට ඇය අවාසනාවයි
කම් සැප විඳීමට රුව වාසනාවයි
ලද විට අවලාද ඇයගේ අවාසනාවයි
දුවක මවක බිරිඳද නිති වාසනාවයි
මේ හැම අතර නොසැලෙන ඇය වාසනාවයි
29-12-2020
ඊයේ රැයේදී තිබුණ බණක්
බිරිදගේ යුතුකම් සැමට කියන්නට
දැස් පියාගෙන අහගෙන හිටියා
සැමියාවරු එය සිතේ දරන්නට
එකතුව අප ආ ඒ දිගු ගමනේ
බර දැරුවේ අප එක විලසින්මයි
කාල වේල තිබුණේ නෑ අපහට
සැමියාද බිරිදද කියා සිතන්නට
ජීවිතයේ බර එකට දැරූ අපි
යුතුකම් එකසේ සිත වෙත ගන්නට
හාමුදුරුවනේ බණක් දෙසණු මැන
සැමියාටත් යුතුකම් පහදන්නට
මිහිතලය ගිනි තියන කොරෝනා වයිරසේ
කිසි අදිසි බලවතෙකු නොදුටුවෙද ඇයි කෙසේ ?
වැඳ පුදන, උඩ බලන අපි අපගෙමයි දොසේ
අපි රකින දෙවි වරුන් වැජඹුනෙද කොයි දෙසේ?
මහ සයුර වියරු වී මිහි මතට ගලා ගිය
මතකයිද සොළොස් වසරකට පෙර සුනාමිය
මැරුන උන් ජාති, ආගම් අනුව බෙදාපිය
හෙළ, දෙමළ, යෝනක ද බලාපිය, කියාපිය
සුදු පාට, කළු පාට, ගුරු පාට කහ පාට
මිහිතලයෙ නන් වෙසින් අපි පැතිර හිටියාට
රජ මැදුර ,අතු පියස මොන වෙනස තිබුනාට
එක ලෙසයි සොබාදම සැලකුවේ "මිනිසාට"
බොදු, කිතුනු, හින්දු, මුස්ලිම් කියා බෙදා හැම
ඇති නමුදු ඉරණමකි සැමට එක විලාසෙම
ඊයෙ, අද මෙන් හෙටද මිහිතලේ සදාටම
එකම දහමකි අපට ඒ තමයි "සොබාදම"
බුදු සමිඳු, කිතු සමිඳු, සිව දෙවිඳු, අල්ලා
පල කිමද යැද නොදෙන පිළිසරණ ඉල්ලා
පොලීසිය කියන ලෙස පිටට නොගිහිල්ලා
අඹු දරුවො බලාගෙන ගෙදර හිටපල්ලා.
සඳ එලියවත් නොඑන
රුදිරු රළු කළුවරට
පහණක්ව හෙමින් එබෙන්නිි
විඩාබර ජිිවිතේ - ගත් සිත්හි වෙිදනා
හසරැලින් නිවා සතපවන්නී
සෙනෙහසේ පාට ගෑ - නුරා රැඳි සරාගිි
නෙතු දැලේ දැවටෙමින්
සළෙල සිත් දැල පුරා
නොදැනීම රහසේම එතෙන්නී
මිහිරි රස නේක ඵල
නෙලාවුත් සතපවා
හලාහල විශ සතුටු කරන්නී
ආත්මය සොරාගෙන පැන දුවන මුවන් දැක
අසම්මත ගැබ් බරින් හඩන්නී
අසෝබන මුසා බස්
කැකෑරෙන හදවතින්
කදුළු වැල් තුල දොවා හරින්නී
සුජාතක පිරුවටින්
මුවාකල දොරකඩින්
විදී බැස ලොවට පියමනින්නී
එදා තුර මෙදා තුර
සදාකල් නොවෙනස්ව
නමින් "ගැහැණිය"ම වන්නිි
22-12-2020
රටේම දරුවන් එක පොකුරට
වැට බඳිමින් කොරෝනාවට
පොතයි පෑනයි ගෙන අතට
ලොවටම පෙන්නුවා අභියෝගයන්ට
කරන හැටි ආදරය
ලියමින් රටක් වටින පොතක්...
සිහිනයක් තිබුණා දරු පැටවුන්ට
පොතක තම නම රැඳෙන්නට
නමුදු
මුතුකැට අකුරින් රචිත පොත් පෙළ
ඉකිබිඳියි අද පොත්ගුලක කෙළවරක...
"රටක් වටින පොතක්" සිහිනයක් ...
තිළිණ සහතිකපත් හිමි නොවූ සිහිනයක් ...
ඇගයුමක් පතන පුංචි ඇස්
මඟබලයි දින දින
පන්හිඳේ දස්කමට
හිමි වූ තිළිණ ලැබෙන තුරුම....
පොළොං විස කකාරන
කනේරුම පූදින
විසල් මහ පුරවර
නත්තලට යුදගන
වැඩ කරන-වැඩ කියන
හුදී කන්තෝරැ ජන
ආතුරය මහා මග
සැණකෙලකි මහා ඝොර
තලා බත්කෙදි මාල
ගැහී ගැට වැල් නහර
හැපී කදු සුවිසාල
වියගහකි බරපාන
බෝගහ හන්දි පාමුල
විකිනෙනා ලංසුවට
කවි කියන ගිරවුන්ය
ලොතරැයි කූඩුමය
නත්තල් ලොතරැයි ගන්නෝ
හැමදාමත් දිනන්නෝ
ජීවිතයම එළිය කරන
සංවර්ධන මහා කයිය
ගසා මරු කරණමක්
කඩා බට විදුලියක්
කොටා බා තලු රසක්
පුතු බිළිදු සන්නියක්
ළපටි සුහුඹුල් පතුල
ඇදී ගුවනට ලඹට
කලු ගලකි ඒ මතද
ගවලෙනක පුතු සරඹ
තලා අත්පොඩි වැලක්
කරකවයි ඉග වරක්
දියණියකි හිරි මලක්
විකිණෙනා හැටි දුකක්
කපත දිවි පින්තාරු
තලත ගී කන්තාරු
මඩිත රතුවන් සාරු
කලද මුව බෙන්සාරු.
30-12-2020
දළ කපා ගැනීම සඳහා 'දළ පූට්ටුවා' නමැති වනගත හස්තිරාජයා කුරිරු මිනිසුන් විසින් පසුගියදා ඝාතනය කරන ලදී. මේ පුවත අසා සංවේදී වූ කවියා ඇතුගේ සිතිවිලි කවියට නැංවූයේ මෙසේය.
"වෙසතුරු"නිරිඳු රජ කළ "සිවි" නමැති රට
ඇලි ඇතු විලස මා ජනිතව සිටින විට
හැම සම්පතම ලැබ දී රටවැසියනට
යුතුකම් කල අයුරු මතකයි තවම මට
"ජත්දන්තව" ඉපිද ලැබ බෝසත් වරම
බුදු බව පතා සිදුවිය පෙරුමන් පිරුම
අල්ලා හොඬවැලෙන් ලේ වැගිරෙන තුරුම
දුන්නෙමි කපා ගන්නට මගෙ දළ දෙකම
පින්බර, කිඹුල්වත, සුදොවුන් රජ දවස
මහමායා බිසව නින්දට වන් විගස
මහනෙල් මල සොඬින් ගෙන කුසයට පිවිස
ඉන් පිටවීමි කුමරුට ඉඩදෙනු පිණිස
හිමි වැඩ සිටි දවස අදමිටු කුහක සැම
එක්වී එකට කළ අවමන් නොවුණි නිම
වැඩියෝ පාරිලෙයි වනයට නිහඬවම
පළතුරු පුදා බුදුහිමි රැක ගතිමි මම
"නාලාගිරි" නමින් මා සිටියදී ඉපිද
මට රා පොවා බිහිසුණු කර ගත සිත ද
හිමි එන මගට එවුවේ මිනිසුන් නොවෙද
මම සිහි එළැඹ සිටියෙමි සිරිපා නැමද
රැකගනු පිණිස බුදු දම සහ මගේ රට
යුද ගිනි නැඟෙන විට එරෙහිව එළාරට
මහරජ ගැමුණු රැකගත් යුද බිමේ සිට
"කඩොලැතු" මමය එය අමතක නොවේ මට
මගෙ පරපුරට දෙන දස වද පෙර දවස
ඉවසා ගත නොහී තෙත් වූ පසු දෙඇස
නොබියව පනාමුර ඇත් ගාලට පිවිස
වෙඩි කෑවෙමි රැහේ අබිමානය පිණිස
දළදා හිමි සහිත කරඬුව හිස දරන
දෙවොලින් දෙවොල ගෙන යන දේවාභරණ
විසිතුරු ඇඳුම් ඇඳ පෙරහැර හැඩ කරන
ඇත් කුණ්ඩලේ අපටම නැත රැකවරණ
ගේ දොර තනා යන මං අවුරා දමතී
එවමින් යකඩ යකු නෑ පිරිවර මරතී
කුම්භස්තල දෙබෑවෙන ලෙස ගිනි බිදිතී
ගජමුතු සොයා අමු අමුවෙම දළ කපතී
ඒ දල කපාගෙන යන්නේ මිනිසුන්ය
රඳවා තබන්නේ මිනියක දෙපසින්ය
මා මිය ගිය පසුත් කෙරුවේ අවමන්ය
මළ කඳ ළග තැබිය යුත්තේ "ගව අංය"
සොබා දහමට තවත් දරනට බැරි තරම්
තණ්හාව ආසාව හිත පුරා තද කරන්
කුරිරු වූ මිනිසුන්ට හැදෙන්නට දුන් වරම්
ලොව පුරා කොරෝනා ගොරෝනා හැටි බලන්
ලොවේ නැත බලගතු රටක් අපගේ තරම්
බලවතුන් මැත දෙඩූ වුනෙ දූවිලි තරම්
කවුද හිතුවේ මෙහෙම ජිවිත නැති කරන්
දයාබර ලෙස මිනිස්කම දැන්වත් පුරන්
