ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ තමයි …. ගෑණු

ඒ තමයි …. ගෑණු

නයනශාන්ති දිසානායක
2024-April

සියුම් සියුමැලි සුමුදු මල් පෙති
කෝල කම් පිරි හිනාවා
සඳට උපමා මලට උපමා
නිමක් නැති ආදර කතා
සියලු සියොලග රස මවාලා
ආදරය ඇති තරම් තවරන
ඒ තමයි මුලු ලොවම සුන්දර කරපු ඒ ගෑණු

ඉරට කලියෙන් සඳු ට පස්සෙන්
දවස ගැන කියවූ
මහ මෙරත් සෙලවෙන තරම් දිගු
සුසුම් හද රැන්දු
සිනහවක් වත දරා සැනෙකින්
තැවුල් හැම හැංගු
ඒ තමයි මුලු ලොවට ශක්තිය අරං ආ ගෑණු

තනිව තනි මඟ ඇවිද යන්නට
එකතු වූ හේතු
දරා තනිවම තමන් තනියෙන්
හිතින් විද ගත්තු
දැනුම් අවියෙන් රුපුන් සිද බිද
ගර්ජනා කරපූ
ඒ තමයි මුළු ලොවක් වසඟේ තබා ගත් ගෑණු

විශාකාවක් විටක බිම්බා ව වී වරෙක
අම්බපාලි සොයන යහනත සනසවා
නොපුරා ම සසරේ පාරමී ගුණ
ලෙය ත් දන් දී සැනහෙනා
ගෙදර දී මිස එයින් පිටදී
බුදු බවත් නොපැතූ
ඒ තමයි සංසාර ගමනේ දුක් නිවු ගෑණු…