ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගමක සිරියාවයි අවුරුදු උදාවයි

ගමක සිරියාවයි අවුරුදු උදාවයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2022-April

දුරුතු – නවම් – මැදින් – බක්මහේ දි කොහාගේ නාදයි
බක් – වෙසක් – පොසොන් – ඇසල බුදු රැස සිරිසර සාරයි
නිකිණි – බිනර – වප් – ඉල් මස ගත සිත මන සුව සාදයි
උදුවප් මස සීත හිම ගිරෙන් අවුරුද්දක් පාදයි…
(දොළොස් මසක් ඉවර වී – නව අවුරුදු සිරිය දී)//

රන් ගොයමේ කරල් පැසෙන අටුකොටු බත-බුලත පිරෙන
වැට අද්දර කිණිති ඇදෙන එරබදු මල් කොමළි නටන
කෙත- හේනට උඩින් පියඹ සැගවි- සැගවි කොහෝ කියන
කොහා කොහොම – කොහේ ඉදන් ආව ද අවුරුද්ද රැගෙන…
(වැට ළග සිරි දේවී – රතු එරබදු දේවී)//

මුතු හර-බර සිනා නගන ඉදුදුණු වරලස මුදවන
මිණි-කිංකිණි පා සළමින අවුරුදු දේවිය ද වඩින
මුකුළු කොවුල් හඩට එතෙන පල-වැල සුවදට රස දෙන
රබන් පදට සැරසෙන රතැගිලි මැද කවි-ගී නැටවෙන…
(රබන් පදට සැරසිලා – රතැගිලි නැටවෙයි වයා)//

හෙළ සිරිතට – විරිතට නිති ගරු-සරු-සැලකිලි දක්වන
හෙළ දන සිත පුබුදු කරන් දෑතෙහි සිරිකත නළවන
පෙළ හිද වැඩිහිටි උදවිය තරුණ කැළට දෙන ඔවදන
මෙලෙස ම වසරක් ගිය විට බොදු සිරිතකි ඔප නංවන…
(සුරකිමු හොද සිරිත – වැඩිහිටි හැම නැමද)//

බුලත් හුරුල්ලක් අත් මැද තබා වදින ගුරු දෙගුරුන්
අලුත් වසට ආසිරි ලැබ ගනුව කමා ගෙන වරදින්
සලුත් පැළද අලුත් පිළි ද තලුත් ගසා රස කරමින්
කෑමට යන හිත සතුටින් ඔපවත් වී නෙක පාටින්…
(බතක් ඉදෙයි උතුරලා – ලප්ගල මත හිනැහිලා)//

කැවුම් කොකිස් මුං අලුව ද අතිරස පැණි වළලු රසට
දුම් මැස්සෙන් බිමට බහින හැඩ දුටුවෙ ද හරි නැකතට
අලුත් හාලෙ බතක් ඉදුණු කිරි උතුරා කිරි රසයට
බුදුන් වැදල මුළුපවුල ම රොක් වෙයි මේසය වටේට…
(කැවුම් කොකිස් අග්ගලා – කන නංගිල – මල්ලිලා)//

බඩ පිරෙන්න කෑ කිරිබත සිත පිරි කළ කෙළි සෙල්ලම
හැඩ බලන්න කැටපත ළග අලුත් ඇදුම්වල ලස්සන
වැඩ අල්ලා ගනු – දෙනු කර පැල හිදුවා කළ ගොවිතැන
ඉඩ – කඩ – ගොඩ – මඩ දියුණට ලැබෙන අලුත් ගුරුහරුකම…
(ගිය අවුරුද්දට වඩා – මෙවර ගෙනෙයි වඩ – වඩා)//

ඉපැරැණි සිරිතට – විරිතට කද බැද නෑගම් බද යන
ඉහ – වහ ගිය සතුටු සිතින් දැක හදවත් කතා කරන
ඇණුම් – බැණුම් නොහොද – නරක ඉවත දමා යළි ළංවෙන
හදවත් නිති පොබ කරමින් නව වසරට අසිරි සලන…
(හැමට ම සුව සෙත දේවා! සුභ නව වසරක් වේවා!!)///

2022.04.01