ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඳෑඟුල පමණ නුවණැති ගැහැණියක් හට…

ඳෑඟුල පමණ නුවණැති ගැහැණියක් හට…

ඉංජිනේරු,කිවිපති අජන්ත සෙනෙවිරත්න
2023-December

මෙහෙණි සසුන ලංකාවේ පිහිටවූ උඳුවප් පොහොය නිමිත්තෙන්

සෝමා ථේරී ගාථා ඇසුරෙන් ලියූ මේ කවි පංතිය ඉදිරිපත් කරමි.

ගැහැනියගේ නුවණ ගැන මාරයා එදා කළ සමච්චලයට සෝමා තෙරණිය

දුන් පිළිතුර හැමදාටමත් වලංගු වේ.

පෙර බුදුවරු සිටි දවසත් පින් කෙරුණා
සිඛී බුදු කලත් මිනිසත් බව ලැබුනා
ඉපිද කැත්මහල් කුලයේ ඇය වැඩුණා
අරුණවන්ත රජු හා සරණයෙ බැඳුණා

සිඛී බුදුන් වැඳ පුදමින් පින් කෙරුවා
එපින් බෙලෙන් දෙව් මිනිසත් බව ලැබුවා
මෙබුදු පතෙහි රජගහ ජන්මය ලැබුවා
රජුගෙ පුරෝහිත දුව සෝමා සොඳවා

අප මුණිදුන් රජගහ පුර වැඩි දිනයේ
බුදු දැකුමෙන් සෝමා සැදැහෙනි තරයේ
උපාසිකාවක විය දැක දුක දිවියේ
පෙර කිස ඇති ඇය සසුනේ ඇත සුවයේ

නිසි ඔවදන් ලබා විදසුන් වැඩුවාය
සෝමා මෙහෙණ අරහත් ඵල ලැබුවාය
නිදහස් සුවෙන් තෙරණිය කල් ගෙව්වාය
බිඳිනට තෙරණි සිත මරුවා සිතුවාය

දිනක් සුවෙන් දහවල ගත කරන ලෙසේ
අන්ධ වනය වෙත ගොස් ගස් මුලක වෙසේ
තෙරණිගෙ විවේකය තොර කර ගනුය කෙසේ
අහසෙ සැඟව සිට මරුවා කියයි මෙසේ

ඉසිවරු විසින් පැමිණිය යුතු මෙම තැනට
අරහත් ඵලය අත් නොමවේ අන් අයට
ඳෑඟුල පමණ නුවණැති ගැහැණියක් හට
දැනගනු රහත් ඵල ලැබගනු බැරි බවට

වඩමින් බවුන් සිත එකතැන් වුණු යසට
අරහත් නුවණ එහෙයින් පවතින කලට
සදහම් දැණුම නිරවුල් ලෙස දුටු සිතට
ගැහැණිය වීම කිම කළ හැකි වෙද ඇයට?

ආශාවන් තොරව සිටිනුයෙ මා මෙලෙස
දැනගනු අවිඳු අඳුරද දුරු විය එලෙස
නැසුණය මරුව නුඹ ඔය කරුණෙන් මෙලෙස
සෝමා තෙරණි දෙසුවය මරුවට එලෙස