ජාතියෙන් වර්ණයෙන් දේශයෙන් බෝ නරන්
බෙදී වෙන්වී මෙතෙක් නැටූ හරි නාඩගම්
මතු දිනෙත් නොම නටා අත්හරින් විසි කරන්
විනාසයයෙ පණිවිඩය පැමිණි බව සිහි කරන්
වන සතුන් වනය මැද ජීවිතය සරු කරන්
හානියක් නැතිව දිවි ගෙවන හැටි සිත් පුරන්
පරිසරය වැනසුවොත් සමාවක් නැති තරම්
සොබාදම් මෑණිහට ජිවිතෙන් ගරු කරන්
වලාවක අඳුර මැද රිදී ඉර පායන්න
විනාසේ අබිමුවින් ඉක්මණින් නැගිටින්න
අවසාන කඩ ඉමයි හොඳින් සිහියට ගන්න
මිනිසුනේ මිනිස්කම ලොව පුරා වපුරන්න
29-03-2020
ඉපිද මැරේ යන වග
තේරුම් නොගෙන රඟ රඟ
කරණ විගඩම් දැක්කම
දුකක් හිතෙනවා අපි ගැන
සොබා දහමට එරෙහිව
මුදල් පසුපස ලුහුබැඳ
කෙරෙන කෙනෙහිලි කම්වල
පලය දැන් ඇත දැකුමට
පොහොසත්කම දුගී කම
වැඩක් නැත වයිරසයට
ඇද දමන්නේ මරණෙට
කීමටය යමක් මිනිසාට
සිතන්නට කාලය නැත
යහ මඟට පය තබනට
නොවුනොත් එහෙම අප හට
දුකම මිස සතුටක් ඇත්තෙ නැත
27-12-2020
පහන් එළියක් නොමැති
පහන් කණුවක් යට
දෑස් දල්වා බලා සිටිනා
සොයුරියක් අසල
මා සිටීදැයි බලන්න
සුතනඹුන් අමතක කොට
මැදියම් රැය ද පසු කොට
මත් වී උස් හඬින් කෑ ගසන
මිනිසුන් සිටිනා තැබෑරුමක
මා සිටීදැයි බලන්න
කළුවර ගලා ගිය
අඳුරු කුටියක
දිලෙන ඇසක් ළඟ වැතිරී
සිනිදු ළැමක පහස විඳිමින්
සිටිනා තැන පෙම්වතෙකු වී
මා සිටීදැයි බලන්න
කලබල නගරයක
පටු වීදියක
ගෙවල් පේළියක කෙළවර
එකිනෙකාට තෙරපෙමින් ගුලිවෙමින්
නිදා සිටිනා
ගැහැනු මිනිසුන් අතර
මා සිටීදැයි බලන්න
උපාසක උපාසිකාවන්
සාධුකාර නංවන
සඳ වතුරට තෙමී
බෝ පත් සැලෙනා
බෝ රුකක් යට
බවුන් වඩනා මිනිසුන් අතර
මා සිටීදැයි බලන්න
හමු නොවුණි නම් මා
මේ කිසිදු තැනක දී
ඔබ ඔබ දෙසම බලන්න
ඔබ තුළ මා සිටිනවාද කියා
රන් වැලි සෑ බඳේ සුදු පිරියම් ලෙසිනී
පින්බර වතේ පිරිසිදු සිනහව දිළිනී
වැව් තල පිස හමන සුදුමුදු මද නලිනී
අම්මේ ඔබේ නොමියෙන උණුසුම දැනුණී
බුදු හිමි වතේ මෙන් කුලුනින් පිරි නෙතිනී
වෙන කවුරුන්ද අප දෙස බැලුවේ නිතිනී
කිසිදා වෙනස් නොමවෙන ජීවය දෙමිණී
ඔබ පිදු පෙමින් මිනිසුන් වී අප වැඩුනී
හිරු සඳු ලෙසින් අප යන මඟ එළි කරනා
මහ කඳු විලස සැමවිට නෙතු යුඟ හෙළනා
දරුවන් යහපතම දිවි ඇති තුරු පතනා
දෙවියන් බුදුන් ඔබමය මනු ලොව වසනා
ලොව වසන සියලුම මව් වරුනට මේ කවිය උපහාරයක්ම වේවා!
19-12-2020
අම්මා කියා දෙදෙනකු නැත මේ ලෝකේ
ගෙදර බුදුන් ලෙස සැලකුව කත ඈනේ
අම්මා ඉන්න තුරු අගයක් නෑ ලෝකේ
නැතිදා ඔබගේ දුක කාහට කියනු අනේ
ගගෙහි ඇන්ද ඉර වාගෙයි සිත ඈගේ
කොපමණ දුක් ඇතත් ඒවා නෑනේ හිතේ
බත්පත බෙදන විට සිහියට ඔබ ආවේ
අම්මා මිසක් කවුරුද ඔබ දෙස බැලුවේ
අම්මා ඉන්න කාලයේ හොඳ හැටි බලනු
ලැබෙනා සෙත දන්නවද ඔබ මගෙ යාලූ
මුලු හදවතින්ම ය ඇයගේ සෙත් යාලූ
පමා නොවි මවු හට සලකනු යාලූ
28-12-2020
මාස පෝය දිනක
සඳ මත සිට
පොළොව දෙස
කැක්කුම් ඇසකින් බලමි.
පෙම් කවක් ලිවිය යුතු උන් සැමට
වෘකයන් ද සරණ බිම
පෙම් පතක් යවනු පල වෙද
කැක්කුම් දෙන ළයට
රයිපලය බර නොවේ
කොළයත් පෑනත් තබා
සඳෙන් බැස එමි
මල් පිපෙන බිමකට
වෘක පා සටහන් කුමකට
"කුමක් කළේ ද ඔබ
දෙවියන් ලොව සාවුන් මැවුයේ
වෘකයන් සමඟින් වසන්නට නොවෙද?
ලොව සුන්දරත්වය එයම නොවේද?"
රයිපලයට තවත් පතුරොමක් ඔබමි
අහඹු සිතිවිලි ම නොවේ... කාව්‍ය සංග්‍රහයෙන් 2018
රිතු හතරකි හතරම සිත බන්ධනය
හිමය වසන්තය ගෙනඑයි නන්දනය
සරත් සමය - ගිම්හානය වින්දනය
නොව පැරණිව ඇත රමණිව ලන්ඩනය
සරසවි වරම ගෙන පබඳින කවි මාලා
නිමවන විටදි ඇත හදවත සත පාලා
ගෙත්තම රුවයි රස වෑහෙන මන ලීලා
පන්හිඳ සුරතෙ ගෙන සරසමි නළවාලා
මිහිබට දෙවඟනයි රඟ දෙන විටදි දිසී
ආසිරි ලබන්නේ ලාලිත කමට රිසී
සෙලවෙන ගිගිරි මිණි කිංකිණි හඬේහි වැසී
වෙනසක් නොමැත හිත රවටන කමට නිසී
මේකුළු මතින් දිවයන අකුණක සේයා
පායුග මවයි බෙර පද නංවන මායා
හී සැර වැදුණු මල්සර දුණු වත පායා
කාහට හැකිද පිටු පා යනු වැනි අයා
නෙත කියවන්නෙ ළඳකගෙ ලස්සනය මනා
ගුණ පිහිටන්නෙ හදවත ඇතුලතය දනා
කත සොඳුරුතම සවියයි දිවියකට ගෙනා
දිවි හිමියෙන් රැකපන් ජය ලබන කෙනා
28-12-2020
මසකට පෙර ප්‍රියත් ලියනගේ අප අතරින් වියෝවන විට හැට එක් වියට සැපත් වූවා පමණි. බීබීසී යේ සිංහල අංශය වන සංදේශය දශක තුනකට ආසන්න කාලයක් මෙහෙයවූ එහි ප්‍රධානියා ඔහු විය. සිංහල ඉංග්‍රීසි ද්ව්භාෂාවෙන් ම කවි ලියූ ප්‍රියත් දක්‍ෂ සිනමා තිර රචකයෙකු ද විය. 'පකට පුඟුලා ගේ කතාවස්තුව' නමින් ඔහු ලංකා නිව්ස් වෙබ් අඩවියට ලියූ කොළම, කොළම් සාහිත්‍යයේ නව නැම්මක් විය.
කොළඹ කවත් ඉතිහාසයෙ සඳැස් කවත්
අදහස් මාරු විය එකඟව නැතත් වුවත්
සති හතරකට පෙර කීවේ සුවෙන් බවත්
නොකියා යන්න සිතුනෙද ප්‍රිය මිතුර ප්‍රියත්
නොනැමුනු තුඩක් ඇති පෑනක් දරා සුරත්
ලිවුණු කතා අඩු නැත එහි පිරුණු රසත්
ඊතල වීය බෝසුත වූ වියත් බසත්
තීරු ලිපි ලොවට දුන්නේ නවමු වෙසත්
බීබීසියේ හඬ පැතිරුණි දසත දියත්
කරුණු නොදත් පුහුදුන් නෙක වදන් කියත්
වෙහෙසුණි රටක මඩ පිසුමට දිවා රැයත්
ඒ පින ඇතිය ගෙවුමට මව් බිමට ණයත්
සේරූ කලා සිනමා රචනයට වියත්
අත දුන්නේය දහකට උන් පිදුවෙ පයත්
'පකට පුඟුළු' වැදි සමහර අයගෙ බියත්
ඔබ අප අතර නැති බව දැනගෙන ද නොයත්
සිහළ දමිළ රාජන්ගේ නිමල ලෙයත්
වෙනසක් නොදුටු ප්‍රියයෙනි හදවතම ප්‍රියත්
ආයෙ අපට දකිනට ඉඩ නැතිව ගියත්
දෙව්ලොව බසින් 'පුඟුලව' ලියනවද ප්‍රියත්
18-11-2020
'හිටවන කවි රැජිණ' යන විශිෂ්ට සම්මානය අගනුවර තරුණ කවි සමාජයෙන් පිදුම් ලැබූ කුරුවිට පියසීලී කිවිඳිය පසුගිය දිනෙක අප අතරින් වියෝ වී ගියාය.
