ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිටියා ඔය ඇති

හිටියා ඔය ඇති

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
2022-April

මතුවට බිහිවෙන ගැමුණු කුමරු ඔබ
මතුවට බිහිවෙන වෙහෙර දේවි ඔබ

හෙළයින්ගේ මහ ශක්තිය – දැනුනෙ නැද්ද දරුවනේ
පුරාණ නටබුන් අසිරිය – හැඟුනෙ නැද්ද දරුවනේ
තිසා වැවේ යෝධ බැම්ම – දුටුවෙ නැද්ද දරුවනේ
සීගිරි කූඨයෙ සිරසට – නැඟුනෙ නැද්ද දරුවනේ

මුඩු බිම් සරුකල බිම් විරුවෝ – කෝ අද ඒ දරුවෝ
දාගැබ් වැව් බැඳි රජ දරුවෝ – කෝ අද ඒ දරුවෝ
යුධ බිම සරුකළ රණ සුරුවෝ – කෝ අද ඒ දරුවෝ
හෙළ මව ලද පින්බර දරුවෝ – කෝ අද ඒ දරුවෝ

නැගිටිමු නැගිටිමු සිටියා ඔය ඇති – කුසීත කම් හරවා
දුරලමු දුරලමු දීන චින්තනය – නිවහල් සිත අරවා
පෙරලමු පෙරලමු පස හෙල පොළොවේ – මුඩු බිම් සරු කරවා
පිහිටමු පිහිටමු තුන් සරණේ තෙද – සිරිලක හෙලි කරවා

නාලිනී කොඩිකාර ගේ සතුට දන්දෙමි’ පොතෙන් උපුටා ගන්නා ලදී