ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අවුරුදු නැකැත්…..

Author: tharindu

අවුරුදු නැකැත්…..

කලාපය: 2024-April

එරබදු මල් පොට්ටු නැතත් අවුරුද්දත් වෙච්චි කිට්ටු
සිත් සතොසින් සමඟි වෙලා අමතක කර පරණ වෙට්ටු
අලුත් හැඟුම්, අලුත් පැතුම් කරන්ට පෙර හදට තට්ටු
මහ හබයෙක නොවැ පැටළුනේ සිරි ලංකා දීපේ රට්ටු

අයන්න නැකතටම ලියල නැකතට බත් කටක් කාපු
මල්වර නැකතටම නාල නැකතට පෝරුවෙත් නැගපු
වැඩිය නෙවෙයි කසාදෙටත් අත්සන නැකතට ගසාපු
මාව උණත් වැටුනෙ අමාරුවක නෙවෙයි ලේසි පාසු

රෑත් නැකැත් උදෙත් නැකැත් පුදුම රාශි මාරුවක්ය
තමන් හදපු නැකත හරිය නැකත් කමිටු යුද්ධයක්ය
ප්‍රායෝගික බව කියලා එකක් ලෝකේ තියෙනවාය
සිරිත් විරිත් අපේ සිංහල ඉදිරියටත් යාම යුතුය

සමහරු සමරන්නේ නැතිලු සමහරු තෝරයි වෙලාව
පහසු දෙයක් කෙරුම තමයි කොයි කවදත් හොඳ කලාව
මොළෙන් තමයි රැකිය යුත්තේ රට ජාතිය සංස්කෘතිය
තමන් කැමති හොඳ වෙලේක සමරමු අවුරුදු උදාව

Life and Moonbeams

කලාපය: 2024-April

When the darkness slowly falls and the night dawns, my mind feels great restlessness, and it becomes desolate,

The darkness slowly creeps in and the whole environment darkens the sky and the night dawns,

The night sky is heavy with rain clouds,it is not as beautiful as usual,

For other days, the beautiful night sky is shaped by the ever-shining moon and the carpet of stars…

It enthralls my heart

The night sky is like our lives,

In some days , the beautiful moments come together and become as beautiful as the night sky , which is full of stars and the moon,

Isn’t it like a dark night sky and seems heavy with rain clouds?

I went to sleep with these thoughts and woke up with a light on my face,

Is it sunny this morning?

No, the sky is dark, I looked outside the window and saw the moon shining in the night sky,

The beautiful moonlight shines from the surroundings and completely wipe off the darkness of the environment…

My heart was filled with happiness…

This is like our lives, isn’t it?

Some days are beautiful, some days we feel lonely and restless,

But some days when we are alone and restless, suddenly something happy happens and makes our lives beautiful…

I fell asleep with joy, thinking that it was like the sky heavy with rain clouds, and suddenly the moon rising in the middle of the night and dispelling the darkness of the night…

රට නොරට ඒ රට…..

කලාපය: 2024-April

සිනාසෙන හිරු මඬළ
දසන් විදහන මුව කමල්
වසන්තය නිමා කොට එබිකම් පාන ස‍රත් සමය
කියයි පත් ඉදෙන තුරු වදුළ

නිසල මහ වන පෙත් අරා
සසල රියසක නෙක දුවන
සමථයට සිත ඇරියුම් පාන
පරිසරය මැව්වේ වෙන කව්ද

සියලු සත්වගට ගරු කරන
මනුසත් දහම් නිති පෙනෙන
මිනිස් කැල නොවෙද නිබඳ
පන්සිල් නොගෙන සිල් රකින

සිත දුවයි නිරතුරුව අනේ මගෙ රට
සියලු දහම්න් සපිරි පිරී ගිය
පසිඳු සම්පත් දැක නොදැක
ලොවට අත පා සාක්කුම පුරවන

සිත් පෙළා දුක නිබඳ සිටියද කොහේමුත් ඒ දැනේ යා
කරන කම් කළද ඵලක් නොගත් කල උන් ගියෝ යා
විඳින පව්කම් කෙළෙස පසක් නොවනා කලේ යා
අනේ මගේ රටේ උන් තවම බායි මාළු බොර දියේ යා.

නවසීලන්තය .
01-04-2024.

Photo credit: ARTO SURAJ

ධවල අන්ධකාරය

කලාපය: 2024-April

නිල් අහසේ පාවෙන සුදු වළා කැටී
සිල් ගත්තා වැන්නේ මල් වැලේ හැටී
හිල් කූඩෙට පුරණා කල දියේ වැටී
කල් ගෙවනා තාලෙට කිම සිතේ ගැටී

පිහිනනු බැරි පැන දියවට කරක් තබා
සුළඟට එතු මල් සුවඳට පෙමෙන් ඔබා
සිතුවට ගනු හැකි ඇත්තට දැළක් ලබා
කිසිදින නැත අස්වැන්නට මෙයින් සොබා

ගී මිහිරකට හැක මනුසිත් සනසන්න
නෑ සෙනෙහසට සම දිවනෙත් පසසන්න
හී සැරයකට වැඩි බලවත් වනසන්න
කෝ මිහිරකට දැන සුවපත් බබලන්න

Photo credit’ Taylor Van Riper

බක්මහ අසිරිය

කලාපය: 2024-April

තුරුලිය ගොමුව සෙලවෙයි සිලි සිලියෙ දලූ
අතුමත බරව නැමිලයි පලතුරුද වලූ
දුරුවිය රටට තිබුණත් පෙර යුගය කලූ
අවුරුදු කුමරි ඇවිඳින් හැද පැළඳ සලූ

එරබඳු ගසුත් රතු පාටට හැඳන් රෙදී
පෙරමග තුටින් හිනහීගෙන බලන් හිදී
දෙවැටෙහි නිදන් සිටි වැටකේ මලුත් සැදී
සුවදට බිඟුන් සහ බඹරුන් ඇවිත් ඇදී

පුහුලම් බරින් කජු ගස් රන් තොරණ වගේ
වවුලන් ඇවිත් රැය තිස්සේ කරන දඟේ
උදයෙන් ගිරව් අතු මත්තේ රඟන රඟේ
සවනන් පිනයි ගයනා ගී මිහිර අගේ

බක්මහ සමයෙ අහසත් දිය බිමට හලා
රත් වුණු දෙරණෙ උණුසුම් බව දුරට කළා
ඔන්චිලි බදින යුගයත් යළි පැමිණ බලා
ගම්බද දරුවො සතුටින් ඇත සිනහ සලා

කොවුලගෙ නදින් තුරුළිය ගොමු නැළවෙද්දී
දැනුණයි කැවුම් කිරිබත් වල රස කද්දී
නැකතට පත්තු කල වෙඩි හඬ රැව් දෙද්දී
සැණෙකිළි බවින් මුළු ගම යනවයි පැද්දී

කැකිරාව

පාසැල් ප්‍රේමය

කලාපය: 2024-April

සුන්දර බවකි පාසැල වෙත පිය නැගුව
අන්දර වැට දිගේ සුදු ගවුමෙන් රැඟුව
පින්සර කෙළි දෙළෙන් මනලොල් ගති පෙඟුව
රන්වැනි කළකි පසු කෙරුවේ වැනි බිඟුව

වසරින් වසර පසුකරගෙන ඉදිරියට
යන්තම් පියනඟා අටවැනි ශ්‍රේණියට
උඩ පංතියේ සිසුවෙකු රිංගුවෙ හදට
හසුනක් ලියා දුන්නයි. නොසිතුව ලෙසට

වටපිට බලා කිසිවෙකු නැති ලඟ පාත
පාලා කොමළ දිගු කරලා මගෙ දෑත
ළංකර ළයේ සෙනෙහසකට ඇති මෑත
මුල් ගුරුතුමා දුටුවයි. මෙය සිට ඈත

ටවුමේ ඇති රඟහල වෙත පිය නැඟුවේ
ඔහු හා එක්ව මනමේ නාටක බැළුවේ
කේළම එදා කවුරුද ගෙදරට කිව්වේ
ඇතිවෙන තූරු පියතුමගෙන් ගුටි කෑවේ

තුන් හෙළයටම එරබදුමල් පිපීයන්

කලාපය: 2024-April

සිව් මන්සලෙන් හොඳ හිත් මුණ ගැසීයන්
පින්කම් බොහෝ තුන් සිත පිළිසිඳීයන්
අටු කොටු බතින් බුලතින් පිරි වැරීයන්
තුන් හෙළයටම එර බදු මල් පිපීයන්

පිරි මුව කමල සිනහව මල් ලෙස බැද්දේ
හරි හරියට ඇසෙයි කෝකිල ගී සද්දේ
කිරි පැණියෙන් ඉතිරි සාමය හඬ මැද්දේ
සිරි සුභ මංගලම් සිංහල අවුරුද්දේ

වටහාගෙන සසර සරන භව මඟ ගැන අතිර
දුක් දොම්නස නසා ලැබිය යුතුයි සුවය සතිර
සාමය සමඟිය දස අත හැම හිතකම පැතිර
අවුරුදු සිරි පැතිරේවා කිරි පැනියෙන් ඉතිර

සඳ රැසින් මත්ව

කලාපය: 2024-April

සුදු පෙණ පොකුරු
පිරී ඉතිරෙන
සඳ බඳුන
ඈ මුවග සිප ගනී

මදින් මද
මත්ව ඈ
විදා සළු පිළි
දිව යයි
ධවල රාත්‍රිය තුළට

නිදිගත් මලින් පිරි
ලිය මඩුළු අතර
සැදුණු ඕවිලි යහනක
වැතිරෙයි ඇය

අඩවන් නෙත්
බලා සිටී
තරු කැට ද දියවුණු
අහස් කුස දෙස

මී පැණි පැහැති
පියයුරු තුඩු
නැහැවෙයි
සඳ කිරි වතුරෙන්

කළු කුහුඹුවෙක්
සෙමෙන් සෙමෙන්
ඇදෙයි පහළට
ඈ වසා- රොද මත

24/03/02

ථේරිගීතය තමයි අම්මා

කලාපය: 2024-April

එදා ඉඳලම කදුළු තැව්වට
සිනහවක මුල තමයි අම්මා
ගලක් වූවත් හදේ ගැඹුරට
සුවඳ තැවරූ මලකි අම්මා

වෙලක නියරක වක්කඩක් නොව
වාන්දැමු ආදරේ අම්මා
වචන ගැඹුරින් ලියා පළ කළ
නොලියවුන ත්‍රිපිටකය අම්මා

ගැයෙන පදවල ථෙරි ගීතය
තමයි රැව් දෙන නාදෙ අම්මා
පසේබුදුවී අපි හැමෝමත්
නිවන තෙක් ගෙනගියේ අම්මා…

මුහුදයි.. වෙරළයි..මමයි…

කලාපය: 2024-April

රැයත් අඳුරත් සෙනෙහසින් වෙළුන
බවක් නොදැනම හිරුගෙ නෙත් හැරින
සිඳුත් වෙරළත් සමගියෙන් සිටින
නමුත් කිම නපුරු වෙන්නට කරුණ

අරන් මගෙ මතක දියඹෙහි දුරට
ගිහින් අර අහස ගෑවෙන තැනට
හුඟක් පෙණ මුසු කරන් රළ අගට
ඇවිත් හඬ දෙමින් වැලපෙනු කුමට

දවස් සති ගණන් පසු කර යනෙන
ඉරත් හඳවලුත් ගෙවුණිද නොදැන
දෙ ඇස් වෙහෙසයි රැයේ නිදි වරන
නමුත් පොදි බඳිමි අලුතින් සිහින

අදත් හිඳගෙන වෙරළෙ තනිකමට
මතක් වෙන වචන අමුණමි එකට
තවත් කවියක් වේවි ඔහු නමට
මකන්නට නම් එපා නපුරුවට

Photo Credit ; Saksham Gangwar
.

The Take Off – Charith Hiripitiya

කලාපය: 2024-April

You’re on the runway
Taking the approach
Let the dark memories vanish
Anyway,
Now it’s time to take off !