දෙසය දිනූ කවි රැජිණිය නිතරගෙ නී
රසය විහිදුනේ දියතෙහි දස අතිනී
බසය හිටිවනම බැඳුනේ කවි රසිනී
කවිය ඔබය පියසීලී කිවිඳිය නී
මහනෙල් මලක් විලසට නිල් දිය පිපුන
මනලොල් වඩන සිනහව දුටුවන් බඳන
සිහිළැල් වදන තියුණුය මුවඟින් මිදෙන
පියසිල් කිවිඳි යළි දකිනේ නැත කෙදින
නිමවා පැමිණි මෙහෙවර කවියට පෙම්මේ
සදවා දහක් කවි කිවිඳුන් එක පිම්මේ
මොනවා කලත් හදවත ගිණි නැත නිම්මේ
හඬවා ඔබත් යයි ඇය සිරිලක් අම්මේ
අතකස මහා කවි අඹරේ නිති දිළුන
අතකස යකිය ඔබ හිටවන කවි පිරුණ
සෙනෙහස පිරුණු දම් සබයක විඳ සුවෙන
බුදුරැස ඔබට ලැබදේ සුන්දර නිවන
09-11-2020
He came into my life
And swept me off my feet
I felt alive
& my heart skipped a beat
But it was not meant to last
He left in a blast
I am still picking up the pieces
As I fondly remember his kisses
I thought I had found my soulmate
But he had found another date
It’s a lesson I learnt
For caring from the heart
I will not stress
But be blessed
And live in hope
As I learn to cope
And be patient
As I wait
For new love
27-12-2020
පිවිතුරු මුව කමළ සුදු නෙළුමක් සේය
මධුරය වචන සිසිලය චන්දන සේය
කුළුණුය එහද උණුවෙන ගිතෙලක් සේය
නොසැලෙන තිර ගතිය මහ මේරුව සේය
සැම ගුණ පරදවා කළ ගුණ පෙරටු කොට
කීවේ කියා දුන්නේ යහ ගුණේ සිට
වැටෙන්නට එපා කිසි කළ අයුත් තෙට
වැටුනත් වැටීයන් ඉහළම ඉහළ සිට
ගුරුකම අතැර අප රැකගත් දයාවෙනී
ගුරු ගෙදරක් වුනා නිවසම අසිරියෙනී
මතකද ළමා නාටක රැඟුමන් සොබනී
ඔබ ගුරුතුමී අප රැඟුවා අනුහසිනී
තුන්සිය හැට පහේ හැම තත්පර යක්ම
සිහිකරනවා මිස ලෙන්ගතු හිත කින්ම
අහවල් මාසෙ අහවල් දින යැයි කෝම
කිවහැකි අයෙක් සිටීද මුළු තුන් ලොවෙම
වෙරළු මිණි රුවන් මුතු පිරි තලාවේ
ගෑවී නොගෑවී නොව මං මුලාවේ
ඇවිදිමි මතින් ලද සිප් සත් කලාවේ
සතුටුද රැජිණ ඒ ගැන මේ වෙලාවේ
මෙහෙවර මෙන්ම දන් පින් කල නිමක් නැතී
අප මෙන් බොහෝ අය එපවත කියති නිතී
අද ඔබ හිඳින තැන අප හට පසක් වෙතී
තව්තිසාව සිතන තරම් දුර නොවෙතී
15-12-2020
ඉස්සර වගේ නෙවෙයි
දැං ජයවේවා කියන්නෙ කටවහගෙන
ඉස්සර වගේ නෙවෙයි
දැං හිනාවෙන්නෙ දත් නො පෙන්නා
ඉස්සර වගේ නෙවෙයි
දැං happy birthday කියන්නෙ
අත් හෝදනකොට
ඉස්සර වගේ නෙවෙයි
දැං ළංවෙලා ඉන්නෙ
මීටරයක් දුරට වෙලා
ඉස්සර වගේ නෙවෙයි
දැං මඟුලක් කන්නම බෑ
ඉස්සර වගේ නෙවෙයි
අවමඟුලත් ආන්ඩුවෙන්
ඉස්සර වගේ නෙවෙයි
ඉස්සර කියල
දවසක් නෑ
ඉස්සර වගේමයි
මම කියල කෙනෙක් නෑ
02-12-2020
රුසිරු තුරක් මි
වසන්තය අරඹත් ම කුසුම් වැසි
උගුල්ලා පුරුදු මව් පොළොවෙන
නුහුරු නුපුරුදු නුවරක පොළොවක
ඉන්දු කුසුම් නඟනුව අණ කර
නොකියමි
නව අඩවි හිමිකරු
තුරට අනදරයැයි
සෙනේ දිය, මිහිරි පොහොර නොදෙතැයි
සෑහේ ද එපමණක් තුරකට
ඉවසම් ද කෙලෙසක
හිමිකරුට රිසි ලෙස
තුර කප්පාදු කරනෙක
නැවත ලියලමි
හිමි අත නොපොවනා ඉමකින්
සෙවණ සදනෙමි
ලොවට නොපෙනෙන එ’අතු පියසින්
දුක සැප බෙදා ගමි
අසල්වැසි තුරු හා රහසින්
ඉවසමි යළිඳු ඉවසමි
බදා තුරු බඳ
හිමි තුර නඟින දින එනකං
නොසිතමි වරදකැයි
රිසි ලෙස අතු බෙදුම
අතු අග කුසුම් ගැවසුම
සුව`ද සුළගෙහි විසිරුම
සෙනේ මල් මුවරද
මී මැසි සමනලූන් පැවරුම
ලිය වැල් වඩා නැළවුම
සරණක් අවැසි විහඟුන්
අතුතර කැදලිවල සැතපුම
දැනුවත් ය සඳතුර
මුල් ඇවිද ඇති දුර
අතු විහිදවිය යුතු සීමා ඉර
ලෝකය පුරා අද කිතු ගුණ සමරන්නේ
විෂ්මය ජනක උපතයි ඉන් කියැවෙන්නේ
දිලිදෙකු ලෙසයි ඔබ මෙලොවට බිහි වූවේ
නිහතමානි දුගී ලෙසිනි දිවි ගෙව්වේ
සාමයේ සංකේතයි ඔබ , ලෝකයේ ආලෝකයි ඔබ
කරුණාබර මිහිරි දහම් ඔබ දෙසුවේ
පව් පිරි යුදෙව්වන් නැත ඒ බව තැකුවේ
අදිරදවාදි රජකෙනෙකුයි උන් පැතුවේ
එනිසයි දෙවුනි කුරුසයෙ ඔබ දිවි පිදුවේ.
සාමයේ සංකේතයි ඔබ , ලෝකයේ ආලෝකයි ඔබ
දුක් වේදනාවෙන් ලොව වැසියන් පෙලුනේ
ස්වර්ගයෙ සැපත ඔබමයි පෙන්වා දුන්නේ
මැදියම් රැයේ කනිසම දැන් හැඩවෙන්නේ
බැති ගී සමග වෙඩි ගුවනට මුසුවෙන්නේ
සාමයේ සංකේතයි ඔබ , ලෝකයේ ආලෝකයි ඔබ
සාමයේ පණිවුඩය මුවගින් කියැවෙනවා
අඩවන් නෙතින් කරුණා මෙත් ඉතිරෙනවා
දෙවිදුනි ඔබේ රුව හදවත සනසනවා
දුක් ගිනි නිවා සිසිලස සුව ගල්වනවා .
සාමයේ සංකේතයි ඔබ , ලෝකයේ ආලෝකයි
22-12-2020
බොදු යෝනක සැමත්
වූවත් උගත් රූමත්
ඉසුරින් සපිරුණත්
කොරෝනාවට නොවෙති වැදගත්
පොහොට්ටුව අලියෝ
සීනුව හංස ලොලියෝ
වැඩ්ඩු කම්මැලියෝ
එකම මුඩු සම බිම වැලලියෝ
සිය පින් සිරින් සරු
සත මෙන් අමුම අමු හොරු
නිසදැස් සදැස් කිවිවරු
කාට කාටත් පොදුයි මේ මරු
ගුවන් නැව් ගිලිලා
පුදබිම් අගුලු වැටිලා
මකුලු දැල් බැදිලා
ඇතේ අබරන ඔපය සිදිලා
වසරකින් දෙකකින්
ගැලවී ඇතොත් නිදුකින්
බලා කැඩපතිකින්
දකිමු අප එක මිනිස් වෙසකින්
හෝරා දෙක තුනක් හිටියා
හොරණ බස් පෝලිමේ
දෙක තුනක් බස් යනතුරු
යන්න දුන්නා පිටුපසින් ආ අයට
එකම අසුනක් අල්ලගන්නට
යන්න කොළඹට
මුමුණ මුමුණා
සමීපව ඉඳගෙන
මාලතී මලක් වන්
මාලිකා මල එක්ක
ආකේඞ් උයන් තෙර
සුදෝ සුදට කැටයම් කළ
ආසන්න පුටු දෙකක වාඩි වී
ඇගේ නළලත අලකරොද
මගේ සුසුමින් සසල වෙද්දී
‘මිල්ක් ෂර්බට්’ එකක් අරගෙන
බිබී එක ‘ස්ට්‍රෝ’ එකෙන්
විඳි මිහිර
විඳින්නට බැරිය අද
වැසී ඇත සොඳුරු වත
මුදු සිහින් සිනා පොද
ඇඳුණු රත් දෙතොල් පෙති
රුදුරු මුව වැස්මකින්
දුරස්ථභාවය
හෙණපථය පාත් වී
අපෙ මධුර මිලනයට!
