ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැතිවුණු අයිඩෙන්ටිය

නැතිවුණු අයිඩෙන්ටිය

චන්දිම විතානආරච්චි
2021-February

ලන්ඩන් නුවර
ඔක්ස්ෆර්ඩ් වීදියේ
හිරු පළා ගිය – අඳුරු දවසක
ඉබාගාතේ ඇවිද යන විට
නැති වුණා මගේ
‘‘හැඳුනුම් පත”

දෙදහස් පන්සිය වසරක්
අත්තා – මුත්තා – කිරිකිත්තා
පරම්පරාවෙන් පරම්පරාවට
සුරැකිව රැකගෙන ආ
‘‘හැඳුනුම් පත ”
මගෙ අතින් ගිලිහී
සැඟවුනා
තේම්ස් නදියේ ගං පතුල යට

(යහළුවන් මට බැන්නේ
මං හිතාමතලම
එය විසි කළා කියලයි)

දැන් ඉතින්
කෝ මට හැඳුනුමක්
සභ්‍යත්වයක් – සංස්කෘතියක් ?

යුහුසුළුව
එහෙත් ඉබාගාතේ ඇවිද යන
සහසක් මිනිසුන‘තර
එහෙත් නැති – මෙහෙත් නැති
සරණාගතයෙක් විලස
මම ද ඔහේ ඇවිද යමි
වැටුණු තැනක නිදාගමි

මව්බිමේ
සිඳුණු වැව් පතුලක
ඇද වැටුණු ගල් කණුවක
මල් ලියකම් පෙළ
සිහිනෙන් දකිමි.

‘නිහඬ තණ පතකි මම’ කාව්‍ය සංග්‍රහය – 2008