Open your eyes
Expand your wings
Now it’s the time
Fly Fly Fly
Touch the moon
And come down with a star
So your tomorrow will be fine..

You’re on the runway
Taking the approach
Let the dark memories vanish
Anyway,
Now it’s time to take off !

Open your eyes
Expand your wings
Now it’s the time
Fly Fly Fly
Touch the moon
And come down with a star
So your tomorrow will be fine..!

ඩැෆඩිල් මල්

කලාපය: 2024-April

යායකට කහපාට රෙදි ඇතිරුවා වගේ
නුඹ දිලෙනවා දුරට සොදුරු ඩැෆඩිල් මලේ

සද එලියේ තරු එලියේ නොදිලුනත් නුඹෙ පාට
පිනි වැටුනු හිමිදිරියෙ නුඹ දිලෙයි හිරු ගාව

දින කීපයයි තවම හරි හැඩට පිපීලා
කිමද මෙපමන විගස යන්නෙ නුඹ මැලවිලා

පරිසරයෙ නැවුම් පහසත් එදා විදි විලස
නොමැති බව පසක් කර යයිද මියැදි මෙලෙස

සිත්තරෙකුගේ සිතුවමක ඉතින් දැවටිලා
නුඹ සිටිනවා දුටිමි රාමුවක කොටුවෙලා

රැහැන්…

කලාපය: 2024-April

සිඳු මත ඇදෙන සුදු පෙන පිඩු මන ලොල්ලේ…!
වෙරළත හැපී සිඳ බිඳ යන වැළපිල්ලේ..!.
දහමට නතුව සත සුව හද විමසිල්ලේ..
දන මන සැම සතුට දනවත සැනසිල්ලේ….!

පර මල් ඉවතලා සුදු මල් පුදන
විට….!.
ගොරහැඩි සිතක ලාමක ගති තැවෙයි හෙට…!
මුනි සිරිපා කමල සිප ගත් කඳුළු කැට…!
මල් පලසක්ව ගෙතුවා ඔබෙ ඉදිරිපිට…. !

වෑ දිය සඳ කිනිති සිඹ මදනල
ගාවා…!
සෑ රජිඳුනට රහසින් මොනවද
කීවා…!
පෑ සෙනෙහසට තවමත් සිත ලඟ වේවා..!
ගෑ සුවඳටත් වැඩියෙන් හද නතු වූවා…!

ඇත වැව් දියට හසකැන් පිපි දිය සේලේ..!
වත සියුමැලි වුවත් දිවි සරි කල බාලේ…!
පත සරි කරන්නට සිත නලියන තාලේ….!
සිත රැහැනින් වෙලා මතකය බැඳි ලීලේ…!

Photo credit: Yoksel 🌿 Zok

The Queer Little Angel – Sithuki Disara

කලාපය: 2024-April

Is she good enough ?
A question! or too much ?
The answer, Oh a wonder
Is she inaudible ?

Truth or dare ?
Dare, to fit in
Gosh! what a loss
As if to worry
It’s someone who never did.

A shout within
Where to fit
A puzzle in a pause,
In hand with a piece
Nowhere it fits!
Dear! time fades to abyss
Yet, what fringe sets it apart ?

A reminder, look!
The piece still waits
A guess, it’s a forever wait,
A little angel with folded wings..!

කොවුල් හඬ මැද

කලාපය: 2024-April

අළුත් අවුරුදු එනව දුර ඈත අපෙ ගමට

මළුත් පිපෙනවා ඇති වහල ලඟ රතු පාට

කජුත් ඉදිලා බරව වවුල් පොර කන රෑට

මං ගියොත් බය වෙලා අඬයි රෑ එක දිගට

ගිය සැරේ අවුරුද්දෙ ලිපේ ගිණි මෙලෙව්වට

කිරි බතට ලුණු මදිව රස තිබුනෙ නෑ හොඳට

ගල් ලිපේ මී පැටව් කොඳුරාවි මහ රෑට

මං ගියොත් ඇහැරිලා අඬයි රෑ එක දිගට

සති අන්තෙ ගෙදර ගොස් ඉරිතැලී ආ විටක

කුස්සියෙන් නැගී එයි දෝංකාරය කණට

තිගැස්සී නොගැස්සී මං මෙහේ හිටියාට

ගියොත් අවුරුදු කන්න අඬයි මං මහ රෑට

මතක කඳු පෙරලිලා මං එයින් යටවේවි

නිදි නැතිව රෑ තිස්සෙ කඳුළු ගලමින් යාවි

වවුල් රෑනම ඇවිත් නපුරු හඬ නංවාවි

තනිවෙලා මං ඇඳේ කඳුළු දිගටම බෝවි

ඇට සැකිලි කූඩුවට හොඳට පන තිබුනාට

වාට්ටුවෙ එන හඬින් සිතට බිය නොගත්තට

පුතාගේ නම කියල හැඬු හැටි එයි හිතට

මං ගියොත් දුක් වෙමින් අඬයි රෑ එක දිගට

මිසු දිටි තොරෙන් දිවි ගෙවීම

කලාපය: 2024-April

“විභාගය හෙටයි යමු පඬුරක් දෙන්ට,
හොඳටම ලියයි මතකය අඩු නැති වෙන්ට”,
නොපෙනෙන දෙයින් ඇයි මේ හැටි ඉල්ලන්ට,
වැඩිහිටි වෙහෙසෙන්නෙ දරු නොමගට යවන්නට.

“සැත්කම කෙරුන යහතින් දිවි රැක දෙන්න,
යමු අපි හෙටම උන භාරය පුද දෙන්න,”
අමතක උනිද? වෙද හෙදියන් වෙර දුන්න?
ගිලන් ඔබවටා සිටි හට පුද දෙන්න.

අලුතින් ගෙනා රථයට රැක වල් දෙන්න,
රිය අනතුරෙන් වැල්කී රිය පදවන්න,
කහ දෙහි මිරිස් පලඳා රිය රැකදෙන්න,
පතනා අයට කෙලෙසද නැන පහදන්න.

සියලුම පුද බිමන් ගරු සරු ලබන්නට,
මල් තෙල් පුදා බැති පූජා පුදන්නට,
ඕනෑ අපව රැකගන්ට නොවේ හෙට,
කලගුණ සලකන්ට දුන් දහමට ලොවට.

මෙවැනි උතුම් දහමක් වැජබෙන කලක,
බුදුගුණ බජන් කිතුගී ඇසෙනා රටක,
මිසු දිටි තොරෙන් පන්සිල් රැක සිටි විටක
“දෙවියොත් පුදයි” දිවි ගෙවනට මොන සැකද?

සැප වැඩි කර ගනිමු

කලාපය: 2024-April

ලොවේ සිටිනා සියලු මිනිසුන් වයස ගෙවිලා මරුට ලන්වේ
මහා සයුරද පොළෝ තලයද සඳුද හිරු හා දිනෙක සුන්වේ
එකට සිටිනා සැවොම මේ ලොව එකිනෙකා හැර දමා වෙන්වේ
හඳුනගෙන මේ සැබෑ ලෝ
තතු වැඩ කළොත් අප සැපට ලන්වේ

ගෙවාගෙන ආ ජීවිතේ අපි දශක හතරක් පහක් තිස්සේ
විඳපු දුක් නම් නොමැත අහවර දිනෙන් දින තව උඩට ඉස්සේ
එම නිසා සිත පිනට යොමුකර ඉතිරි කාලය ගෙවා තොස්සේ
සසර කෙළවර කරමු විගසින් තෙමී සැනසී අමා වැස්සේ

දිනෙන් දින අප පෙළන දුක් ඇත කරන ලද දිගු සසර තිස්සේ
එයින් වැලකී සුවය ගෙන දෙන මඟ හදමු අපි දහම ඔස්සේ
කළොත් සැම දෙය නිවනෙ අරමුණ රඳවගෙන අපි මනස අස්සේ
දුක අවම කර සැපම වැඩිකර සිටිය හැකිවෙයි තුටින සිත්සේ

ගුරු මවක වී

කලාපය: 2024-April

පුතේ ඔබෙ සිනහ මල් පිපී මා වටට
නැමී වඳිනා පළමු දිනේ පා මුලට
පෙවී ගිය හැටි හද ම සෙනේ ගං දියට
කියා ගන්නට බැරි ය පද හැඟුම් වැලට

සමනල්ලු වගේ ඉගිලිලා විත් ළඟට
කොඳුරන්න හැමදාම නොකී ගී කනට
විඳගන්න ඒ මිහිර ඇදෙමි විදු බිමට
දැනගන්න සෙත් කවිය ඔබයි මගෙ ලොවට

ඇත්තටම ඔබ දුටුවාද “රූපය”…..

කලාපය: 2024-April

දිලෙන රූ සපු දුටුව නෙත් යුග
සිතට කොදුරයි, ගන්න සන්තක
“ඇතුළාන්තය” නොදකිනා තෙක්
ඔබව රවටනු ඇතිය, කැඩපත…

(“සොදුරු කතකගෙ රුවක් දුටුවිට
තුති ඔබට මෙතරම් රුවැතිව උපන්නට”
“කියා නොඇලුන මනසකින් මට
සිතේ යන්නට නොරැදි ඈතට ”
Will Durant -Fallen Leaves”කෘතිය)
පැසුණු නැණසින් ඔහු කීව ලෙස
විරාගික වී හැකිද දුර සිට
විදිනු “ස්ත්‍රී සුන්දරත්වය”…

මසැස හමුවේ දකින රූපය…
නේක වූ මනු සබදතාවන්
කරා පිවිසෙන,පැවැත්මට ඇති
“ඇරඹුමේ දොරටුවක්” …පමණකි
ඇවැසි බව තව බොහෝ ඇවතුම්
සබඳතාවක් රකින්නට නම්..
ඔබට වැටහී නැතිද? කිසිවිට
රුවැති බිරිඳක හා වසන විට
හෝ කඩවසම් හිමි සමීපෙහි…

දැනුම හා චින්තනය මුවහත්
‍යෙහෙළියන් ඇති කැතද රූමත්
වුනු පසුව සංවාද සගයින්
උනුන් මානව දයා,බුද්ධිය
ලෙන්ගතුව ඉස්මතු වුනා මිස
ඔබට මතකද? සැඟව ගිය’ යුරු
ඇගේ මන බැඳි/ නොබැඳි රූපය..

ඔබට ඇති මිතුරන් සමීපම
කදුළු සුසුමන් නිති බෙදා ගත්
ඔවුන්ගේ හද “සාදු ගුණ දම්”
මනුෂ්‍යත්වය පිරි ආත්මය
පමණක්ම අප මතකෙ රඳවන
රූපෙ ඡායාවකිය වියැකෙන

ලස්සනය කැත කියා නියමව
නොමැත කිසිවක් මෙලොව සැබැවින්
සාපේක්ෂයි දකින්නාටම.
ඇසින් දකිනා රූපයන් වෙත
ආදීනව වැසු ආශ්වාදෙන්
සරාගී ලෙස බැඳී ඇලෙමින්
සුභයි අසුභයි සුවයි කටුකයි
පහළ කරනුයෙ “නිමිති” අපිමයි..
එදා බුදු හිමි දෙසූ විලසට
හැදිනගතහොත් රූපයේ ඇති
ත්‍රිලක්ෂණ නුවණැසින් දකිමින්
“මමය මාගේ “ලෙසින් නොඇලී
විරාගිකවම .. විඳීයි රූපය
නිස්සරණ ප්‍රතිබිම්බ නිර්මිත
දහම් කැඩපත මවන විශ්මිත

වෙනස් වූ ආදරය…..

කලාපය: 2024-April

ආදරය කරනෙමි අඳුරු නිල් අහසට
කිසිඳු තරුවක් නැතිව තනිවුනු
තාරකා සේ ඔබේ නෙත් යුග
වේදනා හද මවා සැනෙකින්
මා දෙනෙත් අබියසින් සැඟවුණු
ඒ අඳුරු දිනයේ පටන්.