අම්මේ බෙහෙත් පෙති
වෙලාවට බීවාද
තාත්තා වෙනදා වාගේම
නිවුස් බැලුවද
ගින්න නම් බ්ලු මවුන්ටන්වල
තාම ටික ටික ඇවිලිලා යනවලු
අපේ පැත්තට එහෙම කරදර
නැම කියල මම ඉතිං කීවනේ
මද්දුමී ඊයේ ගෙට වුනා අම්මේ
උඹ හිටියනම් තමයි පුදුමේ
හෙට උදේ ඉස්කෝලේ යනවලු
හවස ස්ටේ ඔවර්ලු කොහේදෝ
ගෙවල්කුලී උන් ගෙනත් දුන්නද
වෙනද වාගේම කොහෙද කැඩුනේ
මුන්ගේ වැඩ අහවරක් වුනහම
නාමලී ගමටම එනවා කිවේ
කොහේ එන්නද හරකි වාගේ
සුමේ කරනවා මුන්ට කැපවී
දේස පාලුවෝ ඔහොම කනකොට
එන්නවත් රටක් තිබුනෝතින් පුදුමේ
මහ ගෙදර ඔක්කොම හිටපු රූපේ
එච්චරයි සන්තකේ තිබුනේ
ඕක දැකලා ඇබෝ පවුලක්
වගේ කියලා පොඩ්ඩි කිවේ
ලොක්කි බෝයි ෆ්‍රෙන්ඩ් අරන් ආවේ
කාමරේම්යි උන්ගේ හාදේ
ලියුම් කරදහි පලහිලවුවේ
පිට ඇදුම් කැහැටි තවම සිහිවේ
අපිත් එක්කලා බැරිලු වාසේ
යුනිය ළඟ ෆ්ලැට් එකට ආවේ
මුහුණු පොතේ පින්තුර වාගේ
අපේ ජිවිත සොඳුරු නැනේ
උඹත් එක්කල පිදුරු මඩුවේ
හිටිය නම් මම තාම සුවසේ
අනේ අම්මේ ඊයේ හවසත්
කඳුළු කැටයක් බිමට වැටුනේ
28-12-2020
(ප්‍රියන්ත අප වෙත එවූ කවිය ඔහුගේ ෆේස් බුක් පිටුවේ කළින් පළ වුවකි.)
පිස්සෙක් තරමටම සිනමාවට ළගය
මතකෙට නැගේ නරඹපු පික්චර් තොගය
ඒවා බැලූ ශාලාවල ඇති අගය
කවිකර කියන්නේ අද එහි වගතුගය
හා හා පුරා කියමින් නොගහා පස්ස
අහුලං හොරෙන් රුපියල් පහලොව විස්ස
තනියම වගෙම ගැන්සිය සමගින් බැස්ස
ටවුමෙම තමයි නිව් දර්ශන අකුරැස්ස
කොලු කාලෙම බැලූ චිත්තරපටි බෝය
ලිස්ට් එක එකින් එක දැන් මතකෙට ඒය
ටියුෂන් යද්දි වැළඳුණු සිනමා ගාය
සුව කළ තැනක් නම් මාතර එස්.කේ.ය
නරඹපු තැනකි සැපටම සිනමා පටියක්
මාතර බ්‍රෝඩ්වේ තනි සළරූ පිටියක්
දැන් එහි ෆිල්ම් නැරඹීමට නැත හැටියක්
ඇත්තේ එතන මේ වෙනකොට ෆුඩ්සිටියක්
නිව් සිනමා කියා කියලා නම් දාපූ
මාතර හෝල් එක අප හැම පිනවාපූ
ගැලරියෙ අපිත් නළුවන් ලෙස රඟපාපූ
කෙල්ලන් අදත් මතකයි තනියට ආපූ
ඇවිදින් මාතරින් නැවතී කොළඹ රටේ
බැලුවේ චිත්‍රපටි ඉන්පසු හැටට හැටේ
විස්තර ලියන්නට බෑ තනි පොතක පිටේ
සිනමා හෝල් ගැන ගිය අගනුවර වටේ
නැශනල් අනූෂා යන ඒ හෝල් වැනී
තැන්වල ෆිල්ම් ඉස්සර ඇත ඇඟට දැනී
ළගකදි දාපු ඇමිටියෙ තියටරය මිනී
දැන් දැන් මහරගමදී පෙරමුණට පනී
යන්තං පැය දෙකක් ලැබුණොත් ඉතිං ඉඩ
දිව්වේ කරන අතරත් අපි නොයෙක් වැඩ
සමහර ෆිල්ම් නම් බැලුණේ කඩින් කඩ
මෙට්ට්‍රෝ කුවින්ලන් හුරු තැන් නුගේගොඩ
බලන්නට ගිය ෆිල්ම් නොපෙන්නුවවිට කොස්ස
වැඩ කරන එවුන්ටත් කැපුවෙ එවෙලෙට දෙස්ස
කොතෙක් කෑවත් මකුනො පුටුවෙ ඉදලා පස්ස
ගිහින් අපි නැරඹුවා ඕඩියන් ගල්කිස්ස
ටැමිල් නම් මූවි එක කොලිවුඩ්ම මූඩ්ය
පමාවී ගියොත් හෙම සිහිවෙන්නෙ ගෝඩ්ය
චිත්‍රපටි නරඹන්න යායුතුම රෝඩ්ය
දෙහිවලදි ෆිල්ම් නම් ඉතිං කොන්කෝඩ්ය
යන්නට එහෙම හිතුනොත් වැල්ලවත්තට
රොක්සිද සැවොයි තියෙනව නේද ඇත්තට
පිරුනත් එදා මේවයි සෙනඟ රොත්තට
මොනවා වෙයිද දන්නෑ ඉතිං මත්තට
විස්තර සොයා පෙන්නන සිනමාපටියේ
ගොස් අපි පෝලිමේ සමහර දින හිටියේ
තනියම ගියොත් සීතල මැද කිටි කිටියේ
නැරඹුවෙ මැජෙස්ටික්වල බම්බලපිටියේ
කොලිටිය අතින් මේකත් මුල් තැන ගත්තේ
කවුරුද චිත්‍රපටි මෙහි නරඹා නැත්තේ
ඇත්තේ කොල්ලුපිටියේ හංදිය පැත්තේ
කිව්වම ලිබර්ටිය කවුරුද දන්නැත්තේ
තියටර් අතර තියටර් එක මෙසිරිලක
රීගල් කිව්වොතින් තාමත් අංක එක
තිබුණත් චිත්‍රපටි ශාලා රටෙහි නෙක
මේකෙන් නරඹලා නැත්නම් තමයි දුක
හෙව්වොත් කොටුව නම් සිනමා පුරානෙකී
තිබුණා චිත්‍රපටි ශාලා මෙකී නොකී
මේවන වට ඉතිං ඒවා නැතත් රැකී
යන්තං එකක් බේරී ඇත නමින් රිකී
මේවට ගිහින් සිනමාවෙන් වෙමින් තොසා
ආවේ නරඹලා පොඩි අඩියකුත් ගසා
ඒ තැන්වලට ලබලා දැන් නරක දසා
ඇත ඒ බාර් මේ වෙනකොට හුඟක් වසා
ඉඩෝරයෙත් සිනමා මල් පිපුණු වටේ
ෂැඩෝ පවා එකිනෙක මතකයට වැටේ
අඩෝ කියන තරමට ළඟ කොළඹ අටේ
ලිඩෝ නමයි රැඳුණේ හැමදෙනගෙ කටේ
තියෙනව රිට්ස් නමින් තවෙකක් බොරැල්ලේ
ඇත්තේ බාර් එකකුත් එම තුරුල්ලේ
රිංගුවෙ ඒකටත් ඉදහිට සෙවිල්ලේ
තිබුණත් මුඩුම ගතියක් ගොඩනැගිල්ලේ
මරදානටත් සිනමා හිස්ට්‍රියක් ඇත
ලියවිය යුතුයි කොහෙ හෝ එම පුරාවත
සිනමා හෝල් දැන් නම් එහි හුඟක් නැත
අද නම් ගාමිණී බස් නැවතුමකි පුත
තියෙනව තවත් ගොඩවුණු සිනමා ශාලා
සමහර ඒව නම් අද වහලම දාලා
ඒකෙන් පෙනෙන්නේ ඉන්ඩස්ට්‍රියෙ ලීලා
වගකිවයුත්තො ඇත සිනමාවම කාලා
ඔබටත් කතා ඇති මේ ගැන රසබරම
ඒවා ලියන්නට ඔබ හට දෙමි වරම
සිනමා හෝල්වල සැප අරගත් තරම
කරමුද කමෙන්ට් අමතක වෙන්නට පෙරම
භීතිය කඳුළු පිරි දෙදහස් දහ නමය
කෝවිඩ් වසංගත මරු වැඩි කර ජවය
සටනට එක් වුනා ළඟ එන්නත අවිය
පතනෙමු සැවොම අප මනුලොව වෙත සුවය
ෆයිසර් බියොන් ටෙක් සටනේ පෙරමුණ ට
මෝ- දෙර්නා සහයෙන් වෙනසක් නොකොට
ඔක්ස්ෆඩ්- අස්ත්‍ර ළඟ දී එක් වෙයි ගජට
ජය සිකුරුයි ඉවසමු සුරැකිව එකට
වෙන්වුණු දෙමාපිය දරු මිතු එක් වෙනවා
සෙනෙහේ සිනහ මුසු මුහුණින් සිත් පිනවා
දියුණුවේ මඟට දන නැවතත් පොරකනවා
මතුවූ ගුණ දහම් යලි වැළලී යනවා
26-12-2020
කැමැත්තක් ඇති නමුත්
මගහරින්නට නොහැක
දරු උපත සැමරීම
එකට දුක් විඳි කමට
සතුටු හිතුනත් හිතට
පිටට පෙන්විය නොහැක
සැඟවීම පහසු නැත
දරු පෙමක බැඳි සතුට
පැටව් සම්පත අහිමි
මූසලම යුවළ ලෙස
වඳිද්දී සායනය
ඇයත් විය පෝලිමට
වඳ පවුල් දෙක එක්ව
එතැන් සිට නිරතුරුව
නිසරු සායනය ළඟ
කාලෙ මැරුවෝ සැපට
දිනක් පෙරමඟ ගියේ
වැස්ස හින්දයි රැයක
නිකං වත් හිතුනෙ නෑ
සරු උනේ ඇගෙ පිනට
28-12-2020
අලවන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුළුවන් වයසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉඳි දෝ නොබැසා
සිත අලවන්නා වූ කම් සැපතෙහි රසයක් නැත.
