2024 ජූලි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2024 ජූලි කලාපය

දහසක් දස වියතුන් මිණි බිහිකල හෙළ මහැදුරාය ගීය ද කවිය ද එකලා හදවත ගෙතු මල්සරාය සිනෙ සිත්තම් සදෙව්ලොවේ කිරුළු පැළඳි පුරඳරාය ආරියරත්නල දහසකි එහෙත් එකම දිනිසුරාය

-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

මහාචාර්ය සුනිල් ආරියරත්න උපහාර කලාපය

මෙහි පලවන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මුල් ඡායාරූපය සහ බහුතරයක් ඡායාරූප සම්මානනීය ඡායාරූප ශිල්පී සරත් පෙරේරා ගේය. ඔහුට අපගේ කෘතඥතාවය පිරි නමමු.

බොහෝ ඇත නොලී කවි

බොහෝ ඇත නොලී කවි

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

කලා වැව් දියදෝත තෙමූ ගලමින් දසත
පෙනී බුදුරැස් කළඹ උදුල සමනොළ ගිරග
හයාගත් මුවින් ඔබ ලියූ ගී සිය දහස
කියා ගත නුහුනු තව බොහෝ කවි ඇත එතැන

ගොවිඳු ගීයෙන් සොයා හඬන නූපුර - සළඹ
කළිඳු ගංගා දෙණිය පුරා පියවර තිබිණ
නෙළා දැමු මල ඊට අකමැතිව සිඳ නටුව
බොහෝ ඇත නොලී කවි ඔබේ දෑසින් දුටුව

2023.06.17

කවිය බලන්න
රන්සීනු ඝන්ටාර නින්නාදයයි.

රන්සීනු ඝන්ටාර නින්නාදයයි.

ලූෂන් බුලත්සිංහල

ආදර ගී ඇමතුම නම්
පියාණනේ යයි සවන් පිරූ
ගුණැති පුතුන් හද හඬවා නැගෙනා
අනන්ත වූ පුතු සෙනේහයේ
රන්සීනු ඝන්ටාර නින්නාදයයි.

පිතු ගුණ සමරණ පුතුමය ලෝ තුල
කුළුණු ගුණෙන් හද මනුසෙත සලසන්නේ
එවන් පුතෙකි මේ
මහ ඇදුරු තුමෙකු වී
පරපුරකින් පරපුර නංවා ලන
සිප් නැණ වඩමින්නේ
දන මන පොබයන සුසියුම් ගී පද
කැටයම් කරමින්නේ
දරා වෙහෙස නිමවමින් රිදී තිර
නලු සිතුවම් සොඳිනේ
දැවෙන තැවෙන දන විඩා නිවා සිත
කඳුලැලි පිසලන්නේ

කවිය බලන්න
නුගේගොඩ සුනිල් ආරියරත්න

නුගේගොඩ සුනිල් ආරියරත්න

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

ඒ 1994 වසර. අවුරුදු තුනකට කලින් 1991 උසස් පෙළ කරපු අපි ජපුරට ආවෙ 94 දි. සිංහල භාෂාව උපාධියට හැදෑරීමේ අපේක්ෂාව ඒ වන විටත් මට තිබුණා. පළමු වසරෙ බශා එකේ (බණ්ඩාරනායක ශාලාව) අපි 502ක් සිංහල කළා. ශාස්ත්‍ර පීඨයේ ජනප්‍රිය ම විෂය සිංහල වෙන්න ඇති. සුනිල් ආරියරත්න ඇතුළු ඒ වටිනා මිනිස්සු දැක ගැනීමත් හීනයක්,ආශාවක් අපට. ‘පවන’ අහලා ‘මත් වෙලා’ හිටියෙ. දවසක් සර් නූතන සිංහල කවිය උගන්වන අතරෙ කිව්වා, ‘අපේ සරසවියෙ කවි ලියන අය නිර්මාණ බාර දෙන්න. සිළුමිණ පත්තරේට කවි පිටුවක් කරන්න ඉඩක් තියෙනවා’ කියලා. අපට ඉතිං ඒ මදෑ. හැරුණු තැපෑලෙන් දුන්නා කවි. මෙන්න පළ වුණා ‘ෆුල් පේජ්’. ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කවි’ එහෙම යි හෙඩිම. සුනිල් ශාන්ත ඒ. සෙනෙවිරත්න නමින් මගේ කවියක් එතන තිබුණා. ඒ අතරෙ අප කලින් අසා තිබුණු කවීන්ගෙ නම් දැක ගත්තා. මහින්ද කුමාර දළුපොත, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ, ජගත් ගාමිණී මාවතගම, කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජයලත්, රූපහ සුමනජෝති හිමි, තිලක් පුෂ්පකුමාර වගේ ජ්‍යේෂ්ඨයන්ගේ හා ශ්‍රියා වසන්ති කළුපහන, ධර්මසිරි ගුණවර්ධන වගේ සමකාලීනයන්ගේ කවි එතන තිබුණා. පස්සෙ තමයි දැනගත්තෙ නිලාර් එන්. කාසිම්, සමිනාදන් විමල් වගේ කවීනුත් සිංහල කරන ජ්‍යේෂ්ඨයන් කියලා. ඒ විතරක් ද? අද මුළු ශිෂ්‍ය ව්‍යාපාරය ම සිය විරුසමරු ගීය ලෙස ගයන ‘ළපළු අගින් පිණි පබළු කඳුළු සලනා’ කවිය ලීවෙ එතන හිටි තිලක් පුෂ්පකුමාර කියලා.

ටික දවසකට පස්සේ සුනිල් සර් අර මහ පංතියේ දි ඇහුවා ‘කවුද සුනිල් ශාන්ත සෙනෙවිරත්න? එයාගේ කවි හොඳයි’ කියලා. මට ඉතිං දීපංකර විවරණ ලැබුණා වගෙයි. එදා ම සුනිල් සර් මුණ ගැහුණා. බොමින් හිටිය තේ එකෙන් භාගයක් දුන්නා. ඉන් පස්සේ මම සිංහල සංගමය කරන කාලෙ ගොඩක් සමීප වුණා. ‘ඔයාගෙ නම හරි යන්නෙ නැහැනෙ මේ කවි වැඩේට. අපි හිනිදුම සුනිල් සෙනෙවි කියලා දාමු’. එහෙම යි ඒක වුණේ. ඊට කාලෙකට පස්සේ තමයි මම දන්නෙ, නුගේගොඩ සුනිල් ආරියරත්න හා තෙල්ලඹුරේ රත්න ශ්‍රී විජේසිංහ කියලා දෙන්නෙකුත් ඉඳලා තියෙනවා කියලා. ඒ නම් වෙනස් කිරීම බලපෑවා අවසන් වසර නිබන්ධයට එච්.එම්. කුඩලිගම නම් කොළඹ කවියා ගැන ලියන්න තෝරා ගන්න.

අපි බිහිවැඩ චාරිකා ගියා. දැන් අපි ලෝකාන්තෙ තැන්නෙ යනවා. මමයි මගේ පෙම්වතිය අනුෂා සේනාධීරයි ඉස්සරහින් යනවා. සුනිල් සර් කෑ ගහනවා. ‘සුනිල් ...අපිට ඕගොල්ලො චුට්ටක්වත් පේන්නෙ නෑ. මේ ලොකූ මීදුමක්. පේනවා කියලා හිතන්න ඕනෙ නෑ’. හරි සුන්දර සරල ගති තිබුණා එතුමාට. එදා හක්ගල දි ගත්ත පින්තූරය මෙතන පළ කරනවා.

අපි සරසවියෙන් පිට වුණා. රස්සා නැ. සර්ගේ ලියුම් කෑල්ලක් අරන් විදුලි සෝපානයෙන් තරු එෆ්.එම් වෙත ගියා. හමු වුණේ ස්වර්ණ ගුණවර්ධන. ‘මේ ලියුම රැගෙන එන්නේ අපේ දීප්තිමත් සිසුවෙක්..’ එයා එහෙම ලියලා තිබුණා.

මං අයදුම් කළා සබරගමු සරසවියට ගුරුවරයෙකු වෙන්න. නිර්දේශ දෙකක් ඕනෙ පිළිගත් අයගෙන්. දම්මික ගංගානාත් දිසානායක හා සුනිල් ආරියරත්න දෙපළ තමයි ඒවා දුන්නෙ. රැකියාව ලැබුණා. මං නැවතුනා බෙලිහුල්ඔය ‘පර්ල් ඉන්’ හෝටලේ තාවකාලික ව. එතන ඉඳන් ලිව්වා සුනිල් සර්ට ‘ඈත ඉඳ ඔබ බලා සිටින්නේ-නැත ඔබ වන් ගුරුවරු හමු වන්නේ’ කියලා තුති පුදලා ලියුමක්. සර් ගැන ගෝලයන්ට, ඇසුරු කළ අයට විවාදාපන්න අදහස් තියෙනවා. මටත් තියෙනවා විවේචන. ඒත්, ඒ අපේ ගුරුතුමා. මගේ හැටිසොබා තීරණය වෙන්න බලපාපු වටිනා මිනිසුන්ගෙන් කෙනෙක්. දීර්ඝායු වේවා සුනිල් සර්.

කවිය බලන්න
සුනිල උදානය

සුනිල උදානය

නිශ්ශංක දිද්දෙණිය

ගුරු මඩුලු සේවනය ලද පමණ දත් දෙයින්
කෙලෙස ගොතනෙම් පබඳ දිළිඳු වෙමි රැසැයුමින්
ගොතා මගේ නැණ පමණ මැයට පද අමුණමින්
එවමි සකියනි මෙලෙද ගුවන සයිබර ඉඩෙන්

මෝදුවන කාලයට හන්තාන අඩවියේ
සරාසඳ සුනිල'ඹර දිදුල දෑ ඉසව්වේ
එම සොඳුරු පෑහීම මසිත නාඹර වියේ
දුට නුහුණු සිහිනයක සුවඳ පැතිරී තියේ

ගැදි බසින් කළ 'දිවිය ගීතයක් ' වන පැතුම
කවි බසින් 'දොළොස් මස් පහන' දල්වා කදිම
ඇරැඹුමක බුමුතුරුණු මතින් ආ මාවතම
අලු කරන් හෙළි කළෝ දිනාගත් හැටි පැතුම

පෙම් බැන්ද ගාමිණී උන්මාද චිත්‍රාට
ඊට නොදෙවෙනි වේද දස්කොනුත් ප්‍රමිලාට
ඩොඩි ෆයඩ් උන්මාදයත් කුමරි ඩයනාට
එ සැලමුතුපෙම යටයි සුනිල කවි ගී වලට

සොඳුරු තිරපට කතා මහ තිරය මත ගොතන
නෙක කලා කඳුරු තෙර ඌල් පිරිමැද මවන
සුවඳ නලමුදු වතළ අමොද ගී රස රඳන
ඔබ ද හෙළ රසෝඝය හැනී මතුවී ගලන

සෘජුය පන්හිඳ විටෙක, මුදුය ලෙලවන හැඩය
දැඩිය, අවතැන් බලා සදිසි මානන කගය
ගොළුය, ගුප්තය, නිසලවන තවත් විටෙක එය
අරුමයක්මය සුනිල අරි රතන පෞරුෂය

නොමඳ සිප් සතර බර දැන හැඳින වෙහෙස ගෙන
එසඳ නිම කළ පබැඳි ගත් කාය නැණ වඩන
වඩන ජය එ පුර සරසවිය කිතුගොස නගන
ඔබය මහ ඇදුරු තරු අඹර පුන්සිසි පහන

චතුර දෙසුමට එ මෙන මන බඳන පිළිවිසුම
වතුර බඳුනක හැඩය ගනු ලබන නය සේම
විතර නොවිතර සබා මැද සුධී ජන වෙළුම
නිතර තුඩ තුඩ ඇසෙයි නෙක කතාබහ මහිම

අත හැරුණු, මග හැරුණු කොතෙක් දේ ඇතත් මිතු
සිත කළඹවන කිසිත් දේ නැතැයි නොදත යුතු
පත සනින් නැහෙන්නට ගොරබිරම් නො කටයුතු
ඇත තවත් සිතන්නට එ ද කිමැයි සිතිය යුතු

වැටී නැතිමුත් කවරකුදු මහත් අහේමට
දිටී සිදු වූ කලක් විපවස් ව හිඳීමට
වටී ඒ ගැන මඳක් කාට වුව සිතීමට
රාහු මුව'ගින් සරාසඳ මිදුණමුත් පිනට

දිවි මැදුර කාන්සිය කිතු ගොසින් මඩින්නට
බැරිය තනිපංගලම දොඩන මුත් මිග රහට
රන්රසින් රැසැයුමෙන් වන්දනා නඩයකට
පැවැරුමෙන් හෙළි කළෝ පෙම් බැඳුම් යස රුවට

ආයු වැඩුමෙන් නො මඳ සිප්සතර දී පවර
යොමු පහන් කුලුන මෙන් අලු කළෝ සිසුන'ඹර
රැසැයුමෙන් තරණයෙන් නෙක කලා මං නොහැර
වනපොතින් පුරණු මැන නුහුරු කුලපති සුතුර

භාන දශකය පිරී මඳ දුරක් ගොස් ඇත ද
ඌනනය කර නොමැත කලාසුරු දිවි මගද
ගාණ ගණනින් මනින්නට යාම පැනසරද
පේනතෙක් මානයක නැත හාන භාගියද.

2023 ජූලි මස 01 දින

කවිය බලන්න
අමිල වූ සුනිල  ඔබ

අමිල වූ සුනිල ඔබ

ප්‍රීති රන්දෙණිය

රස මවන උල්පත්
දහස් ගණනක උපත
මියුරු ගී රැලි ගලන
සුනිල දිය දහර නුඹ

පොත පතද පරේශන
පද ගද්‍ය නිබන්දන
කපිරිඤ්ඤා බයිලාව
ඔබ නොදත් දේ ඇද්ද..

සිනමාව පරතෙරට
සළරූ ද ජයගත්ත
වියතුන්ගෙ වියත් ඔබ
නොගත් සම්මාන නැත.

නිජ බිමට විනකරන
උන් හෙළන බස දිලෙන
තියුණු අසිපත් පෑන
දරා දස අත ලෙළන
කුඩා මිනිසා උසය

රත්නයක් සේ ලකට
අමිල වූ සුනිල ඔබ
මහ මේරු පර්වතය
සේ අගී මවු රටට ..

කවිය බලන්න
18 කොල්ලෙකුට පාඩමක්...

18 කොල්ලෙකුට පාඩමක්...

වජිර ජයවර්ධන

සුනිල් ලෙස නාම ලද
මහැදුරෝ බොහෝ ඇත
මේ තරම් ගී කෙතක්
තාම හමු වෙලා නැත...

ගී ලියූ අය ඇතත්
පොත් ලියූ කෙනෙක් නැත
මේ තරම් ගවේශන
ලියා තැබු කෙනෙකු නැත

ගවේශන කල අයද
කවි පොතක් කලේ නැත
කවි කතා රස කතා
හරබරව කලේ නැත

කතා කල අය ඇතත්
චිත්‍රපට කළේ නැත
සිනමාවෙ සුනිල්ලා
මේ තරම් සාර නැත

සාහිතේ අමා ඵල
සොයා ගිය අය අතර
මහ ඇදුරු සුනිල් නම
රන් බරට ලියා ඇත

ඒ වගෙද ස්ටයිල් එක
අමුතුම ම එකක් ඇත
18 කොල්ලෙකුට
හිතන්නට යමක් ඇත

ජීවිතේ සරු සාර
දිවිසැරිය ගෙවා ඇත
ගරු ගුරු " සුනිල්" නම
චිරං ජය ලබා ඇත.

කවිය බලන්න
ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි.

ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි.

රවින්ද්‍ර රන්දෙණිය

වියත් සබ මැද මුලසුනෙහි ඔබ
අරුත් බර ගී උල්පතත් ඔබ
සත්‍යයේ ගී රණහඩත් ඔබ
සිනේ සලරූ අදියුරුත් ඔබ

මේ සියල්ලෙහි අප දකින්නේ
ඔබම පමණයි

ඔබ අනන්තයි!

ඔබ පුදන්නට ඔබේ පැසෙන්ම මලක් සොරා ගතිමි. එවන් සුවදැති අන් මල් නොවන නිසා.

කවිය බලන්න
අමිල වූ සුනිල  ඔබ

අමිල වූ සුනිල ඔබ

ප්‍රීති රන්දෙණිය

රස මවන උල්පත්
දහස් ගණනක උපත
මියුරු ගී රැලි ගලන
සුනිල දිය දහර නුඹ

පොත පතද පරේශන
පද ගද්‍ය නිබන්දන
කපිරිඤ්ඤා බයිලාව
ඔබ නොදත් දේ ඇද්ද..

සිනමාව පරතෙරට
සළරූ ද ජයගත්ත
වියතුන්ගෙ වියත් ඔබ
නොගත් සම්මාන නැත.

(4(සොරු ඇතොත් රට කරන)
(තියුණු අසිපත් පෑන
(රස බසින් උන් නසන)
(කුඩා මිනිසා උසය.)

රත්නයක් සේ ලකට
අමිල වූ සුනිල ඔබ
මහ මේරු පර්වතය
සේ අගී මවු රටට ..

කවිය බලන්න
ප්‍රේම අසපුවේ මුනිවාරයාණෙනි - A.B.Lalith de Silva

ප්‍රේම අසපුවේ මුනිවාරයාණෙනි - A.B.Lalith de Silva

ලලිත් ද සිල්වා නුගේගොඩ

තොටුපොල අයිනක
පබාවතිය දෙස
මුළු නුවරම
නිදිගත් මොහොතක
පෙරදා - මහ රෑ
මේ ගුරු පාරේ
කුරුටු ගෑ පොතේ
පිටු අතර
හංස ගීතය ලියූ
ප්‍රේම අසපුවේ මුනිවරයාණෙනි !

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
මේ සිරමැදුරෙන් පැනගත් ඔබ
සඳදිය උතුරා යන රාත්‍රියක
මධු පැලේ දොර වසා
නීල නුවන් යුග යොමා
සීගිරි ගීයක් හදවතේ කෙටූ
ළසොවින් හඩන්නී සොයා
රුවල් ඉරීගිය නෞකාවක් වී
දස්කොන් සකිසඳත් තුරුළු කොට
පානම් පත්තුවේ ඩිංගිරි අම්මා සමඟින්
මහමෙවුනා වේ සමාධි බුදු ඇස
ඇහැර වූ ඔබ 'සුනිලාලෝකයකි'

19/06/2023

කවිය බලන්න
සුනිල් සර් තව තනිකඩ?

සුනිල් සර් තව තනිකඩ?

කිංස්ලි රත්නායක

කව් මගෙහි විරිතක්‍ ය
සිප් හලෙහි පහනක්‍ ය
රසමවන ගඟුලක්‍ ය
කලා කෙත අස්වැන්න
සුනිල ඵල සහසක් ය

පැටි වියේ කවි ලියූ
තුරුණු පෙම් වැකි පිරූ
රතු වදන් පොබ කෙරූ
රසවතෙකි ඇසුපිරූ

ගී පොතින් මීවිතින් සිහින මත පාතැබූ
තොටමුණකි, ඉසිඹුලන දිවි කතර සරු කෙරූ
සත් දෙසින් ආ නවක දුහුනන්ට මග කියූ
සුනිල්මය තරු එලිය
සරසවිය හුරු කෙරූ

සරසවි බිම නිතර දකින
සරසවි අධිපතිද රකින
සරසවි දේවිය නොදැනද
සුනිල් සර් තව තනිකඩ?