ආදරය කරනෙමි රුදු විස කටුවලට
මලක්වත් නැති රෝස පඳුරක
ආදරයෙ පිවිතුරු බවින් හද
පිපුණු රතු රෝස මල් කැකුළිය
රුදු බවින් ඔබෙ පෙති සිඳී
දෙපා පාමුල වැටුනු දා සිට.

ආදරය කරනෙමි වියරු ව
සයුර වෙත දුර ඇඳෙන නදියට
මහද රඳවා පැතුම් අතරෙක
සතුට ගෙනදී සිහිනයක් ලෙස
සැනෙන් ම වෙතින් ඉවත් වී ඔබ
දුරස් වූ දිනයේ පටන්.

නුඹ නැවත එනු පිණිස

කලාපය: 2024-April

හිත පුරා උතුරාපු වසන්තය දිලෙන්න
ආදරය දළු දාපු අතු අගිසි පිරෙන්න
මල් කිනිති කරුණාව සුවඳ කර බෙදන්න
මිහි මඬල සනසවා සුදම් වැහි වහින්න

අතර මග කතර මැද උල්පතව නැගෙන්න
ගිම් නිවන මදනලේ මේ දෙසට හමන්න
පොළොව පිට ඇද වැටෙන තරුවකට නිවෙන්න
සිහිනයක් පාට කර මේ දෙසට එවන්න

හද පෙලා නැගෙන සෝ සුසුම් නොම රැඳෙන්න
කෝ කොහිද මන්තරය හිතේ මල් පිපෙන්න
ස්නේහයෙන් පුරවාපු හුස්මකට රැඳෙන්න
නුඹ මෙදෙස එන පුවත ඉඟියකින් කියන්න

Photo credit; Hannah Domsic

මුතු බෙල්ලා සහ කවියා

කලාපය: 2024-April

මුතු බෙල්ලෙකිය ඔහු
සයුරු ගැඹරේ වෙසෙන

නැති කිසිම හැඩයක්
නැති කිසිමකිසි අගයක්
කුඩා රළු වැලි කැටයක්
දරාගෙන කුස තුල හිඳී ඔහු

ලේ මස් නහර සිඳ බිඳ
කෙවිකෙවී දරා දහසක් වේදනා
ගලන කඳුළින් ඔපදමා
වටකුරු කොට යස රුවට
බිහිකරයි අමිළ මුතු ඇටයක්

දන්නවාද ඔබ අසා ඇතිද ඔබ
ඔහු සරි තවත් අය ඇතිද ලෝ කුස.

හද තත් කර කම්පන
පන්හිඳ සැතින් සිඳිමින
අක්ෂර රුහිරු හෙලමින
අනුන්ගේ වේදනා දරමින
ඔපමට්ටම් කර කප කපා
කවියක් බිහිකරන කවියෙකුම මිස.

සමරමු අපිත් සිංහල අවුරුද්ද …………..

කලාපය: 2024-April

සුපුරුදු කාලේ ඇවිදින් පිපිලා මල් බක්මහේ

තු‍රුමුදුනත රතු එරබදු සිනාසිසි ‍ වැහිවැහේ

කොවුලෝ කෙවිලියො සොයමින් එහෙ මෙහේ

ගී ගයමින් පවසන්නේ අවුරුදු එන බව මෙහේ

දොළොස් මසක් ගතවෙනදා පිරිලා වසරක්

හිරු කුමරුන් ගතකර මීනයේ මාසයක්

පා තබන්න මේෂ රාශියට බලලා නැකතක්

සිංහල අවුරුද්ද ඇවිත් ගෙවිලා තව වසරක්

මහවැස්සට පාළුවෙලා කුඹුරෙ ගොයම යටවුණා

සතරවරම් දෙවි පිහිටෙන් ලියදි දෙකක් ඉතිරිවුණා

වෙනදාමෙන් සරු නැතිවත් අවුරුද්දත් පැමිනුණා

හිරු කුමරුන් සියල්ල දී තවදිනට පිබිදුණා

වැපිරූ කුඹුරේ ගොයම්ටික කපලා වී කරගත්තා

හේනේ වගාකල කුරහන් තල වියලා ගෙට ගත්තා

අබ මුං උඳු හේනෙම වියලා පොඩිකර ගත්තා

අවුරුද්දට කිරිබත් උයන්න වී ටික අඹරා ගත්තා

අතේමිටේ තිබු හැටියට ඇඳුමක් ගෙන පොඩිඑකාට

හාල් තුනපහේ අරන් බත්වේලක් එදත් කන්ට

සිතේ තිබෙන දුක් කරදර අමතක කරලා මදකට

කිරි උතුරමු මෙදා සැරෙත් අවුරුද්දේ පළමුකොට

ඔබ ඔබම වේනම්…….

කලාපය: 2024-April

හිරුගේ යාමය නුඹ ගැන ලොකුම ලොකු රූ තල මවාවි
සඳුගේ අවර නුඹෙ බොඳම බොඳ සෙවනැල්ලට සිහිලැල් හාදු දේවි
ඒත් ඒ සියලු සෙවනැලි මිරිඟුවක් බැව් නුඹේ හිතට යලි යලිත් ඒත්තු යාවී
ඔබ ඔබම වේනම් හරිම හරි සෙවනැල්ල ලඟම ලඟ නවතීවි

එහෙව් පිරිමින් අසල බැඳෙනා………………..

කලාපය: 2024-April

හීනි ලස්සන දිගැටි අතැඟිලි
තිබෙන්නේ ගැහුනුන්ට විතරද
යටැසි බැලුමන් හෙලා නොබැලූ
විලස ඉන්නේ ගැහැනු විතරද…

සුවඳ විලවුන් කොතෙක් ඇතිමුත්
ක්ලේශයක් සේ සියුම් තැන් වල
බලෙන් ඇලෙනා මිරාකලයකි
ස්ට්‍රෝං ස්මෙල් ඇති මෙන්ස් පර්ෆියුම්

වදන් දාහක් එකම වදනින්
කියා තත්පර අහුර ගන්නට
ආදරේ ගැන කියා දෙන්නට
පිරිමි දන්නවා වෙන්න බැරිමද…

වැරදි නෑ ඔබ රහල් හිමියනි
වැදි රජුත් ඒ වගේ වෙන්ඇති
එහෙව් පිරිමින් අසල බැඳෙනා
ගැහැනු කවුරුද වරදෙ නොබැඳෙන…

ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය

කලාපය: 2024-April

හීන් කුලේ මට කෝ ඔය ගරු නාම
රෙද්දක් පොළොවෙ ගැහු විටෙකැයි සරු සාර
වේරහැරින් කොටහළුවක් වුණු දාක
පා ඇදි අයුරු මතකයි හොඳහැටි තාම..

හැඩි දැඩි මිනිහෙකි ඔහු මට මං පෙන්වූ
නෙත් ගැටි විගස හදවත තරමක් ගැස්සූ
යමින් ගමන ලංවී දෙකොපුල් සිඹපූ
සාගරයම ඔහු විය මගෙ ගිනි නිවපූ..

නුඹ දුන් ආලය දරමින් දසමාසේ
ප්‍රේමයෙ සමරු වේ ඌ සත් අවුරුද්දේ
පුංචි පුතා එක්කලා මං පියමැන්නේ
නුඹේ රුවම දැකගන්නයි සිත් සැටියේ..

තිසරුන් වසා සිටි හැට්ටය ඉරී ගියෝ
ගල් ගෙඩි හැපී පොඩිපට්ටම් වනු ඇහුනෝ
හුස්මට පෙරම හද පුපුරා පෙම ගැලුවෝ
මොණරුත් හඩනවා නුඹ දැක මයෙ පොඩිනෝ..!

ගිනි සිසිල

කලාපය: 2024-April

සැක බිය නැතිව සකසා නෙක කූට ලේඛන
උකුස්සියක් වේ යුක්තිය සිය දෑතට ගත්ත
රහස් ලිපි ගොනුද අස්තාන ගත කර හසුව
කෙසෙල් ගසට කෙටුමෙන් අද අසරණව ඇත

කිසිත් ආයුර්වෙද නොවන බලි කෝලම් නැටුව
සොකරිය බිසව ජගතුන් නිති ඇසුරු කළත්
උගුලක පැටලි අද්දැයි යම් කුකුසක් හිත නැගිණ
ගැබ්බර කතුන් දෙදෙනෙක් විය පිරිවර අතර

කෝටි ගනණක මුදල්- විස මත් කුඩු සඟවමින
නොම්මර තහඩු දෙකද සැනෙකින් වෙනස් කර
කැලෑ පාරකට බැස ඉගිලී ගොස් විදිල්ල සේ
මකර රැජින අදිවේගෙට කපයි මහ රෑ මැදියම

ඇය ගලග්‍රහනයට ගෙන වද හිංසා කරමින්
නොසිතු ලෙස ගල් ගසා මරා දසකයද සපිරින
සිසිල දැනෙන දියරින් නාවා ඊලඟ ගොදුර
රුදුරු ගිනි ජාලා මවයි ප්‍රකෝපිත වන යකිනිය

නිරිඳු දැහැමි නම් සැවොම සතුටින්…

2024 මාර්තු 14

ආදරණීයම සෘතූන්…

කලාපය: 2024-April

මේ සිසිර සෘතුවේ – අඳුරු වැහි වළා යට
තෙතබරිත වීදියක – නුඹ සමඟ ඇවිද යමි
සුළඟ හා මුසුව එන – අයිස් වැනි වැහි බිංඳු
විනිවිදව කබායත් – ගතම හිරි වැටෙන විට
නුඹේ අත උණුහුමෙන් – මහද සනසා ගනිමි
වසන්තය එනෙනතුරු – මඟ බලා ගෙන හිඳිමි

බෙරි පඳුරු අස්සෙන් – ඉඳහිටක මතුව එන
රොබින් කිරිලියකගේ – මනමාල ගී හඬින්
වසන්තය පැමිණි බව – ඉතින් මම දැන ගනිමි
ලැවැන්ඩර් ටියුලිප් – මල් පිරුණු උයන් මැද
නුඹ සමඟ තුරුලු වී – කෙළිදොලෙන් ඇවිද යමි
නුඹේ ඒ සිනාවෙන් – මහද සනසා ගනිමි

හිරු සමඟ හැඩ මවන – වෙරළ හා දඟ කරන
රැළි පෙරළි දෙස බලා – සිප්පි මත පා තබමි
විඩාබර දවස අග – සල්ලාප අතර මැද
බීර රස තොල රඳන -සවස්වරු ගත කරමි
ගිම්හාන උණුහුමේ – නුඹේ සෙවණට ඇදී
කෙටිම වූ රාත්‍රීන් – මිහිරිතම කර ගනිමි

නේක ලෙස වර්ණ වූ – ලස්සනම මේපල්
කොළ එකින් එක ඇහිද – සුන්දරම මතක හා
දිනපොතේ පිටු අතර – සඟවලා තබා ගමි
ආයෙමත් දිගු ශීත – කාලයක් එනෙන බව
සරත් සම සුළං සර – කොඳුරනා බව දැනම
කනස්සලු නොවී මම – නුඹ සමඟ සිනාසෙමි
ආයෙමත් එක් වරක් – ආදරේදැයි අසමි

11.03.2024

Photo credit: Joshua Fuller

ගුත්තිල ගුරූ

Deepa de Silva
කලාපය: 2024-April

ඉහල යනු බලා
සැනසෙන්න නොහැකි වූ
තම බලය වැඩි කරන්
අනිත් අය පැරද වූ
රැවටීම වංචාව
තුලින් දිනුමක් පැතූ
බෝධිසත් චරිතයට
කැළලක් ද
ගුත්තිල ගුරූ