එහි ඇති දොස් විමසා දැක පුළුවන් වයසේ දී
තපසට යා යුතු ය. ගස උඩ පල රස විඳිමින් සිටින
මිනිසා එම ගස මුලින් කපන තෙක් ගසින් නොබැස
සිටී ද?
ඈ මා හට කීවාය ;
"මට තේරුම් ගන්ට බැහැ
පුංචි පුංචි,
නොගිනිය හැකි දේවල් වලට
ඔබේ ඇති නොහිම් ආශාව "
අහෝ....!
මා හට කිසිදු දිනෙක ඈ හට පෙන්වනු නොහැකි වෙයි
මගේ හදවත "අයස්කාන්ත කම්පනයෙන්" පෙලන ලද
මෙවන් පුංචි, නොගිනිය හැකි සේ ලොවට පෙනෙන
අල්ප දේ තුල ඇති අනල්ප අසිරිය....!!!
මොනවාද ඒ අල්පව ලොවට පෙනෙන,
මට මහාර්ඝ සම්පතක්ව පෙනුණු දේවල්....?
කමා කොට අසනු මැන ...!
විසල් පුලින තලාවෙක, වාලුකා පදාසයක
මුහුදු ලිහිණියෙකුගේ සිහින් පා සටහන්...!
හිමේ ගී ගයන රතු විල්ලුද පලසක් බඳු පපු තලයක් ඇති
රොබින් කුරුල්ලෙකු බඳකින් බිමට වට
සුසිනිදු පියාපත ....!
රතුම රතු, පච්ච රතු රෝස මලෙක
පහල ගර්භයෙහි වැඩෙන
අසිරිමත් පරාගධානිය ....!
මුහුද, අහස මේ කොහිත් නැති
අමුතුම නිලක් තවරාගත් 'ස්කෙබියස් 'මලක
දම් පෑ මුසු නිල වර්ණය...!
නිර්මල හිම කැටියක මහිමය....!
තුරු පතෙක දිදුලන
පිනි කැටයක ගුප්ත වර්ණය....!
මීමැසි බඳක දුඹුරු කබායෙහි විල්ලුද වයිරම...!
පොලෝ යට දවසරින
විල්ලුද බඳක් ඇති
මෝල් නම් අහිංසක සතෙකුගේ
රෝස පෑ සුමුදු දෙපා...!
පරෙවියෙකු ගෙලෙහි හා උගුරු පෙදෙසෙහි
විජ්ජුලතා නටවන ඉර එලිය...!
අළු පෑ ගෙලැ'ති
නිල්මිණි නෙතැ'ති
'වුඩ්වුඩ් රෙන්" විහඟ කැදැල්ලක අභිරහස් සිදුරු තුළ ඇති ආදරනීයත්වය...!
පලා පෑ වදුලේ නිවසන කැලෑ මී පොව්වෙකු පලා යන හුරතලය...!
රෝස මලෙක, මල් පෙත්තක
අසිරිමත් චක්‍ර රේඛාව...!
කළු කුරුමිණියෙකු පසු පස දිදුල
දීප්තිමත් රක්ත - කාල වර්ණ මුසුව...!
පට නූලෙන් වියමන් කළ වැනි
වරා මලෙක සුසුදු දුහුල...!
ඉර එලියක පෙරැළෙන සයුරු පෙණ කැටියක රැඳි සුසුදු පුල්ලිය...!
තඩාගයෙක දිලිසෙන දුඹුල් තෙතබරි බොරළු කැට...!
අහෝ අහෝ ඈ කිසිම දිනෙක
නොදකිනු ඇත...
ඈට නොවැදගත්ව පෙනෙන මේ පුංචිම පුංචි දේ වල රැඳි
තුමුල, තේජාන්විත, අයස්කාන්ත අසිරිය...!
එංගලන්ත කිවිඳිය Theresa Hooley ගේ LITTLE THINGS නිර්මාණය ඇසුරිනි
"මහණෙනි,
තව සිව් මසකින්
තථාගතයින් ගේ
පිරිනිවීම
වන්නේය"
පැතුරිණි ලැව්ගින්නක් සේ
මෙපුවත
සැණෙකින්
දඹදිව් තලය පුරාවට
හඬති වැලපෙති
පුහුදුන් භික්ෂූහු
ළය අත් ගසා
අන්ද මන්දව
කුමක් කරමෝදැයි..!
සිටියි එක් භික්ෂුවක්
සන්සුන්ව
යෙදී භාවනාවේ
එක රුක් සෙවනක
"පෙනේද ඉන්න හැටි
කරබාගෙන,
හිතක් පපුවක් නැද්ද
බුදුන්ගෙ
ලෙඩ බලන්න
එන්නෙ නැද්ද? "
තෙල් මල් සුවඳ දුම්
කැවිලි පෙවිලි අට පිරිකර
ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට
කර පින්නා ගෙන
ආමිස පාර දිගේ
වැල නො කැඩී වැඩම කරති
පුහුදුන් භික්ෂූහු
සැවත දෙව්රම් වෙහෙරට!
"භාග්‍යවතුන් වහන්ස,
අර ධම්මාරාම නම
කොච්චර පෙරැත්ත කළත්
ආවෙ නෑනේ
ගිලන් ඔබ වහන්සේ
බැහැ දකින්න
අපි නං කන වැකුණා විතරයි "
"එසේද මහණෙනි
පිළිවෙතින් මා පුදන
ඒ භික්ෂුව
බුදුන් නො දුටත්
දුටුවා සේය"
"ආමිසෙන් මා පුදන
තෙපි
බුදුන් දුටුවත්
නො දුටුවා සේය".
අබුද්දස කෝළම , රාජ කපුරු වැනි අතිශය ජනප්‍රිය නාට්‍ය ලියූ සිරිසේන ප්‍රේමලාල් මහතා අප අමතන විට සිටියේ බුදුන් වඳිමින් ය. එ නිසා ඔහුගේ පුත් ජනක් ප්‍රේමලාල් සමඟ කතා කරද්දී ඔහු පැවසුවේ තම පියා හොඳ ශරීර සුවයෙන් 91 වන විය පසු කරමින් සිටින බවයි. අපි සිරිසේන මහතාට දීර්ඝායු ප්‍රර්ථනා කරමු.
පුරාණ ගමේ වැදගත් තීන්දු ගනු ලැබූවේ මොහොට්ටාලලා, ගමරාළලා , විදානේලා වැනි ගමේ ප්‍රභූ පන්තිය විසිනි. ගමට අයිති වැවෙහි වතුර කුඹුරු වලට ලබා දිය යුතු ආකාරය තීරණය කරන්නේ ඔවුන් විසින් පවත්වන ලද සභාවක දීය .මුලින්ම වතුර දෙනු ලබන්නේ පරවේණි ඉඩම් ලෙස සැලකෙන මහා වෙල් පන්තියටය. දුප්පතුන්ට හෝ අඩු කුලයේ අයට පහළ වෙල් පන්තියේ කුඹුරක් තිබෙන්නට පුළුවන. නමුත් ඒවාට වතුර ලැබෙන්නේ පරවේණි ඉඩම් වලට වතුර ලබා දී ඉතිරි වුවහොත් පමණි. ඉඩෝර කාලවලදී ගමේ අහිංසකයන්ට මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට සිදුවේ.
