ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුහුදයි.. වෙරළයි..මමයි…

මුහුදයි.. වෙරළයි..මමයි…

මාලා විජේකෝන් - උතුරු කැලිෆොර්නියාව
2024-April

රැයත් අඳුරත් සෙනෙහසින් වෙළුන
බවක් නොදැනම හිරුගෙ නෙත් හැරින
සිඳුත් වෙරළත් සමගියෙන් සිටින
නමුත් කිම නපුරු වෙන්නට කරුණ

අරන් මගෙ මතක දියඹෙහි දුරට
ගිහින් අර අහස ගෑවෙන තැනට
හුඟක් පෙණ මුසු කරන් රළ අගට
ඇවිත් හඬ දෙමින් වැලපෙනු කුමට

දවස් සති ගණන් පසු කර යනෙන
ඉරත් හඳවලුත් ගෙවුණිද නොදැන
දෙ ඇස් වෙහෙසයි රැයේ නිදි වරන
නමුත් පොදි බඳිමි අලුතින් සිහින

අදත් හිඳගෙන වෙරළෙ තනිකමට
මතක් වෙන වචන අමුණමි එකට
තවත් කවියක් වේවි ඔහු නමට
මකන්නට නම් එපා නපුරුවට

Photo Credit ; Saksham Gangwar
.