මවකගේ පැතුමක්

කලාපය: 2024-April

දෙපා වාරු නැහැ…….
හිතද නැවතුනා……
දැවැන්ත යකඩ ගේට්ටුව ඉදිරියේ,…..
ඇතුළට යම්දෝ නොයම්දෝ,……..
එළියට ඇද දැමු ගේට්ටුවෙන්,… …
කිරි කැටි බිළිඳා තුරුල්ලේ ඉකිබිඳිමින්
තාප්පයට පිටදී එතැනම,…..
කළ යුතු කිසිවක් නැත
වාඩි ගතිමි
වියලි තන පුඩු,….
පුතුට අමා සුවයක්,……
විදුලි වේගයෙන් ගේට්ටුව ඇරී
කලු පැහැති රථය සීරුවෙන්…….
පුතුනේ බලන් ඇර දෑස්,……..
නුඹගේ තාත්තාව
ලොකු වුනාම නුඹත් ලැම්බෝගිනියක
ඩ්‍රයිවර් කෙනෙක්වත් වෙයන්

25/3/2024

නොනිමි පිය සෙනෙහස

කලාපය: 2024-April

මගේ මතකය ඔබේ මතකය එකට සිටි හැටි සිහි වුනා
එදා ඔබගෙන් දැනුන දහඩිය සුවද මල් සිත පැට ලුුනා
ඔබේ උණුසුම් කබායට මා තුරුලු වීලා තුටු වුනා
එවන් දිනයක් යලිත් සසරේ කවද එයි දෝ දුක් වුනා

දුවේ කවියක් කියමු කිවුවම පොතක් අරගෙන ලං වුනා
මගේ ලොකුදුව කියන කවි හරි රසයි කිවු ඔබ තුටු වුනා
ඔබේ උණුසුම හදේ කොනකට දිරිය දුන් හැටි සිහි වුනා
හවස ගෙදරට එන්නෙ කොහොමද කියා බල බල පසු වුනා

පයේ ලන මිරිවැඩිය ගිලිහෙන විටදි තුරුලට ලං කරන්
ගතේ දහඩිය පිසින අත්පොඩි දෙකත් සිපගෙන එක් කරන්
මගේ ලොකුදුව තාත්තාගේ උකුලෙ ඉන්නකො රත්තරන්
කියා කිවු හඬ තවම දෙසවනෙ දෝංකාරය දෙයි හොරෙන්

‍පෙමක සිහිනය ඔතන දැහැනක බැඳුන කටහඬ සිහි තියා
තාත්තා වගෙ සිහින කුමරෙකු නිතර පැතුවෙමි හිත ලියා
කාත් කවුරුත් නොදැක තවමත් දවස ගෙව්වත් ගී ගයා
ඔබ ම මිස වෙන කවුරුවත් නැහැ අඩුව පුරවන්නේ සොයා

ජීවිතය කවි කරමි……

කලාපය: 2024-April

සෙව්වාට මේ ලොවේ කිමිදිලා හසරැල්
රැය පහන් වෙද්දි ඒ හැමදේම ගිනිදැල්
අකුරු නෙක ගලපලා ගෙතෙන විට පදවැල්
ජීවිතය කවි කරමි එය හරිම සිහිලැල්

දරාගෙන මහාමේරුවක් සේ ගින්දර
තුරුලතා මල් සදා ලොව කරයි සුන්දර
ජීවිතය ගත වුනත් උහුලමින් කරදර
වපුරන්න ලොවට දී අස්වැන්න හර බර

පිසලන්න හැකිවුනොත් කාගෙ හෝ කදුළක්
හිතන්නට එපා කිසිවිටක එය දෙවරක්
හදවතට ආදරෙන් කියන එක වදනක්
වාරු නැති දෙපයකට වේවි ලොකු දිරියක්

රැස් කරන්නට කිසිත් නොමැති මේ සසරේ
කෙටි කලක නැවතුමකි ජීවිතය මිතුරේ
දල්වලා එකදු පහනක් වුවත් අදුරේ
සිත් නිවා සනසවමු මේ රුදුරු කතරේ….

….නදී….

සුව යහනක්

කලාපය: 2024-April

පැදුරක් රෙදි කඩමල්ල ක්
එලාපු පත්තර පිටුව ක්
කාඩ් බෝඩ් පෙට්ටි ගොඩ ක්
කඩ අගුවත් මට යහන ක්

අහස් විමනෙ රෑ හඳ ත රු
පායන දවසක් එනතු රු
හැම රැයකම නසන අඳු රු
පාරෙ කණුවෙ එළියයි හු රු

සීතල පොදි ලඟට ඇවි ත්
අත පය වක ගසයි තව ත්
බිමට වැටෙන වැහි බිඳුව ත්
පාරෙන් පැන එයි ලඟට ත්

මුර කරුවා ගොර අදි නා
හඬ කුටියෙන් යළි ඇසෙ නා
සැනසුම මදකට දැනෙ නා
පමණින් නින්දක් ලැබෙ නා

වතුර බාල්දියක් අර න්
නාවන්නට එන්න කලි න්
අකුලා ගෙන යහන සෙමෙ න්
පිටවෙමි උදයෙම අගුවෙ න්

අනිද්‍රාව

කලාපය: 2024-April

Translation of the poem ‘Insomnia’ by Linda Pastan

මගේ සිරුර මට මිතුරු ව සිටි
කාලයක් මට මතක ය

නින්ද,
හොඳ බල්ලෙකු ලෙසින්
හඬ ගැසූ සැණින් ආ හැටි මතක ය

ඒ වෙද්දී
අනාගතය වෙත ඇරුණු දොර
වැසෙන්නට පටන්ගෙන තිබුණේ නැත

සීතල ඇඳ රෙදි මැද
උඩුකුරුව වැතිර සිටීම
පෙර පුහුණුවක් ලෙස දැනුණේ නැත

දැන්
මඳ ආලෝකයක් ඈතින් මතුවේ
එය පෙරදිග ඇඳුනු පැල්ලමක් මෙනි

නින්ද,
කාර්යබහුල දොස්තර කෙනෙකු සේ
අකමැ ත්තෙන් මෙන්
මට තම වේලාවෙන් බිඳක් වෙන්කරයි

1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

Photo by Tom Dick on Unsplash

අගකුරු සොයා

කලාපය: 2024-April

ගිලෙන කොට මළ මුහුද ඉරාගෙන හිරු
දිලෙන එළි පහන් යට රතු ඇඳන් තරු
මිදෙන බෝසත් දැහැන් යලි නිදන තුරු
රිදුන අත් තටු හිමින් ගැලෙව්වලු මෙරු

සිහින සිල්ලර මිලට වීදියෙම විකිණුනා
නග්න ඔල්වර නාද අඳුර හා එක්වුණා
බිඳින මල්වර හීන සංතකෙන් ගිළිහුණා
විඳින කරදර එමට හුස්මකින් පිටවුණා

ලියන නම අගට මට වාසගම නැති වෙච්චි
ඇඳින ගන්නට එකම සාදකය මෙය වෙච්චි
සිඳුන අත්තටු දෙකම අම්මගේ මම වෙච්චි
ඉතින් තව හොයනවා මුන් අතර අප්පච්චි

AnA 2024

Photo; Ashish Agrawal

තේ පැන්

කලාපය: 2024-April

ඇඟිළි තුඩු නුඹෙ රිදෙන තරමට
පනම් නොලදත් නෙලන නෙලුමට
තියේ පැණි පැහැ පදමෙ පමණට
අගෙයි තේ එක සීනි නැතුවට,

උඩ නගින තේ වත්තෙ තරමට
සිතුම් මන්දිර උසට නැතුවට
පොඩි එවුන් ගැන හිතෙන හිත යට
පැතුම් ඇති ඉර නැගෙන හෙටකට,

නොපෙනෙනා කල බතක් ලිපකට
කඳුළු ගංගා පිරෙයි පැල යට
දොඩන්නට බහ නොදැන හිටියට
හිතේ ගින්දර තියේ හරියට,

Photo credit: Evgeny Matveev

හිඟා කන තැනට පත් කළ අපේ රට

කලාපය: 2024-April

පැරකුම් දුටුගැමුණු ලා රජකම් කරපු රට
වැඩිපුර සහල් පිටරට වෙත යවපු රට
අව්කන වගේ බුදුපිළිමත් නෙළූ රට
හිඟා කන තැනට පත් කළ අපේ රට

කවියන් ලේඛකයෝ නිහඬව ඉන්න රට
පටි තද කරන් හිටපල්ලා කියන රට
වේල් තුනක් එක වේලට දැමූ රට
පුලු පුලුවන් එකා පිටරට පනින රට

ලැබුණත් වැටුප් මදි නොකියන තරමකට
උස්සන් බෝඩ් මහපාරේ සිටින රට
නැති බැරි එවුන් හට සේවය ලැබ ගන්ට
දැඟලිය යුතු රටයි ලෝකයේ උතුම් රට

ඔන්චිල්ලාව පැද්දෙයි නිතරම උඩට
ගියා වගේ එයි හනිකට පහළකට
සියක් ආයු ලැබ ගන්නට ඉන්න විට
ලැබුණේ බංකොලොත් බව විතරයි අපිට

Photo credit; Taylor Keeran

අනේ කාලේ වනේ වාසේ

කලාපය: 2024-April

‘කෝටි හාරදාහක් වැයකළ

අම්බානි පවුලේ රජ මඟුළ’

-පුවතක්

‘ණය වී රට ගිය

බිරිඳ ගෙන්වා ගන්නට

ලක්ෂ පහළොවකට

වකුගඩුව විකුණන ස්වාමියෙක්’

-පුවතක්

අම්මෙ මම කුමට නම්

මෙලොව එළිය දුටුවෙම් දැයි නොදනිම්

මුත්‍රා බරින් මිරිකුණු මිනිහෙකු

සීඝ්‍රගාමි බස්රියකින් බටුවා සේ

සංක්‍රාන්ති කාලයා තුළදී

මට කිසියම් ඇබැද්දියක් වුණු සේ යැ

සිතුවම : මහා ඔස්ත්‍රියානු සිත්තර එගොන් ෂියෙල් (Egon Shiele) විසිනි.

නොමිලේ

කලාපය: 2024-April

වසරක් ගෙවී වසරක් ගතවන්නේ
දවසක් ගෙවී දවසක් ගතවන්නේ
එය කිසිදු දෙයකට නොව
එය ඔබ සදහාමය

ගැටෙමින් හැපෙමින් පෙරලෙමින්
ගලායන ගගක් වුව
සයුරහි වැටී ගැඔරු දියඔට
ගලා පිරිපුන්ව නිසල විය

ලංසු තබමින් අද දින ගත කරන
නැතිදෙයට අඩමින් ඇති දෙයට ආවඩන
අද මැරුනේ නැතිනම් සිතා බලන්න
හෙට දින ලැබෙන්නේ ඔබට නොමිලේමය.

කවි පොතේ පිටුවක මගෙත් කවියක් තිබුණි

කලාපය: 2024-April

වීසල් මල් උයනක
වසන්තේ එක් දිනයක
පිරුණු මල් ගොමූවක
අසල තුත්තිරි පදුරක
පිපුණු එක මල් ඉත්තක
විදාලූ පොඩි පෙත්තක
මැවූනු රු රටා එක්කර
ඇදුණි කෑමරා ඇසක් අස්සක

තාත්තාගේ මළගම දා

කලාපය: 2024-April

තේජවන්ත වූ ඔබ උවනත දෙස
බැලිය නොහැකි විය කිසි දින සෘජු ලෙස
එසේ බලන්නට හැකිවූ දිනයෙදි
දෑස වසා සිටි කඳුළු පටලයෙන්
ඔබේ උවන මට නොම පැහැදිලි විය
පියාණනේ …..

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුණි කාව්‍ය සංග්‍රහයෙන් – 2024

සිනමා සිත්තමක්……..

