ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වෙනස් වූ ආදරය…..

වෙනස් වූ ආදරය…..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2024-April

ආදරය කරනෙමි අඳුරු නිල් අහසට
කිසිඳු තරුවක් නැතිව තනිවුනු
තාරකා සේ ඔබේ නෙත් යුග
වේදනා හද මවා සැනෙකින්
මා දෙනෙත් අබියසින් සැඟවුණු
ඒ අඳුරු දිනයේ පටන්.

ආදරය කරනෙමි රුදු විස කටුවලට
මලක්වත් නැති රෝස පඳුරක
ආදරයෙ පිවිතුරු බවින් හද
පිපුණු රතු රෝස මල් කැකුළිය
රුදු බවින් ඔබෙ පෙති සිඳී
දෙපා පාමුල වැටුනු දා සිට.

ආදරය කරනෙමි වියරු ව
සයුර වෙත දුර ඇඳෙන නදියට
මහද රඳවා පැතුම් අතරෙක
සතුට ගෙනදී සිහිනයක් ලෙස
සැනෙන් ම වෙතින් ඉවත් වී ඔබ
දුරස් වූ දිනයේ පටන්.