කවිය බලන්න
You Are My Moon

You Are My Moon

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

You dear one,
Are the moon of my world.
Though not the moon of yore,
But the moon I see today.

You dear one,
Were the moon to me then.
The moon resplendent, pure and serene,
Seen through the poet’s eye,
Enlivening the darkest depths,
Of my dreary existence.
You reigned then, in my starless sky.

You dear one,
Are still the moon to me.
But now it’s the real moon,
Seen through the scientist’s eye.
The parched rock that it is,
Lifeless and hostile.
You haunt my sky tonight.

You dear one ,
Are the moon of my world.

(A poem by Sunil Ariyaratne translated by)
Somabandhu Kodikara
Melbourne

කවිය බලන්න
ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

ආදර ගීත ගඟුලේ මුල් පුරුක ඔබ

විශාරද චරිතා ප්‍රියදර්ශනී

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙනුවෙන් ලියවුණු කවියකි -......
..*
*මුල්ගුරු ඔබයි හඳුනා දුන් ආදරය*....

*ප්‍රේමය කිමැයි හඳුනා දුන්නෙත් ඔබය*.......

*ලෝකය දකින ඇස් අතරින් ප්‍රමුඛ විය*........

*කවියන් අතර කිවියාණන් ඔබම විය*.......

කවිය බලන්න
ඉතිං ඇති රජ කතා කෙරැවා..

ඉතිං ඇති රජ කතා කෙරැවා..

ශ්‍රියාණි අමරසේන

කිරි සයුර කලඹා..
අපේ සිත් සනහා
ඉතිං ඇති රජ කතා කෙරුවා..
අවිනිශ්චිත වර්තමාන යේ..
ගැටලු තිබේ ඇති පදම් ..
තෝරා ඉන් එකක් ..
කරන්න හොඳ පටක්..

කවිය බලන්න
ගිලන් හදවත නිවන................

ගිලන් හදවත නිවන................

මේනු හෑගොඩ

තුන් සිතම පෑරිලා
තනිවෙලා මිරිකිලා
උණු කඳුළු කොපුල් සිඹ
ලතවෙනා මොහොතකදි
පිරිත් ස්වර හිමිකාරි
නන්දා මාලිනිය
ගැයූ හැම ගීයක්ම
සුනිල දිය දහරක් ය
ගිලන් හදවත නිවන

කවිය බලන්න
කවි ඇසින් මා දුටු සම්මානිත මහැදුරු

කවි ඇසින් මා දුටු සම්මානිත මහැදුරු

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

කවි ඇසින් මා දුටු
සම්මානිත මහැදුරු කලාකීර්ති ශිඛාමණී
ජ්‍යේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්

සුනිල අඹරෙ පැහැදුල් නිල් තලාවේ
විපුල පතුරවයි තරුමල් වලාවේ
දිදුල පැහැබරින් කළ කම් කලාවේ
සිතුල දෙවයි දොවනට මේ වෙලාවේ

අරිය බව සැබැයි බුදු හිමි පහස ලැබූ
පිරිය මට තිබෙයි තතුගෙන රහස තැබූ
විරිය නොම අගෙයි ඒ තතු රසය විබූ
දිරිය ගනිමි ගෙතුමට ඔහු නමින් තිබූ

රත්න තිබේ ලක් පොළොවේ තැනින්-තැන
දත්ත නිසයි කැණැ-කැණැ සොයනුවෙ ද පැන
රොත්ත පීරමින් සෙව්වත් ලෙවන් ගැන
ගත්ත රත්න මට මදි වෙසෙසින් ම දැන

සමනල අඩවියේ අනුහස ලැබුණා දෝ
රසනල කුරුවිටෙන් සවිබල ගැනුණා දෝ
බලතල බණ්ඩාර කුරුවිට සැදුණා දෝ
සුලමුල එගම් පියසෙන් පටබැදුණා දෝ

එකදස් නමසියේ හතළිස් නම වසරේ
ඇසල මාසයේ අටවිසි දින සසරේ
කතරක යනුව දිගු-කෙටි ගමනක මිතුරේ
ඉපැදුණු පුත කුමරු ගැන කවි මල් විසිරේ

පවුලේ සිව්වැනිය ලෙස ඉපැදුණත් රැසේ
වදුලේ කෙළිබිමේ සහඋදරයන් ඇසේ
එක ලේ දුවන අයියල-අක්කල ද පැසේ
මිදුලේ කෙළිදෙලෙන් ගෙව්වා දිවිය එසේ

කොළඹට නුදුරු තැනැ විය ඉපැදුණු එලෙස
බෝ සෙවනයි නුගේගොඩ අසිරිය පෙදෙස
උගෙන ජෝන්ස් විදුහලෙ තිබු ගම් පියස
නිම කෙළෙ පාසලේ ඔහු ඉගෙනුම් පවස

සිව්වැනියා වුව ද පවුලේ හැම විට ම
“ගව් ගණනක් වුව ද යමි ඉගෙනුමට මම”
කිව්වත් හරවමින් පද පෙරළියට සම
සව්දිය පුරන්නට සිතුවැයි වරද කිම?

දොළොස් වියට පා නැගුමට පෙරාතුව
“අමල් බිසෝ නාටකය” ද ලීව බව
නොකියා සිටියොතින් අඩුවක්වීම නොව
කැපී පෙනෙයි ඔහු මතු කළ හැකියාව

එකදස් නමසියේ හැටතුන් අවුරුද්දේ
ලිව්වේ “සා.පෙළයි” හිණි මං පෙත මැද්දේ
හැත්තෑ එක වසර නමසිය එක දස්සේ
සිංහල බසට ගරු නම්බුව ගෙන බැස්සේ

එකදස් නමසියේ හැට එක් වසරෙ සිට
එකදස් නමසියේ හැත්තෑ අග මෙපිට
“ජපුරේ” සිසු කෙනෙක් ලෙස අවසානයට
“ජීවිත ගීතයක්” කෙළෙ ඔහු පැතු ලෙසට

අරගෙන උපාදිය සිත් සේ පෙරුම්පිරූ
“දොළොස් මහේ පහණක්” වී මෙතින් සරූ
“විධ - විධ” රටා මවමින් පද සුමට කෙරූ
ඔබ ම ය බසට “ලය” දුන් අපෙ මහඇදුරූ!

එතැනින් නොනැවතුණු එතුමන් කැළණි ගොසින්
විදු නැණ විශ්ව විදුහලෙ දූ - දරු සමගින්
නිලතල අතර වැජඹී දැයෙ බස වෙනුවෙන්
පැමිණියෙ “ජපුරට” ම වී මහ ඇදුරුතුමන්

මේ සා වස් කෙළේ සිංහල බසට රසේ
දේ සා මාමයෙන් ලියමින් රසට - රසේ
ඒ සා හිත කලාවට ඇති පෙමට උසේ
සේ සා කෙළේ නෙක-නෙක පතපොතයි බසේ

එකුන් දහහතේ වස කෙටි කතා පොතක්
“අහිංසක” නමින් කෙළෙ කව් සංග්‍රහයක්
“අලකෙෂ්වර” කෘතිය නවතාවෙන් කෙරුණක්
“රැකවල් සියොත්හට” තව කවි මාලාවක්

බැදි සිරසින් යුතු ව ගජ මිතුරන් දන්නා
ජයලත් මනෝ බුදදස් ගලපති දෙන්නා
“ගීත පහන් කන්ද” ට නැග රස පෙන්නා
“මධු බදුණක්” මවා “ස්වෙත රාත්‍රිය” මැන්නා!

“යාත්‍රා” කෙළේ ගී දියඹෙහි ගැඔුරූ”
“පෙම්බර ලංකා” පිළිබද පත්පිඹුරූ!
“මේ ගුරුපාරෙ” ඈතට ගිය මහ ඇදුරූ
ලිව්වා “වියෝ ගී” තෙමමින් සිත් සොදුරූ

“අනේ කුරුළු කූඩුවට” ද ගහන්නෙපා
“ඔබ තෙමෙයි කියා බයයි” වැස්සේ එන්න එපා
“දුවගේ සිනා වැල පොඩි” පැල්පතක පපා
“බුද්ධානුභා... පිපි මෙත් මල්” එහි සතපා

“දුෂ්කර ක්‍රියා” - “සරා... ගී” - “සරුංගලේ”
“සිරිබෝ අයිය” - “අනුපමා...” - තිරේ දිලේ
“චරිතාපදානය” පිළිබද රුවන් හෙලේ
“කොල්ලයෙ විජයබාවෙන්” දිගුහැරුම් කෙළේ

දමිළ බස උගත්තේ තව දුර මැනෙන
සාහිතය ද ඉතිහාසය මැණ බැලෙන
පරිවර්තන කතා ජන දමිළෙන් වෙළෙන
පරිචය ඇති ව පෙරළුවෙ හෙල බසටගෙන

සිංහල බසට සේ තැන දමිළයට දෙමින්
“මහදැනමුත්ත” දෙමළෙන් - “බොදු දෙමළ” නමින්
ඇති පොත් වණ කෙළේ “දෙ - බසට” ලැදි ව පෙමින්
“දෙමළ සීණුවැයි” ගරු නම ලද එහෙයින්

බස ගිනි පොවා කළ ගී පද අතර වැදී
“පවන” – “ගිතයේ සත්‍යය” පෙරට ඇදී
“දනන් රුහිර බී” - “මගෙපුතු” හදෙහි මැදී
හැම සවනතට දුන්නෙ ද ගල්-මුගුරු පැදී!

“සකුරා මල” යි ගුවනට මුසු කළ ගීයේ
“කඩුපුල්” ගීත නාටයෙනි පිවිසීයේ
“ගන්ධර්වයකු සේ සැග වී” ගී දායේ
“සත්සර රටා” පද අතරින් මතු වූයේ!

මේ මස යෙදෙන එතුමන්ගේ ජන්ම දිනේ
එකුන් සැත්තැපස් වසකට ගණන් ගැනේ
රට-දිය පමණි නොව - ඔහු හිඳ උගත් තැනේ
සිට ණය නොවී කළ සේවය නිබඳ වැනේ!

එතුමන් ගිය මගෙහි පිපි මල් නෙක සුවදයි
දිවමන් පදකුරෙන් ඔප කළ වැල් අමුණයි
කියමන් විෂය පථයට “ යා රත” වාගෙයි
පියුමන් පිපෙනු ඇත නව - තව අභිමානයි

පිරිසිදු නිල ඇදී ඇදි - ඇදි අහස් කුසේ
රිවිසදු රැස වැදී වැදි - වැදි අහස් උසේ
බසවිදු නැණ රැදී රැදි - රැදි සහස් ඇසේ
රසමුදු පද සැදී -සැදි - සැදි මනස් පැසේ

වෙසෙසින් විෂය පථයට විවිධත්වයට
වෙහෙසින් සොයමි මම පද කවිකත්වයට
යුගලෙන් දළැති ඇත් වන් එතුමන් නමට
කෙලෙසින් වරුණ කළ හැකි වෙ ද සාවකුට!

පිරිපුන් සඳු විලස නැගැ - නැගැ අඹර දිගේ
දිලෙමින් රිවි කිරණ වැදි -වැදි අබය මගේ
විඳිමින් සතුට නොඅඩු ව කැණිමඩල වගේ
බැබලෙන් චිරං ජය!! “ජපුරෙහි පුතුගෙ” අගේ!!!

සුනිල කව් සරණිය නිමීයේ.

1.07.2023

කවිය බලන්න
මහැදුරු ආරියත්න සුනිල්

මහැදුරු ආරියත්න සුනිල්

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

හෙළ ගී මියැසිය වෙත පිදු සෙනෙහස
නොසිඳෙණ දිය උල්පතක්ම වන්නේ
බිම්බා දේවිය වඩමවණා සඳ
හෙළ සිනමාවේ මහා හිනිමන්
හෙළ ගී මියැසිය
තම සුලකුණ වී
පවස නිවාලණ දිය දෝතක් සේ
සරසවි බැල්ම නිතියෙන් ඔබ ළග හන්දා
ඔබ කළ මෙහෙයම හරිම උදාරයි
මහැදුරු තුමාණෙනි .! ඔබෙ එක ගී පදයක
කියවෙණ අරුත තෝරා බේරා ගන්න
පොත්පත් දහස් ගණනක් කියවූවත් නොහැක
හෙළ ගී දැහැණ ඔබේ පිවිතුරු ලෝකයමයි
ඔබගේ දස්කම් තවත් පසක් විය

චිරං ජයතු මහැදුරු තුමණි !

අමර ගුණසේකර ප්‍රංශයේ Marne lo Vallée
I

කවිය බලන්න
සුනිලුනි

සුනිලුනි

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

ලියන්නට කවි පෙලක්
හිතට ගෙන දහිරියක්
වරින් වර තැතනුවත්
සැලී යයි අත බිඳක්

සුළු වුවද වදනක්
පිරිමැදිය හැක සිතක්
ගී ලොවේ මහ රජෙක්
ඔබ මෙරකි මම තිතක්

දනිමි ඔබ ගීතවත්
සොඳුරු සිත් ඇති බවත්
හිස සුදට බැබලුනත්
නොවේ අකලට එයත්

පදවැලින් සරු සාර
රස පිරුණු හෙළ ආර
සිරි ලකට දී බාර
ඔබයි පෙන්නුවෙ පාර

වරක් ඇසුවොත් හිතට
කාවදියි පද තිතට
මහ ඇදුරු වුව රටට
මිණකි අගනා සුමට

අගය කළයුතු කෙනෙක්
පිදිය යුතුමය නොවක්
මගෙ ආයුෂත් රැගෙන
දිනේවා දිඟු කලක්

දැක නැතත් හැබැහින්
සිත සමවැදුනි නිතැතින්
සුනිලුනි ඔබ තුටින්
කලා ලොව සැරිසරණු නිදුකින්

කවිය බලන්න
සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

සුනිල් ආරියරත්න මහා කලා කරුවාණෙනි

රංජිත් ද සිල්වා නවසීලන්තය

දියළුම දිය ඇල්ල වගේ
ගලා හැලෙන තෙලි තුඩින් ඔබේ
මැවූ වදන් වලින් ගෙතූ
ගද්‍ය පද්‍ය සිනමා - මේ සියලු කලා නිමැයුම්

හෙළ සාහිත මී වදයේ
මී පැණි බිඳු බිඳු වැහේ
රසික දනන් රසගන්වා
කලා රසය සිත් තවරා

තරිඳු හීනෙහෙන රැයක මතුවන
සිහින් එළියක් ලෙසින් විස්මිත
මැවේ හැමදා - මහා කිවිඳුගේ - මිහිරි රස බස්

නවසීලන්තය
26ජූනි 2023

කවිය බලන්න
සම්මානිතය ඔබ

සම්මානිතය ඔබ

ආරියරත්න ජයසිංහ මහරගම

සැරද! විස්කම් සුනිල් මහැදුරු
රළ පෙළක් මෙන් සුනිල සමුදුරු
පුරන් ගී කෙත වපුල සුරුවිරු
සාහිතා’ඹර සදිසි දිනිසුරු

පෙදෙන් පෙද මුසකර ගලායන
මියුරු මධු අම රසය වෑහෙන
වරෙක සැඬ “පවන”ක්ව හඬදෙන
සදා ඔබ ගී හදේ දැවටෙන

“සුදු සෙවනැලි” ඇඳ රිදීතිරය මත
“සරුංගලේ” මෙන් දිලෙනා නුබ ගැබ
“යශෝධරා” හා “පත්තිනි” අරගෙන
“කුස පබවත” කැන්දාගෙන ආ සඳ

සක්වල ගැබ ගිනි ඇවුලුනු සමයෙක
ඉර හඳ අහසින් ගිලිහුනු දවසක
රිදීතිර කන්‍යාව කෙළෙසුනු මොහොතක
“ක්ෂීර සාගරය කැළඹිණි” ඔබ’තින.

කවිය බලන්න
සියක්වස් සප්ත ස්වර ගෙනෙනු මැන ….

සියක්වස් සප්ත ස්වර ගෙනෙනු මැන ….

දීපා ද සිල්වා ලන්ඩනය

ලක'ඟන තොටිල්ලේ හැම සුව පහස දරා
ණය නැති පුතෙකු ලෙස විස්කම්වලින් පුරා
කරදිය වළල්ලේ එපිට ද මෙපිට සරා
නාමය රනින් ලියනට තව හේතු මනා

පාසල් මතක අතරින් මැවු පද මාලා
අවිහිංසකව එක් තැන් කල හෙළ බාසා
දොළොස් මහෙන් කල එලි පෑ කවි චායා
වසන්තයක සුන්දර සලකුණු පෑවා

පියවර පියවරින් අරමුණු වෙතට යමින්
සිත රැඳි සිහින මල් මාවත සැරි සරමින්
අනුපම මෙහෙය සිනමාවට පුද කරමින්
බයිලාවටත් සම්මානය අරන් දෙමින්

සරසවි ජීවිතය ගීතෙක අමුනාලා
රස බස මනු සිතේ අදරින් රන්දාලා
එඩිතර ගේය පද අරුමය විදහාලා
රන් මල් දමින් ලක් මවු නිති සරසාලා

සුනිල ගං දිය පුරා රස මතක කැලැත්තූ
රසික හදවත් අරා සැනසුම ම ඉපැද්දූ
මලවි බස් වහරකින් තුරුණු සිත් හිනැස්සූ
සියක් වස් සප්ත ස්වර ගෙනෙනු මහැදුරු මහත්වූ

කවිය බලන්න
දිසාපාමොක්

දිසාපාමොක්

පද්මා ජයසිංහ මහරගම

ඔබගෙ සෙවනේ නොබා
ශිල්ප ඥාණය ලබා
ඇදුරු ඇසුරේ සොබා
සරසවිය අත තබා

නැවුම් කොල පිටු පුරා
ගැලූ සිප් ගඟ අමා
ගැයුම් වැයුමෙන් සරා
තක්සලාවේ සරා

හද පත්ල නොසඟවා
තමා දත් සිප් පොවා
බෙදා දුන් සිසු වෙතා
සුනිල් මහැදුරු තුමා
දෙපා නමඳිමි සදා

හෙල කලා අම්බරේ
තවතවත් දිලෙත්වා
අසිරියෙන් තිසරණේ
දිගාසිරි විඳිත්වා !.

(2002 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ
ලේඛකත්ව සහ ජන සංනිවේදන පශ්චාත් උපාධිය
අවසානයේදී ගුරු උපහාරයක් ලෙස නිර්මාණය කරන ලද්දකි.)