ගම කරවන ගොල්ලන්ගේ සබාවේ
විදානෙලා ලොකු දේවල් කතාවේ
මැළවී ගොසින් ඔබ ආවේ මද්දහනේ
කතා නැති නමුත් දෑසේ කඳුළු දිලේ
පොල්කටු දෙක තුනක පැන් හිස් වුනා නමුත්
බත් පත නො අල්ලා හෝරා දෙකක් ගිහින්
නුඹේ හීය රැඳුනු එළිපත්තේ වරිච්චියෙන්
කඳුලක් හැලුනු නැති එක පුදුමයක් ඉතින්
අප්පච්චියේ මහ උන් මොනවද කීවේ
බැරි තැන පොඩි එකී ඇසුවා හීන් සැරෙන්
මේ කන්නෙටත් දිය නොලැබෙන හැඩයි දුවේ
මහ වැව අයිති උන්ටයි පොඩී අපට නොවේ
අහසත් ගිනි ලන්නෙ අපෙ පැල් කොට වලට
වැහි දිය පොදක් දුටුවේ නැහැ කල්පෙකට
අඩු කුලයෙ උන්ට විතරද මේ වින්නැහිය
මොනවා කරන්නද පූරුවෙ කල පවට
ලෝකයක් පාමුලෙහි ලෝකයක් තැනූ නුඹ
ආදරේ කුමක්දැයි කෙඳිරුවා බදාගෙන
අන්දකාර වූ ලොවට සිසිල දුන් සඳ එලිය
නුඹ මගේ වස්තුවයි නිමක් නැති ආදරිය
ආදා පටන් තුරැලට යස ඉසුරු පිරී
සංසාරෙ පුරාවට ලග රැදුනු සුරතලී
ටිකෙන් ටික ලොකු උනත් මගෙ පුංචි ලමිස්සී
අම්මාට තාම නුඹ දඟකාර සමනලී
ඉඩෝරයෙ මල් වැස්ස නුඹයි මට හැමදාම
සීතලට ගුලිවෙලා තුරුළු උන මල් කැකුල
මගේ ලොව ගිණි නිවූ සුර දේවතාවිය
නුඹ මගේ පණ නලයි සිත සැනසු වන්දනාව
19-12-2020
අරගෙන ඇවිත් මුව තුළ පුරවා අහර
දුන්නේ අපට නුඹ නොවිඳම එහි මිහිර
ඉදිකර කූඩුවක් ඉහලම අතු අතර
රැක්කේ ඉඩනොදී වන්න්ට අපි ගොදුර
තනි වනු නොදී පියාඹාගෙන එනු දැක්ක
හරි මග කියාදී මින් පෙර නොම දැක්ක
අවුරුදු ගණන් දුර සිට අප ගැන දැක්ක
තාත්තාද රාජාලිය මම දැක්ක
සිහිවී මොහොතකදි ඔබ ගැන අද දවසේ
කඳුලක් ගියා බොඳවීගෙන මගෙ දෑසේ
පියඹා එන්න යළි ඩිංගක් දකින ලෙසේ
මං සළකුණු නැතිද ඔබ ඉන්නා ආකාසේ
හුස්ම ගන්න බැරවේදෝ යන බියට
නැහැ පස් මිටක් දැම්මේ මම ඔබෙ වලට
මතු යම් දිනෙක මා එන විට ඔබ ළඟට
එනවද තාත්තා මම එන පෙරමගට
27-12-2020
He cannot look out, but imagines
birds dancing in the sky
He cannot hear but remembers
Bethovan's 9th
being played in the Opera House
Stares blankly at the empty ceiling
surrounded by bare walls
twenty hours a day
Colder than Antarctica
hotter than Sahara
Impersonal glances
hatred palpable
humanity a trick
almost forgotten
Deprived of freedom
evidently to protect the civilised society
that pushed him to the point of stealing
from the civilised society
which could not feed him for four days
A wise jail mate said to him
his crime was getting caught
everyone out there steals
May be not sausage and cheese
ඕම් ඪහ
හුං
නාලාගිරි
හෙයි ඕං
තෙථ්තෙ ස්වාහ්ං....
කන් කොටා
තනි දලා
නියපොත්තා
ආගිරි ගසා
දනබිම ගැස්සූ
සියාතු මාමා
අද
දවල්
පැදුරෙම
මළා
ලේ වමනේ දමාගෙන
මාපිල් පැටියෙක්
සුලඟිල්ල
කාලා
නිවන් සුව ලැබේවා!
28-12-2020
පතොක් කටු ගනිත පාඩම
මොලොක් රත් නෙළුමක් කොට
නෙලාදී මගෙ දෝතට
සුදු නෙළුම යයි හෙට දුරු රට
දහතුනේ අක්කලා තරම්වත් නොමේරූ
ගුරු පීඨයෙන් පුහුනුවට ආ මුවැත්ති
සුදු නෙළුමක් වගේමයි ඔබ
මුළුමනින් විකසිත නොවු
සමමිතික සහ සරල රේකා මතුකර
රත්පෑ දිගු ඇඟිලිතුඩු ඇලකර
වුර්තය නම් සඳමැයි සැකහැර
කුරුටු ගෑවෙ ඔබයි සිතතුල
පිරමිඩ චාප සමාන්තර රේකා
කළු ලෑල්ලට වඩා ඔබේ සියොළඟ
ගනිතය සැලලිහිනි සදෙසක් කොට
නො එන්නම යයි ඈ දුරුරට.
28-12-2020
හිමයේ ගොසින් මල් යහනක නිදන වද
කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද
දුරුතු සිහිල මැද අරුණේ හිරු දෙවිඳුන් එබෙනා
නැඹුරු වෙමින් අවදිකරන් මිහිලිය මුව සිඹිනා
අඳුරු බිඳී එසැණ ලොවම එළිය වැටී සොබනා
මියුරු සිනා රැළි අතරින් නව වසරක් ලබනා !
කිතුළේ කුළුඳුල් මල පූදින්නා
තෙලිජ්ජ රස මතකයට නැඟෙන්නා
මං ගස් නැඟ මල කෙසේ තලන්නා
පිදුණු මල දැන් සුළඟේ වැනෙන්නා
නිමිත්ත: හැමදාම නින්දට පෙර අපේ ගෙදර බැල්කනි එකේ සිට අහස බලන මට, ඊයේ දකින්න ලැබුනේ දැඩි සඳ රැස් වලින් එළිය වුනු, සමීප, 'කුඩා' අහසක්.
සඳ පායා ඇති
පසළොස්වක අහසේ
රසපරමවාදී
විඥාණවාදයේ
සොඳුරුබව එපා මට.
විශ්වයේ තිතක් වන්
අපගේ නොවටනා ලෝකය
පසුපසින් පැමිණෙනා
පුංචි මළ ග්‍රහයෙකු මත
පරාවර්තිත
දුබල ආලෝකයෙන්
නොසඟවනු මැන රාත්‍රිය.
පැස්කාල් බියෙන් තැති ගැන්වූ
කාන්ට් විශ්මයෙන් ඇළලූ
අඳුරු අපරිමිත විශ්වයේ
නොනිමි තාරකාවන් පිරුණු
බිහිසුණු
නිහඬ
හුදෙකලා
අමාවක අහස මට දෙන්න!
හේගලියානු,
ලෝකයේ රාත්‍රිය මට දෙන්න!
ආදරය කියන්නෙම
තිත්ත ගණ කළුවරක්
බිසෝ මාලිගාවම
සහලවන වෙව්ලුමක්..
හීන් කෙඳිරිලි වලට
තිබුණෙ නැතුවට ඉඩක්
නොතේරුම්කමට හරි
මට රිදුන එක සැපක්..
ගෑණුකම රජුන්ටත්
බලෙන් පුබුදන මලක්
පල්ලෙවාහල උනත්
දැනන් උන් ඒ වගක්..
හැන්දැදුර හේවිසිය
ඇහී නෑහෙන රැයක්
රන්දෝලි කියන්නෙම
කඳුලකට තව නමක්..
ඉතින් පෙම්බරයාණ!!
ආදරය කියන්නෙම
දවාලෙත් කළුවරක්..
අතීතේ රස රහස්
දුර ඈත රන්දා
මගෙ හිතේ පතුලේ ම නැංගුරම් ලා ඔබ හැංගිලා
ජීවිතේ කොතන හරි හැමදාම ඔබ ඉන්න හින්දා
ඒ මතක නින්දා
කොච්චරක් නම් මං ඇහින්දද මන්දා ?
ඔබ නැතුව මා සතුව
අමන්දානන්ද මල් පිපෙන හින්දා
හිත හිත හිතට මල් සුවඳ කැන්දා
අපි දෙන්නා ආයෙමත් ආදරේ කරනවද මන්දා ?
අමාවක රැය පුරා පුර පෝය පායලා
සයනාසනේ සතපලා හඳමූණ රස කළා
තුරු මුදුන් හිස අත ගගා
මල් පිපේදැයි අස අසා
කොයිතරම් කස්තිරම් ඇල්ලුව ද
අත්තිවාරම් පවා දියවෙලා
අපි දෙන්නා ආයෙමත් ආදරේ කරනවද මන්දා?
දෙතොල් පෙති මුවහතින් පණ පොවා
පයෝදර තුඩු හිවුඩු ඇහැරවා
ෆලූඩා රස මිදුණු රෝස පෑ ගල්වලා
පපුව මැද අත හිත තියා
ආදරේ උහුලන්නෙ හිත ඇතුලෙ ගුලිවෙලා ගල්වෙලා
අපි දෙන්නා ආයෙමත් ආදරේ කරනවද මන්දා?
මිතුරුතු මෝ දුක සැප දෙකෙහිම පැවතී
බිතුසිතු වම් රූ මෙන් පිටු නොපා විතී
යුතුමතු වැඩ ම තෙපල එවැනි ගුණ ඇතී
සිතුනතු කර අස යහළුව වඩන රුතී
මිතුරුතුමෝ (උතුම් මිතුරෝ) දුකෙහිදී ත් , සැපෙහි දීත් එකසේ පිටුනොපා සිටිති.
ඒ බිත්තියෙහි ඇඳ ඇති සිතුවම් පරිද්දෙනි. එ වැනි ගුණ ඇති මා මිතුර,
මතුවට ඉතා වැඩදායක වන, මේ මා දැන් පවසන වදන්, සිත යොමා හොඳින් අසන්න.
Delightful friend, you stay with us both in adversity and prosperity, like frescoes that never turn their backs. Now, hear diligently my words, which will bring future prosperity.
පබඳ කිවින් බැඳි කව් රසෙහි විසිතුරු
සබඳ විදු දනෝ පළ කෙරෙති දියතුරු
නොමඳ රසින් දිවයුරු පොබයයි තඹුරු
සුවඳ දිග ත විහිදයි හමන මඳ මරු
ප්‍රසිද්ධ කවීන් පල කරන ලද කවි රසය මිතුරු ජනයා විසින්
ලෝකය පුරා පතුරුවා හරිති. එය සුර්යයා තම
රශ්මියෙන් නෙලුම් මල් පුබුදු කල විට, හමන සුළඟ
විසින් එහි සුවඳ දසත පතුරුවන්නාක් මෙනි.
