ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාගම්පුරය

මාගම්පුරය

අරුණසිරි එදිරිසිංහ - පන්නිපිටිය
2021-September

පෙර රජවරුන් ඔද තෙද රැඳි ගම්වරය
ඉතිහාසයේ ලියවුණු මාගම්පුරය
කෙත්වතුවලින් සරු සාරය පලබරය
ඉපදුන එකත් මට එහි ආඩම්බරය

වලවේ කිරිඳි ගංගාවල දිය දහරා
මහ වැව් අමුණුවල නිති රඳවා නොහැරා
සයුරට ඇදී යයි දිය උල්පත් තවරා
ගොවි දන හදවතට ඇත සතුටක් පවරා

යල මහ දෙකන්නය සරුසාරව වැපිරේ
නල මුදු සුවඳ නිල් ගොයමට තුරුලු කෙරේ
හමුවන දෙනෙත ගත සිත මිහිරක් පැතිරේ
රන්වන් කරල් සිරි ලකටම කිරි ඉතිරේ

සඟ මොක් සුව සැදුව මහ රහතන් පවර
සුන්දර අරණ චිත්තල පබ්බත වෙහෙර
තිස්මහ සෑය සැම බැතිමතුනට නොහැර
තවමත් බෙදයි පෙර මෙන් බුදු රැස් දහර

නටඹුන් දකින විට සැඟවුණු වන වදුලේ
සුපසන් පරපුරක ඔද තෙද ජනිත කළේ
අවසන් නොවන්නට අප දිනු විකුම් බලේ
ඉවසන් සිටිය ඇති යමු පෙරටම තුමුළේ