ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පින් පුරවමු අපි සංසාරේ..

පින් පුරවමු අපි සංසාරේ..

යෂිකා විජේසිංහ
2022-April

කහට ටික බෝතලේ
හකුරුත් එතනම ටින් එකේ
උදේ ඉව්වා මං දවල්ටත් එක්කම
අදට විතරක් බත් ටික
බෙදාගත්තැකි නේද..

මෙලහකටත්
ධර්ම සාලාවෙ බිත්ති ටික
සේරම වෙන් කරගෙන ඇති
උපාසක බවලත්තුන්ගෙ පිටවල්
වේලපහ නොගියොතින්
කොන්ද කෙලින් කරගෙන
බණ භාවනා වුනත්
ලේසි නැහැ දවසම
සාලාවෙ මැද ඉඳගෙන..

ඉස්කෝලෙ හාමිනේ ලෙඩ වෙලා
ගිය පෝයට අපි ගියා සේරම
තෑගි බෝග අරගන්න
මටත් දෙන්න වුනා දෙසීයක්ම..
නොදී කොහොමද ??
පුළුවනෑ කොන්වෙන්න..

මෙදා පෝයට කවි බණට
වඩිනවලු අර
හීනටිවල හාමුදුරුවො..
වියදම් සේරම මාළු කඩේ මුදලාලිලු
පින් දුන්න හැටි ඇහුවම
හිතුනෙ ම
අනේ අපි කවදා කරන්නද
ඒ වගෙ පින්කම්..
කවි බණ කැසට් පටි පොත් හෙම
අඩුවට ගත්තැකි කියල
සල්ලි අරන් එන්න කිව්වෙත්
ලොකු හාමුදුරුවොමයි

ඇත්තම කිව්වොතින් මටත් දැන් එපාවෙල
මේ සිල් සමාදන් විල්ල
පෝයට සල්ලි සම්මාදම් කාරණා
එමටයි පන්සලේ
සල්ලි අතේ නොතිබුන හැමදාම
ගෙදර එන්නෙ
හිත නරක්වෙල..
ඒ වුනත් අමාරුවෙන් හරි
නොගිහින් කොහොමද
පාංසකූලෙට වඩින්නත්
අපි ගැන හාමුදුරුවන්ට
මතක තියේවිද නැත්නම්..

.