කලාපය: 2024-April

කාලය ගෙවී අඩ සියවස ලබන විට

මිතුරන් පිරිවරන්නට වැට කඩොලුත් එමට

ගිම්හානයට පරිසරයම වෙනස් කොට

පරිසරයම සුබ පැතුමක් ගෙනේ අපට

ඇවිදන් ගිහින් ජීවිතයේ නෙක යුගය

නෙක ගව් ගෙවා එතෙරක ඇරබුණු දිවිය

දරුවන් වඩා දුක සිරකල ඒ සමය

සිනමා සිත්තමක් සේ දිස්වෙයි නැත සැකය

ආ ගිය තැන් සේම කල කී හැම දේම

කාලය එක්ක ව වෙනසක් හැමදාම

පෝරුවේ බැදුණු අතැගිලි තිබෙනා සේම

සක්මන් ගමන් ඉදිරියේදී වෙයි කෝම

ප්‍රේමය නම්

කලාපය: 2024-April

ප්‍රේමය නම්
(බිරිඳක් ව අකීකරු මට)

කසාදය තිත්ත නෑ – කරවිල වගේ
උවමනාවෙන් තෙම්පරාදු කරාම
නොපිච්චෙන ගානට.
ජීවිතේ රතුහාල් බත් එක්ක
රහයි ආදර කිරි හොද්ද ගෑවුණ ගෑවුණ තැන …..

මම කිව්ව එයාට
නෝනා…….
එක තැන ම පල් වෙලා
මං හෙන පරණයි – රළු යි නේ ද?

එයා;

පිස්සු
ඔයා හොඳ ම අච්චාරු
පරණයි රහයි
කන්න කන්න ආසයි
බෙදාගන්ඩ ලෝබයි

මකුළු පෙම කාව්‍ය සංග්‍රහයෙන්

වෙලාවකට, ගූගල් මැප්…!

කලාපය: 2024-April

තාක්ෂණය දිනෙන් දිනම දියුණු වෙනවලූ…
සූක්ෂමව වැඩ කෙරුමට උදව් දෙනවලූ…
තීක්ෂණව යොදවා ගෙන හඳට යනවලූ…
ඒක්ෂණයකින් වැරදී බැටත් කනවලූ…

අප ඉස්සර පාර හෙව්වෙ සිතියම් බලලා…
එපමණ දුක් නොවිඳින්නට පහසුව සොයලා…
සැපවත් ලෙස ගමන් යන්න මගකිය කියලා…
උපදව ඇති “ගූගල් මැප්” ෆෝනෙට දමලා…

යන්න ඕන තැන දැමුවම, පාර පෙන්නලා…
මෙන්න මෙහෙම යන්න කියා එයින් දන්නලා…
දුන්න උපදෙසුත් පිලිපැදි අයව ගෙන්නලා…
කන්න දීපු කෑමලු මේ, යසට අන්දලා..!

ගමේ කඩේ !

කලාපය: 2024-April

පොඩි කඩ පිලකි
සරුබර නැත
ජය පහට

පොඩි පොඩි
කෑම සමඟින්
තේ රස බෝම

පත්තර දහක
විස්තර දත හැක
කදිම

කුසට ද ඔළුවට ද
ලැබදෙයි
හොඳ පදම

ලොකු ලොකු
කාර්වල එන
ලොකු මහත්තුරූ

චිරිස් බිරිස්
පළඳින
සුදු නෝනාවරූ

යතොත් මෙතැන
පහුකර
ගමනක් අතුරූ

එන බව කියයි
මුදලාලි
ඇතුව ගරුසරූ

බොයිලේරුවේ
තේ නිතරම
උණු වෙනවා

හැලප ලැවරියා
පිට්ටුත්
රස දෙනවා

ඉඳි ආප්ප
කිරි හොදි
බඩ පුරවනවා

ගමේ කඩේ
ලඟ කවුරුත්
නවතිනවා …. !

සමනල සඳෙස -10 -11

කලාපය: 2024-April

සමනල සඳෙස -10

2024.03.01

12 සීත ගඟුලේ අසිරිය

සමනලයාට උපදෙස්

173. සිතකල උකා දිය බිදු කඳු මුදුන් පිට
බිහිකළ උල්පතට පෑහී විටින්-විට
සුවිපුල සමන් සුරිඳුගෙ අඩවියේ සිට
සිහිතල ගඟුල ගලනා රඟ බලනු වට

174. උස් – පහතක් තරම නොතකා සම ව වැදී
වස්සන පොද වැසින් පරයෙන්- පරය මැදී
ඇස්වහ නොගන් ඇය යන ලාලිතය ඇදී
හිස් නහවමින් ගල් පර දෙයි සතර පැදී

175. සිරි පා පතුල වඳිනුව යන වෙසෙස් දනා
පිරිසුදු වනුව බැස ගඟුලෙහි කෙළෙස් මනා
කිරිසුදු පෙණ කැටිති පොඩිකර සතොස් පුනා
ගිරි නැගි වෙහෙස නිමකොට ඉන් නිදොස් වනා

176. නාලා පැළඳ පිරුවට සුදු – සුසුදු වතේ
බීලා කහට උණුසුම රඳවනුව ගතේ
මාලා පැළඳ සිතිවිලි වැල් ගෙතෙන සිතේ
පාලා සිනහ කොද කැණ් වපුල එ බිම් මතේ

177. පද්දා උකුල් දෙන රුකුලට සුළං රළින්
රිද්දා පතුල් ඇගෙ සුමට ව ඇති උපතින්
අද්දා විකල් සිහි ඇති වූවකු ම ලෙසින්
වද්දා සුරල් රිදුමෙක ගී ගයන මුවින්

178. තැන – තැන නැගෙන නැගි- නැගි බිදුණෙ ද රැල්ලේ
පැන – පැන හැපෙන හැපි – හැපි ගැටුණෙ ද කෙල්ලේ
මිණ – මිණ සැදෙන සැදි – සැදි එතුණෙ ද තැල්ලේ
ගැණ – ගැණ මැදෙන මැදි – මැදි රැදුණෙ ද බෙල්ලේ

දත යුතු කරුණු ගොමුව – 8

179. සිත උණු නොවී කිසිවකුටත් මෙල්ල නොවී
ඇත සිහිතලේ රැය – දහවල් කෙල්ල රුවී
විත දුණු දියෙන් විද හැමට ම සිතල කැවී
මෙත පා ඇදීයන් පෙරට ම කොමල නොවී

180. අඩවි කන්ද පසු කළ විට ඇති ගිර හිස ඔසවා ගෙන
වර්ණගලයි එ ගිර වටේ ලස්සන බල අසිරිය දෙන
රත්නපුරාව ම වටේට දසුනට අසුවන බිම පින
එ ගිර බැලුම්ගලක් ද වී දනට පැරැණි සිටි පුර මිණ

181. වර්ණගලේ පහළින් ඇද හැළෙන ඇල්ලෙ විසිතුරු මග
ජවයෙන් පෙරළමින් ගිරෙන් බිඳී අවුත් රගනා රඟ
වර්ණගලේ දිය ඇල්ලයි උපදන විදුලියෙ උල්පත
හිරු ගිර යට වැළලුණු පසු මග සරසන ජල සම්පත

182. සිව් දෙසකින් ලක සිව් දෙසින් ම එන
බැති දන හැමට ම විවර ඇතී
සමනොල ගිර වට සතර වටින් ඇති
මග සැදුමට නිති වරම රුතී
ඒ සිව් දෙසකින් කෙලෙස පැමිණිය ද
එ හැම මගක් එක මගට ගැතී
ඒ මග මුදුණේ මුදුණත මැද්දේ
මුණි පා සිරි පා කරනු බැතී

183.කුරුවිට පෙදෙසින් එන මග හමු වෙයි
අනෙක් පසින් මග රත්නපුරේ
දෙ මග ම මුණ ගැහෙනා තැන වෙයි එහි
ගල් වංගෙඩියට වැදුම් පිරේ
ඊට මදක් පහළින් මග ඇත්තේ
හැරමිටිපානේ පොලීසියයි
මකර තොරණ ඇති රත්නපුරේ මග
හැටන් මගේ තොරණට යට වෙයි

184. කුරුවිට – එරත්න, මුරේවත්ත – මාලිම්බඩ
දෙ මගයි රුවන් පුරේ
හැටන් – නල්ලතන්නියේ, රත්නපුර
පලාබද්දලයි මං සතරේ
එ මං සතර මග ගෙවන තැනේ හමු වන
තැන-තැන ඇති කතන්දරේ
වෙනස් වුව ද එක මංසන්ධියක දි
සිව් මග රජ මාවතට හැරේ

185. වෙහෙස දැනේ නම් ඇති අම්බලමෙ සිට
වෙසෙස නැතේ නම් මැළි නිදිමතෙහි ගැට
පෙදෙස බලන් ලස්සන නෙතු යොමා වට
මෙදෙස පසු කරන් නුඹ යනු ගෙත්තමට

186. ජම්බෝලේ ගහ යට ඇති අම්බලමේ ගිමන් දවා
සම්බෝලේ සමග ඉතින් සුදු හාලේ බතුත් කවා
මං බාලේ සමනල ගිර කරුණා කළ දිනය මවා
බං රාළේ බතුත් කවපු හැටි මතකයි පවස නිවා

13.ඉදිකටුපානයි – ගෙත්තම්පානයි

සමනලයාට උපදෙස්

187. ඉදිකටුපානින් ගෙන නූල ද
අමුණා ඊට අගින්
වැඩී සිටිනවුන් පෙන්වති
ඇස් පෙනුමැති බවට සොදින්
නූල දිගින් කියැවෙන්නේ වයසයි
වසකට අඩිය බැගින්
ඉදිකටුවෙන් පෙන්වන දස්කම්
ගෙත්තම්පානින් බලන් ඉදින්

188. රැහැන් – රැහැන් බැඳි ගෙතුම් වැටක් සේ
දසුන් ගෙනේ බැලු විට ඈතින්
රැහැන් – රැහැන් පට එතෙයි – එතෙයි තව
තම අබිමන දනවා දෑතින්
රැහැන් – රැහැන් ගෙන ඉඳිකටුවක බල
විකුමන් පා විසිතුරු ගොතමින්
රැහැන් – රැහැන් බැඳ ඔවුන් කියන්නෙ ද
ඔවුනගෙ දස් – විස්කම් එලෙසින්

189. ගෙත්තම් කරලා ගෙත්තම්පානේ
එනු ඉදිරියට ම ප්‍රිය මිතුරේ
වත්තම් කරගෙන හැරමිටි අල්ලා
යන පිරිසට ඉඩ දෙනු සොයුරේ
අත්කම් කළ අත්තම්මල – සීයල
නෑනල – බෑනල එක පොකුරේ
විස්කම් ලෙස කළ ගෙත්තම් ගැන
නැන්දල – ලේලිල නම් කරති පොරේ

190. මාමයි නැන්දයි – අයියයි අක්කයි
නංගියි – මල්ලියි එක ම නඩේ
කෝඩුවෙ යන හැම දෙනාගෙ පස්සෙන්
ආ – රස්සාවට සිටින හැඩේ
කිට්ටු වෙලා ඔවුනගේ කතාවට සවන්
යොමනු මැන නොබැණ තුඩෙන්
මට්ටු කරන හැටි එකිනෙකා පරයා
හරඹෙට වන් දෙ පිරිසේ වැඩෙන්

191. යනෙන හැම දනාත නැති මුත්
නුඹ ළං වෙන තැන හැරමිටිපානයි
තැන හමු වෙන තෙක් හැරමිටි ගසමින්
පෙළක් දනන් මිට හැර යන තානයි
අත්තල මුත්තල – නත්ත පනත්තල
කිත්තල හැරමිටි අත හැර දැමුවයි
දෑතේ දෙ පයේ සවියේ ඇගෙ තිබු
මෙ අයුරින් පෙන්වූ හැටි කදිමයි

192. තමන් වාරු ගත් එතෙක් තමුන් ළග
ගමනට – බිමනට තිබු හැරමිටි ය
ගමන් ගිහින් වැද එන්නට සිරි පා
සමන් ගිරට බුදු හිමි වැඩිය
මෙවන් ලෙවන් පෙර දවස සිටිය මුත්
අද දකිනට නැත ගත සවිය
ගණින් නෙතින් යුග පියපත් පිස දා
අත හැර යන හැරමිටි පොදිය

