ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

තාන් රෙද්ද ඇන්දම නුඹ හැඩයි ලියේ

තාන් රෙද්ද ඇන්දම නුඹ හැඩයි ලියේ

නිමල් අබේසිංහ - කඳාන
2022-April

කුහු කුහු නඳ නගයි කොවුලා කෙවිලියට
එරබදු පිපෙනවා වැට වට ලතාවට
එළඹෙන්නේ නව අවුරුදු දිනේ හෙට
දෙවසර ගෙවෙනවා අපෙ පෙම් කතාවට

වටවුන් නොදනීය රහසම සිත් තුළය
සුරැකෙන්නේ එයද දෙහිතෙහි ඇති කලය
මට මෙන් ඔබට නැතිවේ කිසි කලබලය
ඇඹු ඒ රුවෙහි නොතබමි නිතඹේ ලපය

පාන්දර නයන පිනවන රන් කිකිළියේ
සීන් සිනාවට රති චිත්ත ඉපිලියේ
පාන් පැළ වගේ හද ගැඹර බැබලියේ
තාන් රෙද්ද ඇන්දම නුඹ හැඩයි ලියේ

ළමා ළපටි සරයෙන් පද උසුරුවන්නී
උමාවන් රුවින් හද කිතිකවන්නී
යොමා නයන අනුරාගය දෙවන්නී
තෙමා දෙතොල් හාදුද වස්සවන්නී

සන්තාපයක් නොමවේ සිත ලතැවිල්ලා
සන්සුන් සතුට හිමිකරගමු සුවිපුල්ලා
“පන්දහසකට ඉහලින් තිබුණත් එල්ලා
රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා”

කඳානේ
නිමල් අබේසිංහ