(නීතියේ ගෞරවය රැකීමට වරද පොඩි වුවත් දඬුවම් දෙයි - පුවතක්.)
තාත්තගෙ නම ළඟින් හිස් තැනක් තිබුනාට
චන්ද්‍රසෝමේ කියයි උප්පැන්නෙ විදිහට
හොර ඔප්පු හදා ගන්න බැරි උනේ කරුමෙට
ළඟම පාසල තමා ඌ ගියේ අකුරට
තාප්පය තිබුනෙ නම් ඇත්තටම අහසේ
බඩගින්නෙ සැර කමට පැන්නාද රහසේ
සමාවක් ඉල්ලන්න බැරි බවත් පැවසේ
නීතියේ ගරුත්වය මේ වැඩෙන් කෙලෙසේ
කාකි නිල ඇඳුම හා තරු පටිද බැබලුනි
නීතියේ දෙවඟනත් නෙත් පියා හිනැහුනි
අඹ ගෙඩිත් කඩාගෙන කළුවරේ පැමිනුනි
වැරදිකරු පුතු නොවෙයි මාය බුදු ස්වාමිනි
තුරුලට ඇවිත් යළි අම්මේ කියන්නට
ආසයි ඔබේ දෙපතුළ ළග වැටෙන්නට
එනමුත් නොහැක මට ඒ දෙය කරන්නට
එල්ලා මරනවලු මා හිමිදිරියේ හෙට...
මිය ගිය නිසා පියතුම මගේ අකාලෙට
අපමණ වෙහෙස වින්දා මා හදන්නට
තුන් වේලකම කුසගිනි මගේ නිවන්නට
එක වේලයි කෑවේ ඔබ මුළු දවසකට
අරක්කු විකුණලා චන්ඩියා වුන ගමට
මුදලාලිගේ ඇහැ ගියා ඔබේ ලස්සනට
කැරකුන නමුත් ඒ මිනිහා නපුරකට
ලැබුනේ නැහැ ඉඩක් ඔබගෙන් නම් ඔහුට
ආවා දිනක් ඔහු ඔබ ගත බිලි ගන්ට
හැඬුවා පොර බැදුවා ඔබ අසරණ කමට
මේ වගේ දෙයක් සිදු වන විට අම්මෙකුට
ඉවසා සිටිය හැකිවෙද කිසි පුතෙකු හට
ගත්තා පොරව මම ඇතිවුණ කෝපයට
දුන්නා පහර මුදලාලිය මැරෙන්නට
ණය නැහැ අම්මේ ඔබ මට පෙව් කිරි වලට
සන්තෝසයෙන් යමි හෙට එල්ලුම් ගහට..
22-12-2020
නොමවන පැරණි ගඟ දෙබවූ නා මිණිය
වදකහ සුදිය කාළිගෙ කෝවිඩ් පැණිය
රැවටෙන දනා පෙන්වයි ජාතික ධනය
මිසදුටු බවින් අප ලෝකෙන් පළවෙනිය
22-12-2020
පියඹා ගොසින් යෞවනය - යලි නොඑනා ලෙසින්
වියපත් වූ අපෙ යෞවනය -මැකිලා ගොසින් -නොඑනා ලෙසින්
සිඳී ගිය දිය පාර සේ වෙරළේ - වියැකී ගොසින් - නොතිබූ ලෙසින්
නිල අහස් තලේ පැයු දේදුන්නක් සේ බැබලී
කළු වළා ඇවිත් එය කැ ඳවා ගොසින් අප සැමටත් හොරෙන්
කැඳවා ගොසින් - යලි නොතිබූ ලෙසින්
පෙති ගිලිහ ගිය මලක් සේ - හිඳි ගිය විල් තෙරක් සේ
නෙතඟ රැඳී කඳූලැළිවගේ - තණ අගරැඳී පිනිබිඳු වගෙ
වියැකී ගොසින් - යලි නොතිබූ ලෙසින්
කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මුදු අපෙ ඒ යෞවනේ
කී වද නොකීවද හඬ ගා - ඇසෙන්නට ලොවට
පියඹා ගොසින් යෞවනය අපෙ - යලි නොඑනනා ලෙසින්
පියඹා ගොසින්- එය යලි නොඑනනා ලෙසින්…………
30-12-2020
මචං සමරේ වරෙං එලියට … අපේ සෙට් එක කලිං ආවා
උඹේ බැට් එක මටත් දීපං … පොඩ්ඩා පොලුටික අරං ආවා
තිලකෙ උඹ ඇඳපංකො ඉරි ටික … උඹත් එක්කම අට දෙනයි
ඕං අද ගස් කැච් ඔට්ටු නෑ … ලිඳ උඩිං ගැහුවොත් හයයි
නීති හදලා නීති නවලා … සෙල්ලමට අපි සෙට් උනේ
රට හදන උං වෙලා අද අපි … පරණ ගේමම ගහන්නේ
ලතා සෙලවෙන ඇසිල්ලේ
බඹරු හැම තැන සොයනවා රොන්
ගන්න මල් පැණි කුමරියේ ...
විසල් අහසට දරාගනු බැරි
වේදනා මහ පොලොව සේ...
නිමා නොවනා ගිණි කන්ද ලෙස
පුපුරවයි දුක පපුතුරේ...
සදා විඳවා ගැරහුම් ම ලොව
බිහි කරයි සඳ නාරියේ...
දරුපෙමට වුව විඳවන්නේ කිම
කඳුළු සඟවා රැජිනියේ
පුරා පැහැබර සඳට කීවට
නෑසුනා සේ සිටින්නේ...
මලක මොළකැටි සියුම් පෙති මත
ලියයි ගීයක් ලියන්නේ...
අමුණන්න ඒ කඳුළු කැට ගෙන
සවියක්ම වී නුඹ ගෙලේ
නැඟිටින්න අත දෙන්න කුමරිය
ඔබයි ඇරඹුම විශ්වයේ...
කවියක් එවන්නැයි ආරාධනා කල විට වසන්ත තෙන්නකෝන් මිතුරා වට්ස්ඇප් මඟින් කවියක් එවීය.
විල්සන් හෑගොඩ අතකස සරසවිය
තෝතැන්නක් වීය වැනුමට කවි අවිය
මාපිය උරුමෙනුත් ලද කවි බල සවිය
සමඟින් අනුර වපුරයි ලන්ඩන් කවිය
එහි මගේ නම සඳහන් වූ බැවින් ඔහුට උත්තරයක් ලියා යැවීමි
තෙන්නෙ ගෙ කවිය නම් හොඳ හැටියට රසය
වැඩියෙන් මගේ නම දැමු විට එය වසය
ඔබ සතු වී තිබේ හොඳ කවියට බසය
එවනුය කවි දෙකක් ලැබුණොත් සිත තොසය
ඔහු එයට උත්තරයක් එවීය
ඔබ නම පළ වුණේ එක කවි පදයකය
විල්සන් හෑගොඩ නාමය ලොව සතුය
ඔහුගෙන් පදුල වූ කවියන් දස අතය
ඔබ ඉන් එකෙකු මිස එබැවින් නොම වසය
මෙය පළ කරණ බව වසන්ත දන්නේ නැත.
20-12-2020
අල්මාරියේ තියන්
හොරෙන් ඉඳ හිට බලන
නො එන බව නොකියා ම
ඔහු යන්න පෙර ගත්ත
සන්තකේට ම තියෙන
එකම එක පින්තූරෙ
දුව අතේ එවනවා
අපි තුන්දෙනා ඉන්න
කෙට්ටුවට ලස්සනට
දිග කොන්ඩෙකුත් එක්ක
ඉන්න ඒ කෙල්ල මම
එපා සැකයක් ගන්න
"පවුලෙ පින්තූරයක්
වෙන්නෙ කොහොමද මේක"
සැරවෙන්න කලින් එක
මොහොතකට ඉවසන්න
ලෝකයට නොපෙනෙන්න
පින්තූරෙ එක තැනක
ඈ ඉන්නවා කියා
දුවට කියලා දෙන්න
1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එයට එරෙහිව මත සමාජ ගත කරාවිය යන උපකල්පනය කළ ආණ්ඩුව සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා තබනු ලැබූ අවස්ථාවේදී , එහි බිත්ති පුවත් පතෙහි පලකළ කවියකි.
රුසියන් ඔක්තෝබර් විප්ලව සැමරුම නිමිත්තෙන්... පබඳින ලද්දකි.

ඔබ වෙත
නැත
ඔබ වෙත නොව.....
අරමුණකින් තොරව
ලියවුණු මේ කවි
මතු දිනෙක
පොත් හලක රාක්කයක දී
ඔබ නෙත් හමුවනු ඇති
ඔබ මතකයේ
මිය ගිය මා
මෙය ලියූවා කියා.....
ජීවිතේ එක් යුගයක
කාලයේ වැලි තලා මත
වියැකුණු පා සටහනෙක
තිබූ බව මේ කවි
ඔබ මතකයට එනු ඇති....
කොළ හැලුුණු දින පොතක
දුර්වර්ණ පත්තර පිටුවෙක
පිළිස්සූ පෙම් පතෙක
බොඳව ගිය මේ කවි
ඔබ මතකයට එනු ඇති.....
විකුණන්න තිබුණාට
එපා වළ දැමූ අතීතය
මිලදී ගන්න.....
නමුත්,
එකදු හෝ කවියක්
මදක් නැවතී කියවන්න
මතකයේ අවදි වන
සෝබර අතීතය
නැවත පොත තුලම හකුළා
තුබුණු පරිදිම තබා
එදා වාගෙම
ඔබ සෙමින් පිටවී යන්න.....!