193. හැරමිටි ගැණලා හැරමිටිපානත්
පසු කළ පසු ඇති අම්බලමේ
වෙහෙස නිවා ගනු සමනල සුමිතුර
නොනිදා විඳ පරිසර අරුමේ
කටුකිතුලයි අම්බලමේ නම එහි
රැදෙමින් ගොනුකර ගුණ කරුණූ
තටු සිඳිලයි නුඹෙ වරිගෙ නැහෙන්නේ
ඒ බව දැන කටයුතු කරනූ

194. හැරමිටිපානෙදි දුටුව ගලක් වෙ ද
ඇද තිබු සලකුණු නුඹට අමතක ද
පෙර රජ දවසෙදි යතිවරු රජවරු
ධන උරුමය සැගවූ බව දනුව ද
පුරවර දෙවිවරුනගෙ රැකවරණය
මැද අපෙ උරුමය සගවා තැබුව ද
දුර නොසිතන නරුමයනගෙ ඇස් ලොද
මේ උරුමෙට අණ – විණ කොඩි බැන්දෙ ද

195. අප උරුමය රැක ගත යුතු බව දත්
බොහෝ පිරිස් එය වනසන ඇති සිත්
ඇත්තන් බව පැහැදිලි ලෙස නුඹටත්
දැනුණේ නම් නැත එයි වරදක් දත්
තමන්ට ඇත්නම් පමණි සියලු දැය
දැයෙහිවුන්ට නම් කොහොම වෙතත්
එහෙම සිතන දුර්ජනයින් හමුවෙහි
නුඹ අසරණ වෙයි නැති සිත් – පිත්

දත යුතු කරුණු ගොමුව – 9

ආඩියා මළ තැන්න

196. මග තෙපළන්නට කටමැත දොඩමින්
කාලය කා නොදමා හනික
ඉදිරියෙ ඇති මහ සුමන සමන් දෙවොලට
පිවිසෙනු නොරැදී තැනක
නල්ලතන්නියේ හැටන් මගෙහි ඇති
මකර තොරණ දුටුවෙන් දිනක
රත්නපුරා මග හමුවෙන තොරණේ
වෙනස කියනු ඇති දෑ රැසක

197. පැමිණි අරමුණත් – ආරක්ෂාවත්
දෙ කරැණු මැනැවින් ඉටුකර දෙන සේ
සදෙසෙ ගමන් මග අවසන් වන තුරු
නුඹ රැක දෙන ලෙස මූළික වන සේ
සමන් සුරිදු වැද පඩුරු ගැට ගසා
දකුණු පසෙහි ඇති පිළිම වහන්සේ
අභියස තිසරණයෙහි සිත පිහිටා
පන්සිල් පද මුමුණනු නුඹ සිත් සේ

198. ඉන්පසු හමු වන තැන පිළිබද තතු
රැසකට ඉතිහාසයට ම භාරයි
“ආඬිය මළ තැන” ලෙස නම් වී ඇති
තැන ගැන “ජනපරවාදය” බෝමයි
ටිකිරි කුමරු රජු රාජසිංහ සිරි පා
කරුණාකොට “මළුව” සෑදුවයි
ඉන්පසු ශිව භක්තික ජනයා හට
වදිනට අවසර දුන් බව කියැවෙයි

199. තවත් කතාවෙකි මේ ගැන
ආඬිය මළ තැන්නට ම ඇතී
ශිව භක්තික පූජකයකු වූයේ යැයි
බොහො දනෝ ද පවස ඇතී
පෙර දවසේ “සන්නාසිය” ලෙසින් මැ
ඇමතූ මිනිසකු වයස ඇතී
දිවිය ගෙවා මළ බව කියැවෙයි ඒ
පළාත භාර ව ඉදල ඇතී

සමනල සඳෙස -11

2024.04.01

14. ඇසල කණුවෙ දී පිරුවට ඇන්දයි

සමනලයාට උපදෙස්

200. එ කරුණු – මෙ කරුණු සිත යට සඟවා
තව – තව ඉදිරියට ම යන්න
ඇතිරුණු – පැතිරුණු මීදුම අස්සෙන්
හෙමින් – හෙමින් තටු සොලවන්න
රස දුන් – සැඟවුණු තවත් කතා ඇත
එ පුවත් හොද හැටි දැනගන්න
සුද දුන් – සුදු හුණු ගෑ විලැසති සළු
පිරුවට සේ ඇග පළඳින්න

201. නුඹට දකින්නට හැකි වෙයි ඉදිරියෙ
යන මග වම් පස පිහිටි ගලක්
ඇහැල කණුව අසලයි ඒ ගල හිස
එ මත තබති දනෝ පෙළක්
ගමනට ආරක්ෂාවක් පතනා බව
කියති දනෝ මෙතෙක් කලක්
ඔලුව තබා ඒ ගල මත ඉල්ලා
සිටිති පළඳා පිරුවට සළුවක්

202. ඇහැල කණුව පසු කළ විට සුමිතුර
හමු වන මග ගිරි දඹය නගින්නට
ලෙහෙසි – පහසු කටයුත්තක් නොවුණ ද
කරුණා කරනු සමන් දෙවි පිහිටට
බිය සංකා නොමැති ව නොපැකිල ව ද
ඉදිරියට ම යව් නගිමින් පියගැට
සතුටක් ගෙන දේ තබන – තබන පය
නිම වෙන සද තරණයකොට ඉහළට

203. මහගිරිදඹ පිය මැන උස නොබලා
දිගින් – දිගට පියපත් යුග ගසලා
නැගෙන වෙහෙස මදකට දුරු කරලා
ඇතුළු වෙන්න රජ මාවත සොයලා
ගිරි දුරු මග තරණයකොට යන ඔබ
රජ මාවත ඔස්සේ පිය නගලා
බලාගෙනයි මග සුළං කපොල්ලක්
වෙයි සිරි ගිරි වට දුවයි හඹාලා

204. සුළං කපොල්ලෙන් බැහැර ව යන තෙක්
නොපියඹ පිය මැන – මැන යන්න
සුළං රළ ද අති බියකරු වෙයි දිය රළ
වාගෙ ම නුඹ දැන ගන්න
සුළං රළට ඇති “හැකිකම්” අතරේ
හැක පියපත් නුඹෙ සිද ලන්න

205. සීරුවට – මාරුවට තැබූ අඩියෙන් – අඩි ය
* වාගෙ ගිරි දඹේ දී නැග්ග පඩියෙන් – පඩි ය
මීදුමින් වැසී ගත් අඩවි සිව් ගිරි හිස් ය
බලා සිටිනා මළුව දෙස රක්ඛ බල සේ ය
විටින් – විට මළුව වෙත එවන හී සර සේ ය
හඹයි රකිනායුරින් වේරම්භ වාත ය
*(හපද කවි රටාවට ලියූවක්)

206. නුඹට තේරුණු වගයි – නුඹ ද ඉන් දිනු බවයි
** සුලං රළ ප්‍රමාදයි – නුඹේ වේගය වැඩියි
ඇති කපොලු පැන ගන්න – “සැකසුරුවම” හොදයි
සිතට බිය ගෙන දෙන්නෙ – මටත් නුඹටත් නොවෙයි
නුඹේ තටු සිඳේ නම් – මා කුමක් කරනු මැයි!
**(නිසදැස් – සැහැලි රටාවට ලියූවක්)

207. කපොල්ල පැන සුළං රළට මුවා ව
පෙර ගමන් ගත්ත
විකල්ප නැත රජ මාවත ඔස්සේ
තව දුරක් ගත්ත
වම් පස හමු වන එ මගෙහි “ භගවා ලෙන”
නමක් ගත්ත
සෙල්ලිපි සමුදායකි එහි තුළ රජෙකුගෙ
රුවක් ගත්ත

208. සිරි නිස්සංක මල්ල – නම් රජු සිරි පා වැන්ද
ලෙසට කොටා ඇති රුව – රජු මැයි කියති මන්ද
ඇති සෙල්ලිපිවලින් පවා – මේ බව තහවරු වෙමින් ද
පවතින බැව් පුරවිදු පඩිවරු – පවසති පවුරු බැන්ද

209. භගවා ලෙන පසු කළ පසු
මුණි සිරි පා වැඩ ඉන්නා
ඉහළ මළුව පෙනෙයි පැරණි
රජ දහනක සිරි ගන්නා
වාම පාද ලාංචනය තැබු බැව්
දෙවි ඇරැයුමෙනා
තාම බොදු දනන්ගෙ දෑත් හිස්
මුදුණින් එසැවෙන්නා

210. මැදියම පසු වී ගමන් කරන විට
නිදිමල හිටි වන පූදී නම්
මදක් නතර වී ඇල් දිය බිඳු ගෙන
නෙත් කොපු අගටත් වෑහී නම්
උඩ මළුවේ දී දකිනට ඇති දෑ
නුඹෙ නෙත් සගලට ඔිනෑ නම්
හිරු දෙවි නැගෙනට පෙරතුව මළුවට
යන එක හොඳ පෙර සූදා නම්

211. තේවා කාලයෙදි සොඳින්
කටයුතු දැනුවත් වුණාට
සේවා රැස කොපමණ දැයි
සමනල දන්නේ නැතිවට
මේවා නැත අයාලයට
සිද්ධ වෙන්නේ හිතුමතේට
වේවා තුනුරුවන් පිහිට
නුඹටත් යන නුඹේවුන්ට

212. සිරිමත් සිරි පා වැද හිස නම්වා
සිරි පා ගල මත නුඹෙ හිස තබලා
කිරිකෝඩුවෙ ගිය නුඹ ගැන දනවා
කපු මහතුන් නිති සෙත් කවි කියලා
අසිරිය සිරි දෙන සිරි පා දුටුවා
යන සිතිවිලි නුඹෙ සිත පුරවාලා
ඒ අසිරිය විඳ මුසපත් වේවා
ගමට එන්ට නිති සිත පැහැදීලා

213. නිදි ගත් ලකඹර එලිය කරන්නට
ඉරු දෙවියන් ලොව බලන උදෑසන
ඒ අරුමය දැක ගනු මා සමනල
සිත තව ඉපිලෙයි සතුට දරාගෙන
ඉර සේවය හිරු නැගෙන වෙලාවට
වළා පෙළ ද නෙක වණින් පාටගෙන
විහිදෙන අරුණලු රැස් මල් පොකුරෙන්
සිරිලක් කොමලිය සැනැහෙයි සිපගෙන

214. පෙරඹර දෙස ගිර මුදුණේ
සවි කර ඇති සීණුවේ
නාද රටා මවන දෑත්
දුටුවෙ ද මගෙ යාළුවේ
වරක් – දෙකක් – තෙවරක්
සිව් වරක් වඳින වාරයේ
පැවසෙයි ඉන් පැමිණි ගණන
මළුවට හැම නාදයේ

215. සමනල නුඹෙ කෝඩු ගමන
මේ වර හින්දා හිතවත
කළබල සිතනැති ව වරක්
නාද කරනු දැන පුරවත
දිරි බල ගෙන සිතට -ගතට
යළිත් දිනෙක පින් බිම වෙත
එන කල නින්නාද කරනු
ඝණ්ඨාරය ඇද පින්වත

216. දඩුකෝඩුවෙ යන වැඩී සිටිනවුන්
කියන – කරන දේ සිතට ගනිල්ලා
කිරිකෝඩුවෙ යන කොයි – කවුරුත් යස
පාඩමකට මෙන් අහුල ගනිල්ලා
සිරි පා වැන්දා හිරු දෙවි බැලුවා
සමන් දෙවිඳුටත් පින් දීපල්ලා
තෙරුවන් සරණින් දෙවියන් පිහිටෙන්
හෙමින් සීරුවට ගිර බැහැපල්ලා

