ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සමුගැනීම….

සමුගැනීම….

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය
2022-April

තම දියණිය වෙන රටකට යවා, රට වෙනුවෙන් යුද්ධයට යන යුක්රේනියානු සිවිල් පුරවැසියාගේ සමුගැනීම….

බෝම්බ හෙලනවා අපෙ රට ගිනි ගන්නේ
මිනිසුන් මැරෙනවා කොහොමද ඉවසන්නේ
ලෝකයෙ මිනිස්සුන් නැහැ සහයට එන්නේ
මම දිවි පුදා හෝ මගේ රට රැක ගන්නේ

හිටියා දවස් ගණනක් අප කුසගින්නේ
තද සීතලට නුඹේ ගත වෙව්ලා යන්නේ
රුසියන් මිසය්ලය කොය් මොහොතෙද එන්නේ
නුඹ වැනි දරුවො ගැන මා හද වැළපෙන්නේ

බේරා දිය යුතුය මගෙ රට දරුවන්ට
සටනට මමත් යනවා රට රැකගන්ට
මගේ රන් දුවගෙ පණ නල ටික බේරන්ට
යවනවා පුතේ උඹ වෙන රටකට ඉන්ට

නැගලා කෝච්චියෙ වෙන රටකට යන්ට
දිවි බේරාගෙන නුඹ සතුටින් එහි ඉන්ට
මරලා සතුරු රැල මව්බිම රැකගන්ට
නවතිමි මගෙ දුවේ මාහට සමුදෙන්ට

හිතුවේ නැතත් කිසිදා අවි දරන්නට
ආයුධ ගත යුතුය සතුරා නසන්නට
මතු යම් දිනක නුඹ මව් රට දකින්නට
ආවිට වරෙන් මගේ සොහොනත් බලන්නට