කවිය බලන්න
සුනිල් ආරියරත්න නම් වූ ඔහු

සුනිල් ආරියරත්න නම් වූ ඔහු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

විරල ගනයේ විද්වතෙකි ඔබැ
සරල දිවි පෙවෙතකට හුරුවූ
සුනිල දිය දහරක් වගේ පිරි
අමිල සිතුවිලි ජනග සිත් විල
විසුල සියපත් කැඩපතක් වන්

කවිය ගීතය දෙඅත් සේ රැකි
නැතිය කිසිදා එකට මුසුකළෙ
සවිය ඔබැමය සපත කෙරුවේ
මගය මේ යැයි ලොවට කියමින්
අගය නොමියෙන ලෙස සදා

උතුරු කොන සරසවි බිමේ
මිතු සෙනේ පෑ පෙර දිනේ
සතුරු හදවත් අබිමුවේ
ඔබැමැ විය මේ සිංහලේ
දකුණු ලක සරසවි වලත්
ගෙවුණු යටගියාවෙහි මහත්
නැගුණු හෙළ භාෂා වියත් හඬ
දැණුනු ඇත්තෝ අති මහත්

ඇදුරු වන් වු දිසාපාමොක්
මැදුරු පැල්පත් වලින් සැපැමිණි
අකුරු කළ ගුරු මුෂ්ටියෙන් තොර
සොදුරු මිනිසෙකි ඔබැ නිරන්තර
මහරු සිසු පරපුරක් බිහිකළ
අඳුරු ලොව ආලෝක කෙරුමට

පුලුල් තිරයත් පුංචි තිරයත්
පළල් සිතකින් පසෙක් කරගත්
විසල් දැක්මෙන් ජාතියට කළ
අවුල් නැති නිරවුල් කලා කෘති
තැවුල් සෝ ළතැවුල් මැදින් වුව
පසල් ගම් පසුකර හඹාගොස්
විස්ව තලයේ ඇත රැදී

මහා ඇඳුරිදු මහා පදයුරු
මහා කිවිසුරු මහා ලිපියුරු
දැයේ පින් මහිමයට පහළවු
සුනිල් ආරියරත්න නම් වූ
ලබත්වා දිගු ආයු නිරතුරු

කවිය බලන්න
තුංමංසල

තුංමංසල

ඒ.එම්.අයේෂා සංදීපනී අධිකාරි කොළඹ චිශ්ව විද්‍යාලය

ඔහුට,

මුරුගසන් වැහි වැස්ස වැහැලා
ඉද්ද මලකත් පෙත්ත කැඩුනා
සිතාගන්නට නොහැකි ලෙසකින්
නුබේ කළු පැහැ සළුව වැටුනා
මල් දෙකක් ලග පිපුනෙ කොහොමද
අදත් පැනයක් සිතට දැනෙනා
ප්‍රේමයත් මහ උළුගෙදර මෙන්
මගේ දිවියම සිරකලා

ඇයට,

නුබට වැඩියෙන් මගේ පහසේ
සුවද ඔහු තනියෙන්ම වින්දා
"එක සමානව සැලකුවා මං"
වදනකින් හිත මියදුණා
තුංමංසලත් අදුරු හින්දම
මගේ පණ ටික නුඹට ලිව්වා
තවත් ඉවසන්නට බැරිම තැන
බොරළු පාරෙම යන්න හැරුණා

ශ්‍රීපාලි මණ්ඩපය.

කවිය බලන්න
ඇසළ පෝයදා....

ඇසළ පෝයදා....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සුරලොව තුසිතයෙ සුරසැප හැරලන්න
මනුලොව ඉපිද තුන්ලොව සනසන්න
දෙව්ලොව දෙවියන් විය පවසන්න
බඹලොව බඹුන්ද විය අයදින්න

කාලය දීපය දේශය බැලුවා
මව්තුම සමඟින් කුලයත් බැලුවා
නිසි දහමක් ලොව නැතිබව දුටුවා
බෝසත් මනුලොව වඩින්න සිතුවා

මහභාරතයේ නුවර කිඹුල්වත්
කපිලවස්තුපුර මහරජ තෙදවත්
සුද්ධෝදන වූ ශාක්‍ය කුලවත්
බිසවට වූවා මහමායා පුත්

ඇසළ පෝයදාවක මහ මායා බිසවුන්
සැතපෙන කළ දුටු සිහිනය මෙලෙසින්
සුදු නෙළුමක් ගෙන සිය සොඩින්
කුසට ඇතුළු වූවා දකුණු ඇලෙන්

සරණපාව ගෙන කුමරිය යසෝදරා
විඳිනා කළ රජසැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිතිද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා

සොයාගන්න යහමග බවදුක නිවන
ගමනයන්න සැරසුනවිට බෝසත් එදින
යසෝදරා දේවිය ලැබුවා පුත්රුවන
තැබුවා නමක් පුතුහට රාහුල ලෙසින

සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සයවසරක් එක්ව සිටි මිතුරන් සිහිවි
ඉසිපතනේදි පස්වග තවුසන් හමුවී
ඇසළ පෝයදා දෙසුවා දම්සක් මුල්වී

දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන්
කොණ්ඩඤ්ඤය පලමුව වූවා සෝවාන්
ගෞතම මුනිඳුගෙ මංගල දෙසුමෙන්
ඇසළ පෝයදා සැනසුවේ සගයින්

සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහසඟ පෙහෙවස් සිල් අරගන්නේ
ඇසළ පෝයදා පළමුව වෙන්නේ

ගෞතම බුදුන්ගේ වම් දළදාවත් රැගෙන
හේමමාලා සමඟින් කුමරා දන්තද දෙදෙන
කිත්සිරිමෙවන් රජසමයේ ලක්දෙරණ
ඇසළ පෝයදාවක ඇත මෙහි සපැමිණ

පාත්තරා ධාතුව සිරිලක වැඩමීම
මාහිමි උපාලි සියමෙන් වැඩමීම
දළදා පෙරහැර ලක්දිව ඇරඹීම
ඇසළ පෝයදා විය බොහොදේම

මාපනාවතුර -මහනුවර.

කවිය බලන්න
පාර දීගේ

පාර දීගේ

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කන් දීගෙන කියන කියන දෙයට තියුණු තුඩින්

කොයි අයියත් යන්නේ නෑ ඇයගෙ අණට උඩින්

කියව්වොත් ඇය හොඳයි කියා යනවා උනත් මඩින්

අපේ උන්දැත් මෙල්ල කරයි මේ නෝනා හඬින්

ඔහු යන තැන් මට වැඩියෙන් ඇය පමණයි දන්නේ

කන බොන තැන් ඉඳුම් හිටුම් එයා සොයා දෙන්නේ

හිත දැනගෙන ඉවෙන් වගේ පාර මාරු වෙන්නේ

කවදාවත් නොගිය මගත් ඇය එක්කන් යන්නේ

තොරක් නැතිව කියෙව්වාට නිතර එකම දෙයක්

වගක් නැතිව අසා ඉන්නෙ ප්‍රේමණීය හිතක්

ඇයත් අරන් මටවත් නැති ඔහු ළඟ ඇති ඉඩක්

මටත් පුදුම ජීපීඑස් ළඳට තියෙන පෙමක්

කවිය බලන්න
අහස ගිනිගනී.

අහස ගිනිගනී.

ආරි ලියනගේ ඉතාලිය

බඩ පිට පොත්තට ඇලුනු
දරුවන් දෙස බලා හූල්ලන
උණට පැනඩෝල් පෙත්තක්
ෆාමසිය ලඟ හිඟාකන
කිරි නොඑරෙන තන පුඩු
තෙත් කලා ලෝදිය කඳුළු කැට
කම්පාවුනා අහස් තල
ගිණියම්ව ගැටී එකිනෙක
ගිණි ගත්තෙ මුලු අහස අද.

කවිය බලන්න
ඔබ එක නුවරක , මං තව නුවරක

ඔබ එක නුවරක , මං තව නුවරක

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මල්වර අහසේ නෙතු පැටලෙනවා හැංගෙන්නට ඉඩ නෑ.
මගේ සිතේ ඔබ ගැන සිතුවිල්ලට සාර සදිසි මල් නෑ
පෑන් තුඩින් කවි ගී ලියැවෙනවා අහන් ඉන්න ඔබ නෑ
සෙනෙහස පුදසුන පැතුම් ලබන්නට මගේ හිතට පිං නෑ

තරු පිරිවර පිරි රෑ නිල් අහසේ සුසුදු සුමුදු සද නෑ
මාසෙ පෝයදා වාගෙයි මගේ හිත එළිය බිදක් එහි නෑ
ලස්සන මල් පිරි උයන් කොනක සිටි මතකය වියැකී නෑ
ලෝකය ඔහොමයි පොත්වල කිව්වත් මගෙ හිත පිළිගනු නෑ

වාසනාව , පෙර කල පින් පව් ඇත්තද මං දන් නෑ
මතකය, තනිකම කදමලු බැදගෙන ඒ මග ඔබ නම් නෑ
රගහල අදුරුයි , රැගුම අපුරුයි සතුටක් මා සිත නෑ
ඔබ එක නුවරක,මං තව නුවරක ඔබ මා ළග අද නෑ

කවිය බලන්න
රිදෙන තැන.....

රිදෙන තැන.....

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

ප්‍රේමයක ගිනිදැල්ල හදවතක දල්වන්න⁣
නොදැනුනිද? රිදෙන බව එපා අළු කරලන්න
දුකේදි හැකි වුනෙ මට පමණි සනසන්න
එහෙව් හද පුළුවන් ද
පණපිටින් පුච්චන්න

කවිය බලන්න
The Dark Heaven ~

The Dark Heaven ~

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

Masks are on and the faces are hidden
But she trusts them like a little kitten
Pause. No books have yet been written
To analyze them, THE DARK HEAVEN !!

They are crowned and pretend like Lords
Wear glasses, the image is with few blots
All good but something is odd
A fish celebrates until she meets a rod.!

She's unarmed but should struggle
This is not a joke like eggs juggle
Believe me, it's terrible. Look at a shuttle
Please be smart, you all are in a big trouble..!

Life flows so fast just like a river
Obstacles are everywhere but don't shiver
Apart from black, clouds are there in silver
The ocean is the stop. I told you, you're a river !!

R/Emb/Sri Bodhiraja College

කවිය බලන්න
අමුතු එකෙක් ~

අමුතු එකෙක් ~

චරිත් හිරිපිටිය ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

ඇයි මේ
පවුඩර් උලාගෙන
බලාපන්කෝ හැටි,
තොලුත් රතු කරගෙන !
කොහේද යන්නේ
මේ හදිස්සියේම ?

"ගමන ජීවිතය
යන්නෙ දිනන්න"
අමුතුම උත්තරයක් !

එකක් ගත්ත
උඹ ඇයි
ගන්නෙ අද
දෙකක් ?
පේන්නේ එක වගේ
හැබැයි ටිකක් වෙනස් !

"අඳින්නනෙ ගොනෝ
කන්න නෙවෙයි
මට දෙකක් !
උදව් කරපං
තෝරගන්න මට එකක් !"

දාගෙන ඇවිදින්
සපත්තු දෙකක්,
යන්නෙ ඇයි උසින්
තවත් අඩියක් ?

ටිකක් අමුතුම තමයි
හැබැයි,
උහුත් අපේම එකෙක් !
උහුත් මිනිහෙක්නේ,
ඉතින් ඇයි උහුට වෙනසක් ?

තවත් ප්‍රශ්නයක් ?
එපා තියන්න,
මගෙ කවියට
තිතක්...!

කවිය බලන්න
ගැහැණිය..

ගැහැණිය..

චමිලා නවගත්තේගම ලන්ඩනය

ගැහැණිය ගෙදර හැමතැන අගු පිලට වෙලා
දුක් කම්කටොළු මැද ඈ දිවියත් පුදම කලා
දරුවන් ගැනම හිත හිත ඇය කඳුළු සලා
ඉවසයි නිතර ගෙරවුම් හැම ලගදි හෙලා

පතිනිය වෙලා ආ දවසෙම ඇය ගෙදරට සිර කාරී
සඳ තරු නැතත් වතු පිටි වල පිපී මල් වැනි හැඩ කාරී
වැහි කළු බරව ආ දවසට විසදුම් දුන් මුල් කාරී
සිහියට නැගෙනවද අදවත් ඈ අපගෙ පිං කාරී

සෙනෙහස නැතත් ගැහැනිය සැප දිවිය කරා
කාලය ගෙවයි මහපොළවත් ඔළුවෙ දරා
ඇහුවත් එදා බෝසත් කවි සිහියෙ නුරා
ඉන්නවා අදත් බොහො අය වැනි යශෝදරා

කවිය බලන්න
පවන හමනු මැනවි යලිත්

පවන හමනු මැනවි යලිත්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

ඔබගේ පෑන් තුඩින්
භීෂණ යුගයේ අත්දැකීම්
පද මාලාවක් වී ගලා ගියා.. .....

ගීතය තහනමට ලක්වූවත්
අදටත් එහි දවටනය ගලවත්ම
ඇසට කඳුලු බිඳු ගලා එන්නේ
පවන සර්වකාලීන බව කියාදෙමින්

සම්මානනීය මහාචාර්ය ගී පද රචක
සුනිල් ආරියරත්න මහතානෙනි
ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතන්නෙමි !!!!!

26-May-2023

කවිය බලන්න
පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ

පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ

චමිලා නවගත්තේගම ලන්ඩනය

හිරු නොබසිනා දේසෙක හිඳ කවි ගොතලා
සිරි ලක් පුතුන්ගේ දස්කම් දැක බලලා
ඒ හැම දෙනා තුටු වදනින් සුබ පතලා
ඔබ හට එවයි ජන්මෙට ජය පැන් දොවලා

කවියට කලාවට සම වැද මිහිර බෙදූ
සුවිසල් ගසින් පල බර කර ලොවම සැදූ
පෙම්බර පියෙක් සේ අපගේ මනසෙ රැඳූ
අතු ඉති බෙදී රස පද වැල් ගෙතූ කඳූ

සිතෙන කවි පද ගොතා රස කර ලියා හසුරා
නයන පිනවන ඔබගෙ සුවයට සවනෙ තවරා
දැනෙන සිතුවිලි දහස් ගනනින් හදේ උතුරා
පතන පැතුමන් සිරිය ලැබ දෙයි ඉන්න ඉඳුරා

කවිය බලන්න
නමමි මම මගේ හිස

නමමි මම මගේ හිස

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

තවත් උදෑසනක්
එක් මැදිරියක ගුවන් විදුලියෙ
මුහුණ ලා සිටියෙමු
පිළිමලුන් ලෙස
තරඟයට
අඩ සිය වසට වැඩි
පෙර දිනයක

සිහින් කලු කොලු
පිළිමලුන් අතරේ
හැඳින්නෙමුු අපි
කියැවුණ නිසා ඔහු නම
එකල පාසල් අතර

ජය ගතිමු අපි
එදා තරඟය
ජය කෙහෙලි නැඟුවේ ඔහු ය
පසු කල
සරසවි කෙත
මහ ඇදුරු වී හෙල බසට

නෙක කව් ද ගී බැඳ
පොබ කර රසික සිත් මල්
රූප පෙලහර පාමින
රස සයුර නිති කලඹා
නඳන කර බෝ දන මන
නිම් වලලු කර පුළුල් ප්‍රඥා
ජය ගෙන කලා කෙත සටන
වෙහෙසකර
දිණුම පැරදුම එකට කැලතුණ
කුරු කෙත සටන සරි වුණ
හිඳී කිසිවක් නොවුණ ගානට
මහ පොලොව පය ගසා ගෙන

සුනිල් අහසයි හිසට
සුනිල් සමුදුර රට වට
සුනිල් සළු ගිරි හිසට
සුනිල් විණ අග
කලාවට බසට

ණය නැති පුතෙකි ඔහු
මව් බිමට මව් බසට
සම්මානිතයි
නමමි මම මගේ හිස ඔහුට

23-05-23

කවිය බලන්න
අලියෙක් වෙන්න මොන කරුමෙද හේතුවුනේ

අලියෙක් වෙන්න මොන කරුමෙද හේතුවුනේ

සිසිල් මාන්නප්පෙරුම Brampton, කැනඩාව

ඉපදුනෙ වන්නියේ ඝන කැලයක් මැදය
හැදුනෙ වැඩුනෙ නිතරම රෑනක් තුලය
කෑමට ඇති තරම් තිබුනේ කොල අතුය
නා ගන්නට ගියේ ඇල දොල වැව් වලය

නිදහස තිබුණි වනයේ වන අලියන්ට
සැරිසැරුවාය වනයේ අපි ඇතිවෙන්ට
හේන් කොටා අපෙ නිජබිම නැතිවෙන්ට
වැඩිකල් ගියේ නැත අලි වැට ඉදිවෙන්ට

මද්දක් දමා මගෙ කකුලට තදවෙන්ට
ගසකට තබා බැන්දා බැහැ සෙලවෙන්ට
අලියා වුනත් සිදුවුනි හීලෑවෙන්ට
මිනිසා නිසා සමුදුනි මම නෑයන්ට

ලොරියක දමා ගෙන ආවා නගරයට
දම්වැල් සමග සිදුවුනි ජීවත්වෙන්ට
සිදුවිය ලොරිවලට ලී කොට පටවන්ට
බඩගිනි වුනත් බැහැ කෑමක් ඉල්ලන්ට

සති අග දිනවලත් මා වැඩ කලයුතුය
“සුද්දන්” පවුලක්ම මාගේ පිට උඩය
අව්වේ කර වුනත් නෑමට තැන් නැතිය
සමහර දාට බොන වතුරත් මට හිඟය

යන්නට සිතුනමුත් දම්වැල් දෙකට කඩා
මම ඉවසුවා හැම පාරම සිතින් හඬා
අලියෙක් වුනේ ඇයි සිරුරින් නොවී කුඩා
බලුකුක්කන්ට ඇත නිදහස අපට වඩා

ඉඳහිට පෙරහැරට මා අරගෙන යන්ට
එන අය සිතයි මා බය බව හෙණ්ඩුවට
සැර දැම්මොතින් ඇන්නොත් මට රිද්දන්ට
කුඩු කරනවා හෙණ්ඩුව හුණ්ඩුව වෙන්ට

තෝරාගත්තාට කරඬුව ගෙනියන්ට
සළුපිළි දැම්මාට සිරුරම වැහෙන්නට
මොන කරුමයද මහ රෑ නිදිමරන්නට
ඉඩක් නොමැත මට කා බී නිදියන්ට

මිනිසා නොමිනිසා හොඳහැටි අඳුරන්ට
මට පුළුවනිය හැසිරීමෙන් දැනගන්ට
මම ආදරෙයි ලංවෙන පොඩි පැටවුන්ට
හොරු තක්කඩින් මට හිතෙනව පාගන්ට

පසුගිය දිනක කඹ අදිනා තරඟයට
තෝරාගෙන තිබුණි මා එක පැත්තකට
පන්සීයක් විතර ඇද්දා තරඟයට
ඇද වැටුනාය පන්සීයම එකගොඩට

අලියෙක් වුනත් මට දුක සැප හොඳින් දැනේ
වයසට ගියත් වැඩ වල අඩුවක් නොපෙනේ
අලියෙක් නිසා හැංගෙන්නට නොහැක අනේ
අලියෙක් වෙන්න මොන කරුමෙද හේතුවුනේ

කොස් කොල කිතුල් බොඩ සහ පලතුරු ඇත්නම්
ආදරෙ කරන්නට එකියක් ලැබෙනවනම්
දම්වැල් නොදා මට නිදහස දෙනවානම්
බලු සුරතලෙක් මෙන් ගෙදරට වී ඉන්නම්

Brampton, Canada

කවිය බලන්න
ඔබයි රම්‍ය තරු එළිය

ඔබයි රම්‍ය තරු එළිය

චමින්ද ලියනගේ බලංගොඩ

එදා මෙන් අදත් කිත් සයස් විස්වෙ රැන් දූ
කලාවෙන් විකුම් පෑ අපේ පිං බිමේ මේ
කැලුම් දී යුගත් තාරකාවක් පහන් වී
තැනූ සෞම්‍ය නිර්මාණ සිත් නෙත් පිනාලයි,

රැඳී තක්සලාවේ විදා ඤාණ ධාරා
දැයේ දූ පුතුන්ටත් දෙවා සිල්ප රාශී
දැහැන් ගන්වලා සිත් සබාවන් සනස්වා
සුරම්‍යයි රසින් යුත් බසින් පෑව විස්කම් ,

සිතුම් වැල් විදාලා අනන්තේ සොයා ගොස්
අපේ කව් සිලෝ ගී රටාවන්ට යාවී
පිදූ ගී අනෝමයි රසේ නම් නිමක් නෑ
රැඳී ඒ දැහැන් හී දිනේවා දිගාකල්,

කවිය බලන්න
මවකගේ සිනහව

මවකගේ සිනහව

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

නුඹ එතැයි මග බල බලා හිඳ පාරෙ බස් මත සුසුම් තිව්වා
නුහුලනා තරමටම වැඩ පළ පවරතැයි ලොක්කන්ට බැන්නා
ලියුම් කරදහි ලිය ලියා ඇය තැපෑලෙන් නුඹෙ නමට එව්වා
දරන්නම බැරි තැනක අම්මා මතක අමතක කරලා දැම්මා

තේ එකක් වත් උණුවෙ බොන්නෑ නුඹ දැවේ යැයි සිතනවා
විටින් විට විත් ක්ලිනික් යන්නට එන්න ඇවිටිලි කරනවා
පෙට්ටගමෙ රෙදි කෑලි කප කප නුඹට පොඩි නැපි මහනවා
අසිහියෙන් වුව එවන් මොහොතක ඇයගෙ දෑසම දිළෙනවා

වෙනදා මෙන් ඈ බසෙන් බසයට හූල්ලන්නෑ නුඹ සොයා
පියුන් ගෙන් නුඹෙ ලියම් ඇද්දයි අහන්නෑ ඇය දුර තියා
ලෙඩක් හැදිලද කරදරෙන්වද අඬන්නෑ නුඹ නා නිසා
සිනහවෙන් ඇගෙ නිවස පිරිලා කුසේ නුඹ ඇතියැයි සිතා

සියලු වැඩ පළ ඉවර කරගෙන ඉඩක් ලැබුනොත් ගම වරෙන්
කොළඹ කඩ වල මල් පීස් ඇති ටිකක් වැඩිපුර අර ගනින්
කළක් දැක නැති නුඹේ රූපය අඳුන ගන්නට බැරි උනොත්
පුතා නුඹ බව නොකිය හිටපන් ඇගේ සිනහව රැක දියන්

මීට
තාත්තා

කවිය බලන්න
සුනිල්වන්ව දිදුලන අරි රත්නයකී...!