13. ඉතිහාසයෙන් බිදක්…
217. අට වසකට පසු බුදු බව ලැබ ගත්
ශාන්ති නායක බුදුන් වහන්සේ
කැළණියෙ මණිඅක්ඛික නා රජුගේ
මැදුරට වැඩියේ ඇරයුම් කළ සේ
සුමන සමන් දෙව් රද ඒ බව දැන
කළ ආරාධනයත් පිළි ගත් සේ
සමනල ගිර හිස සමන් අඩවියේ
වම් පා සටහන් තැබු බව පැවසේ

218. භාතිකාභය රජුගේ දවසෙදි
තිබුණේ ලස්සන මල් උයනක්
ඒ උයනේ සිටි උයන්පල්ල විය
අත්-පා හිමි නැති කොට මිනිසෙක්
රජ උයනට විත් මල් අඩු බව දැන
විමසා සිටියේ විස්තරයක්
කොටා එදින සිට මල් හොරකම් කළ
උදවිය සෙව්වේ දින ගණනක්

219. දින ගණනක් මල් උයනේ සැංගී
උයන්පල්ල හොරු කවුරුන් දැයි
සොයමින් සිටියේ රැයත්- දවාලත්
“රජ අණ නොකඩා සොයනේ මැයි”
සුර අඟනුන් නෙක මල් නෙළනා බැව්
සිත දැඩි මේ මිනිසා දුටුවැයි
අගනක් අල්ලා ඇයගෙන් ඇසුවැයි
“මල් සොරකම කිම කරනුයෙ ඇයි”

220. එ සද එ අඟනෝ බොහොම ප්‍රීතියෙන්
“ බුදු හිමි සිරි පා වදිනට ගන්නේ
මේ මල් උයනේ නෙක මල් පුදමින්
සමනල ගිර මුදුණට අප යන්නේ”
සමනල ගිර කොහිදැයි විමසීමෙන්
ඊට ද පිළිතුරු බැඳි බව දන්නේ
“අප මල් දමමින් යන මග දිගට ම
මහ පිරිවර ගෙන පිය මැන එන්නේ”

221. මේ අයුරිනි සමනල ගිර ඇති තැන
කොටා විසින් සොයලා දී ඇත්තේ
රජු ද එ තැන් සිට හැම අවුරුද්දෙ ම
සිරි පා කරුණා කරනුව මත්තේ
රාජ උණුසුමත් රාජ ගෞරවය
මැද සිරි පා බිම “පින් බිම” ගත්තේ
බුදුන් දහම් හා සගුන් සරණ යන
සැම දන – මන සිරි පා සිරි මත්තේ

222. කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය
ඒදන් උයනෙන් උපන්න දිය ගඟ
සතර දිශාවට ගලමින් ඇති බව
ඒ නිසා ම මේ සමන් ගිරේ රඟ
ලොවේ මුල් ම මිනිසා ආදම්ගේ
පා සටහන් තැබු ස්ථානය වග
විශ්විසය කරනා බව මෙ තැනේ
සදහන් නූවත් ලිය-කියවිලි මග

223. අරාබි දේසේ මුස්ලිම් ඇත්තන්
සහ ලක අනෙකුත් මුස්ලිම් මිනිසුන්
“නබිතුමාගෙ පා සටහන” වන්නේ
එනිසා “ආදම්මලේ යැ” කියමින්
තවත් දුරට උහු තවත් නමක් දී
“පබාදමලේ යැ” ඔවුන් පවසමින්
බුදු හිමි සිරි පා පාද වදින්නේ
ඉතිහාසෙට ඇති නෑකම් සොයමින්

224. හින්දු බැතිමතුන් *ශිව භක්තිකයන්
රාජසිංහ රජු සීතාවක සිටි
පැවරු නිසාවෙන් ඊට මුවා වී
*“ශිවනඩිපාදම්” යනුවෙන් එ ද හිටි
දනන් නම් කෙළේ යැයි පැවසෙන්නේ
*“ශිවන්ඩල්පාදම්” යනු ද එදා පිටි
දෙනා පැවසු බව අයාලයට හෝ
ශිලා ලිපියකින්වත් නැති ව ද දිටි
(*ශිවන් ඔලි පාදම් මැලේ – ශිවදෙවියන්ගේ පාදාලෝකනය)

225. මෙසේ පුරාවත කෙසේ තිබූ ව ද
ගෞතම මුණිදුගෙ සිරි පා සටහන
තොසේ හද දරා සැනැහි – සැනැහි අද
බොහො දනෝ වඳිතෙයි සිත් සනහන
ගිරි ඉතිහාසය පිළිබද සටහන්
ඉතිහාසය තුළ වළ ලා සතපන
සිරිලක වැසියන් සියලු දෙනාට ම
විවරයි පත් දොරටුවෙ සමනල රන

(මතු සම්බන්ධයි.)

සමනල සඳෙස -11

2024.04.01

14. ඇසල කණුවෙ දී පිරුවට ඇන්දයි

සමනලයාට උපදෙස්

200. එ කරුණු – මෙ කරුණු සිත යට සඟවා
තව – තව ඉදිරියට ම යන්න
ඇතිරුණු – පැතිරුණු මීදුම අස්සෙන්
හෙමින් – හෙමින් තටු සොලවන්න
රස දුන් – සැඟවුණු තවත් කතා ඇත
එ පුවත් හොද හැටි දැනගන්න
සුද දුන් – සුදු හුණු ගෑ විලැසති සළු
පිරුවට සේ ඇග පළඳින්න

201. නුඹට දකින්නට හැකි වෙයි ඉදිරියෙ
යන මග වම් පස පිහිටි ගලක්
ඇහැල කණුව අසලයි ඒ ගල හිස
එ මත තබති දනෝ පෙළක්
ගමනට ආරක්ෂාවක් පතනා බව
කියති දනෝ මෙතෙක් කලක්
ඔලුව තබා ඒ ගල මත ඉල්ලා
සිටිති පළඳා පිරුවට සළුවක්

202. ඇහැල කණුව පසු කළ විට සුමිතුර
හමු වන මග ගිරි දඹය නගින්නට
ලෙහෙසි – පහසු කටයුත්තක් නොවුණ ද
කරුණා කරනු සමන් දෙවි පිහිටට
බිය සංකා නොමැති ව නොපැකිල ව ද
ඉදිරියට ම යව් නගිමින් පියගැට
සතුටක් ගෙන දේ තබන – තබන පය
නිම වෙන සද තරණයකොට ඉහළට

203. මහගිරිදඹ පිය මැන උස නොබලා
දිගින් – දිගට පියපත් යුග ගසලා
නැගෙන වෙහෙස මදකට දුරු කරලා
ඇතුළු වෙන්න රජ මාවත සොයලා
ගිරි දුරු මග තරණයකොට යන ඔබ
රජ මාවත ඔස්සේ පිය නගලා
බලාගෙනයි මග සුළං කපොල්ලක්
වෙයි සිරි ගිරි වට දුවයි හඹාලා

204. සුළං කපොල්ලෙන් බැහැර ව යන තෙක්
නොපියඹ පිය මැන – මැන යන්න
සුළං රළ ද අති බියකරු වෙයි දිය රළ
වාගෙ ම නුඹ දැන ගන්න
සුළං රළට ඇති “හැකිකම්” අතරේ
හැක පියපත් නුඹෙ සිද ලන්න

205. සීරුවට – මාරුවට තැබූ අඩියෙන් – අඩි ය
* වාගෙ ගිරි දඹේ දී නැග්ග පඩියෙන් – පඩි ය
මීදුමින් වැසී ගත් අඩවි සිව් ගිරි හිස් ය
බලා සිටිනා මළුව දෙස රක්ඛ බල සේ ය
විටින් – විට මළුව වෙත එවන හී සර සේ ය
හඹයි රකිනායුරින් වේරම්භ වාත ය
*(හපද කවි රටාවට ලියූවක්)

206. නුඹට තේරුණු වගයි – නුඹ ද ඉන් දිනු බවයි
** සුලං රළ ප්‍රමාදයි – නුඹේ වේගය වැඩියි
ඇති කපොලු පැන ගන්න – “සැකසුරුවම” හොදයි
සිතට බිය ගෙන දෙන්නෙ – මටත් නුඹටත් නොවෙයි
නුඹේ තටු සිඳේ නම් – මා කුමක් කරනු මැයි!
**(නිසදැස් – සැහැලි රටාවට ලියූවක්)

207. කපොල්ල පැන සුළං රළට මුවා ව
පෙර ගමන් ගත්ත
විකල්ප නැත රජ මාවත ඔස්සේ
තව දුරක් ගත්ත
වම් පස හමු වන එ මගෙහි “ භගවා ලෙන”
නමක් ගත්ත
සෙල්ලිපි සමුදායකි එහි තුළ රජෙකුගෙ
රුවක් ගත්ත

208. සිරි නිස්සංක මල්ල – නම් රජු සිරි පා වැන්ද
ලෙසට කොටා ඇති රුව – රජු මැයි කියති මන්ද
ඇති සෙල්ලිපිවලින් පවා – මේ බව තහවරු වෙමින් ද
පවතින බැව් පුරවිදු පඩිවරු – පවසති පවුරු බැන්ද

209. භගවා ලෙන පසු කළ පසු
මුණි සිරි පා වැඩ ඉන්නා
ඉහළ මළුව පෙනෙයි පැරණි
රජ දහනක සිරි ගන්නා
වාම පාද ලාංචනය තැබු බැව්
දෙවි ඇරැයුමෙනා
තාම බොදු දනන්ගෙ දෑත් හිස්
මුදුණින් එසැවෙන්නා

210. මැදියම පසු වී ගමන් කරන විට
නිදිමල හිටි වන පූදී නම්
මදක් නතර වී ඇල් දිය බිඳු ගෙන
නෙත් කොපු අගටත් වෑහී නම්
උඩ මළුවේ දී දකිනට ඇති දෑ
නුඹෙ නෙත් සගලට ඔිනෑ නම්
හිරු දෙවි නැගෙනට පෙරතුව මළුවට
යන එක හොඳ පෙර සූදා නම්

211. තේවා කාලයෙදි සොඳින්
කටයුතු දැනුවත් වුණාට
සේවා රැස කොපමණ දැයි
සමනල දන්නේ නැතිවට
මේවා නැත අයාලයට
සිද්ධ වෙන්නේ හිතුමතේට
වේවා තුනුරුවන් පිහිට
නුඹටත් යන නුඹේවුන්ට

212. සිරිමත් සිරි පා වැද හිස නම්වා
සිරි පා ගල මත නුඹෙ හිස තබලා
කිරිකෝඩුවෙ ගිය නුඹ ගැන දනවා
කපු මහතුන් නිති සෙත් කවි කියලා
අසිරිය සිරි දෙන සිරි පා දුටුවා
යන සිතිවිලි නුඹෙ සිත පුරවාලා
ඒ අසිරිය විඳ මුසපත් වේවා
ගමට එන්ට නිති සිත පැහැදීලා

213. නිදි ගත් ලකඹර එලිය කරන්නට
ඉරු දෙවියන් ලොව බලන උදෑසන
ඒ අරුමය දැක ගනු මා සමනල
සිත තව ඉපිලෙයි සතුට දරාගෙන
ඉර සේවය හිරු නැගෙන වෙලාවට
වළා පෙළ ද නෙක වණින් පාටගෙන
විහිදෙන අරුණලු රැස් මල් පොකුරෙන්
සිරිලක් කොමලිය සැනැහෙයි සිපගෙන

214. පෙරඹර දෙස ගිර මුදුණේ
සවි කර ඇති සීණුවේ
නාද රටා මවන දෑත්
දුටුවෙ ද මගෙ යාළුවේ
වරක් – දෙකක් – තෙවරක්
සිව් වරක් වඳින වාරයේ
පැවසෙයි ඉන් පැමිණි ගණන
මළුවට හැම නාදයේ

215. සමනල නුඹෙ කෝඩු ගමන
මේ වර හින්දා හිතවත
කළබල සිතනැති ව වරක්
නාද කරනු දැන පුරවත
දිරි බල ගෙන සිතට -ගතට
යළිත් දිනෙක පින් බිම වෙත
එන කල නින්නාද කරනු
ඝණ්ඨාරය ඇද පින්වත

