ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නැඳුන්ගමුවේ ඇත්රජුට කැළේ ඉන්නා මිත්‍රයෙකුගෙන්ලිපියක්.

නැඳුන්ගමුවේ ඇත්රජුට කැළේ ඉන්නා මිත්‍රයෙකුගෙන්ලිපියක්.

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-April

නැඳුන් උඹ අද යන්න ගිය වග නිවුස් එක ලැබුණා මචං

රැහේ උන් හට වතුර බොන්නට වළක් කපමින් උන්නෙ මං

කන්න හොයමින් ගමට රිංගපු ගෑනි තවමත් නෑනේ බං

කරන්ට් වැදිලා වැටිලා හිටියලු කෙස් ගහෙන් අනෙ ඒකි සුං

උඹේ නිදහස නැතිකරපු බව කට්ටියක් කියනවා ඇහුනා

දම්වැලෙන් බැඳ දාලා හිටියලු තවත් නොයෙකුත් කතා තිබුණා

ඔය කියන අය කැළේ ඇති දුක දන්නවාදැයි නිකන් හිතුනා

උඹ වින්ඳ සැප අපට කිව් බව දන්න අය මං පමණි ඉන්නා

මිනිස්සුන් මඟ දිගට උඹලට වඳින හැටි අපි නිතර දැක්කා

අවි දැරූ සෙබළුන් පිරිවරන් උඹ රජෙකු මෙනි ගියේ ලොක්කා

කන්න ලැබුණෙත් හොඳම කෑමයි ආයේ ඒ ගැන කතා මක්කා

අනේ අපි පණ බයේ ගැහි ගැහි නිදහසේ බඩ වියත රැක්කා

නිදහසක් මුළු රටෙත් නැතිකොට කැළේ නිදහස තිබේද

දළ නිසා උඹ එළොව යන්නේ හුඟක් ඉස්සර නොවේද

කන්න බොන්නට තබා ඉන්නට හරි තැනක්වත් කොහේද

සැපට ඉඳලා මළත් සතුටක් නිදහසින් කුස පිරේද