ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජීවිතය කවි කරමි……

ජීවිතය කවි කරමි……

නදී විතානාච්චි
2024-April

සෙව්වාට මේ ලොවේ කිමිදිලා හසරැල්
රැය පහන් වෙද්දි ඒ හැමදේම ගිනිදැල්
අකුරු නෙක ගලපලා ගෙතෙන විට පදවැල්
ජීවිතය කවි කරමි එය හරිම සිහිලැල්

දරාගෙන මහාමේරුවක් සේ ගින්දර
තුරුලතා මල් සදා ලොව කරයි සුන්දර
ජීවිතය ගත වුනත් උහුලමින් කරදර
වපුරන්න ලොවට දී අස්වැන්න හර බර

පිසලන්න හැකිවුනොත් කාගෙ හෝ කදුළක්
හිතන්නට එපා කිසිවිටක එය දෙවරක්
හදවතට ආදරෙන් කියන එක වදනක්
වාරු නැති දෙපයකට වේවි ලොකු දිරියක්

රැස් කරන්නට කිසිත් නොමැති මේ සසරේ
කෙටි කලක නැවතුමකි ජීවිතය මිතුරේ
දල්වලා එකදු පහනක් වුවත් අදුරේ
සිත් නිවා සනසවමු මේ රුදුරු කතරේ….

….නදී….