ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ

කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ

ආරියරත්න ජයසිංහ - මහරගම
2022-April

අනන්ත වූ අඳුරු විශ්වය සරන
එක් කුඩා සෞර ග්‍රහ මඬුල්ලක
අල්පෙනෙත්තක් තරම් කුඩා ග්‍රහ ලොවක
වසමු අපි පෘථිවිය නමින් නම් ලද

සුර අසුර සංග්‍රාමයක්
රාම රාවණ යුද්ධයක්
ට්‍රෝයි පුර සංග්‍රාමයක්
මහා භාරත යුද්ධයක්
එළාර දුටුගැමුණු ‍යුද්ධයක්
කුරුස යුද්ධ අබිං යුද්ධ
ලෝක මහ සංග්‍රාමයන්
තවත් කොතෙකුත් යුද්ධ
පෘථිවියේ ඉතිහාසය වසාගෙන
යෝධ සෙවනැල්ලෙන් තම

අහෝ අප ඉතිහාසය !
එම්බා යුද්ධය !
නිවුන්නුද ඔබ දෙදෙන
නැතිද යුද්ධයෙන් තොර ඉතිහාසයක්.

අහෝ ඉතිහාසය!
රස කර කර ඔබ ගයන්නේ
මිනිසාට එරෙහිව මිනිසාම යුද වදින
පරාජිතයින් මිස දිනූවෙක් නැති
යුද්ධයේ ප්‍රශස්ති ගීතයයි.

කිම්ද ගොළුවී ඔබේ පන්හිඳ
සටන් බිම වැටුනු සෙබලුන් ගැන
ගැලූ රුහිරු ගංගා ගැන
මළබෙර හඬ ගැන දොර දොර හැඬවුනු
යුද්ධයේ සෙවනැල්ල වන් විනාශය ගැන

කිම්ද ගොළු වී ඔබේ පන්හිඳ
හිමියන් අහිමි වැන්දඹුවන් ගැන
පියවරුන් අහිමි දරුවන් ගැන
ගේ දොර දේපොල සියල්ල අහිමිව
අනාථ කඳවුරු තුල ගාල්වූ අසරණයින් ගැන

මිනිසාට එරෙහිව මිනිසාම යුද වදින
මේ කුඩා ග්‍රහලොවේ
ලැබූ ජය ගැන උදම් අනමින්
රාජ්‍ය විචාල විචාරණ
රජුන් ගැන පමණක්ද ලියන්නේ ඔබේ පන්හිඳ.