ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඉරණම

ඉරණම

මහාචාර්ය මනෝරි ගමගේ - හැව්ලොක් ටවුන්
2022-April

නැගී කන්දක ඇතුළු ගැඹකින්
එතී සුළඟට කතා කියමින්
ඇදී යද්දි බුබුළු නගමින්
බිඳේ මග තොට දරුණු නියඟින්

වැටී වැස්සක් සොඳුරු අහසින්
පිඹී හුස්මක් යළිත් අදරින්
පැලී ඉරි ගිය වියළි පොළවෙන්
පිපේ හසරැල් අසුරු සැනකින්

මැකී නැවතුම් තිතම සිතකින්
රිදී දියවර නිම්න අතරින්
ඇදී සමුදුර ගැඹුර සොයමින්
රැඳේ ඉරණම මෙයයි කියමින්