සුනිල්වන්ව දිදුලන අරි රත්නයකී...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

"ලොවින් එකෙක් එක දේකට වෙයි සමත..."
කවින් එසේ කියුදේ , බොරු කළ
උපත...
රුවින් සොඳුරු වියතෙකි බෝ දෑ
උගත...
මුවින් මඳහසකි හැමවිට, සේ සියත...

සුනිල්වන්ව දිදුලන අරි
රත්නයකී...
සිහළ් බසින් එතුමා කෙළ
පැමිණියකී...
විසල් දැනුම බෙදනා බව නොරහසකී...
ඇසිල්ලකින් ගී පබඳින
රසවතෙකී...

දමිළ බසද හසුරන එකසේ,
වියතා...
අමිල සම්පතකි ඉපදුන මේ
දියතා...
නිමල හැඟුම් පිරි නිමැයුම් සේ
සියතා...
ඉපිල යවයි ගැයෙනා කළ , ඒ
නියතා...

සිනමාවට කරැති මෙහෙවර අපමණය...
මන පිනවනා කෘති පහදයි
සිතෙ විනය...
එනමුදු නිහතමානිත්වය ,
මුදුගුණය...
යන මාවත එළිය කරවන
දැයෙ මිණය...

අප රටෙ පිනට පහළම වුන චරිතයකී...
කැප වී ⁣කරන සේවය
මහඟුම දෙයකී...
ඉපදුන මහේ සුබ පැතුමද යුතුකමකී...
සැප සුව දිගුආයු අවමය
සියවසකී...!

කවිය බලන්න
ඔබද හෙළයට කුමුදෙකී

ඔබද හෙළයට කුමුදෙකී

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

ඔබද හෙළයට කුමුදෙකී, ගඟුලෙකී , පහනෙකී, ....පවනෙකී
යදමින් බැඳ විළංගුලා තරුණ පුතුන් රැගෙන යද්දි
දෙතිස් වධය පමුනුවතියි බියෙන් අයෙක් නොලිය ඉද්දි
අළුත් ලොවක් ගැන සිතනා පුතුන්ට ඔබ ගී ලියද්දි
ඔබගෙ පෑන අවියක් විය ලියූ වදන් උණඩ වෙද්දි

කකා බිබී නැටුව ඇතැම් කලා ලොවේ අමනයින්
සින්දු ලියන අතර ලෙවා දෙස්පාලක නරුමයින්
රට ගිණිගෙන ඇතිවග දුටු ඔබ ගෙතු එම ගී රැහැන්
එගිණි නිවන මග සෙවුනට පවනක් විය නිවු ගිමන්

ගිණිගන්නා රටක භක්ති ගීත ලියන කැනහිලුන්
කුමටද මට ඔබ විරුවෙකි නොවැටෙන කිසිවිට දනින්
කෝටි ගණන් බිහිවේවා ඔබ වැනි තව ලක් පුතුන්
කිරිමව් ලෙස සිරි ලක්මව සුරකිත්වා ඔබ තුමන්

කවිය බලන්න
තාත්තෙකුගෙ සෙනෙහස මහ පොතක්

තාත්තෙකුගෙ සෙනෙහස මහ පොතක්

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

පියෙකුගේ ආදරය මහා පොතක්
පිටකවරයෙ නැති ලොකු රතු හදක්
නොමිළෙ දෙතත් අගයෙ නොමැති නිමක්
නොකියවතිය දරුවන් ඉන් අඩක්

හිසට වගේ තිබුනට පිටු හුඟක්
ඒවා පුරා ලියැවුනු වැකි රැසක්
නොපෙනෙන්නේ පැහැදිළියට යමක්
ලියුවෙන් දහදිය කඳුලෙන් කවක්

ඇතත් රූප සිනහවෙච්ච මදක්
සොයන්න නම් බැහැ හඬනා එකක්
නොතිබුණාට හිමිවී නිසි තැනක්
අඩුවක් නැහැ පොතෙහි එකම පිටක්

කියාදෙමින් යහපතෙ මාවතක්
ලබාදෙමින් හැකි හැම ප්‍රීතියක්
පිදෙන නොපතා සැප හෝ වාසියක්
තාත්තගේ ජීවිතෙ යාගයක්

සිටියදි නැහැ කියවන්නට හිතක්
නැතිවූ පසු පෙරලන එක දුකක්
වසා පසෙක නොදා රැගෙන ටිකක්
දරුවනි පොත කියවීමත් පිනක්

-පියවරුන්ගේ දිනයට 18/06/23

කවිය බලන්න
සිතට විත් එබිකම් කළා

සිතට විත් එබිකම් කළා

දීපා ද සිල්වා ලන්ඩනය

හුස්ම හිර වී
නැවත එන්නට
කල්පයක් කල්
ගත වුණා
මැවූ හැම මහ
හීන කන්දම
දෙපා පාමුල ගිලිහුනා
රළු වදන් ලග
කදුළු ගල් වී
ඔහේ එක තැන
හිරවුනා
හිතේ සැමදා
සිටිය සම්බුදු
බෝධිසත් රුව
ඉරි තලා
නොහදුනන නොපෙනෙනා
යම රජු
සිතට විත්
එබිකම් කළා

කවිය බලන්න
මහැදුරු තුමනි ගනු මැන ආසිරි කවියෙන්...

මහැදුරු තුමනි ගනු මැන ආසිරි කවියෙන්...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

අරුමැසි සුනිල දිය උල්පත කඳු මුදුනින්
නෙකවැසි දියැලි හළමින් මී රස මවමින්
රිසි රිසි අරුම අතු ගංගාවල් හදමින්
නිසි නිසි කලට ගැලුවැයි මී පැණි කන්දෙන්

අතු ගඟවල් කලා කෙත රස සාර කරන්
නෙතු මතු නොව සිතෙත් ආදර රස තවරන්
පිතු සෙනෙහයක්මය සිව්දිග රස එක්තැන්
කතු ඔබමැයි හදට ගී කියු මුතු අකුරින්

රිදියෙන් තැවරු තිරයද ගීයද සරසන්
සන්සුන් වදන් සරසවි බිම මල් පූදන්
ඇසුවන් හද උඩින් සත් මල් කිනිති නමන්
කිරණින් රිවි ආයු ගනු මැන මහ ඇදුරුන්

ජූලි 28 වෙනිදාට යෙදෙන මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ 74 වෙනි ජන්ම දිනය නිමිත්තෙනි .

කවිය බලන්න
මුළුතැන්ගෙයි කවි

මුළුතැන්ගෙයි කවි

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

දස දහස් වෙනි වතාවට
අස් පස් කරමි
උදේ කෑම කෑ පිඟන් කෝප්ප
තද කරමි කිමෝනෝව
සකසාගමි එහි බුරුල් අත්
ඉහිරුණු පාන් කුඩු සහ මී පැණි
නොතැවරෙන්නට

කඩදාසි ඉවත් කරමි
එක් තැනකින් තවත් තැනකට
හීනි කවි පොතක්
ලිස්සා වැටේ පිටතට

ලිවීමට තරම් වටිනා දෙයක්
ලිවීමම
කෙතරම් අසීරුද
එය දැක යළිත් සිහිවේ මට
හුරුපුරුදු රිදුමක් මතුව එයි
මා දෑස පසුපස
අද අහස
ඕනෑවටත් වඩා
නිල් පාට ය
තියුණු ය

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘Kitchen Poems’ by Nicolette Stasko
ඕස්ට්‍රේලියානු ජාතික කිවිඳියක් වන Nicolette Stasko සිඩ්නි විශ්ව විද්‍යාලයේ කථිකාචර්යවරියක් ලෙස සේවය කළාය. කවි පොත් කිහිපයක් සහ නවකතාවක් පළ කර ඇති ඇය ඒවා වෙනුවෙන් විවිධ සම්මාන දිනා තිබේ.

Photo Ellie Ellien on Unsplash

කවිය බලන්න
සිතින් වෙන් නො වීමි...

සිතින් වෙන් නො වීමි...

ඉෂංකා මිහිරි කුමාරතුංග

සගවා ලයේ ඉකි බිඳුමන්
හීන පුරනා සිතේ බැදුමන්
තණ්හාවක නොරදවා සිතකින්
වීදි සරමී නුඹව සොයමින්...

දිය කරවා කදුලු මුරුගසන් වරුසාවේ
පා කරනා සුසුමක හද ගී රාවේ
එදා වාගෙම අදත් අඳුර අතරින්
නුඹව විදිනා සිතකි අදරින්...

මතක ඉල්ලා ජීවිත චාරිකාවේ
සින්න කරවා බොදවූ ප්‍රාර්ථනා වේ
අවසරයක් ඉල්ලා බිඳුවක මතකේ
නුඹව සිඹිනා පාද චාරිකාවයි රහසින්....

යටියන්තොට

කවිය බලන්න
තරු සහ ඔබ

තරු සහ ඔබ

ජයතිලක කම්මැල්ලවීර

ඔබ සිටින්නෙහිය
අහස මුවා කරගෙන
මට නොපෙනෙන ලෙස
එහි දිලෙන තරුකැට

එහෙත්
ඒ තරු
ඔබට හොරෙන්
ඉඟිකරයි මට

බිය විය යුතු නැත ඔබ
තරු බොහෝ ඈත ය

කවිය බලන්න
ඉසිඹු නොලත් මහැදුරු

ඉසිඹු නොලත් මහැදුරු

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

සුරවිරු පුතෙකි විදුදය සරසවි මවට
පැහැසර විදා සාහිත සිනමා ලොවට
නොමසුරු මෙහෙය නිජබිම වෙත පිදු බවට
හරසර කලා විරුදාවලි ලද රුවට

සඳ එළියක් ම වී සුනිමල ගී ගඟට
බඳ දදවැල් ම සම්මානෙන් නිති පුදට
ලද සුරුකම් ම උපතින් ඔහු - අපෙ පිනට
නද දී යශෝ නොමියෙයි ඒ නම හෙටට

යසි'සුරු රිදී තිරයට දියතින් දුන්නේ
කළ සරු රසික හදවත සැනසිලි ලන්නේ
නැණසුරු දෙනෙත මෙ'බිමට නැහැ ණය වෙන්නේ
මහැදුරුතුමනි කවදද ඉසිඹුව ගන්නේ

( ජූලි 28 වන දිනට ජන්ම දිනය යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට උපහාර පිණිස ය)

කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ විශ්වවිද්‍යාලය .

කවිය බලන්න
සදා තුටු සිත් සපත කරවනූ

සදා තුටු සිත් සපත කරවනූ

කුශාන් ලවන්ග

සෞම්‍ය රෑ සිරි බොහොම
හැඩ නෑ කදුලක බරට
සෙනෙහේ පිරි කම්මුල් අගට
පෑහෙන්නේම සිනහාවක් පමණ

අකාලික දුක් සමුදුරක් නම් නුඹය ගිලෙනා දෙව්ලි
විරහාවක් නම් රසය කුමට ද පායන්නේම දුක නේ
උයන් දහසක පූදින්නට නම් අවැසි නැත මුලාවක් වූ ප්‍රේමේ
සදා පායනු එකම උයනක නුඹට මල් දම් සොදුරී

ලතාවක් වී හමාගන විත් සුළන් රැල්ලක පහසේ
හමායන්නට වරම් දේවී තැවුල් වරා වන් රිසිසේ
ගලා යන්නට පළමු කදුළක රසය ප්‍රේමය විලසේ
සදා තුටු සිත් සපත කරවනූ ඇගේ ලෝකය අස්සේ..

කවිය බලන්න
සසරක වෙහෙස

සසරක වෙහෙස

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

විඩාබරය මේ ජීවිතය
ගිරිදුර්ඝ නිමනැති
ගිමන් නිවනට හිසට
හෙවනකුදු කැප නැති...

ගෙවා ආ මේ දුරත්
මහහුඟක් නම් නැති
යායුතුයි තව බෝම
සැනසුමක් ලඟ ඇතී....

සිහිල් සැනසුම් සදන
උරපතක් හිමිවැති
බැඳීමක් රැකුමකට
පරපුරෙන් මට ඉඩ නැති....

සසර ණය බැමි
අවසනක් නොදකිති
නුඹ තරම් නිවනක්
මට අහිමි නැතුවැති...

කවිය බලන්න
සුනිල විල

සුනිල විල

කපිල කුමාර කාලිංග

පිය රැව් දෙන
බිඟු කැඳවන
සියපත් සිය
ගණනින් පිප
සුනිල විලකි

ඒ විල් තෙර
උතුරා යන
ගී බඳුනකි
මියුරස පිරි

දිය මත ඇඳි
සළ රූ දැක
තුටු වෙති දන
පෝසත් සිත

විල ගැඹරෙහි
බිහි මිණි මුතු
දුලබ ගුණැති
පසිඳුය ලොව

කවිය බලන්න
නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

කිමිද සකල කලා සිඳු ලඳ පතුලු
ගෙනෙති මිණිවන් පැදිපෙල් අමයුරු
තිබුනද සියදහස් තරු ලකඹර පිපුණු
නුඹවන් පහන් එළි ඇත්දෝ මග කියපු

වියළි කර්කශ බිමක තිබුණු
සිහල කලා කෙත පෙමින් අස්වැදු
සුනිල දියවර නුඹය නිරිඳූ
බැතින් සත් පියුම් ප්‍රසාදිනිය පුදමු....

කවිය බලන්න
සමනල සඳෙස - 2

සමනල සඳෙස - 2

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

මග වැණුම 1

11. නැගෙන හිරු දිසා බල නැකැතට ම සොඳින්
ගැයෙන ගීතිකා අසමින දොළට හොරෙන්
කියන සුරල් සුළගට මුසු කරන පෙමින්
සවන යොමනු මැන කෙතට ද නැමැද හිසින්

12. ඇසේ දිසේ ගයනා ගී නෙක විහඟුන්
දිසේ විසේ බසිනා මී දියට පෙමින්
පැසේ රැසේ රුවනා කෙත් ගොඩින්- මඩින්
එසේ තොසේ දුවනා ගම්ලියො එගොඩින්

13. පිරෙන වා තලය බුදු හිමිගේ දහමින්
අසන වළා මත හිද සුරණන් සමගින්
දිළෙන රන් කොතේ ගබ වට තෙවර මෙතින්
ලෙලෙන බෝ සමිදු වැද අවසරය පතන්

14. රති රතු - කස් - රොසන - නිල් - දම් - සුදු අඟනුන්
වෙති තැන - නොතැන පිපි දැකුමට පෙත් සදමින්
ගති මත් දැකුම්කලු පුරඹුන් එ වණ් සොදින්
තැති නොගනිමින් සලපන් පියපත් එ මැදින්

15. පින් මද ලියන් විකසිත වෙත් තැනැ වදුලේ
නන් කොද කුමුදු නොපිපෙත ගෙදොරක මිදුලේ
වන් වැද ගනුව සිරි පා මගට ගන් තලේ
උන් මදහාසෙ දකු සැඟ වී වළා කුලේ

16. මන් බදනා සිත් ගැනෙනා එ වන් ලෙවන්
කන් පිනෙනා ගත් ලලනා බසින් පෙමින්
පුන් සඳිනා පත් දිලෙනා දළෙන් කොණෙන්
දුන් සොදිනා වත් බදනා තොලෙන් රතෙන්

17. නිල්ල කරල කොමලිය කෙත් වළල්ලයි
තැල්ල විමල කමලිය රැල් “ළ” වැල්ලයි
සුනිල උදුල පෙමලිය පන් පැළැල්ලයි
නිමල කොමල ගමලිය මා “ළ” පල්ලයි

18. විඳ - විඳ සිසිල ගගනත කෙත් දිලෙනයුරූ
සොඳ - සොඳ විසුල සරණත පත් සැලෙනයුරූ
කොඳ -බොඳ විපුල වුවනත නෙත් කැවෙනයුරූ
සිඳ - බිඳ තැවුල හදවත තත් ගැයෙනයුරූ

19. කුකුළන් හඬයි හඩලන හඬ ගමේ දුවයි
විහගුන් හැඩයි බඹරුන් නට-නටා ගයයි
සුරගුන් පෙළයි සමනල් මල් රටා වියයි
බරුවන් ගැළයි කමතයි කවි මුවේ නටයි

20. ළහිරු රැසින් නැහැවෙත සද සිතට ගෙනා
වදුළ මැද තැනින්-තැන මල් කැකුළු පිනා
දොලක නැගෙත කසු-කුසුහඩ මුසු ව මනා
අසනු උපන් පින්බර මගෙ ගමෙහි සිනා

21. බුදු රුව පතුල සතපන අරලියා මලී
පසුයම පුබුදු වන සේපාලිකා මලී
සඳුරැස දකිනු කැමති ව සුදු කුමුදු මලී
සපුමලි වන මලී බල නිදිකුම්බ මලී

22. සුළඟට නැගී ඉවුරට ළං වෙන රැල්ල
ගෙලවට දැමූ රන් පට සේ වෙයි එල්ල
කෙත - වැට - හේන සිඹ එන මදනල කෙල්ල
මට-බොට කතා නැතිකොට කෙරුවෙ ද මෙල්ල

23. අඩියෙන් - අඩිය තබමින් මා ගිය පාරේ
වැඩියෙන් තිබුණු වල්පැල කටුගස් තීරේ
සැදුණෙන් දෙපස මග එළි කරමින් හූරේ
සැකයෙන් නොයනු ගම කලඑළියයි මීරේ

24. කරුවල ගැසුණු වතුවල රබර ගස් වට
ගිනිමල නැත පිපිරුමට විසුල පස් යට
තුරුවල පැහෙන පලබර මිහිර හිස්කොට
ගත කළ මැනැවි සිත් සේ ගිම් ද අස්කොට