216. දඩුකෝඩුවෙ යන වැඩී සිටිනවුන්
කියන – කරන දේ සිතට ගනිල්ලා
කිරිකෝඩුවෙ යන කොයි – කවුරුත් යස
පාඩමකට මෙන් අහුල ගනිල්ලා
සිරි පා වැන්දා හිරු දෙවි බැලුවා
සමන් දෙවිඳුටත් පින් දීපල්ලා
තෙරුවන් සරණින් දෙවියන් පිහිටෙන්
හෙමින් සීරුවට ගිර බැහැපල්ලා

13. ඉතිහාසයෙන් බිදක්…
217. අට වසකට පසු බුදු බව ලැබ ගත්
ශාන්ති නායක බුදුන් වහන්සේ
කැළණියෙ මණිඅක්ඛික නා රජුගේ
මැදුරට වැඩියේ ඇරයුම් කළ සේ
සුමන සමන් දෙව් රද ඒ බව දැන
කළ ආරාධනයත් පිළි ගත් සේ
සමනල ගිර හිස සමන් අඩවියේ
වම් පා සටහන් තැබු බව පැවසේ

218. භාතිකාභය රජුගේ දවසෙදි
තිබුණේ ලස්සන මල් උයනක්
ඒ උයනේ සිටි උයන්පල්ල විය
අත්-පා හිමි නැති කොට මිනිසෙක්
රජ උයනට විත් මල් අඩු බව දැන
විමසා සිටියේ විස්තරයක්
කොටා එදින සිට මල් හොරකම් කළ
උදවිය සෙව්වේ දින ගණනක්

219. දින ගණනක් මල් උයනේ සැංගී
උයන්පල්ල හොරු කවුරුන් දැයි
සොයමින් සිටියේ රැයත්- දවාලත්
“රජ අණ නොකඩා සොයනේ මැයි”
සුර අඟනුන් නෙක මල් නෙළනා බැව්
සිත දැඩි මේ මිනිසා දුටුවැයි
අගනක් අල්ලා ඇයගෙන් ඇසුවැයි
“මල් සොරකම කිම කරනුයෙ ඇයි”

220. එ සද එ අඟනෝ බොහොම ප්‍රීතියෙන්
“ බුදු හිමි සිරි පා වදිනට ගන්නේ
මේ මල් උයනේ නෙක මල් පුදමින්
සමනල ගිර මුදුණට අප යන්නේ”
සමනල ගිර කොහිදැයි විමසීමෙන්
ඊට ද පිළිතුරු බැඳි බව දන්නේ
“අප මල් දමමින් යන මග දිගට ම
මහ පිරිවර ගෙන පිය මැන එන්නේ”

221. මේ අයුරිනි සමනල ගිර ඇති තැන
කොටා විසින් සොයලා දී ඇත්තේ
රජු ද එ තැන් සිට හැම අවුරුද්දෙ ම
සිරි පා කරුණා කරනුව මත්තේ
රාජ උණුසුමත් රාජ ගෞරවය
මැද සිරි පා බිම “පින් බිම” ගත්තේ
බුදුන් දහම් හා සගුන් සරණ යන
සැම දන – මන සිරි පා සිරි මත්තේ

222. කිතුණු බැතිමතුන්ගේ විශ්වාසය
ඒදන් උයනෙන් උපන්න දිය ගඟ
සතර දිශාවට ගලමින් ඇති බව
ඒ නිසා ම මේ සමන් ගිරේ රඟ
ලොවේ මුල් ම මිනිසා ආදම්ගේ
පා සටහන් තැබු ස්ථානය වග
විශ්විසය කරනා බව මෙ තැනේ
සදහන් නූවත් ලිය-කියවිලි මග

223. අරාබි දේසේ මුස්ලිම් ඇත්තන්
සහ ලක අනෙකුත් මුස්ලිම් මිනිසුන්
“නබිතුමාගෙ පා සටහන” වන්නේ
එනිසා “ආදම්මලේ යැ” කියමින්
තවත් දුරට උහු තවත් නමක් දී
“පබාදමලේ යැ” ඔවුන් පවසමින්
බුදු හිමි සිරි පා පාද වදින්නේ
ඉතිහාසෙට ඇති නෑකම් සොයමින්

224. හින්දු බැතිමතුන් *ශිව භක්තිකයන්
රාජසිංහ රජු සීතාවක සිටි
පැවරු නිසාවෙන් ඊට මුවා වී
*“ශිවනඩිපාදම්” යනුවෙන් එ ද හිටි
දනන් නම් කෙළේ යැයි පැවසෙන්නේ
*“ශිවන්ඩල්පාදම්” යනු ද එදා පිටි
දෙනා පැවසු බව අයාලයට හෝ
ශිලා ලිපියකින්වත් නැති ව ද දිටි
(*ශිවන් ඔලි පාදම් මැලේ – ශිවදෙවියන්ගේ පාදාලෝකනය)

225. මෙසේ පුරාවත කෙසේ තිබූ ව ද
ගෞතම මුණිදුගෙ සිරි පා සටහන
තොසේ හද දරා සැනැහි – සැනැහි අද
බොහො දනෝ වඳිතෙයි සිත් සනහන
ගිරි ඉතිහාසය පිළිබද සටහන්
ඉතිහාසය තුළ වළ ලා සතපන
සිරිලක වැසියන් සියලු දෙනාට ම
විවරයි පත් දොරටුවෙ සමනල රන

(මතු සම්බන්ධයි.)

2024.04.01

කෝ—/–කෝ-/හා—/—-

කලාපය: 2024-April

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ආ-වා-/දෝ—/–හා-/හා—

20204.04.01

සීත දුරුත්තේ කෙවිලිය හා
පෙම් ගඟුලේ රස දැඟලිලි පා
වසර ලබා තෙමසක් ගිය දා
නුඹ පවසන්නේ කිම හඬ ලා—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

කපුටු කූඩුවක ඇස ගැටිලා
කිරල ගහේ අත්තක ගසලා
“කොහෝ – කොහෝ” කියමින් ගයලා
කරනු ද නුඹ ඔච්චම් කොවුලා—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

“පරපුටුකම” නුඹ ගෙන ආවේ
උපතින් ම ද කොවුලෝ රාළේ
කෙවිලිය දෝ ඒ බව කීවේ
“උපායටයි” නුඹගේ නාදේ—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

ගුරු පාටැති ගුරු කොහා කොහේ
කවුඩු කොහා නුඹෙ එක ම රැහේ
ගෝමර – මල් – වයිර ද පෑහේ
කොණ්ඩ කොහා – උකුසු ද දෑහේ—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

“කපටිකමට” නුඹ නාද කරන්නේ
කපුටුහාමිගේ ලෙය උණු වෙන්නේ
නුඹ පසුපස උහු හඹා සරන්නේ
කෙවිලිය අවසරයෙන් බිජු ලන්නේ—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

කපුටු යුවළ නෑ ඒ බව දන්නේ
කපුටු හාමිනේ බිජු ද රකින්නේ
එළියට එන පැටවුන් දැඩි වන්නේ
එවිටයි කපුටගෙ නුවණ වැඩෙන්නේ—

කෝ—/–කෝ-/හා—/—-
නෑ-ගම්/ ආ-වා-/දෝ—/–හා-/හා—

නුඹගේ “අවුරුදු සෙල්ලම” දන්නේ
“අවුරුදු” කියලයි මාසෙ දැනෙන්නේ
“මීන” රැසින් “මේසයට” වඩින්නේ
එවිටයි කවුරුත් “අවුරුදු” කන්නේ!
***

වැලක් මෙලෙස දැල සමගින් දීග ගියා

කලාපය: 2024-April

ගහක් නැතත් ලග පාතක එල්ලෙන්න
දැලක් තිබිනි කිසිවෙකු බිය පැටලෙන්න
හැඩක් රුවක් නැතිමුත් ලොව රවටන්න
මඟක් සැදුනි වැලකට ඉහලට යන්න

ගහක වගේ නෑ එක එක හැඩේ අතු
මුලක සවි ගාය නොදනි කිසිත් තතු
මලක මෙලක පලයක නොවිසාම තතු
හිතක රැදුනි දැල නොපතයි ගසක් මතු

වටකර රකින්නේ කවුදැයි නොම අසන
කට ඇර යමක් නොකියා මුනිවත රකින
වට පිට තවත් වැල් නෑ සුවසේ නිදන
” මට දැල ඇතෙක්,” වැල දිව රෑ දෙක සිතන

වැලක් සරණ යා යුත්තේ ගසක කියා
පොතක් පොතක් ගානේ ඇත රසට ලියා
දුරක් නොයන්නට දෙපයත් නොමැති නියා
වැලක් මෙලෙස දැල සමගම දීග ගියා

ගහක් ගලක උව මහතුනි සිතක් ඇති
මෙලෙක් හද අහිමි මනුසත් දකින් නැති
මතක් කර කියමි කොතෙකුත් කියා හති
වැලක් දුටු සැනින් නොගසන් අනේ කැති

ඒ තමයි …. ගෑණු

කලාපය: 2024-April

සියුම් සියුමැලි සුමුදු මල් පෙති
කෝල කම් පිරි හිනාවා
සඳට උපමා මලට උපමා
නිමක් නැති ආදර කතා
සියලු සියොලග රස මවාලා
ආදරය ඇති තරම් තවරන
ඒ තමයි මුලු ලොවම සුන්දර කරපු ඒ ගෑණු

ඉරට කලියෙන් සඳු ට පස්සෙන්
දවස ගැන කියවූ
මහ මෙරත් සෙලවෙන තරම් දිගු
සුසුම් හද රැන්දු
සිනහවක් වත දරා සැනෙකින්
තැවුල් හැම හැංගු
ඒ තමයි මුලු ලොවට ශක්තිය අරං ආ ගෑණු

තනිව තනි මඟ ඇවිද යන්නට
එකතු වූ හේතු
දරා තනිවම තමන් තනියෙන්
හිතින් විද ගත්තු
දැනුම් අවියෙන් රුපුන් සිද බිද
ගර්ජනා කරපූ
ඒ තමයි මුළු ලොවක් වසඟේ තබා ගත් ගෑණු

විශාකාවක් විටක බිම්බා ව වී වරෙක
අම්බපාලි සොයන යහනත සනසවා
නොපුරා ම සසරේ පාරමී ගුණ
ලෙය ත් දන් දී සැනහෙනා
ගෙදර දී මිස එයින් පිටදී
බුදු බවත් නොපැතූ
ඒ තමයි සංසාර ගමනේ දුක් නිවු ගෑණු…

මළ බෙරය

කලාපය: 2024-April

පුරා හඳ පිපෙන දින පන්සලේ මුල් තැනට
පිංකමේ පෙරහැරේ වයන පද තාලයට
ගෙරිහමට දෑත් වැද නැඟු ගිගුම් රාවයට
පිබිදි ගම? මළ බෙරය වැයුවෙ ඔබ සුරතමද?

මෙලොව හැරයන ගමනෙ සෝ සුසුම් මැද හැඬුව
කළු කුමර දිෂ්ටියද දුරතකට පලවමින
උඩරටද ,පහත රට කොයි නැටුම් නැටවුවද
පුතුන් නුඹෙ බෙර හඬට නැටූ නැටුමක් නොමැත

හත්මුතු වු පරපුරක බූදලේ ගෙන සුරත
හෙට දකින්නට නැගූ සුරල් හා මඟුල් බෙර
කුලගොත් රෝගයෙන් පුතුන් හිත ආතුරව
බෙර පළුව පලාගෙන මතුවුයෙද කොඩිවිනය

ගම පුරා ඇවිද ගොස් හති වැටී පණ අදින
කදු සිරස මුවා කළ මළ හිරුගෙ රැස් දහර
පරපුරක ලේ කදුළු දහදියේ කෙඳ්රියෙන්
ශෝකබරිතව වයයි ජීවිතේ කස්තිරම