ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගුත්තිල කතාව.

ගුත්තිල කතාව.

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2022-April

ගුත්තිලය යලි ලියනවා නම්
රසවිඳින්නට රහට…
පරදවා ජය අරන් මොකටද
දුන්නු පින ඇති හිතට…
තුරුණු විය ඉක්මවා දවසක
උඹත් එයි මගෙ මගට…
අනේ මූසිල හිතේ තරහක්
හීනෙකින් නැහැ උඹට…

දමා ගුලි උඩ, පරදවා නුඹ
ජය අරන් මට කුමට…
පරදවා උඹ , සතුට වෙනුවට
සතුටු වියහැකි ගුරුට…
දැනන් උඹ ගැන ශිල්ප දුන්නේ
හිතේ ඇති මිනිස් කමට…
පරදවා පෙරගමන් පලයන්
ඒ සතුට ඇති මෙමට….

ගහේ මල් වල සුවඳ පිරුණට
ඉරිසියා නැහැ ගහට…
විලේ වතුරෙන් උඩට ආවට
පුදසුනක් හිමි මලට….
උඹේ හැකියාවකට දෙවියන්
එක්ක ගනුදෙනු කුමට…
දේව දරුවනි, නටාපන් හැම
මූසිලගෙ වෙන නදට…