25. දුම් ගුලි එකතු කර පිඹිමින් අගුරු කකා
නිරතුරු කොළොම්පුර සිට ගමනෙහි ම තකා
යන විට දුටුව හොත් කෙත් කිති කවා මෙකා
දැක ගනු සොදුරුකම ගෙන එන යකඩ යකා

26. පෙරතුව ඉබි ගමන් වග මං-තොට පෑවේ
කඩතුව හැදුණු ලෙස වල-ගොඩැලි ද සීවේ
හැඩරුව බලනු නෙතුහැර සුමිතුර ජීවේ
උමතුව අධි මගට සපැමිණ කොට්ටාවේ

27. පෙර හුරු ගමන් මග නොව අද ගම මැද්දේ
තෙර දුරු කෙළෙන් නැත කටු පඳුරක් බැද්දේ
වෙර පිරු බෙලෙන් බල ගම්ලියනගෙ සද්දේ
මෙර විරු කෙමෙන් බිම තැබු බැඳි හිස මැද්දේ

28. ගම හෝ මාය පිටිපන ගල ගෙදර තතූ
විම නක පාය ගැතිවන නැතිකමට පැතූ
ඉම මිණි කාය මිහි රන-රුවනාර ගෙතූ
සම ඉව සාය මග මන සිහි බෙලෙන් මතූ

29. මඩගම නොවේ ගොඩ වටරැක මැදින් ගියොත්
මඩියම පේවි වැඩියෙන් මී බමනෙ යතොත්
වැල්ලට හමේ ගමටත් කොස් පිටියෙ පුවක්
වෙල්ලට අවිශ්වාසය නැති වුව ද ගමක්

30. සමනල මිතුර ගමනෙහි මග ලකුණු කළ
කලබල නොකර වෙනසකි යළි බලනු මුළ
අබමල විතර ඇටයක් සේ තිබුණු මොළ
දිවිතල අතර පරතර සිද දියුණු කළ

31. රජවරු යතිවරු ද සඟ සුරු පෙර දවසේ
ගොවිවරු වෙද ගුරු ද කම් කරු රජ දවසේ
විරුවරු රට දැයට සෙත් කෙරුවෝ එ රැසේ
තෙද දැරු ඒ ලෙවන් අමතක කරමු කෙසේ

32. රුවන්පුර බලා යන වග මැදින් එ සා
උතුරට හැරී දස යොදුනක් ගෙවා ම හා
නුවරට ළගා වෙන කඩුගන්නාව දෙ සා
බලමින් හිරුත් නැගඑන මග වඩිනු ව හා

33. කර වන ඇල්ල තොට යටියන එක - එල්ලේ
ගමනට බැල්ම උතුරින් සිට විම - සිල්ලේ
එතැනට කැල්ම හෙලුවත් අග - නේපල්ලේ
කෙළවර ඇල්ම එතැන ය මග සැන - සිල්ලේ

34. වැල්ලෙන් රුවන් හරි මැද සිට උතුර කලා
පිටගදෙණිය ගලිගමු තෙක් පියා සලා
එහි කෙළවරෙහි ඇති කදු - ගල් ගමේ කලා
දැක ගනු සබඳ පැවසෙන තතු හොදින් බලා

35. දැන් නුඹ ගමන් ගන්නේ කෑ - ගල පැත්තේ
තැන් - තැන්වලින් පැනැ ගිය රජු එහි නැත්තේ
කන් දී සොදින් සැමට ම දැන තතු මත්තේ
“රන් කරඬුව ” සොයනු අද කොහිදැයි ඇත්තේ

36. හරි හැටි දැනගනුව විස්තර අසාපන්
හරි හැටි දන්න දන හමුවෙයි සොයාපන්
හරි හැටි පැටිකිරිය රස කර අනාපන්
හරි හැටි නොදත් දෑ හෙළිවෙයි කියාපන්

37. සමනල සබඳ තතු දැන පිළිවෙලට මතූ
ගොනු කළ යුතු ය එකිනෙක නිසි ලෙසට තතූ
පසු කල වුව ද කවිකොට මතු කරන ගතූ
මග වල නොවැටි ඉදිරියෙදිත් කිවිය යුතූ

38. ඔව - දන සිතේ තදකොට ගළපා හැබැහින්
දග - දන සුලං රළ අඹරා පත් සගලින්
ඇස - නැණ යොමා සවි බලගෙන තුන් සරණින්
තතු දැන කියනු මැන සමනල හැකි තරමින්

(මතු සම්බන්ධයි.)

කවිය බලන්න
හැර ගිය අම්මාට..

හැර ගිය අම්මාට..

ලුෂානි දමයන්ති කැකිරාව

වසරක් ඇත ගෙවිලා ගොස් අම්මගෙ තිබු සෙනේ
තාමත් මට මතක් වෙනව හඳවතටද දැනේ
සමහර දා නොසිතු ලෙසින් සිහිනෙන් නුඹ පෙනේ
එතකොට නම් කඳුලු බිඳක් නළියයි නෙත් කොනේ

මොනවා හරි කන්න දීලා කුසගිනි අපෙ නිවා
දන්නව ඇති ඒ හැම දේ ගහ කොළ වැල් පවා
දුක් විඳලා උගන්වන්න පාසැල වෙත යවා
මතක් වෙද්දි මගෙ පපුවත් යනව වගයි දවා

හැමදාමත් කතා කරන විට කියන්නෙ පුතා
කිසි දිනකදි කියලා නෑ අප හට නම් නැතා
සසර මගේ අතරක හෝ හමුවන්නට සිතා
පෙරම් පුරමි අම්මේ මම මතු භවයක පතා

කවිය බලන්න
මායා.....

මායා.....

ලලනී ගීකියනගේ රත්නපුර

තරු පායා දිලෙන පැයේ
මෝරපු හඳ පලුව තියේ
පායන සඳ රැසට බයේ
බකමූනෝ ඉගිල ගියේ.

කිරි සයුරක ඉපිද ලොවේ
කොඳ කැකුළට සිනා මැවේ
හිඳ හිඳ කඩුපුලක රුවේ
හිරු දැක මුකුලිතව තැවේ.

සළු ඇදෙනා තිමිර පෙලේ
හිරු මායා ලොවකි දැලේ
සීතල පිනි වැටෙන වෙලේ
පාරන මතකයන් සැලේ.

මිණි බැදි නා ලියක් වෙලා
මර අඟනක් බැලුම් හෙලා
සුරලොව දෙපතුලට හලා..
දෙව් පුත් සිත් වසඟ කලා..!

2023 .06.24

කවිය බලන්න
සුනිල් ආරියරතන පඬිරුවනට

සුනිල් ආරියරතන පඬිරුවනට

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

තරුද නිදන මහරෑ... නිදමි මහද නිඳි නෑ
ගීපද ලියු ඒ පඬි සිහිවන්නේ තනිව නිදන මේ රෑ

නාබර වියෙ මට මේ පද ඇසුනේ පෙම් ගී ගයමින් සිටින ගමන්,
මහලුව ගෙවමින් සිටිනා අදටත් ගැලපෙයි, සැමි අද ඇඳේ ගිලන්.

සුනිල අරිය රතනා,... ලියන මෙවැනි පද, මා
සවනෙ රැඳෙන සඳ හද දුවයන්නේ සොඳුරු ලොවකට නෙ මා

ගී පද ලියනට දස් කම් පානා ලොවටම පඬුරකී නොවැ එතුමා,
එතනින් හරබර තිර රචනයටත් යොමුවුනි ලක්දිව ලොවට ගෙනා

ලබන දිවියෙ හෙට මා...., පතමි හදින් නිති මා
අරිය රතන සුර අතින් ලියන ගී පදයට හඬ දෙමි මා,

හඬ විසිරෙන විට වටහා ගනු මැන
නන්දාවන් නොව ගයන ගැයුම්
ක්ෂීර සාගරය කැලබෙයි එදිනට
සමාව අයදෙම් තුමෙනි උතුම්

අහස උසට පදවැල්, ලියන එඅත ඔබෙ රන්,
බුදුගුන, මව් ගුන, ආලය, විරහව
රස ගුලියකි පද වැල්

සකුරා මල් පිපිලාද කියලයි බැලුවේ දොරකඩ අමුතු රසක්
අහසයි පොලොවයි සේ අනන්ත බව කීවේ කාටද? එය පැනයක්

තරුද නිදන මහරෑ, පතම් හදෙන් අනෙ මා
නැන ගුණ සපිරුනු පඬිතුම ඔබ හට සුවය සැපත සැමඳා,
පුදමි තුටින් අද මා!
පුදමි තුටින් අද මා !

කවිය බලන්න
මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්  වෙත

මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් වෙත

ගමගේ ලයනල්

සුනිල අහසට නැගුනෙ සුනිල ගී පද රටා
මතකයට හිතේ ඇත රහසෙ ඇඳි රූ රටා
සිනමා ව නවකතා ගේය කවි කෙටිකතා
තව ම රස මී හැඟුම් වදන් ඇත දිව වටා

පුස්තකාලෙට වදී ඔබේ ගී රස කතා
පොත් රාක්කය පුරා රසික කැළ දිනපතා
ජාති ආගම් බේද කුල වාද නො සලකා
සාහිතට පණ දුන්නෙ ඔබේ පන්හිඳ තමා

කවිය බලන්න
පන්හිදට පණ ඇවිත්!!!

පන්හිදට පණ ඇවිත්!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

පණ තියෙන පන්හිදකින්ලු
ඒ මිහිරි ගී පද වැල් ලියවුනේ
දුක හිතෙන හැම විටම ඒ පද අපේ වුනා
තනිවන හැම විටක ඒ පද අපව ජිවත් කලා
පණ ඇති පන්හිදෙන් ලියු ඒ පද වලට පණ ඇවිත්
අපේ ජිවිත වුනා!!

ලේඛකයෙකු, කවියෙකු, ගී පද රචකයෙකු, චිත්‍රපට
‍අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ අද්විතීය සොඳුරු නිර්මාණකරුවාණනි,
ඔබේ පණ ඇති පන්හිඳෙන් තවත් අපූර්ව නිර්මාණ රැසක් අපවෙත දායාද කරන්නට අවශ්‍ය ධෛර්ය ශක්තිය ඔබට නොමදව ලැබේවා..!!!
නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුම ලැබේවා..!!!
ඔබට සුබම සුභඋපන්දිනයක් වේවා...!!!

ඡුනී 2023

කවිය බලන්න
අදුරු සිහිනය

අදුරු සිහිනය

මුදිතා ඩයස් කොට්ටාව

තිබුණා ඉස්සර
ලස්සන හීනයක්
වෙන්න ලස්සන
මනාළියක්...

කරපු තරමට
මහ හුගක්
කොහොම බිදුණද
විශ්වාසයක්..

අදුරු වලා පට
කළුවර මැදින්
හැමුවේ මහ ලොකු
කුණාටුවක්..

පාට පිරුණු
සුන්දර සිහිනයක්
අදුරු වුණු හැටි
පුදුමයක්....

කවිය බලන්න
ආදරේ

ආදරේ

මාලිනී හෑගොඩ USA

සාගරේ වගේ යයි
ලියුවාට කවි ගොඩක්
ගැයූවත් වැයූවත්
ලියූවත් නෑ නිමක්
නෑ වගේ මනින්නට
මේ ලොවේ කවුරුවත්
ආදරේ කියන්නෙම
උහුලන්න බැරි බරක්

ආකහේ දිලිසෙමින්
පායනා තරු ගොඩක්
එළිය දෙයි බිඳ වැටෙයි
පරමාණු මහ ගොඩක්
ඒ එළිය විසිරිලා
දිස්නෙ දෙයි සක්වලක්
ආදරේ කියන්නෙම
ඉඟිමරන තරු කැලක්

මල් පිපී සුවඳ දී
සනසවයි ලෝකයක්
මධු රසින් මත්වේවි
තරුණ සමනල කැලක්
මල් නැතිව මධු නැතිව
තියේවිද කිසි රහක්
ආදරය කියන්නෙම
මල් පිපුණු මල් ලොවක්

2023 ජූනි මස 7 දින
ඇමරිකා එක්‌සත් ජනපදයේ
කැලිෆෝනියා ප්‍රාන්තයේ
ෆොල්සම් නුවර දීය.

කවිය බලන්න
උරුමය ද කරුමය ද

උරුමය ද කරුමය ද

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ඉඳහිට අඬන අහසේ කඳුළින් තෙමෙන

නිදියන රැයට කුසයේ ගිනිදැල් නැගෙන

දහදිය සමග දිවියම දියකර හැරෙන

බණපද ලෙසට කිව්වෙත් දුකමයි විඳින

දිව්වත් හුඟක් දුර පසු පස නොබලාම

සෙව්වත් සැපක් නිති ලැබුනෙම දුකබෝම

ගෙව්වත් ටිකක් පව් තිබුනෙන් නොගෙවීම

යහපත් මගක් ඇස නොගැටුනි කිසිසේම

තැබුවත් සිනිඳු මෙට්ටය මත සුව දැනෙනා

බැසවිත් යළිඳු කුණුරස සැප ලෙස ගෙවෙනා

අයටත් කවුරු කිව්වද බණ කන පිරෙනා

කවදත් නොහැක පින දෙන්නට පව මැකෙනා

විඳ විඳ නේක කරදර දුක දිවියේම

තව තව බෝම යන්නට ඇත සසරේම

දැන දැන සිතට බෝ දුර බව සැනසීම

කරුමය නොවෙද පව අසලම නැවතීම

කවිය බලන්න
සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි

සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි

මුදිතා ඩයස් කොට්ටාව

කලා සයුරේ කිමිදිලා
එහි රසය මිරිකලා
අමා මී බිදු පුරෝලා
ගෙනෙයි රස කලතලා

ගේ පදින් හිත් කියවනා
රිදෙන තැන් සියුම්ව පිරිමදිනා
ගී ලොවට රස අරුත් පද ගෙනා
ආදරණීය සුනිල් ආරියරත්නා

සිනමා වේදිකාව රසයේන් නහවලා
කලා ලොව නම ඉහලින් ඉසවාලා
සම්මාන පිට සම්මාන උසුලාලා
ලොව සුපතල නාමය ආරියරත්න කරවාලා

සරසවියේ ප්‍රකට මහදුරු ඔබ ම තමයි
සරසවි බිමේ ගිනිසිලුව ත් ඔබම තමයි
කලාලොවේ අසම සම කල කරු ඔබම තමයි
සුනිල් ආරියරත්න නොමැති කලාවක් නෑම තමයි

කවිය බලන්න
අම්මාට......

අම්මාට......

මාලා විජේකෝන් උතුරු කැලිෆොර්නියාව

ගෙවී යන මතකයේ බොහෝ රිදවුම් ඇතත්
සුවෙන් හිඳිනෙමු ඉතින්, ඇති නිසාවෙන් හෙටක්
දිගු කලක් ගත වුණත් නැතිව කිසි තොරතුරක්
බුදින විට දිව බොජුන් මතක් වෙනවද අපිත්

කලට වැසි වැටෙන මුත් ඉඩෝරයකුත් ඒවි
දැනට නැති ලෙඩ රෝග පසු කලෙක වැලඳේවි
දුක ළඟම සැප සේම සැප, දුකට පෙරලේවි
ඔබ නැතිව ගෙවන මේ දවස් තව දිගු වේවි

සිල් සුවඳ තවම එයි බණ පොතේ පිටු තුළින්
පිච්ච වැල පිරෙනවා හිනාවෙන සුදු මලින්
බොඳවෙලා හැම දේම බලා හිඳ ඇස් වලින්
ඇවිත් යන්නට එන්න නිවන් යන්නට කලින්

උතුරු කැලිෆෝනියාව

කවිය බලන්න
හිස් වෑයම..

හිස් වෑයම..

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා

අතරමංව හැඟුම් සමුදායක
ඉමක් නොපෙනුන මානෙක
සිහිනෙකට ඈදෙන්න හිතං
අවැසි විය ගං පතුල සිප ගන්න
තනිකම හද ඉරන යාමෙක..

සුසුම පොදින් පොද ගිලිහෙද්දි
මතක එකින් එක
අන්තරාභවයක් වෙතට ඈඳෙද්දි,
යළිත් මෙළොවට අදින්නට
කුරුරු වූවෙක් වීද
සමා දෙනු මැනවි හැකිනම්
බිණුම් චෝදනා
හිත් පල්ලෙ පීදෙද්දි..

තැළුම් රිදුමන්
සැරයුමින් පිළියම් කොට,
පපු කුහර තෙරපා
පෙනහළු වෙතට
යළි ප්‍රාණෙ විද්දට,
වෙදෙකුට පුළුවන් වෙයියැ
ආයෙමත් සිනහවක් ඈදන්ට මුවකට,
පණ දුන්නාට
හැඟුම් මියැදිච්ච හදකට..

කවිය බලන්න
අපායේ ඉන්ටවල් ඉවරය්

අපායේ ඉන්ටවල් ඉවරය්

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

පින් රජෙකු පහළ විය ගොන් රජෙක් හිටි රටේ
ඉහල ගිය ඩොලරයත් ඔන්න පහළට වැටේ
අපේ රට දිලෙනවා ලෝකයේ සිව් වටේ
පෙට්‍රලුත් ලැබෙනවා දිව්ව හැකි රට වටේ

සවිවුනා කොන්ක්‍රීට් සැටලිමෙන් මට මොටද
ඒ නිසා අරගලයේ හිටිය උන් තව මොටද
පිම්බුවා මාධ්‍යය වෙන රජුන් තව මොටද
දන්නවලු ඉතිහාසේ පුරාවිද්‍යා මොටද

රජු රකින නීති පොත් ඇමතියන් හදනවා
රජුට රිසි නැති එවුන් දඬු කඳේ ගහනවා
චන්දයක් තිබ්බොතින් රජුට ඇප නැති වෙනවා
ඒ නිසා චන්දයට සල්ලි නෑ කියනවා

ටික කලක් ගත උනා බිල් ටිකත් වැඩි උනා
ණය පොළිය වැඩි උනා, බදු බරත් වැඩි උනා
උගත්තුන් තරහ වී රට හැරලා පිට උනා
රටේ සම්පත් ටිකත් ටිකෙන් ටික විකිණුනා
රජා තව ණය අරන් කා බිබී සැනසුණා
රටේ නිෂ්පාදනය එක පාර අඩු උනා
අනේ හත් දෙය්යනේ රුපියලට කෙල උනා
ඩොලරයේ ගැනුම් මිළ ඉහලටම පා උනා
රජාගේ සළු පටත් අහසටම විසි උනා

ඔබාගෙන ගෙන අපි රබර් බෝලයක් වතුර යට
සැනසුනා හැමදාම රැවටෙනා කරුමයට
අපායේ ඉන්ටවල් ඉවර විය ඉක්මනට
රුපියලට මොක වෙය්ද ණය ටිකක් ගෙව්ව විට
අනාගතයක් තිබෙද නිමවුමක් නැති රටට
නිමාවක් නැති වෙය්ද මේ මජර සෙක්කුවට

කවිය බලන්න
එන්න,.......ඉරන් කළු සළු

එන්න,.......ඉරන් කළු සළු

නික් ග්ලෙන් උතුරු අයර්ලන්තය

කඳු සිරස නගිමින් උදා, විහිදූ රන් රැසින්, මිහිතල අඳුර මිදු
උඩු ගුවන නිල්වන්, බදා, සිඹිනා ආලයෙන්, වෙලි මේ කුලයි සුදු
ලඳු කැලය, තණබිම් එදා, උඬගූ, හඬ හඬා, පුදන ජීවිත, වැදු
මුඩු පොළව නෙතගින් බලා, හිඳිනා සේ පෙනෙන්, පිපිරු තැන්, වී කුදු

හිස ගසා විහඟුන් සලා, පියපත් තුරු මුදුන, තරණය කරන මුදු
කුස පිරෙන කිස නැත නෙලා, ගන්නට, ළපැටියන්, හඬයි නොසලා බිඳු
ගස වියලි අත පය වනා, පවසයි පිපාසය, විඳවන් ගැහැට රුදු
රස බෙදා දෙන්නට මලේ, බැරිය අග හිඟ බෝ, සමාවෙන් බඹරිඳු

දඟලමින් සෙල් සතපමින්, පැන ආ, විටෙක, ඇය, වේගෙන් නැගී සුදු
මග දිගින් දිග සිප ගමින්, දෙව්රේ පුලින තල, රැඟු මනමාල ලඳු
ළඟ ළඟින් විත් රහසකින්, සතපාපු ගොවි සිත්, නිල් සුකුමාල බිඳු
අග හිඟෙන් මිරිකෙයි නිතින්, නැත හමුව කලකින්, ලුණු රසය, සත් සිඳු

මදනල ද වියලියි හමන, දුහුවිල්ල අහසට, නංවලා යන රුදු
ලද බොළඳ දලු නැමි නැමී, පවසන්නෙ රහසින්, දක්නට බාල සඳු
මද වේගයෙන් විත්, ඉරන්, කළු සළු, බිංඳු පොඩි, පොඩි වැටීයන් මුදු
අද අදම මව් පොළව සිඹ, නිවා සතපා දන, පුබුදන් හරිත ලඳු

උතුරු අයර්ලන්තය
09/06/23
අනවුඳඬු විරිත, මත් 30.
( 12, 9, 9 යතිය. )

කවිය බලන්න
මගේ නුවර මහනුවර

මගේ නුවර මහනුවර

නිරෝෂිනී අනුරුද්ධිකා පැරිස් නුවර

ගලප ගන්නට වචන මදි වී
හෙමින් පෑරෙන දුක මගේ
ඇතුල් හද ගැඹ දොරවසා මම
හෙමින් ආවෙමි මග දිගේ....
රිදෙයි නුඹ හට කියා බය වී
හෙමින් ඇවිදපු පිං බිමේ
පාට තැවරුනු සුවඳ විහිදුණු
මතක තවමත් ඇත හදේ.......