- නිහඬ තණ පතකි මම' කාව්‍ය සංග්‍රහයෙන් (2008)
කාලය මට
මතක් කර දුන්
වැහැරුණු අතීතයක
පරඬල්
හැඟීමක් නොදැනෙන
ගිලන් සිත තුල
වැතිර සන්සුන් විය
එදවස සොඳුරු
සිහිනෙක
ඉරිතැලී ගිය
මතක සිතුවම්
සොයයි නිරතුරු
චායාවක්
විසිර යන දුමාරයක
ඒ ඔබ විය හැකිය
එහෙත් ඒ
මතකයෙන්
දැන් කිම පල
සකිසඳ මහද ගඳකිලියක් වී නුඹට
සැලමුතු නුගිනුරා සැමකල ඔබෙ නමට
ලංවී තව තවත් පෙම පිරි හදවතට
ඔබ ලඟ සිටී නම් මා ලතවනු කුමට
නැත ලොව සුවය ආදරයක් සේ බැඳුන
මහදේ පිපි කුසුම රසවත ඔබෙ උවන
දිනයක් වේද මතු දවසක නෙතු පියන
එදවස එළඹෙනාතුරු නිවනුයෙ මහද
දුක සැප යස අයස යන අටලෝ දහම
ඔබටත් මටත් කාටත් එකසේ පොදුය
එලැඹෙන විට දුකක් එය මැදහත් සිතින
ඉවසා සිටීමට මතු ඔබ දත යුතුය
රන්වන් පුලුුල් උර විනිවිද මට පෙනෙන
ඔබෙ දුක පිරුණු හදවත සිපගම් බැතින
ඒ දුක් කෙරෙන් ඔබ මිඳුමට නිති පතන
දුටුවෙද මහද පතුලේ ලියැවුනු පැතුම
ගං හෝ ඇල දොලත් මුහුදට ගලා යන
සුන්දර වන මලක් නෙත් සිත් පිනා යන
මින්දද පැමිණ ඇත අඹමල් නෙලා ගෙන
පුන්සඳ නැගෙන් හදෙ ගනදුර පලා ගෙන
දුක සැප මගේ වටහාගත් මිතුරාන
තනි නොතනියට ලඟ රැක උන් සොයුරාන
මී අඹ සදිසි රසබස් දුන් මිතුරාන
පද වැල ඔබය මම තනුවයි කිවිඳාන
යොදුන් ගණන් සංසාරේ දුර ඇවිද
පැතුම් පතා මා දන්දුන්නා නොවෙද
ඇවිත් විහාරෙට සිරිපා දෙක නොවැඳ
ඉතින් නොකියා ම යාගන්නට හැකිද
කියද්දී සඳ කිඳුරු බණ කතාව
මතක් වුනේ මට කිඳුරුගෙ ලතාව
ඇසක් තෙත් වුණේ සියවැනි වතාව
ඉතින් මගෙද ඒ මහ බෝ සතාව
බදා වැළඳ ඇඬුවත් ගොප්මස පාදේ
සදාකල්ම හිමි කරගනු බැරි ඒ - දේ
උපාදාන අතහැරලමි මහ මූදේ
උදාසනක්මය මට මේ අරුණෝදේ
26-12-2020
අඬගසා වසන්තය ළඟට කැන්දන විහඟ නවතින්න
කල්පනාබරිත ඇස් රතු කරන් ඇයි ද මේ, පවසන්න
ඇස්පුරා පිනි මිඳෙන මුදු අඳුරු මැදියමට ඇහැරෙන්න
හිනැහිලා අඬන ඒ නාඳුනන සිහියට ඉඩ දෙන්න
උදෑසනකට දෑස පළන්දන අවතාර පං අත්තෙ
මිදී යන්නද සකුණ ඔය දෑස ආකහෙන් අරගත්තෙ
අනාරාධිත සුළං පැටැලුණත් විදාළන තටු මත්තෙ
නිරාමිස සුව සොයන අනන්තයමයි හොයා ගත යුත්තෙ.
01-01-2021
කල හොද නරක පසු පස්සෙන් පැමිණිම
නැති කර දමයි හදවතෙ ඇති සැනසිම
මොන දේ වුනත් කල යුතුමයි ඉවසීම
එතකොට නොහැක කාටත් ඔබ පැරදීම
එක බඩ වැල කඩන් ආ සොයුරන් වාගෙයි
කල් ගෙව් මතක මනසෙ සිතුවම් වාගෙයි
සමහර විටදි නොදැනිම මගෙ සිත පෑරෙයි
කාටත් හොරා නෙතඟින් කඳුලක් බේරෙයි
එකෙකුට කියු දෙයක් තවෙකුට පැවසීම
වරදක් නොවෙද එය වෙනවනෙ ගැරහීම
පිපුණොත් මලක් නියතය එය පරවීම
හොද නැත කරන්නට කවුරුත් රැවටීම
දෙදහස් විස්සෙ තුන්බිය යළි නොමවේවා
හස්තියෙක් ලෙසින් තෙදබල ඇති වේවා
විසිරුණු පැතුම් ඉටුවී ජය හිමිවේවා
එක හිත් ඇති සුබ අවුරුද්දක් වේවා!
28-12-2020
දෙදරා ගියපු පොළවක පතුලක රැඳුණ
කුහුඹුන් රැළක් අහඹුවකින් ඇස ගැටිණ
මුහුණට මුහුණ තබමින් මොනවද කියන
උන් හට තිබුණෙ උන්ගේ වූ සුබ සිහින
ලාවා කඳක් මෙන් උන් හරි කඩිසරය
පාවා නොදෙන ගති උන්ගේ බටහිරය
ගාවා නොගෙන අසමගියේ පරිසරය
වවා සිටින උන් තවමත් පිටිසරය
ජීවිත පින්න ඇතිරූ මාවත් බැම්මේ
ඇදිලා යනෙන විටදී එක ලෙස පිම්මේ
තිබෙනා සොඳුරු අරුමැසි දැක සිත නැම්මේ
කුහුඹුන් කියා දුන්නේ ජීවිත රිද්මේ
19-12-2020
ගලා යන ගං කොමලි සුන්දර සිනහා පාමින් මා දිහා
බලා සැනසුන මාහද සුන්දර මතකයක
සුසුමෙක බහා
හෙලා මා එදවස විරහවක කඳුළු ගංගාවක මහා
බලා සැනසෙමි කොමලියේ ගං එදා විරහව දැන් රහා
සොදුරු සිහිනෙක සතපවා මා දැනුණු සෙනෙහස හරි හුරු
නුඹෙන් ලද ප්‍රේමයට පෙම් කළ මගෙ හද
නැගි දුක්දුරු
කරනු වෙනුවට ජිවිතය නී රසම බැව්
පස කළයුරු
නපුරු ඔබෙ සිත කියා දුන්නා විරහවේ රහ අපූරු
බිඳුනු සිත් රන් කවි ලියා මීවිතක් සේ
සුවපත් කළා
විරහවෙන් මහ කාලිදාසයෝ රහට පෙම් පුවතක් කළා
සේකරගෙ පන්හිඳේ තුඬඟින් විරහ රහ
ඔසුවක් කළා
මමත් මගෙ හිත විරහවට පෙම්බැදන්
රස කවියක් කළා...
22-12-2020
සුවිසල් විදුලි බල මහිමය පිවිතුරු ය
සිත්මල් "තම්බපවනී" පිපි විසිතුරු ය
මුතුවැල් සදිසි එළි විහිදෙන අමයුරු ය
නිවහල් කිරණ මැද හැමු සුමිතුරුය
සුළං විදුලි ජල හා සූරිය බලය
නිරන් තරව එක්නැන්කොට ගත් ඵලය
ගෙනෙන් නට රටට හෙට දින කල එළිය
ඉදින් ඇරඹු නව මාවත සුබ පලය
පළමු රටේ සුළං විදුලි බල උද් යානේ
නවමු සොදුරු දසුනෙකි මන්නාරම් මානේ
දනිමු වෙරළ තීරයේ ඒ හෙළ අබි මානේ
දකිමු දැයේ සව්-භාගය සුබ සීනේ
දූපත මන්නාරම් සිදු දකුණු තීරයේ
දෑහිත කාමී උයනෙකි ඉදිවු මානයේ
නෑහිත වත් කමෙන් බැදී සැම දන ජාතියේ
මාවත එළි කරගනු! ඇස් අරවා ලෝකයේ
රක්ෂිත කර පරිසරයද සතර දිශාවේ
විස්මිත වැඩකිය ඇරඹුවෙ විදුලි කලාවේ
රන්ජිත කර හැම හදවත් දෙරණ තලාවේ
ජනහිත කාමී රජයක අරුණ උදාවේ
හමන සුළං හමා යන්න නොදී දස අතේ
ගිමන නිවන්නට ඉඩදී බලය පා සිතේ
නුවණ යොමා විදු නැණ පැන නැගුණු හදවතේ
මවන බලය හෙට මහ සම්පතක් වනු ඇතේ
එක බල පන්තියක් තුළම සිටියොත් කොටුවී
ලක දන හෙට අසරණ වේ මැයි බල ක්ෂයවී
නෙක නෙක දෑ සොයා ගියොත් හෙට ගැ න යොමුවී
කික ලෙක වත් නොවැටේ, මිස හෙළ ජන රජවී
ආ සියානූ සංවර්ධන බැංකුව සහයෙන්
වා සනාව පෑදුණි ජාතියටම රජයෙන්
ළා දළු බෝ පත් සැලෙනා බෝහිමි සුවයෙන්
මේ රන් දිව හෙට එළිවේවා! වා තලයෙන්