ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නාඳුනන සෙබලාගේ සොහොන් ගැබ අබියසදී …..

නාඳුනන සෙබලාගේ සොහොන් ගැබ අබියසදී …..

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2022-April

නොනිවී දැල්වෙනා ගිනිදැල්ල
මේ එයයි
හදවතින් ඇවිලෙනා ගින්න
එය හා සමයි
චතුරස්‍රයේ රතු වූ දැල්වෙමින්
එය තිබෙයි
නාඳුනන සෙබලෙකුගෙ මතක
කොත මේ එයයි .

හාත්පස හිම වැටී සීතලෙන්
හද ගැහෙයි
අතීතයෙ සිතුවමක් නෙත් දියෙන්
බොඳ කරයි
තුරුණුවියේ මල් පරව
සිහිනයක සැරිසරයි
ඉකි බ්ඳින මිහිකතට ඔබ
සිරුර හරි බරයි .

සීතලට ගල් ගැසුණු කඳුළු බිඳු
නෙත් වරයි
හඬන සියොතුන් නොමැත
සැඟවෙලා නිසසලයි
දැල්වෙනා ගිනි සිළුව අසලදී
හිත බරයි
නොසැමරු මළගමේ ඔබෙ
මතකයන් සිත සරයි .

ලෝකයේ කොතැන හෝ නාමයෙන්
දැයක පෙම
‘විමුක්තිය’ සොයා ඔබ⁣ පෙරට ගොස් අතැර සැම
තුරුණු මල් මිලින වී මරණයෙන්
වුනා නිම
නාඳුනන ඔබෙ නමින් දැල්ව ඇත
පහන් සැම .