සුවඳ සුදු මල් වලාකුළු බැමි පසු කරන් විත් මාවතේ
දෙපා නැවතුනි මටම හුරුවූ වැව රවුමෙ ගල් බංකුවේ
තවම එහෙමයි සුවඳ දෙනවා ගැට පිච්ච මල් මාලීගේ
නුවර අහසත් හිනැහුනා මට පෙර පුරුද්දට වගේ
එදා ලඟ සිටි කාත් කවුරුත් නැතත් අද මගෙ ජීවිතේ
ආදරෙයි මං මගේ නුවරට හැමදාම මගෙ පන වගේ♥️

කවිය බලන්න
ඒ කන්ඨක  නොවෙමිය මම

ඒ කන්ඨක නොවෙමිය මම

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

පීරා දෙපසට, සරසා පිට දිග, විල්ලුද සේ දිලි ලොම් සේමා
සැරසූ ගත දිදුලන පැහැයෙන් යුතු, නෙත් පිනනා රුසිරෙන් බෝමා
අනෙකුන් හා මුසුවීමට නැත වර, අජානීය අසෙකුය මේ මා
ගෙනෙමින් බොහො මසුරන් හා කිත් ගොස්, පිනවමි හිමිකරු සිත් පේමා

උභය කුල පරිශුද්ධ, ජවන බල බෝ අධික
අසකු වෙමි පරසිද්ධ, වෙනත් නැත සම වන්න

කන්ඨක නමින් යුතු, පරසිද්ධ අසකු ගැන
අසා ඇත ඉතිහාස කතන්දර වල කියන

සසර දුක දැක ඉන් මිදෙන්නට
කොහිද? සත්‍යය සොයා යන්නට
සැරසෙනා උතුමෙකු පිටින් ගෙන
නිසල වනයට රැගෙන යන්නට
පෙරුම් පුරනෙමි නිතින් අද මම.

කවිය බලන්න
නඩු විභාගය

නඩු විභාගය

නාලක ගම්මැද්දේගෙදර

සිතුවිලි අතර එහා මෙහා
දෝලනය වන හැඟීම්
හෘද සාක්ෂිය නමැති
උසාවියට දමා නඩු විභාගය
ආරම්ඹ කලෙය
මහත් ශ්‍රමයෙන් දිය යට සගවා ගත්
හුලං බෝල මෙන්
මිත්‍රත්වය. සහෝදරත්වය. ආදරය. ඉරිසියාව. දුක
නමැති සාක්ෂිකරුවන්
විත්ති කූඩුවට පැමිණ
සාක්ෂි ඉදිරිපත් කර උසාවිය මදවේලාවක් කල් තැබිය
පසුව නිහඩතාවය බිදිමින්
යුෂ්මතා වැරදිකරු බව
ජුරියේ එකමතික තින්දුව විය
පසුව හදවතට තුන්වරක්
ලී මිටියෙන් පහර එල්ලකර
බරපතල වැඩ සහිතව
ඇයගේ ආදරය නමැති සිර කුටියේ
වහා සිරගත කල යුතුබව
විනිසුරුගේ අවසන්
තීන්දුව විය.

23.04.15 නාලා
නාලක ගම්මැද්දේගෙදර - කටාර් රජ්‍යයේ සිට

කවිය බලන්න
පශ්චාත් මරණ පරීක්ෂක වෙමි...

පශ්චාත් මරණ පරීක්ෂක වෙමි...

නිලුපුල් ප්‍රියංකර

කෙටුම් දෙන විදුලියක් වාගෙයි බලන බැල්මෙන් දිලිසිලා
පැටන් එක මොන එකක් වූවත් තිතට වන්නම බල බලා
පටන් ගත්තම ඕන නැටුමක් රහට නැටුවා අඩි තලා
නැටුම් මිස්ගේ ලස්සනම දුව ඉස්කෝලෙ සිටි සඳකලා

හතයි දහයට ඇවිත් බුදුගෙයි මල් තියා බිම පිහිදලා
කොටයි වගෙ නෑ නේද බලපන් ගවුමෙ රැළි ඇද පෙන්නලා
කැතයි බන් උබ කොණ්ඩෙ බෙදුවම නහය අල්ලල මිරිකලා
මටයි උබටයි කියල බත් මුල ලෙහා දුන්නෙත් සඳකලා

අලුත් බිල්ඩිමෙ කලා උළලෙදි කුමාරිය මනමේ වෙලා
කඩුත් අරගෙන අසංකය මට කෙටුව දා වැද්දෙක් වෙලා
කැලැත්තුණ ඇස් දෙකේ වෙහෙසට තිරය පිටිපස්සට වෙලා
පිළිස්සුණ හිත ඇතිව හෙමිහිට කඳුළු සැලුවෙත් සඳකලා

ඩාන්ස් කරලම සෞන්දර්යෙන් ඩිග්රියක් ගත් සඳකලා
චාන්ස් තිබුනට කැන්ඩි ඉන්නට තිත්ත වෙල හිටි සඳකලා
ට්‍රාන්සර් එක කොළඹ පැත්තට ඉල්ලලා ගත් සඳකලා
බාන්ස් පාරේ ඉන්න බව දැන සොයා ඇදුනෙමි සඳකලා

වැරෙන් තදකළ හුස්ම වියැළී සීතලට සුදුමැළි වෙලා
උරෙන් පහළට කැළැල් තිබුණා තැලී තැන තැන නිල් වෙලා
ගෙලෙන් හිරකර කළ එකක් බව ලියද්දී සළකුණු බලා
ගිරෙන් ගිර මැද ලැඟුම්හල ලඟ වැතිර සිටියා සඳකලා

කවිය බලන්න
ගායකයා හා යුවතිය

ගායකයා හා යුවතිය

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

නගර උද්‍යානයේ ජනී ජනයා අතර

මාරගස් පෙළ අතර ගයමි ගී නිරතුරුව

ඔබ ඇවිත් හිඳ ගනී එකම එක වෙලාවට

දිරාගිය බැංකුවේ කෙළවරක හැමදාම

ගයමි මම අබිමනින් පියාගෙන යුග නයන

ඔබ ගැනම සිත යොමා බැඳුණු ගීයක් ලෙසින

ඔබේ නුවනග කැලුම ගීය ලෙස මතුව එයි

ඔබේ පියකරු වුවන ගී තනුව හා ගැටෙයි

නුවන මා නොගැටුනත් ඔබේ දෙනුවන සමග

දැනේ මට ඔබේ මුව මගේ දෙනයන ගැටෙන

පිවිතුරුම ගීතයයි ගැයෙන්නේ මා මුවින්

කිසිවිටක ඔබට නොහඟවන පද පෙළ තුළින්

-

කවිය බලන්න
ලිහිණි.........

ලිහිණි.........

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

ලියා පද වැල් කවියො කවි කල
හඳට සම කල මුහුණ....
පාන්දර අවදිව චීත්තය
පොටේ නොපිටෙන් පිසින...
හවස ගෙදරට එනතුරා දරු,
දිලිසෙනා තරු නයන....
සංදේශ වල, හැඩය මිස දුක
ලියැවුනේ නැහැ ගෙවන....

සිහින් ඉඟ, කුළු පුළුල් උකුලක
සුන්දරව කවි ලියන....
වතුර කළ හඬ හඬා සෙලවෙන
හෙමින් ඉඟ දුක කියන....
දරු කැලක බර දරාගෙන
අම්මා වරුන් ලොව තනන...
හැඩ විතරමද තිබුණෙ උකුලක
කවියො එතරම් වනන....

රණ හංස ගී කොතෙක් වැයුනද
සෘංගාරයක ගිලුන....
වැහැරි තන පුඩු පමණි දන්නේ
එදා කාලය ගෙවුන....
මතුපිටක හැඩ මිසක කවියක
පපුව ඇතුලට නොයන....
හංස ගීතය අසාපන්, ඉකි බිඳින,
රහසින් කියන....

නා මෙනවියන් ඇත ගඟ දෑලක පුලින....
ජීවිත ගැට ගසන්නට වැලි ගොඩ දමන....
නිසි පුළුලුකුල රිය සක දිවි බර අදින....
සැළලිහිණියෝ මගහැරුනිද ඇගෙ උවන...

මොරටුව.

කවිය බලන්න
මහැදුරු සුනිල්  ආරියරත්න උපහාර-දැනුම යනු...

මහැදුරු සුනිල් ආරියරත්න උපහාර-දැනුම යනු...

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

දැණුම වනාහි පරිපූර්ණ දැක්මකි
හදවත ආත්මය වටහ ගන්නකි
පත්ඉරු කියවා කුමන පලක් වෙද
තමා ගැනවත් නොතේරේන සඳ
ශුද්ධ ලියවිලි දනවන සැබෑ අරුත්
දැකිය හැක වැඩිදුර නොබැලුවත්
දේශනා කරන්න ඒ පිලිබඳ
සරලව එය කිව හැකිද
කරුණු කාරණ සසඳමින් එළෙස
වඩන්නෙද දනන් නුවණැස
කියව අවසන තමන් අඳුරෙ නම්
නිසරු වෙහෙසකි එවන් වෑයම්
වැදගත් නැත ඔබෙ ඉගෙනුම
දෙවියන් මිනිස් වෙසින් නොදකී නම්
භක්තිය යාඥා නිපුණතා දැණුම
අගයමින් දොඩයි නම් පුරසාරම්
සැදැහැති සගය කියම් වදනක්
කැමති වන්දනාවක යන්න සියවරක්
එනමුත් හදක් වෙත කරන ගමනක්
සියල්ලට උතුම් චාරිකාවක්

* යුනුස් එම්රේ (1238-1328) ඇසුරින්

05.06.2023

කවිය බලන්න
දැක්ම ......

දැක්ම ......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

පුන් සඳ නැති තරු අහසේ
පායා දිලෙනා තරුවක්
ආයාචනයක් විලසින්
නිවි නිවි දිදුලනු දුටුවා.

ඈත එපිට අහස් තලේ
දිලෙනා ඒ රන් රුව දෙස
වඩා ලඟින් දකිනු රිසිව
දුර දක්නයකින් බැලුවා.

නෙත සනසන දසුනක් නොව
හද නළවන සිතුමක් නොව
දුහුවිල්ලෙන් කඬොලු වලින්
පිරුණු ලොවක් නෙත දුටුවා.

කවිය බලන්න
වසත් කල අග

වසත් කල අග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

විසල් මන්දිර උයනක
ලාෆින් විලෝ රුක අසල
හඬයි වී පින් විලෝ තුර

වැහිකබා වෙනුවට
කලු කුඩ ඉහලගෙන
යන සුදු මිනිසුන්

වසන්තය අග්ගිස්සෙ
මන්ද මාරුතය හවසට
ඇයිද මෙතරම් සීතල..

පාං කෑමේ ප්‍රියතයින්ගේ
මුහුණේ මුද්‍රා තබන
බටර් කප් මල්

තන අග පිනි බිංදු
නැත කොහේවත්
වියළී ගොස් ය තෘණ පත්

ජීවිතය අනියතය ... නියත ය
මරණය නියතය ... අනියත ය
දහම් දෙකක් එක ළඟ

-ලන්ඩනය

කවිය බලන්න
ගිරි දුර්ග තරණය

ගිරි දුර්ග තරණය

රවීන්ද්‍ර ලක්මාල් දයාවංශ කටාර් රාජ්‍යය

සිදුව ඇත අපට
ගිරි දුර්ග තරණයට
ගිම්හාන සමයක
දුෂ්කරය, කටුකය

වස්සාන සිහින
හොවාගෙන පැසක
ගමන් අරඹමු ඉතින්
යා යුතුය, දිගටම

නොයන් දුර ඈතක
දැනෙයි මට සරතැස
සැඩ හිරු කිරණ වලකන
තුංග තුරු හිස නුඹය

සුපෙම් මල් පූදින
ලතාවකි නුඹ අසල
හෙට වසන්තය පිණිස
සිඹිනු මැන මුව මඬල

කවිය බලන්න
ඇය

ඇය

රේණුකා වීරසිංහ මෙල්බර්න්

බිලිදියක සේ ඉපිද
දැරියක සේ වැඩි
යුවතියකව දොරට වැඩ
පතිනියක සේ පිටව යන්නිය.....

බිරිදක , මවක, ලේලියක හා මිත්තණියක
ලෙසින්ද....
බඩුව,පට්ටට කැල්ල යන
මෙකී නොකී ගරු බුහුමන්ද ඇය ලබන්නිය
එකම එක කදුළකින් ඇගේ හද
තෙමුව කල...
ඇය නිදා ගනු ඇතිය
සුසුමකින් හද තෙමන් ......

කවිය බලන්න
අවතැන් වී ද ප්‍රේමය...

අවතැන් වී ද ප්‍රේමය...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

සඳ පිපෙන යාමය
බිඟු රොන් සොයා යන සුයාමය
උණුසුම් දහවලක පවා නොදකින
දෙනෙත් සොයනා කාමය.

උරුවම් නාදයක දැවටුණු
මුදු තුෂර රේණුවක සැඟවුණු
ස්පර්ෂයකින් හෝ
විඳින්නට පේ වුණු
කොහේ හෝ අතරමං වී දෝ
නිල් පාට හීනයක,
ප්‍රේමයේ මං සලකුණු.

වෙරලත ගල් පරයක
අනන්ත සාගරයක් මැද
සහස් තරු යායක
කඳු වලල්ලක සෙවනැල්ලක
වලා වියනක හෝ වහං ව
රහසේම රැඳුනි ද?

නිල කඩා හැලෙන තුරු ගොමු වල
දඟර ගැසී එතුණු පහුරක කොනක
ගිලිහුනු සමනල් තටුවකට හෝ වැද
පවනැල්ලකට මුසුව
දුර ඉඳන් එනවද?
තවමත්...තවමත් තත්පරව
දෙනෙත් මග බලයි ඉවසිල්ලක් නැතිව.

රුදුරු ගති ඉවසුවා ...ඉවසුවා...
ඉතින් හොඳටෝම ඇති
හිතකට වුනත් දැනෙනවා හති
වයන්නට නොහැකි නම් මේ ඍති
දුරින් හිඳ හෝ විඳිනු මැන,
ඒ ඇති.

ඉවසීමෙන් සැනසීම ලැබේ කීවත්
ලැබුණි ද පැතූ සාමය?
සොයාගන්නට නොහැකි ව තාලය
අවතැන් වී ද ප්‍රේමය!!

කවිය බලන්න
තුටින් ගයයි උන් විරහව

තුටින් ගයයි උන් විරහව

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

චන්ද්‍ර මණ්ඩලෙන් උපන්න...
පුංචි සඳ සාවියේ ......
අඳුරු තිමිර පට ඉරා දමා මා
ආවේ ඔබෙ ආදරය පතා......
ආදර පුදසුන මලින් සරසලා
ගෙත්තම් කල මගෙ කුමාරියේ.....
මාගේ එළියෙන් ඔබ දිලෙනා හැටි
දැක්මෙන් මා සිත පිරී ගියේ......
තරු කැට අතරේ ඔබ නිදනා හැටි
දැක්මෙන් මා ලය පිරී ගියේ.....

කෙමෙන්.....කෙමෙන්... අපෙ ආදර ලෝකය.....
අපටත් නොදැනී බිඳී ගියේ.....
මිතුරු වෙසින් ආ සතුරු කැළක් අපෙ
කැණිමඩලම දා අළු කෙරුවේ
ආදර පුදසුන ගිනි අවුලා උන්
අළු මත වැතිරී ගී ගැයුවේ.......
මා වෙනුවෙන් ඔබ......ඔබ වෙනුවෙන් මා
කුළුඳුල් ආදරය යි පිදුවේ..........
මගෙ හද ලෙන් දොර.....තවමත් විවරය.....
ඔබ වෙනුවෙන් මගෙ කුමාරියේ.....

2023.06.21

කවිය බලන්න
ඉටිපහන් සිල

ඉටිපහන් සිල

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

රදවා මා සිරස

කර මතින් ඔහුගේ

ගොම්මනේ ඇවිදගිය

පාලු සුසානය තෙක්

නෑසියන් මිතුරන් කැඳවා

ගිය ගමනේ

දෙසවන පාරා

ගැයූ හංසගීතය

සුළඟේ ළෙලෙනා

ඉටි පහන් සිල

CANDLE IN THE WIND

දැවී යන්ට පෙර

තව එක සැරයක්

මා දෙස බලන්න

මිහිකත තුරුලේ

සැතපෙන්නට පෙර

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තයේ සිට

කවිය බලන්න
සිත සනසන රෝස මල්

සිත සනසන රෝස මල්

වයි.එල්.සදෙව්මිණ ප්‍රභාෂ්වර

රෝස රෝස රෝස මල්
සුවද හමන රෝස මල්
පාට පාට රෝස මල්
හරි ලස්සන රෝස මල්

හිරැත් සමග රෝස මල්
පිබි දෙනවා රෝස මල්
නොයෙක් පාට රෝස මල්
කහ සුදු රතු රෝස මල්

මල් දැකුමට හරි ප්‍රිය වෙයි
මලේ සුවද දසත හමයි
රෝස මලේ පෙති සිනිදුයි
ගසේ තිබෙන කටු නපුරැයි

රෝස කුසුම පිපී ඇතේ
සුවද හමයි දස අතේ
බඹරැන් ඒ මේ අතේ
රොන් සොයමින් ඉගිලෙතේ

මීමැසි රංචූව උදේට එනවා
මල නොතලා රොන් ගෙන යනවා
සවසට බුදුනට මල් පුද දෙනවා
රෝස මලෙන් අපෙ සිත තුටු වෙනවා

කවිය බලන්න
නොදුටු සීගිරි ලාලනිය

නොදුටු සීගිරි ලාලනිය

සුමනසීල ද සිල්වා එංගලන්තය

නිල් කට්රොල් මල් ගෙනැ
සුමුඳු දිගුඅඟිලි තුල රැවා
නීලපීත වලාගැබෙහි හිඳ
වඩින්නේ ලාලනියේ කොයිබදෝ
ඇදිනෙමි ඔබේ රැව
ලෙනෙහි සීගිරි
සදානාලිකවම එහි රැදෙන්නට
මා හැරා ඔබ නොයන්නට
කලෙමි සිතුවම දිවා රෑ.

