
කැළණි ගං වළප
සුදට සුදේ ඈත දිලේ
කැළණි විහාරේ
වැලි සොයමින් සැඬ පහරේ
පාරුව පාවේ
නා මෙනැවිය පෙර වෙණ ගෑ
කොහිදෝ ඒ ළවැලි තලා
ගිලී ගොස්ද නා ලොවටම
බොර දිය ගැඹරේ.
දිය ගැඹුරුයි රිට නොපොවයි
වක්කලමේ සුළි කැරකෙයි
ගඟ මැද්දේ දවස ගෙවෙයි
පාරුව පාවේ.
වැලි කැටයත් ගොඩට ඇදී
රන් කහවණු බවට හැරේ
කැළණිතිස්ස දවස වගේ.
කැළණි ගඟත් ගොඩට ඇදේ.
මඩ පාටට පෙණ පිඬු නැග
කුණු රොඩු තණ පත් සිඹ සිඹ
කැළණි ගඟත් කම්පා වී
ඉවුරු බිඳී ගොඩට වැදේ
නා මෙනැවිය පෙර වෙණ ගෑ
කොහිදෝ ඒ ළවැලි තලා
ගිලී ගොස්ද නා ලොවටම
බොර දිය ගැඹරේ.