බලාසිටිම් කදුපාමුල
ඔබ එන මග දිහාහිඳ
නෙරිය හැඩකර
මනරඟ නෙත් සලා
අඳිනෙමි සිතුවම
සීගිරි ලියන් පරදන

දෑතෙහි ඇත සුමට තෙලිතුඩ
රැව ඇඳ ඔබේ හැඩ බලන්නට
නැතේ මට මගේ ඇස්
අන්ධවී ඇත මටද හොරා.

කවිය බලන්න
සඳළුතලේ පෙම්වතීට..

සඳළුතලේ පෙම්වතීට..

සිසිර කුමාර කොග්ගලහේවා

උයන් කොනක තුරු සෙවනක හිරු මියදෙන සෙයිලමේ
හීන් හඬින් ලයෙ සිඹිනා සාර් වාසි මියුලැසී
යාදිනියක සේ යදිනා කළු දූවිලි ප්‍රේමයේ
හොවාගන්නෙ කෙලසකින්ද තරු පන්තියෙ ජීව්තේ

සඳළු තලේ සුව පහසුව නොමැති ලෑලි කාමරේ
මධුරුවො ගෝනුස්සන්මයි තනියට තනි කම්කලේ..
ඉහල අහස දූවිලි බිම අතරේ ඇති පරතරේ
මකනු නොහැක තුරලට ගෙන රෝස මලක හැඩ සුවේ..

අණ අස්සෙන් පෑගී කැකෑරෙනා රුදුරු කම්හලේ
බොයිලේරුව හා සමවෙයි පපුව ඇතුලෙ ගින්දරේ
ඒ ගින්දර නිවාගන්න
රතුමල් පිපුනොත්
ලොවේ
අම්මා පොත යලි කියවමු මගේ ලෑලි කාමරේ....

කවිය බලන්න
Thou are my May Flower!!

Thou are my May Flower!!

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

[An Elizabethan reading on love]

Sanjaya Priyadarshana - Sri Lanka

The sweet moon is pregnant yonder

at this smooth drizzle powder

till this night to dawn, it casts a light

mingling dew to bathe them fight

Shakespeare said once

“Shall I compare thee to a summer?”

You are like a May morning

Mayflower flattered on dew raining

Do darling petals awaken

Arouse my slender heart got weaken

Thou art lovelier

Yes, it’s summer

Looking forward to spring

Ever eternal spring

Surely not too long dear

My heart says dear

කවිය බලන්න
සුනිල් ආරියරත්න මැතිදුන් ට පිදෙන  උපහාරය

සුනිල් ආරියරත්න මැතිදුන් ට පිදෙන උපහාරය

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

සරුංගලේ විලසින් ආ
පාවෙන සිතුවිලි
කුස පබාට ජිවයදුන් ආදර
සැලකිලි
බිම්බා දේවියගෙ නෙතග
තෙත්කල කදුලැලි
ක්ෂිර සාගරය කළඹා
අතුරයි ඇතිරිලි

ආදරයේ කදුල සුසුම නිති
මනසේ ඇන්දු
යව්වනයේ සටන් බිමට
ජය ගී වැල් රැන්දු
බොදු සිත්වල මෙත්කරුණා
සුවය හිතට කැන්දූ
අරිරත් මැතිදුනි ගී ලොව
කිරුළ සිරස රැන්දු

මහ සයුරම දිය බිඳු ලෙස මනිනු
නොහැකි සේමා
ඔබ අසල දි වෙල් යායක වී ඇටයක්
මෙනි මා
හිරු කිරණ ද මුදු සොමි ගුණ එක් වූ
සඳ සේ මා
ඔබ ගුණ කද පදවැලකින් අමුණනු
මම කෝමා

විශ්වයටම සතුට බෙදන කලා
කෙතක් වේවා
නිල් අඹරම එලිය කරන
හිරු සේ සුදිලේවා
රටා මවන පන්හිද ළග
අතැගිලි මුදු වේවා
නියගයෙදිත් දිය නොසිදෙන
කවි උල්පත වේවා

මහනුවර
20/05/2023

කවිය බලන්න
උන් කොමිස් නොගනිති

උන් කොමිස් නොගනිති

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සොයා කසල බුදිනා "මැති"සදානෝ
කොවුල් බිජු රකින මහ බෝසතානෝ
බදා නොව බෙදා බුදිනා සිටානෝ
චිරං ජයතු හිත හොද කාකයානෝ

අගලක කානු පල්ලක දුටුවොත් පෙඳයක්
වටවේ සැවොම, දියවන්නා වැනි සබයක්
අදහස් පවසනාමුත් නෑ ගුටි කෙලියක්
කපුටන්ගේ ලොවම ලිච්චවි රජ දහනක්

කුකුලන්, ගේකුරුල්ලන් මග පෙම් කරති
ලැජ්ජා බයක් නෑ රති යහනට වඩිති
කළු ඇදි කාකයන් නිති ගුන දම් රකිති
රහසේ මිසක එලියේ නොම පෙම් කරති

මද්දහනේ තුරු වැටියක් සොයාගෙන
උකුනන් බලයි, කපුටිය ලග තියාගෙන
හදහන් බලා නොව සසරේ පතාඑන
කපුටා පවුල්කයි එක හිත් හදාගෙන

මිනිසුන් වගේ නෑ තනියම බුදින්නේ
අහරක් දුටු සැනින් කාටත් කියන්නේ
තුඩගට ලැබෙන කොයි දේටත් කොටන්නේ
උන්ගේ කුනට නෑ ඇහැ ඇර බලන්නේ

වඩු කුරුල්ලො සාදති සුන්දර මැදුරු
කපුටා හදයි පැල් කොටයක් ලී පතුරු
පරපුටු බිජු රකින්නත් තව ඉඩ ඉතුරු
සුන්දර කපුටු කූඩුව නොකඩන් මිතුරු

නෑ පැං පොකුනු මහ ගංගා සොයන්නේ
මිදුලක වතුර වලකය දිය නාන්නේ
ඉච්චා බහට උන් නෑ කට අරින්නෙ
තුඩේ කේජු නෑ නරියට පුදන්නේ

කවිය බලන්න
සුනිල් පදපොදක් ...............

සුනිල් පදපොදක් ...............

සපුමල් බන්ඩාර ලන්ඩනය

රෝහණ තනුවට පරතරයක් නැතිවා සේම
හිරුකිරණට නොමයුතු තැන් නැතිවා සේම
මල් සුවදකින් බිගුහද සැලෙනා සේම
සුනිල් පදපොදක් සනසයි සිත මවුසේම

කවිය බලන්න
තිරිසන් (නො) තිරිසන්

තිරිසන් (නො) තිරිසන්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

පූසියක පෙර දිනෙක
රාත්ත්‍රියෙහි
තනියෝම
වදති
පැටවුන්
හය-හතක්
එක පෙළට
ඒත්.....
මානව ළඳක්
සිසේරියන්
අඬු - දඬු මැද
මහා ධනයක්
පුදා
ලබන්නීය
එකම එක
ප්‍රාණියෙක්
රෝහලක
සුපිරි අසපුවක
සිට.......
(පිටුව 104)

කවිය බලන්න
ගුරු සමිඳුන්ට...🙏🙏🙏

ගුරු සමිඳුන්ට...🙏🙏🙏

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

ගිනි පුපුරු දිවිමගේ ඇත දෙපා දව දවා
පිණි වපුළ සෙත් සුතුර මතුරමින් නිව නිවා
බිණි ඔවා සවන'තේ රැව් නැගූ සරු පොවා
හිණි පෙතට ලකුණු දී ගුරු සමිඳු හස මවා

බෝපතක සිලි සිලිය හිමි මුවින් නැගෙනවා
සරතැසට සුව ගෙනෙන ඔසුව එහි රැඳෙනවා
පියෙකුගේ කුළුණු ගඟ හද ගිරෙන් ගලනවා
කිමිදෙන්න අවසරයි සසර මග නිවෙනවා

( ජූලි 29 වැනි දිනට ජන්ම දිනය යෙදෙන නිවිතිගල සුනේත්‍රාදේවී රාජමහා විහාරාධීශ්වර , හෝමාගම සුනේත්‍රාදේවී ධර්මායතනාධිපති , පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ධර්මාචාර්‍ය , දර්ශනපති , පූජ්‍ය කොළඹගේආර යසස්සී ගුරු ස්වාමීන් වහන්සේට පූජෝපහාර පිණිස ලියන ලදී )

- කේ.පී.එස් සචින්ත්‍රා ,
හෝමාගම ,
ඉතිහාසය විශේෂවේදී ,
රුහුණ සරසවිය .

කවිය බලන්න
සොඳුරු මහැදුරු

සොඳුරු මහැදුරු

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නොලැබ ඇසුරට පිනක්
සවනින් හඬද නොඅසා
දුටිමි ඇසිමි වින්දෙමි
ඔබ නිමැයුම් රැසා

නිබඳ පායන සඳකි
කලා ගැබ තරු ගවසා
ජීවිතය ගීතයක් විය
ඔබ පැබඳු ගී අසා

වියැලුනු කලා කතරට
නිමැයුම් වැසි වස්සා
සෙනෙහසින් තුති පුදමි
මෙහෙයට නිවූ පවසා

කවිය බලන්න
ග්ලාස්ගෝ බස් එකකදී

ග්ලාස්ගෝ බස් එකකදී

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

බස් එකකට නැගගෙන
ඉඳ ගත්තා ඉඩක් තියෙන
පිටිපස්සෙම ආසනයක

දම් කොල රතු නිල් අතරින්
දුඹුරු, රිදී කහ පාටින්
දැක්කා එක දෙක සුදු ඔලු

හිටගෙන ඉඳගෙන යද්දී
ලංකාවේ බස්වලදී
ඇහැට පුරුදු දැක කලු ඔලු

දේදුන්නක් මතක් උනා
හිතටත් වෙනසක් දැනුනා
මගේ ඔලුව විතරයි කලු*

(* දැන් නෙමෙයි 1979 දී 😁)

කවිය බලන්න
තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අගනුවර තරුණ කවි සමාජයේ (අතකස) හිටපු උප සභාපති වරයෙකු වූ කිවිපති තෙප්පනාවේ ගුණවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වුයේය.
මේ කවි පෙළ විශේෂයෙන් ඒ නිමිත්තෙනි
***************************************
අවි යක් වගේ කවියෙන් පෑ සොදුරු මත
සවි බල ගැන්වුණේ යහපත් සතර අත
කවි යෝ අතැර ගිය සඳ, දිලි අඹර වත
කිවි දුනි! තෙප්පනාවේ අද ඔබත් නැත
-----
හෙළ ජාතික ඇදුම සියොළග සිරින් පිරි
නිල ලත් නොලත් කවියෙකි සිටි වැඩුව දිරි
පිල කොයි පිල වුණත් අතකස සමග සැරි
මල පරවුණා විකසිත මහමෙරෙහි ගිරි
----
දිය තෙහි දිදුල තරුවකි මැද අතර සබ
විය පත් වුණේ මිනිසෙකු ලෙස පමණි ඔබ
අය වැය අසම බර වුණි මුත් නොමැති හබ
සිය හද පිරුණු යහපත් කම තමයි සුබ
----
එක විල සුපිපි සියපත් කවි විලෙහි දිය
ටික ටික ගිලිහෙතිය මිලිනව ගෙවෙන විය
දැක දැක වෙනස් වන ලෝකයෙ දහම නිය
ලක ඹර නිවේ කවි තරු දොම්නසකි එය
--
ගගුලක් ගලන ලෙද කී හිටිවන කවිය
දහසක් දෙනෙත් අංජන කළ හඬ සවිය
සයුරක් පබා කල නෞකාවක නැවිය
සැනයක් පුරා ඔබැ සිහිවෙන සිත දැවිය
---
සවනට මදුවිතක් වන් අමරස දෙන්න
ඔබහට උරුම කවිකම යළි රජයන්න
බවයට ඇතත් කළ පින් එතෙරව ඉන්න
නිවනට නොගොස් තව සැරයක් මෙහි එන්න
================================
කලාභූෂන කිවිපති කවිධජ
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අතකස හිටපු සම ලේකම් )
******************************
18/6/2023

කවිය බලන්න
ඕගසම්

ඕගසම්

සචී ජයවර්ධන

වැල් බේරෙන පාළමක් උඩ
හිත් යායෙට වේලෙන්න දැම්මම
කරකුට්ටම් ම වෙන්න ළංවෙච්ච හදවත්

සෑහෙන්න කෑගැහුවා
සෑහෙන්න සද්දෙට
සෑහෙන්න ආදරේ ඕන වෙලා
පෑහෙන්නෙ නැති වැල් පාළම මැද

උන් හිතුවෙම
මුන්ට පිස්සු
තව පටන් ගත්තා විතරනේ
කල්යද්දි හරියයි කියලා

මංපහරපු උතුමන්ට
අමතක වුණා
කරදියෙන් උඩට ගත්ත හිත්
වැඩියෙන්ම ඇඩුවේ

කට්ටෙටම කරකුට්ටම් වෙන්න ළං වෙච්ච
ඕගසම් එකේදී කියලා...

කවිය බලන්න
අනියම් බිරිඳකගේ පහස විඳි සෙනෙහේ වන්ත සැමියෙකු

අනියම් බිරිඳකගේ පහස විඳි සෙනෙහේ වන්ත සැමියෙකු

ඩී.කේ.එච්. සම්පත්

පැද යන විට පෙරට ජීවය නමැති රිය
අවැසි කම් ළඟදි ඉඳහිට නතර විය
ඉසුරින් සපිරි වුව කකියන දුකකි ළය
දිය ඇති මුත් සයුර පිපසට නොරිසි විය

පෙර කළ දෙයිනි පසු ලොව හැම දේ ලද්දේ
හරි මං නොදැන සිත ඒ මේ අත පැද්දේ
වැරදිමකින්දෝ මල් සර දුණු විද්දේ
බර වැඩි යැයි හැඟේ අතැඟිල බැඳි මුද්දේ

ගත් දින පටන් මා දිවියට ඔබේ අත
පුදුමයි පැව සෙනෙහස කර බැතින් සිත
වාවණු නොහැක පෙර දා ළය නොවුණි තෙත
බැරිවිය ඉඳින් රැකුමට මට පතිනි වත

නොදිටිමි දිනක් නැති මුව පිරි සිනාවන්
ලය දුක් සඟවමින් වුන් හැටි මනාවන්
දැකුමත් කම්කළුයි එය මනපිනාවන්
නුබ වන් කතුන් ලත් හිමි වාසනාවන්

අත් පා මෙහෙවරින් සන්ග්‍රහා කරන්නී
මා සැප පතා තුන් යම නිදි වරන්නී
ඔබ ළය රිදෙන තැනටම වැඩ කෙරෙන්නී
ඉවසුව කෙළෙස සත් පත්තිනි ඇතින්නී

හිත හිලෑ වෙලා පෙමකට අසම්මත
නිළයෙකු තුටු නොවෙයි තැබුවද මලක් මත
නොයනට යලිත් කීකරු නැත මගේ හිත
අභිනික්මෙනු මැනවි තරහක් සිතේ නැත

කවිය බලන්න
පොඩි සාදු

පොඩි සාදු

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

කවුරු හිටියත් හිතේ තනියක්

පන්සලේ මට දැනෙනවා

ගෙදර අය මට මතක් වෙනකොට

කඳුළු සිවුරෙන් පිහිනවා

මාසෙකට දවසක් දෙකක් හරි

ගෙදර එන්නට හිතෙනවා

ගියොත් සිල් ඇවැත් වෙයි

ගුරුනමක් මට කියනවා

උළු වහපු ආවාසෙ ඇතුළේ

තෙමෙන් නැතුවම නිදනවා

දෑස වැසුණම පිදුරු සෙවි කළ

පරණ වහලය පෙනෙනවා

කුසේ ගින්දර දැන් දැනෙන් නෑ

දානේ හැමදා ලැබෙනවා

හිතේ ගින්දර තාම එහෙමයි

ගෙදර බඩගිනි දැනෙනවා

ඉස්කෝලෙ නැති කාලෙ ඉවරයි

පිරිවෙනට දැන් වඩිනවා

අනිත් දෙන්නත් යවමු පාසල්

මගේ පොත් මං එවනවා

තාත්තගෙ අසනීපෙ හොඳ වෙයි

හැමදාම පිං පුරනවා

මට කියන්නට සුදුසු බෙහෙතක්

බණ අස්සේ මං හොයනවා

කිසි දුකක් නැති සොඳුරු නිවනක්

සසර අවසන තියෙනවා

අපේ අකුසල් ගොඩක් ලොකු ඇති

සංසාරෙ සැරි සරනවා

(කවි පොතක් අස්සේ ලියුමක් කාව්‍ය සංග්‍රහයෙනි - 2023)

කවිය බලන්න
සුරතලී ඇල්ල

සුරතලී ඇල්ල

සාගර චන්දිමාල්

⁣නේක තුරු හිස්
මතින් වෙලි වෙලී
ඈත කන්දෙන්
අසා මැසිවිලී
මෑත සමනළ
වැවේ දිය රැළී
සොයා පැන්නෙද
උඩින් සුරතලී..

පහල හෙල්මළු
කුඹුරු යායයි
එය වසා කණ
කොකුන් රෑනයි
හත් දොහේ පිං
කමද මුමුණයි,
නංගියේ උඹෙ
මතක සුවඳයි....

කවිය බලන්න
ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

ෆැන්සි කඩේ සිකියුරිටි තාත්තා

තාරක කුමාරසිංහ කොළඹ විශ්වවිද්‍යාලය

දවස තිස්සෙම නැහිල නැහිලා
කාෂ්ඨක රළු කදුළු පාරේ
දූලි සුවඳේ රසය විදලා
පාස්වෙන වෛවර්ණ රථය
දුම් පුලුටුවල සැරය දැනුණා

තෙමී නොතෙමී හීන් සීරුවෙ
දුවන කොලු රැළ දකින විට මම
ලොකු එකාගේ මතකයට දිව්වා

බෝ ගහේ රැය ගෙවන ජෝඩුව
මගේ තනියට ලඟම උන්නා
ඉඳල ඉඳලා පාර බලලා
බේත් පෙති දෙක හනික ගිල්ලා

කවිය බලන්න
නිදි නොමැති රැය

නිදි නොමැති රැය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

වැහි බිඳිති ගලනා
අඳුරු රැය ගෙවෙනා
සිහිනයක රැඳෙනා
නුඹ කොහෙද සිතුණා

දෙනෙත මන බඳිනා
පෙර දිනෙක ගෙවෙනා
සිතුවමක හිඳිනා
නුඹෙ රුවම පෙනුණා

නැවත නුඹ දකිනා
තුරු දෙනෙත නොනිදා
පෙර මඟම බලනා
හැටි පුදුම හිතෙනා

කවිය බලන්න
අත් හැරීමම තමයි ප්‍රේමය !

අත් හැරීමම තමයි ප්‍රේමය !

තිලිනි උත්පලා ලක්ශාන්ති මහනුවර

ඇස් පියන් මත දරන්නට
බැරිම උණු කඳුල නුඹ
අත් නොහැර රැක ගනිමි
නුඹෙ සුවඳ රැඳි මතක…

සිර කරනු බැරිම විට
මුදා හල සුසුම නුඹ
යා නොදී රැක ගනිමි
පෙම් සුවඳ සිත පිරුන…

තබා ගන්නට මා ලඟම
නොහැකි විට යා නොදී
අත් හරිමි ප්‍රිය සබඳ
අත් හැරීමම තමයි ප්‍රේමය…

කවිය බලන්න
සුන්දරයි මට මගෙ සුදුපාට ප්‍රේමය .

සුන්දරයි මට මගෙ සුදුපාට ප්‍රේමය .

තුෂාරි ජයසිංහ මහනුවර

සුසුමෙත් සුවඳ හැමු ප්‍රේමය
ඉරි තලනු දුටුවෙමි යාමයක
නිසල දිය පතුල නුඹෙ නෙත
සසල වූවා රහසේම දැක නරකෙස

දුවනු දුටුවෙමි අකීකරු නෙත
සොයාගනු රිසියෙන් සුසුදු මල් රේණුව
කුමට හඟවනුද පණ අදින සිතිව්ලි
දමාපන් එළි පහලියට අතහැර

සබඳ පිය. පිය මණින්නටයි
පැතුමක් තිබුණෙ සසරම
කෙටිම කෙටි පියවර අතලොස්ස
කඩා දැමුවා නුඹේ සිත බිඳ

අත නොමහැර රඳවා තබාගනු
කුමට, සුලැඟිල්ල කොනක
පය පැකිලි සැණයක ගිලිහේවි
මගේ සිහින දහසක කිරි කලය

බිඳෙන බව දියත කිරි කළ දිනෙක
වටහා ගතිමි පැණසරින් හිමිහිට
ලොවම තිර එකම දෙය දිය දහම
සුන්දරයි මට සුදුපාට මගෙ ප්‍රේමය .

කවිය බලන්න
සුනිල සුවඳ

සුනිල සුවඳ

තුෂාරි ජයසිංහ මහනුවර

නල මුසු සුවඳ තවරා ලක් පොළොව පුරා
කල මහ හපන් කම් නිම් නැත දිවිය තුරා
බල සැනසෙන්න ශ්‍රී සරසවි වඩින යුරා
රළ සේ මුහුදෙ කලාව ගොඩ නගයි දරා

පිනකට උපන් කුමරෙකි මිහි මව් සැනසූ
මලකට මෙලෙක එක්වන ආරෙන් සුදුසූ
මරකත මැනික මෙන් වී විහිදා රුසිරු
නිළඹර ලකේ පැල කෙරුවා කවි සොඳුරූ

සරයට නගා පළ කල ගුත්තිල විස්කම්
පුරයට මහා ගිජිදෙකු ලෙස පෑ දස්කම්
තිරයට ගෙනා නෙක නෙක සලරූ සිත්තම්
නිරයට නොවේ සැදුවේ සුරපුර වත්කම්

අඳුර නසන්නට සරසවි රැසක පිපී
සොඳුරු සුවය පතුරා සිප් කිරෙහි දැපී
මහරු පියෙක් සේ පරපුර සදන නිතී
ඇදුරු සඳක් විය නුඹ නුබ තලය සිපී

සුනිල දියෙන් දොවමින් පුදසුන අතුරා
නිමල පැතුම් පතනෙමි හදවත සපුරා
අමිල නමට ලැබ පැසසුම් ලොවේ පුරා
කමල සේ පිපෙණුය දිවි තිබෙන තුරා

යන එන ගමන සුවසේ කෙළවර වේවා!
දින දින පැතිර කිතුගොස රැව් දී යේවා!
පින මතු වෙවී දිවියම සරු ඵල දේවා!
චිර ජීවනය ලැබ නිදුකින් සරු වේවා!

2023.06.08.

කවිය බලන්න
ගමේ වගේ නොවෙයි අම්මේ

ගමේ වගේ නොවෙයි අම්මේ

උද්‍යා මාධවී

එදා සිකුරාද දවසක්
දූලි කොළඹින් හීන ඇහිඳින්
ගොඩක් උන් ගමේ යන හවසක්
ඒ නිසාම ඒක
ට්‍රැෆික් වැඩි වෙලාවක්
ලේන් හයක පාරක්

ගමේ වගේ නෙවෙයි අම්මේ
ඒක විසාල පාරක්
නුහුරු හින්දම වෙන්න ඇති මට
මාරුවුණා ලේන් එක
එකම එක සැරයක්

ඉඩ දුන්නේ නෑ කවුරුත්
පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න
මගේ රෝද තුනටවත්
ඉස්සරහට මිස හැරෙන්නට
තිබුනේ නෑ පොඩිම පොඩි ඉඩක්වත්

මගහැරිල ගමට එන පාරට හැරෙන තැන...
මම ඇවිත් ගොඩක් දුරකට
ඉන්නෙ දැන් වන් වේ පාරකලු අම්මේ
ඉතිං තව යන්නම වෙනව
ඉස්සරහට
දැන දැන වුනත් වැරදි බව

ගමේ වගේ නෙවෙයි අම්මේ
ඒක හරි විසාල පාරක්...
නුහුරු උන් අපි වගේ
ඩැහැගන්න විසාල පාරක්...

කවිය බලන්න
ගැහැනිය සහ ප්‍රංශය  (දිනපොතින් පිටුවක්) -------------------------------

ගැහැනිය සහ ප්‍රංශය (දිනපොතින් පිටුවක්) -------------------------------

උදයංග අමරසේකර ප්‍රංශය

"මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට
තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්
ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි"
- බයිබලය [1]"

සඳුදා :

"ආදරය බූරුවන්ට නටන හැටි කියාදෙයි"
-ප්‍රංශ පිරුළක්

ගෑනියෙ මගෙ මොට්ට පිහිය
හොඳහැටි මුවහත තියපිය!
තිගෙ පුවක ම මිස වෙන පුවකක්
මගෙ බුලත සරු කරතැයි සිතා ද?
"නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ [2]"

අඟහරුවාදා :

සියවසක් ගොළුව හුන් මගෙ වස්දණ්ඩ
තිගෙ දිගු ඇඟිලි තුඩු අග වැයෙන මිහිර!
දිවයුරු රත් උල් උපුල් මධු මාංසල ලවන්
ගෑනියෙ, අහෝ පරමානන්දනීයයි !
"ගොපලු කොලුගෙ බටනලාව
සංගීතය මවන අතර
දොලේ දියෙන් පා දෙවුවා [3]"

"මනාව ලුණු ගම්මිරිස් මුහුකළ කල
ගැහැනිය යනු රසවත් සුප් හොද්දකි"
-ප්‍රංශ පිරුළක්

ගරු මහත්වරුණි ,
මඳක් නවතිනු මැනවි
ගැහැනිය අත සුප්හොද්ද
පිරිමියා ම නොවේ ද?
යක්කු පවා ඇගෙ කල්දේරමේ
ගොජ දමමින් පැහෙත්
කලු දොදොල් මෙන් !

"ගැහැනිය රජයන රටේ
යකා අගමැති යා ය"
- ප්‍රංශ පිරුළක්

බදාදා :

ගෑනියෙ, තී නම් සැබෑ වෙළඹකි
ඉසිඹුවක් කියා නාමයක් වත් නොදත්!
හිට මඳක් සාමූහික ව සවන් යොමමු ද
අර අඹ අරඹ පිස හමන මඳ පවනට?
"ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයයි [4]"

"ගැහැනු සීමා නොතකත්
යහමඟින් වේවා නොමඟින් වේවා
ඔව්හු පිරිමින් ඉක්මවා ම යත්"
-ප්‍රංශ මහාමාන්‍ය
ෂොං ද ලා බෘය්යේර් (Jean de La Bruyère)

බ්‍රහස්පතින්දා :

ගෑනියෙ, තිගෙ ඇඹුල් තියල් අඳෝමැයි!
ඉන් බිඳක් රස කළ කල දිව දෙකඩ වෙයි
ඒ වුණාට තිගෙ පුන් පියොවුරු අතර
ජීවිතය මහවැලිය සේ ගලයි
"කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක් [5]?"

"සුරූපී ගැහැනියක ලැබීම
රාජ කිරුළ අතපත් වීම හා සමාන ය"
-ප්‍රංශ පිරුළක්

උතුරු සුළඟ
තිගෙ ඇඳිවත උණා ලී ය
දිවා ඉරෙන් උණු නූස් ගඟ දිය
තිගෙ ගත දොවා ගැලුවා ය‍
වන මල් අතුරා
මම යහන සුවඳ කර ඇත්තෙමි
නව යොවුන් එළු දෙනක සේ
තිගෙ කෙණ්ඩා ගොප්ගන්වා
ඉතින් එමත පිවිසෙව!

"මැහැලිය කියා අමුතු ලියක් සිටී ද?
ප්‍රේමාන්විත නම් කෘතහස්ත නම්
ඇගෙ කල වයස කුමක් හෝ වේවා
පරමෝත්කෘෂ්ට මොහොතක් පිදීමට
ගැහැනිය සමත් වෙයි මිනිහාට"
- මහා ප්‍රංශ ඉතිහාසඥ
ජුල් මිෂලෙ (Jules Michelet)

සිකුරාදා :

ගෑනියෙ තිගෙ කෝප හරුප
මගෙ කන කහඹිලියා හෙන්නා සේ යැ!
ඒ වුණාට තිගෙ නාඹර වෙළඹ නිතඹ
තව්තිසාවේ දොරටුවයි!
"ඒලය්යා එලාඩෝ ඒලවයා එලාඩෝ
අඩි- ඒලවලෙයි ඒවාලෙයි ඒලවලෙයි ඒලෝ [6]!"

"ගැහැනිය යනු සිපිරිගෙයකි
පිරිමියා එහි ඒකායන සිරකරුවා ය"
-ප්‍රංශ පිරුලක්

අස්රියක නැඟ ඉඳහිට
දෙව්ලොව ගොස් ආපසු එන මට
එහි යන කෙටි මඟ වැටී ඇත්තේ
තිගෙ දඟ යුග මතින් බව වැටහිණ

"මිනිහෙකු නම් ඔහු හොයමින් යයි
දැරියක නම් ඇය පෙරමඟ බලයි
ගැහැනියක නම් ඒකි මායම් පා
ඇද බැඳගෙන දැපනෙ ලා ගනියි"
-මහා ප්‍රංශ සාහිත්‍යයධර
වික්තෝර් හියුගෝ (Victor Hugo)

ගෑනියෙ උඹෙ ඔය හොර උපාසිකාකම
අර දූරියන් ලෙලි සෑය මත අතුට
ඉඟ මඳක් නටවාපියකො ඇන්නෑවේ
මගෙ හැරමිටිය තුළ නරි හූ කියත්!

"ගැහැනිය යනු
රෝස කුසුමෙන් පිසි
උකු ජෑම් තරලෙන් වටකළ රිටකි
ඇයව ඩැහැගත යුත්තේ
කවර අග්ගිස්සෙන් දැයි
දත්තෙක් නැත්"
- පසිඳු ප්‍රංශ ලේඛක
අල්පොන්ස් අල්ලේ
(Alponse Allais)

සෙනසුරාදා :

"ගැහැනු සහ දෙවියෝ
එක ම දේ ඉල්ලත්"
-ප්‍රංශ පිරුළක්

ගෑනියෙ, මගෙ මේ කවි රොත්ත
ගල ගා අඹරා උරච්චි කර ගනින්න
ඉන් තිට ඉතිරි කරගත හැකිවේවි
සියවසක ලවනාලේප වියදම !
"පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැඟිටින්නේ [7]"

"ආදරය ලොතරැයියකි.
ඉන් ජයගත් වාසනාවන්තයාට
මරණය තිලිණය වසයෙන් ලැබේ"
-මහා ප්‍රංශ සාහිත්‍යධර
ඇලෙක්සෝන්ද්‍ර ද්යුමා (Alexandre Dumas)

ඉරිදා :

ඌරාගේ මස
ඌ මත ම තබා කපන්නා සේ
ඉබ්බාගේ මස
ඉබිකට්ට තුළ ම බහා පිසින්නා සේ
මගේ ලේ ගලන ආදරය
මගෙ ම හදවත මත තබා කපා පිස
ඉරට්ටෙන් සුඟ සුඟ ගෙන
කෙළ හළමින් තලුමරමින් වළඳව!
"වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ [8]"

"දුක සාගරය සේ යැ
ගැහැනුන් නිසා උපන් දුක
සාගර පවා පරයයි"
-ප්‍රංශ පිරුළක්

අනිච්චේ දුක්කේ සංසාරේ
පෙමතො ජායති සොකො අයියෝ
බඩ්ඩ මල්ලිට පොල්ල තියලා
අන්න මචං ඌ අම්බානකට ප්‍රස ගහලා!
කන්නෙත් නෑ බොන්නෙත් නෑ
බයිබලේ ඉහට තියන් බුදි!

ගෑනියෙ, ඉතින් තිගෙ නික්මයාම
මට කොහෙත් ම දුකක් නොවේ
මම හෙට යහනට ගනිම්
හඳපළුව !
"උන්මාද සිතුවම් මැවේ බිඳේ
මීදුම් වළා මැද අතීතයේ [9]"

"ගැහැනුන් මහණුන් සහ පරෙවියන්
යන එන තැන් දෙවියෝ පවා නොදනිත්!"
- ප්‍රංශ පිරුළක්

පාදක සටහන්:

[1] ශුද්ධ බයිබලය, ලංකා බයිබල් සමාගම, කොළඹ, 1986, පි. 908. වැඩිදුරටත් කියවන්න: සුනිල් ආරියරත්න, කැරොල් පසම් කන්තාරු, සුපසන්, කොළඹ, 1987, පි. 72.

[2] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 34. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[3] සුනිල් ආරියරත්න, තනි යහනේදී, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 23. ගායනය : සනත් නන්දසිරි. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[4] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 36. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[5] සුනිල් ආරියරත්න, ලා හිරු දහසක්; දෙවැනි ගීත එකතුව, 61 වැනි ගීතය. වැඩිදුරටත් බලන්න : මඩොල්දූව, අධ්‍යක්ෂණය : ලෙස්ටර් ජේම්ස් පීරිස්, නිෂ්පාදනය : උපසේන මාරසිංහ, 1976. ගායනය : වික්ටර් රත්නායක. සංගීතය : ඩබ්. ඩී. අමරදේව.

[6] ධීවර ගීතයක්. වැඩිදුරටත් කියවන්න; සුනිල් ආරියරත්න, තුටු පඬුරු, ගොඩගේ, කොළඹ, 1994, පි. 52. ගායනය : නන්දා මාලිනී. සංගීතය : ඔස්ටින් මුණසිංහ.

[7] සුනිල් ආරියරත්න , නවාතැන්පොළ, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 21. ගායනය : නන්දා මාලිනී. සංගීතය : එච්. එම්. ජයවර්ධන.

[8] සුනිල් ආරියරත්න, තනි යහනේදී, දයාවංශ ජයකොඩි, කොළඹ, 1984, පි. 25. ගායනය : නීලා වික්‍රමසිංහ. සංගීතය : ප්‍රේම්ලාල් දන්වත්ත.

[9] එම, පි. 21. ගායනය : ගුණදාස කපුගේ. සංගීතය : සරත් දසනායක.

කවිය බලන්න
බෝසමිදු අභියස

බෝසමිදු අභියස

උපාලි අත්තනායක මහනුවර

තෙල් මල් පුදලා සුවද දුමින්
සාදු හඩින් ගී මුමුනාලා
දුක කීවා බෝසමිදුන් අභියස
පිහිටපතා ජීවිත ගමනේ

පැන් කලයෙන් බෝසමිදුන් නහවා
හදේතියෙන දුක් නිවන්න පැතුවා
බෝසමිදුන් හට දුක දැනිලා
හිනැහෙනවා සිලි සිලි නාදෙන්

සිසිල් සුලං රැලි හමා ඇවිත්
සිත නිවුනා බෝසමිදුන් සෙවනේ
තුනීවුනා දුක් දොම්නස් සැනෙකින්
සහනය ගෙනදෙයි සිතට සැනින්

අන් පිහිටක් නැත බුදුගුණ පමනයි
නිවා ගන්න දුක් සංසාරේ

කවිය බලන්න
අවදිවව් නොනිදා නිදා

අවදිවව් නොනිදා නිදා

විදර්ශා පතිරත්න කොබෙයිගනේ

අනා බත් කට කවා දැඩි කළ දූ පුතුන් තුරුලෙහි එදා
හිනා වෙනවා පියඹන්නට මුදු මොළොක් දෑලම විදා
දිනා දෙන්නට ලෝකයක් හෙට කැදැල්ලෙන් හැරියත් මුදා
තනා දෙනවද පියා නෙතුපිය සුසානෙට යන මග සදා

මනා සේ රැකවල් යොදා මුර නොකෙරුවොත් හැකි වෙර යොදා
හිනා වෙන්නට වරම් අහිමිව හඬන්නට වේවී සදා
ගෙනා ආයුෂ මඟින් අහවර කරන වැළලෙන මං හදා
උනා නීතියෙ රැහැන් පටවල් තිරිසනුන් ඇත මුව විදා

විනා අපි අපි අවදියෙන් මිස නීතියට පැවරුම් යොදා
උනා යුතුකම් නිදැල්ලේ දූ පුතුන් නොහැරා ඉමු සදා
තනා බලමුළු සිව් දිගන්තයෙ නැතත් නිලතල උර රඳා
දිනා දෙන්නට ලොවක් සුරැකුම් අවදිවව් නොනිදා නිදා

කවිය බලන්න
මේ යුගයේ සත්‍යවාදී මිනිසා

මේ යුගයේ සත්‍යවාදී මිනිසා

නීතීඥ වසන්ත තෙන්නකෝන් ලන්ඩනය

ඔහු සුනිල්වන් අහස මෙන් පැහැදිලියි, විවෘතයි, අනන්තයි
ගැඹුරු පොලෝගැබ බිහිවූ මණ පාෂාණයක් බඳුයි
මිනිසා හඳුනන ජීවිතය හඳුනන මහැදුරු කලාකරුවා ඔහුයි
යථාර්තය අගයන සත්‍ය ගරුකරන
අවස්ථාවෝචිතව නිහඬවන මේ යුගයේ සත්‍යවාදියා ඔහුයි.

කවිය බලන්න
වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

විමල් ඇම්. ගමගේ

පියෙකු වගේ දරු කැළ පිරිවරාගෙන
ශිල්ප ලබා දුන්නත් සිත්සේ බෝම
වචන කොහෙද නුඹ අරගෙන සේරෝම
අපට ලියන්නට ඇත්තේ මොනවාද

කවියට ගීතයට සිනමාවට සේම
තල් කොළයටත් පෙම් බැන්දා එක සේම
නළලේ තිලකෙ තුන් නූරුව නැතුවාට
වටිනව අපිට එස්. ඒ. කේ. බණ්ඩාර

පපුවේ ඇනෙන කටු ඉපනැලි පෙන්වන්න
දෑසක් ලබපු නුඹ දෙවියෝ රැකගන්න
කේතුමතී නුවරදි අප හමුවන්න
පතනෙමි පුතුනි එය හනිකට ඉටුවන්න

මේ වගට
පානම් පත්තුවේ ඩිංගිරි අම්මා

කවිය බලන්න
🗙